Saturday 15th of August 2020

English Tamil
Advertiesment


අස්ථීර ලේකම්වරු


2019-12-11 2596

(මහාචාර්ය නලින් ද සිල්වා)

විවිධ අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් සභාපතිවරුන් සහ වෙනත් එවැන්නන් පත් කෙරෙනවා. ඒ අතර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කාරකාදීන් ඉන්නවා. කලකට පෙර එච් ඒ ද එස් ගුණසේකර, බුද්ධදාස හේවාවිතාරණ ආදී ආර්ථික විද්‍යා මහාචාර්යවරුන් මුදල් අමාත්‍යංශයේ තනතුරුවලට පත් කෙරුණා. ඒ පත්වීම් කරුණු දෙකක් මත යුක්ති යුක්ත කෙරුණා. ඒ ඔවුන්ගේ සේවය ආණ්ඩුවට ලබා ගැනීමත් ඔවුන්ගේ දැනුමට අදාළ පත්වීම් දීමත් යන කරුණු.

එහෙත් අද ආර්ථික විද්‍යා මහාචාර්යවරු ජන මාධ්‍යයට පත් කෙරෙනවා. දර්ශන මහාචාර්යවරු සභාපතිලා කෙරෙනවා. කාට හරි කියන්න පුළුවන් මෙහි දී ද කෙරෙන්නේ ඔවුන්ගේ විශිෂ්ට දැනුම හා සේවය ආණ්ඩුවට ලබා ගැනීමට කියාත් කුමන ක්‍ෂේත්‍රයක වුවත් විශිෂ්ටයකුට තවත් ඕනෑම ක්‍ෂේත්‍රයක කටයුතු කළ හැකි බවත්. ගුණසේකරලා හේවාවිතාරණලා තනතුරු පස්සේ ගියේ නැහැ. ඔවුන්ට ආණ්ඩුව ආරාධනය කළා. එහෙත් වත්මන් විශිෂ්ටයන් ගැනත් අපට ඒ දේ කිව හැකි ද?

මා ගුණසේකරට හා හේවාවිතරණට වඩා කණිෂ්ඨයි. එහෙත් වත්මන් විශිෂ්ටයන්ට වඩා ජ්‍යෙෂ්ඨයි. ඒ වයසින්. ඒ හැරෙන්න ඔවුන් කොහොමටත් මට වඩා විශිෂ්ටයි. මට මතක් වන්නේ මගේ පාසල් විය හා සරසවි විය. මා විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයකු හා විද්‍යාඥයකු වීමට තීරණය කෙළේ පාසලේ දී පහළොස්වැනි වියේ දී. ඒ දෙමව්පියන්ගේ කැමැත්ත අනුව නම් නො වෙයි. ඔවුන්ට අවශ්‍ය වූයේ මා වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු හෝ කිරීම. අවසානයේ දී මා ගණිත විශේෂ උපාධියට පෙනී සිටින්නේ යැයි කී විට ඔවුන්ට මා සිවිල් සේවකයකු කිරීමට අවශ්‍ය වුණා.

සිවිල් සේවකයා යනු ඊනියා සිවිල් හෙවත් සිවල් සමාජයේ සාමාජිකයකු නො වෙයි. එකල අවුරුදු පතා නොවුණත් උපාධිධාරීන් හය දෙනකු පමණ සිිවිල් සේවයට බඳවා ගැණුනා. ඒ සඳහා තරග විභාගයක් ද තිබුණා. අද පරිපාලන සේවය ලෙස හැඳින්වෙන්නේ එකල තිබූ සිවිල් සේවය නැති කිරීමෙන් පසු ඇති කළ එකක්. මා සිවිල් සේවා පරීක්‍ෂණයට පෙනී සිටීම ප්‍රතික්‍ෂෙප කළා. මා දෙමව්පියන්ගේ බලාපොරොත්තු සියල්ල කඩ කළා. එයින් කියන්නේ නැහැ සිවිල් සේවා පරීක්‍ෂණයට පෙනී සිටියා නම් මා ඒ සේවයට බඳවා ගැනේවි කියා.

කෙසේ නමුත් මා විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයකු වුනා. එහෙත් මට විද්‍යාඥයකු වීමට නොහැකි වුනා. ඒ සඳහා රජයේ ගණිත ශිෂ්‍යත්වය ලැබ මා එංගලන්තයට ගිය නමුත් මට බලාපොරොත්තුව කඩ කර ගැනීමට සිදු වුනා. මා අපහු ආවා. එතරම් වැඩක් නැති ආචාර්ය උපාධියක් නම් ලැබුනා. විශ්වවිිද්‍යාල සේවයෙන් දෙවතාවක්ම අස් කරනු ලැබීමෙන් වාර්තාවක් පිහිටෙව්වා. මා බැරි වෙලාවත් සිවිල් සේවයට බැඳුනා නම් අස් කෙරෙන්නේ ඊට කලින්.

