(ජයකාන්ත ලියනගේ)
බද්දේගම නගරයේ හෝටලයක් තුළ දී තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකරන ලද අයෙකු ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි සෙනසුරාදා (07) උදෑසන මියගොස් තිබේ.
බද්දේගම, කිරිබතාවෙල නගරයේ පිහිටි හොට් ටූ නැමැති හෝටලය තුළදී දෙපිරිසක් අතර ඇතිවු බහින් බස් වීමක් දුර දිග යෑමෙන් පසු සිකුරාදා (06) රාත්‍රි 11.10 ට පමණ මෙම පහර දීම සිදුව තිබෙන අතර එහිදී බරපතළ තුවාල ලැබූ අය ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවත් සෙනසුරාදා (07) උදෑසන ඔහු මියගොස් තිබෙන බවත් බද්දේගම පොලීසිය කියයි. මෙසේ ඝාතනය කර ඇත්තේ කිරිබතාවෙල, බද්දේගම පදිංචි අලගියපුර කතළුවගේ චින්තක නුවන් නිර්මාණ (30) නැමැති අයයි. ඔහු දෙදරු පියෙකු බවද බද්දේගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ඝාතනයට ලක් වූ අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සෙනසුරාදා (07) අළුයම බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලද අතර ගාල්ල, කරාපිටිය රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදි නියෝග කළේය. වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය හා සාක්ෂි විභාගය පසුව පවත්වන බවද මහේස්ත්‍රාත් මෙහිදී දැනුම් දුන්නේය.
ගාල්ල, කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් වර්ණකුල මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද අතර තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් සිදු වු බාහිර හා අභ්‍යන්තර තුවාල හා අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ. ඝාතනයට ලක් වූ අයගේ ශරීරයේ කැපුම් තුවාල 17 ක් පමණ තිබූ බවද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.
ඝාතනයට ලක් වූ අය 2016.05.21 දින බද්දේගම, මීමැදුම පදිංචි පී එච් දිලානි ගුණවර්ධන (33) නැමැති අයට සහ ඇයගේ දියණිය වන එම් ඒ සෙව්මි මධුෂානි (16) යන අයට පහර දී ගිංගඟට ඔසවා දමා මව මිය යෑමට සලස්වන ලද සිද්ධියේ ප්‍රධාන සැකකරු බවද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ. දියේ ගිලෙමින් සිටි සෙව්මි මධුෂානි (16) නැමැති අය ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබෙන බවද බද්දේගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
සෙව්මි මධුෂානි (16) නැමැති අය සමග සෙනසුරාදා (07) මියගිය අය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙන අතර ඔහු එම කාළයේ ලබා ගත් ඇයගේ ඡායාරූප කීපයක් යහළුවන් අතර බෙදා හැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මව සහ දියණිය ගිංගඟට ඔසවා දමා තිබෙන බව බද්දේගම පොලීසිය විසින් එකල සිදුකරන ලද පරීක්ෂණවලදී තහවුරු වී තිබුණි.
මව සහ දියණිය ගිංගඟට ඔසවා දමා මව ඝාතනය කරන ලද සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනා වන සෙනසුරාදා (07) ඝාතනට ලක් වූ අලගියපුර කතළුවගේ චින්තක නුවන් නිර්මාණ (30) සහ ඔහුගේ සොහොයුරු වන අලගියපුර කතළුවගේ කපිල සත්‍ය නිර්මාණ (31), තුෂාර සම්පත් වික්රදමනායක (35), සුජීව ප්‍රසන්න වික්‍රමනායක (28), සහ මීමැදුමල බද්දේගම පදිංචි හේවාවෙලගමගේ සුජීව ප්‍රියංකර (33) යන පස් දෙනා බද්දේගම හිටපු මහේස්ත්‍රාත් හිරෝෂී කාහිංගල මහත්මිය විසින් මීට පෙර ඇපමත මුදාහැර තිබුණි.
ඊයේ (07) ඝාතනයට ලක් වූ අයට පහර දෙන අවස්ථාවේ මව සහ දියණිය ගිංගගට ඔසවා දමන ලද සිද්ධියේදී මියගිය පී එච් දිලානි ගුණවර්ධන (33) නැමැති අයගේ ස්වාමිපුරුෂයා වන චමින්ද නැමැති අයගේ සහෝදරයෙකු වන රුවන් කුමාර නැමැති අයෙකු සහ ඔහුගේ යහළුවන් පිරිසක් සිට ඇති බවත් ඒ නිසාම මෙම ඝාතනය ගිංගගට ඔසවා දමන ලද සිද්ධියට සම්බන්ධයක් ඇතැයි විශ්වාස කල හැකි බවත් බද්දේගම පොලීසිය කියයි. සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවද බද්දේගම පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. බද්දේගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ප්රියදර්ශණ, පොලිස් කොස්තාපල් චතුර (78844) යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Lanka Newsweek © 2024