Wednesday 12th of August 2020

English Tamil
Advertiesment


මාධ්‍යවේදී තුසිත කුමාර සම්බන්ධ සිද්ධියේ පරීක්ෂණ ඉබි ගමනේ


2019-12-09 8989

(ජයකාන්ත ලියනගේ)

අළුත්ගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතාට පහර දී තුවාල සිදුකරන ලද සිද්ධියට අදාල කිසිවෙක් අද (08) දහවල් වන තුරුත් අළුත්ගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන නැත. සිකුරාදා (06) සවස සිදු වූ මෙම පහර දීමෙන් තුවාල ලැබූ ඒ මහතා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඔහු මේ වන විටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලීසිය තුසිත කුමාර ද සිල්වාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබෙන අතර මෙතෙක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නොමැති බවද පොලීසිය කියයි. අළුත්ගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයසේකර මහතාගෙන් අද (08) දහවල් මේ සම්බන්ධයෙන් විමසූ විට සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය. සැකකරුවන් අළුත්ගම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබෙන බවත් ඔවුන් හැකි ඉක්මනින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

සිකුරාදා (06) සවස මැර පිරිස විසින් මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාට පහර දී තිබේ. කිසියම් පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා සිය බිරිය සමග යතුරු පැදියෙන් ගොස් ආපසු නිවසට පැමිණි අවස්ථාවේදී මැර පිරිස විසින් මෙම පහර දීම සිදුකර තිබෙන බව ඔහු විසින් පොලීසියට ප්‍රකාශ කර ඇත.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් වටලන ලද අළුත්ගම කෘතිම රා නිශ්පාදනාගාරය සම්බන්ධයෙන් පලකල ප්‍රවෘත්තිය පිළිබදව විමසමින් මෙම පහර දීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. මැර පිරිස විසින් තුසිත කුමාර ද සිල්වා මහතාට පළමුව බැණ තර්ජනය කර පසුව පහර දීම සිදුකර තිබෙන බවද අළුත්ගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බවද අළුත්ගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අළුත්ගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයසේකර ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Advertiesment