Saturday 15th of August 2020

English Tamil
Advertiesment


මැතිසබේට නැවුම් මුහුණුවරක්


2019-12-06 2394

අප ගෙවමින් සිටින්නේ ජනාධිපතිවරණයෙන් පසුව එන තුන්වැනි සතිය වන අතර නව ජනාධිපතිතුමා ස්වකීය වගකීම් වෙනුවෙන් මූලික සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලි වෙමින් පවතී. බැලූ බැල්මටම පෙනීයන තවත් කාරණයක්වන්නේ නව ජනාධිපතිතුමන්ගේ වැඩ කලාව පිළිබඳව ජනතාව තුළ තිබෙන්නේ ජනාධිපතිවරණය දවස්වලටත් වඩා වැඩි පිළිගැනීමක් බවයි.

මේ පිළිගැනීමට එක පැත්තකින් හේතුවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසුව තමාගේ පැවැත්මේ පෙන්නුම් කරන සරල බව වන අතර අනෙක් පැත්තෙන් එතුමා රාජ්‍ය පාලනයේදී පෙන්නුම් කරන වෙනස් ආකෘතියට ද රටේ ජනතාවගේ විශාල කැමැත්තක් ඇති බවත් පිළිගැනීම නිවැරැදිය. ජනාධිපති තනතුර යම් ආකාරයක වෘත්තීයමය භාවයක් එක්කරමින් සිදුකළ යුතු රාජකාරියක් බව වත්මන් ජනාධිපතිතුමන්ගේ පිළිගැනීම බව එතුමන්ගේ කතාවලින්ද පෙන්නුම් කරන බව මෙහිදී පැවසිය යුතුය. මේ දේවල්වලින් පෙන්නුම් කරන්නේ අපේ රටේ දේශපාලනය මෙතෙක් තිබුණ තැනින් අලුත් තත්ත්වයක් කරා වෙනස් වන්නට පටන්ගෙන ඇති බවය.

මේ රටේ දේශපාලනයේ වෙනස්වීමක් සඳහා ජනාධිපති තනතුරට පත්වන පුද්ගලයාගේ වෙනස්වීම පමණක් සෑහෙන්නේ නැති බව අප හැමෝටම තේරෙන කාරණයක්ය. ජනාධිපතිධුරයට රට ගැන සිතන නායකයකු පත්වී ඇති බව තහවුරු වී ඇති මේ අවස්ථාවේදී අප විශේෂයෙන්ම සිතිය යුත්තේ ඒ නායකත්වය සමඟ රටේ සංවර්ධනය හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි කණ්ඩායමක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි.

තවත් පැත්තකින් බලද්දී රටේ දේශපාලනයේ විශාලතම වපසරියක් ජනාධිපතිධුරය මගින් නියෝජනය වන බව සැබෑවක් වුවත් ඒ වපසරියේ තිබෙන්නේ විධායකත්වයේ බලය මිස ව්‍යවස්ථාදායකත්වයේ බලයක් නොවන හෙයින් අලුතින් ප්‍රතිපත්ති හා නීති නිර්මාණය කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාදායකත්වයේ සහායක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කාරණයක් බව මෙහිදී විශේෂයෙන්ම සැලකිය යුතුය. ඒ අර්ථයෙන් ගත් කල ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්තිය වූ නව ආකෘතියකින් ප්‍රශ්න දෙස බැලීම සහ අලුත් ක්‍රමවේදයකට අනුව වැඩ කිරීම ඉතාමත් වැදගත් කාරණයක් වුවත් ඒවා හරහා රටට දැනෙන සුළු වෙනසක් සිදුවීමට නම් පාර්ලිමේන්තුවද ඒ ආකාරයෙන්ම වෙනස් වියයුතු බව මගේ තේරුම් ගැනීමය.

