Saturday 15th of August 2020

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාවේ උභතෝකෝටිකයන්


2019-12-06 2379

(වික්ටර් අයිවන්)

ගෝඨාභය රාජපක්ෂගේ ඉතිහාසය හෝ ඔහු හිතන පතන විදිය කුමක් වුවද ඔහුට පක්ෂව ඡන්දය දුන් ජනතාවට සේ ම ඔහුට විරුද්ධව ඡන්දය දුන් ජනතාවටද ඔහුගේ පාලන කාලය තුළ ඔහු තම රටේ ජනාධිපති ලෙස සලකා ක‍්‍රියා කරන්නට සිදුවේ. ජනාධිපතිවරයාටද තමන්ට ඡන්දය දුන් ජනතාව පමණක් නොව ඡන්දය නොදුන් ජනතාවද තමන්ගේ ජනතාවක් ලෙස සලකා ක‍්‍රියාකරන්නට සිදුවේ. ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයේ කාරක බලවේගය ලෙස ක‍්‍රියා කළේ සිංහල බෞද්ධ ජනයාය. සිංහල බෞද්ධයන්ගෙන් 25%ක් පමණද, දෙමළ හා මුස්ලිම් ජනයා මුළුමනින් වගේද ඡන්දය දී තිබුණේ ඔහුට එරෙහිවය. එහෙත් ඔහුට පක්ෂව ඡන්දය දුන් සිංහල බෞද්ධ ජනතාවගේ පමණක් නොව, විරුද්ධව ඡන්දය දුන් දෙමළ මුස්ලිම් ජනයාගේද ජනාධිපති වේ.

නව ජනාධිපතිවරයා ලැබූ ජයග‍්‍රහණයේ තරම විශාල වුවද දෙමළ හා මුස්ලිම් ජනයාගේ සහාය ලබාගැනීමට අසමත්වීම ඔහුගේ ජයග‍්‍රහණයට ආවේණික සීමාසහිතකමක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාව වැනි වාර්ගික හා ආගමික භේද ඇති රටකට අවශ්‍ය වනුයේ වර්ග හා ආගම් භේදයකින් තොරව සියලූදෙනාගේම පිළිගැනීමට හේතුවන නායකයන්ය. ලංකාව අද දක්වා බිහිකිරීමට අසමත් වී තිබෙන්නේද එවැනි නායකයන්ය. තේරී පත්වූයේ තනි සිංහල බෞද්ධ ඡන්දයෙන් වුවද ජනාධිපතිවරයාට සාර්ථක ප‍්‍රායෝගික නායකයෙකු වීමට හැක්කේ සිංහල බෞද්ධයන්ට අතිරේකව දෙමළ හා මුස්ලිම් ජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන නායකයකු බවට පත්වීමෙනි. ජාතික සමගිය ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. ජාතික සමගිය ඇති කිරීමේ අවංක වුවමනාවක් ඇති නම් එසේ කිරීමේ වැඩි හැකියාවක් ඇත්තේද සිංහල බෞද්ධයන් අතර මනා පිළිගැනීමක් ඇති නායකයකුට මිස ඔවුන් අතර හොඳ පිළිගැනීමක් නැති නායකයකුට නොවේ. මෙම ධර්මතාව මා ඉගෙන ගත්තේ අන් කිසිවෙකුගෙන් නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී දෙමළ සන්ධානයේ නායකයා (සම්පන්දන් මහතා) ගෙනි.