මා මේ කතාව කියන්නේ එකල තිබූ තත්වය ගැන කීමටයි. එකල බොහෝ කථිකාචාර්යවරු සිවිල් සේවයට බැඳීම ප්‍රතික්‍ෂෙප කළා. සරච්චනද්‍ර වැනි අපේ ජ්‍යෙෂ්ඨයන් සිවිල් සේවා පරීක්‍ෂණයේ සම්මුඛ පරික්‍ෂණයට ගොස් ඇත්තේ ගාන්ධි තොප්පියක් පැළඳ ගෙන. ඔහු සිවිල් සේවයට බඳවා නොගැනීම සිංහල නාට්‍යයට සේවයක් වුනා. ඉංගිරිසි මහාචාර්ය ඇෂ්ලි හල්පෙ සිංහල මහාචාර්ය හේමපාල විජේවර්ධන වැනි අය සිවිල් සේවා පරීක්‍ෂණයෙන් පළමුවැනියාට සමත් වීමෙන් පසුවත් සිවිල් සේවය වෙනුවට විශ්වවිද්‍යාල සේවය තෝරා ගත්තා.

ඔවුන් සමහරුන් අධ්‍යනාංශ ප්‍රධානි පීඨාධිපති වැනි තනතුරු දැරුවා. ඒ තමයි ඔවුන් පරිපාලනයට සම්බන්ධ වූ එක ම අවස්ථාව. ඉන් එහාට පරිපාලනයක් කරන්න ඔවුන් ගියේ නැහැ. මා කියන්නේ නැහැ ලංකාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුර අති උසස් ගණයේ ඒවා කියා. අප අතර ඉන්නේ තොරතුරු ගවේෂණය කරන්නන් මිස කතන්දර නිර්මාණය කරන්නන් නො වෙයි. එහෙත් ඒ ආචාර්ය මහාචාර්යවරු ශාස්ත්‍ර ගවේෂණයට විශාල සේවයක් කළා. ඔවුන් දැනගත් තොරතුරු මත පදනම් ව කතන්දර නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා.

පරිපාලනය වැදගත් නොවේ යැයි මෙයින් ගම්‍ය වන්නේ නැහැ. පරිපාලනයක් කළමනාකරණයක් නැතිව රටක් තබා ආයතනයක්වත් පවත්වා ගෙන යන්න බැහැ. ඒ සඳහා දක්‍ෂයන් යෙදෙවිය යුතුයි. මගේ ප්‍රශ්නය ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් දේශපාලනඥයන් පසු පස ගොස් පරිපාලන තනතුරු ලබා ගැනීම ගැනයි. දේශපාලනඥයන් ඔවුන්ට ඒ පරිපාලන තනතුරු භාර ගැනීමට ආරාධනය කර ඇතැයි සිතන්න බැහැ.

පරිපාලනයත් පුහුණුවකින් පසුව කළ යුත්තක්. එකල සිවිල් සේවයට බැඳුණු අය ආධුනිකයන් (කඩෙට්) ලෙස විවිධ පළාත්වල උප දිසාපති තනතුරුවලින් පටන් ගෙන සේවයට පුරුදු වුනා. කිසිවකු සිවිල් සේවා පරීක්‍ෂණය සමත් වූ විගස අමාත්‍යාංශ ලේකම් තනතුරකට පත් කෙරුණේ නැහැ. අමාත්‍යංශ ලේකම්වරුනට එකල කිව්වේ ස්ථිර ලේකම්වරු කියා. ඒ ඇමතිවරුන්හේ ලේකම්ලා ඇමතිවරුන් සමග මාරු වූ නිසා. අද නම් අමාත්‍යංශ ලේකම්වරුනුත් ඇමතිවරුන් සමග වෙනස් වෙනවා.

අවුරුදු පනහක පමණ කාලයක සිට ශ්‍රී ලංකාව වෙනස් වෙලා. මේ අනිත්‍ය නො වෙයි. ස්ථිර ලේකම්ලා අස්ථිර වීම මගින් බොහෝ දේ කියැවෙනවා. විශ්වවිද්‍යාලවලින් පරිපාලනයට යන අයගේ සේවය රටට ද?

 

Advertiesment