පාර්ලිමේන්තුව වෙනස් වෙනවා යැයි කියන්නේ ඒ තුළට පත්වන මන්ත්‍රීවරුන්ගේ සිතීමේ සහ වැඩ කලාවේ වෙනසක් සිදුවිය යුතු බවයි. ඒ අයත් අලුත් විය යුතු බවයි. මේ සතියේ සටහනින් මා ලියන්නට යන්නේ අලුත් පාර්ලිමේන්තුවක් ගොඩනඟා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව සහ ඒ සඳහා රට හමුවේ තිබෙන ගැටලු කවරේද යන කාරණයයි. මෙයින් මා අදහස් කරන්නේ අලුතින් පාර්ලිමේන්තුවක් භෞතිකව ගොඩනැඟීමක් ගැන නොව මේ පාර්ලිමේන්තුවට අලුත් කණඩායම් පත්කර ගන්නේ කෙසේද කියන කාරණය ගැනයි.

මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනය සම්බන්ධයෙන් ගත්විට හුඟක් අය කියන්නේ 1978 සමානුපාතික ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කළාට පසුව මන්ත්‍රීවරයාගේ තත්ත්වය බරපතළ ආකාරයෙන් දූෂණයට පත්වූ බවය. සමානුපාත මැතිවරණ ක්‍රමයක යම් වටිනාකමක් හා අදාළත්වයක් තිබුණත් ඒ මැතිවරණ ක්‍රමය වෙනුවෙන් වැය කරන්නට සිදුවෙන බරපතළ වියදම හේතුවෙන් සමානුපාතික ක්‍රමයම අර්බුදයටගොස් ඇති බව තවත් සමහරුන්ගේ අදහසයි.

විශාල දිස්ත්‍රික්කයක් ආවරණය කරගත් ප්‍රචාරක ව්‍යාපෘතියක් ගොඩනැගිය යුතු නිසා මේ ඡන්ද ක්‍රමය හේතුවෙන් සිදුවන බරපතළ වියදම පියවා ගැනීමට ව්‍යාපාරිකයන්ගේ සහාය අත්‍යවශ්‍ය වන තත්ත්වයක් මන්ත්‍රීවරයාට මුහුණ දෙන්නට සිදුවන බව මෙහි ඇති නොපෙනෙන සත්‍යයයි. තවත් සමහරුන් කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමය එහි පැවති සාම්ප්‍රදායික තේරුම් ගැනීම වූ ‘බුද්ධිමය සාකච්ජා සභාවක්’ වෙතින් ඉවත්වී ‘ඩීල්කරුවන් විශාල ගණනක්ද සිටින’ ස්ථානයක් බවට ප්‍රතිවර්තනය වී ඇත්තේ 1978 සිට පැවත එන මෙම නව තත්ත්වය නිසා යැයි සිතීමේ වැරුද්දක් නැත.

මේ තත්ත්වය නිසාම මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් අය පිළිබඳව රටේ ජනතාවට තියෙන්නේ යම් ආකාරයක ප්‍රශ්නාර්ථයක් බව ඉතාමත් පැහැදිලිය. ඊටත් අමතරව මේ අය අතරින් සමහරුන් පිළිබඳව සමාජයට ඇත්තේ පිළිකුලක් යැයි පැවසීමේද වැරැද්දක් නැත. 225 දෙනාම එපා යැයි සමාජයේ පිළිගැනීමක් ගොඩනැඟී ඇත්තේ මේ කියන පිළිකුල් සහගත සුළුතරයක්ද පාර්ලිමේන්තුවේ සිටින නිසාය.

මෙවර ජනාධිපතිවරණයේ දේශපාලන වේදිකාව තුළ ද මතුවූ විශේෂ කාරණයක් වූයේ රට සංවර්ධනය කිරීමට නම් මේ රටේ ජනාධිපතිවරයා වෙනස්වීම පමණක් සෑහෙන්නේ නැති බවයි. ඒ සඳහා හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට හා ආයතන පද්ධතියට එක්විය යුතු බවයි. ජනාධිපතිවරයා අලුත් වූවාට පාර්ලිමේන්තුව අලුත් වටයකින් වෙනස් වුණේ නැත්නම් ජනාධිපතිවරයාට තමන් යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණ සිදු කිරීමට හැකියාවක් නැතැයි මේ හුඟක් අය සිතන බව ප්‍රසිද්ධ කාරණයක්ය.