ජනාධිපති කල්පනා කරන විදිය

දිවුරුම් දෙන ස්ථානය වශයෙන් රුවන්වැලිසෑය තෝරා ගැනීමෙන් සුළු ජාතීන්ට සංකේතාත්මක අර්ථයෙන් දෙන ලද සංඥාව යහපත් නොවුවත් උතුරේ විරු සැමරුමට ඉඩ හරින ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් උතුරට දෙන ලද සංඥාව ඉතා යහපත් බව කිව යුතුය. උතුරේ දෙමළ ප‍්‍රභාකරන් පමණක් නොව දකුණේ සිංහල විජේවීරද සැලකිය හැක්කේ ත‍්‍රස්තවාදී නායකයන් දෙදෙනකු ලෙසය. විජේවීර හා ජේවීපී කැරලි වෙනුවෙන් මියගියවුන් සමරන්නට දකුණට තහනමක් නැතිනම් ප‍්‍රභාකරන් හෝ ඔහුගේ කැරැල්ලේදී මියගියවුන් සමරන්නට උතුරටද තහනමක් නොතිබිය යුතුය. දකුණේ සිංහලයා හා උතුරේ දෙමළ කැරලිකරුවන් තෝරා ගත් ප‍්‍රචණ්ඩ මාවත අනුමත කළ නොහැකි වුවත් ඔවුන්ගේ එම ප‍්‍රචණ්ඩ කැරලි පරාජය කිරීමෙන් පසු ඔවුන් සැලකිය යුත්තේ නොමග ගිය අපේ රටේම දරුවන් පිරිසක් ලෙසය. විජේවීර හා ප‍්‍රභාකරන් සමරන්නේ දේශපාලන හේතු මත වුවත් එම කැරලිවලදී මියගියවුන් ඔවුන්ගේ දෙමාපියන් හා සහෝදරයන් සමරන්නේ දේශපාලන හේතු මත නොව මියගියවුන් තමන්ට අහිමි වූ තම දරුවන් හෝ ආදරණීයයන් ලෙස සලකාය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2005 සිට 2015 දක්වා දශකයක් තරම් කාලයක් රට පාලනය කළ රාජපක්ෂ පවුලේම සහෝදරයකු වෙතත් නව ජනාධිපතිවරයා එම උරුමයෙන් ඈත් වෙන්නට දරන උත්සාහයක්ද ඔහුගේ ක‍්‍රියාකාරකම් තුළ දක්නට තිබෙන්නේය. රාජපක්ෂ පවුලේ වැදගත්ම සංකේතය ලෙස සැලකිය හැකි කුරහන් සාටකය ඔහු පැළඳ ගත්තේ නැත. ඔහු තමන්ට හුරු පුරුදු අත් කොට කමිසය හා දිග කලිසම තමන්ගේ නිල ඇඳුම බවට පත් කරගෙන තිබෙන අතර ඉන්දියානු සංචාරයේදීද ඔහු ඒ ඇඳුම වෙනස් කළේ නැත. ජනාධිපතිවරයාට හිමි නිල නිවසෙන් බැහැරව ඉඳීමේ පිළිවෙත සේ ම පාවිච්චි කරන ආරක්ෂක වාහන සංඛ්‍යාව දෙකකට සීමා කිරීම, ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක සංඛ්‍යාව අඩු කිරීම, තමන්ගේ ඡායාරූපය රජයේ කාර්යාලවල ප‍්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටීම, රජයේ ව්‍යවස්ථාපිත ආයතන හා රජයේ වාණිජ ව්‍යාපාර සඳහා දේශපාලන හෙංචයියන් පත්කරන ක‍්‍රමයක් වෙනුවට සුදුස්සන් පත් කරන ක‍්‍රමයක් ඇති කිරීම වැනි දේවල් සංකේතාත්මක අර්ථයෙන් අගය කළ යුතු දේවල් ලෙස සැලකිය හැකිය.

පාර්ලිමේන්තුවේ පරිහානිය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම හේතුවක් වී තිබෙන්නේ නීතියට පටහැනිව මන්ත‍්‍රීවරු රජය සමග ව්‍යාපාර කරන පිළිවෙතක් අනුගමනය කිරීමය. එයද අවශ්‍යයෙන්ම වැළකිය යුතුව තිබෙන දෙයකි. එසේම රජයෙන් ලැබෙන නිල කාර්ය මණ්ඩල ක‍්‍රමයට අතිරේකව ඇමතිවරුන්ට පුද්ගලික කාර්ය මණ්ඩල ක‍්‍රමයක් පවත්වාගෙන යෑමට ලබාදී තිබෙන අයිතියද නැති කළ යුතුය. වෙන මොනම රටකවත් දක්නට නැති ඇමතිවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට රැකියා හා වරප‍්‍රසාද ලබාදීම සඳහා පවත්වාගෙන යන මෙම අවලස්සන හා දූෂිත ක‍්‍රමය වෙනුවෙන් රටට දරන්නට සිදුවී තිබෙන වියදම අතිවිශාලය. ඒ සමග වත්කම් බැරකම් නීතියද විධිමත් කළ හැකිය. චේතනාන්විතව කරුණු වසන් කිරීමේ අරමුණින් වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීමෙන් වැළකී සිටින පුද්ගලයකුට ලබාදිය හැකි දඬුවම රුපියල් මිලියනයක දඩයක් සමග එක් අවුරුදු සිරදඬුවමක් බවට පත් කළ හැකිය. වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා පෝරමයද යාවත්කාලීන කොට එය විද්‍යුත් පිටපතක් ලෙස භාරදීම අනිවාර්ය කළ හැකිය. එවිට අතිරේක වියදමක් නැතිව මහජනයාගේ දැනගැනීම සඳහා වත්කම් බැරකම් ප‍්‍රකාශන සඳහාම පවත්වාගෙන යන වෙබ් අඩවියකට සියලූ වත්කම් බැරකම් ප‍්‍රකාශ යොමු කළ හැකිය.