පසුගිය දිනක සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වෙබ් බැනරයකින් කියවුණේ ‘මෙවර කැබිනෙට්ටුව හැදුවේ තිබුණු ලී වලින් බවත් හොඳ කැබිනට්ටුවක් අවශ්‍ය නම් තේක්ක බුරුත වැනි හොඳ ලී ටිකක් එවිය යුතු’ බවත්ය. මේ වෙබ් බැනරයෙන් සදය උපහාසාත්මකව කියන්නේ මේ තියෙන පාර්ලිමේන්තුවට වඩා ශක්තිමත් බුද්ධිමත් හා විධිමත් ආකාරයකින් යුත් පාර්ලිමේන්තුවක් සැදිය යුතු බවයි.

දැන් රට ඉදිරියේ ඇති අභියෝගය වන්නේ මේ කාරණයයි. ‘ඔය කියන ආකාරයේ හොඳ මන්ත්‍රීවරුන් සිටින පාර්ලිමේන්තුවක් මීළඟ මැතිවරණයේදී සෑදි ය හැකිද? යන කාරණය බොහෝ අයගේ සිතේ තිබෙන ප්‍රශ්නාර්ථයයි. මේ පිළිබඳව මා සිටින්නේ යම් ආකාරයක සුබවාදී ආකල්පයකය. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන එක් වැදගත් නිරීක්ෂණයක් වන්නේ පළමු වතාවට අපේ රටේ ඡන්දදායකයන් අතරින් භාගයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රධාන පක්ෂයක අනුගාමිකයන් නොවී ඡන්දය පාවිච්චි කරන තැනකට පැමිණ ඇති බවයි. සංඛ්‍යාත්මකව කියන්නේ නම් මේ රටේ ඡන්දය පාවිච්චි කළ මිලියන 13 අධික ඡන්දදායකයන් අතරින් ප්‍රධාන පක්ෂ දෙකේ අභ්‍යන්තර ඡන්දදායක ප්‍රවණතාව ලෙසින් පෙනී යන්නේ මිලියන 7.5 පමණ ප්‍රමාණයක් බවයි.

මේ ගණන් බැලීම මා සිදු කරන්නේ පළාත් පාලන මැතිවරණයේ එජාපයට හා පොදුජන පක්ෂයට ඡන්දය ලබා දුන් ආකෘතිය ද සිහියට නඟා ගනිමිනි. මේ අනුව රටේ ඡන්දදායකයන් අතරින් මිලියන 5.5 වැනි විශාල ඡන්දදායක ප්‍රවණතාවක් ප්‍රධාන පක්ෂයක නොසිටිමින් එහෙත් ප්‍රධාන පක්ෂයකට ඡන්දය පාවිච්චි කරන බව පෙනී යන කාරණයකි. මේ ප්‍රවණතාව මහ මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කළ හැක්කේ හුදු ‘අහවල් මන්ත්‍රීවරයාගේ අහවල් අනුගාමිකයා’ යන මානසිකත්වයෙන් තොරව පොදු ප්‍රමිතියකින් රටේ අනාගතයට ගැළපෙන මැදිහත්වීමක් සිදුකළ හැකි පුද්ගලයා කවරෙක්දැයි සිතමින් බව මගේ අදහසයි.

මේ තත්ත්වයටම සම්බන්ධ තවත් වැදගත් කාරණයක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ වනවිට පෙන්නුම් කර ඇති මැතිවරණ දේශපාලනයේ අලුත් ආකෘතියයි. මැතිවරණ දේශපාලනයේ යොදා ගැනීමට සිදුවෙන අලුත් පරාමිතීන් පද්ධතියක් මෙවර ජනාධිපතිවරණයේ ගෝඨාභය ජනාධිපතිතුමන්ගේ වැඩ සටහන මගින් සමාජ ගතවී ඇති බව මෙහි තේරුමයි. මේ තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් ඉදිරි මහ මැතිවරණයේදී මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ සාධකයක් ලෙසින් මතුවිය හැක්කේ ‘වැඩියෙන්ම පෝස්ටර් හා කටවුට් ගසන කාණ්ඩයේ දේශපාලකයන් නොව’ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ වැදගත්කම හා බරපතළකම තේරුම් ගත් දේශපාලකයන් බව මගේ නිරීක්ෂණයි. ඒ කියන්නේ පාර්ලිමේන්තු දේශපාලනයේදී වැදගත්කම හා බුද්ධිමත්කම යනු මන්ත්‍රීවරයෙකු තේරීමේ එක් ප්‍රධානතම නිර්ණායකයක් බවට පත්වීමේ සුබ පෙර නිමිති මේ වන විටත් පහළවී ඇති බවයි.

මේ තත්ත්වයත් සමගින් තේරුම් ගතයුතු කාරණයක් වන්නේ මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනයේ සිටින සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම්වල තිබෙන එක පසුගාමී මානසිකත්වයක් මේ වනවිට බරපතළ ආකාරයෙන් ප්‍රතික්ෂේප වෙමින් තිබෙන බවයි. මේ පසුගාමී මන්ත්‍රී මානසිකත්වය වන්නේ ‘මන්ත්‍රීකම අයිති මට එය වෙනත් අයකුට දෙන්නට ජනතාවටවත් ඉඩ නොදෙමි’ යන මානසිකත්වයයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අනුව මන්ත්‍රී ධුරයක් යනු එක් පුද්ගලයෙකු සතු අයිතියක් නොව ජනතාව සතු අයිතියක් වන අතර එය දැරිය හැක්කේ ජනතාවගේ නියෝජිතයා වශයෙන් පත්වීමේ ඉඩක් තිබේ නම් පමණක් බවයි. එසේම ඒ අදහසින් ගම්‍යවන දෙවැනි කාරණය වන්නේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වීමට තමන්ට ඇති අයිතිය ඒ ජනතාවගේ අනෙකුත් ඕනෑම අයකුටත් තිබෙන බවයි. මේ අයිතියට ගරු නොකරන්නා මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් මූලික වැටහීමක්වත් නොමැති අයකු බවට පත්වෙන බව මේ මගින් තේරුම් ගත යුතු කාරණයයි.

මෙවර සමාජයේ පෙන්නුම් කරන එක් වැදගත් සංවර්ධනාත්මක තත්ත්වයක් වන්නේ ‘මන්ත්‍රීධුරය යනු ජනතාවගේ නියෝජන ධුරයක් මිස මන්ත්‍රීවරුන් සතු පෞද්ගලික බලයක් නොවන බව රටේ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දැන ගෙන සිටීමයි. ‘225ම ගෙදර යවනවා’ යැයි අතිශයෝක්තියෙන් සමහරුන් කියන්නේ මේ 225 ගෙදර යැවීමේ බලය ජනතාවට ඇතැයි ඒ අය දන්නා බව දැනුම්දීම යැයි සිතීමේ වැරැද්දක් නැති බව මගේ තේරුම් ගැනීමයි.

මේ තත්ත්වය මගින් පෙන්නුම් කරන්නේ රටේ දේශපාලනයේ බරපතළ අභ්‍යන්තරික විප්ලවයක් මේ ජනාධිපතිවරණයත් සමගින් සිදුවෙමින් පවතින බවයි.

නාගරික ඡන්දදායකයන්ගෙන් බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද පාවිච්චි කළේ එජාපයේ බලකොටු යැයි කියූ ප්‍රදේශ සෝදාපාළුවට ලක් කරමින් වන අතර එය නිශ්ශබ්ද සුනාමියක් (Silence tsunami) යැයි කීමේ වැරැද්දක් නැති ගානය. මීළඟ මහ මැතිවරණය කියන්නේ මේ නිශ්ශබ්ද සුනාමියේ දෙවන පියවර යැයි සිතෙන තරමේ සාකච්ජාවක් සමාජ මාධ්‍ය අවකාශයේ මේ වන විටත් මෝදු වෙමින් තිබෙන බව මගේ නිරීක්ෂණය වන අතර මේ සාකච්ජාවට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කොපමණ ප්‍රමාණයකට සංවේදී වන්නේද යන කාරණය මගින් ඒ දේශපාලන ධාරා පරීක්ෂාවට පත් කරනු ලැබිය හැකි බව ද පෙන්නුම් කරන බව පැවසීම නිවැරැදිය.

 

ආචාර්ය චරිත හේරත්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ-ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

 

Advertiesment