දඩාවතේ යන බල්ලන්

විහාරමහා දේවි උද්‍යානයේ සිටි බල්ලන් අතුරුදන්වී ඇති බව කියන පෝස්ටුවක් හා දඩාවතේ යන බල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අදහස් පළකිරීම් ගණනාවක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙනු දක්නට ලැබුණි. දඩාවතේ යන බල්ලන් පිළිබඳ ප‍්‍රශ්නයද ශ්‍රී ලංකාව විසඳා ගත යුතුව තිබෙන ප‍්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ සුනඛ ගහණය ලක්ෂ 25ක් ලෙස සැලකෙන අතර ඉන් හිමිකරුවන් නැති දඩාවතේ යන බල්ලන්ගේ සංඛ්‍යාව සියයට 30කට පමණ වන බවට ගණන් බලා තිබේ. එවිට දඩාවතේ යන සුනඛයන්ගේ සංඛ්‍යාව 750,000ක් ලෙස සලකන්නෙට සිදුවේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දොස්තර වෛද්‍ය තිලක් සිරිවර්ධන විසින් 2017 වසර සඳහා ඉදිරිපත් කර තිබෙන හදිසි අනතුරු පිළිබඳ ඇස්තමේන්තුවලට අනුව එම වසරේ සිදුවී තිබෙන සියලූ අනතුරුවලින් වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවී තිබෙන්නේ සතුන් සපාකෑමෙනි. එය සිදුවී තිබුණු මුළු අනතුරු සංඛ්‍යාවෙන් සියයට 33.1ක් වන අතර මාර්ග අනතුරුවලින් අනතුරු සිදුවී තිබෙන්නේ ඊට අඩු ප‍්‍රතිශතයක් වන සියයට 15.9ක් පමණය. සුනඛයන් සපාකෑම නිසා වසරකට ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 300,000ක් වන අතර කොළඹ මහ රෝහලින් පමණක් බල්ලන් සපා කෑම නිසා රජයේ රෝහල්වලින් වසරකට ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 30,000කි. ශ්‍රී ලංකාව ජල භීතිකා රෝගයට ප‍්‍රතිකාර කිරීම සඳහා වසරකට වැය කරන වියදම රුපියල් මිලියන 592කි.

බල්ලා දඩයම් යුගයේ සිටම මනුෂ්‍ය වර්ගයාට ඉතා සමීප සත්ත්වයෙකු වන අතර සමාජයක සිටිය යුත්තේ හිමිකරුවන් ඇති බල්ලන් පමණය. දඩාවතේ යන බල්ලන් කරන විනාශය අතිවිශාලය. දඩාවතේ යන බල්ලන්ගේ සපාකෑම් නිසා ඒ වෙනුවෙන් විශාල වියදමක් දරන්නට සිදුවී තිබෙන අතර මහා මාර්ගවල සිදුවන වාහන අනතුරු කෙරෙහිද දඩාවතේ යන බල්ලන් වැදගත් ප‍්‍රභවයක් ලෙස ක‍්‍රියා කරයි. වසරකට දඩාවතේ යන බල්ලන් නිසා සිදුවන රිය අනතුරු සංඛ්‍යාව 26000ක් බවට ගණන් බලා තිබේ.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව අයිතිකාරයන් නැති දඩාවතේ යන සුනඛයන් සැලකිය යුත්තේ විනාශ කළ යුතු සත්ත්ව විශේෂයක් ලෙසය. නීතිය අනුව ඔවුන් විනාශ කිරීමේ බලය පළාත් පාලන ආයතනවලට පමණක් නොව මහජනයාටද තිබෙන්නේය. ලංකාවේ දඩාවතේ යන බල්ලන් අල්ලාගෙන ගොස් මරා දමන ක‍්‍රමයක් ශ්‍රී ලංකාවේ තිබුණි. ඒ ක‍්‍රමය නැති කරන ලද්දේ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු කාලයේදීය. දඩාවතේ යන බල්ලන්ගේ ගහණයේ වේගවත් වර්ධනයක් ඇතිවී තිබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. නව ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසුව හෝ ඒ වරද නිවැරදි කරයි නම් එය සැලකිය යුත්තේ නරක දෙයක් ලෙස නොව හොඳ දෙයක් ලෙසය.

කෘෂිකර්මය හා වන සතුන්

මගේ මතය වනුයේ දඩාවතේ යන බල්ලන් පමණක් නොව, කෘෂිකර්මයට හානි කරන වඳුරන්, රිලවුන්, දඬු ලේනුන්, ඌරන්, ඉත්තෑවන් හා මොනරුන් සම්බන්ධයෙන්ද එවැනි දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. රජයේ ඇස්තමේන්තුව අනුව ග‍්‍රාමීය කෘෂිකර්මයේ භෝග වගාවන්ට වන සතුන් කරන හානියේ ප‍්‍රමාණය සමස්ත නිෂ්පාදනයෙන් සියයට 30කටත් වඩා වැඩිය. එහි වටිනාකම දළ වශයෙන් රුපියල් බිලියන 350ක් හෙවත් රුපියල් මිලියන 350,000කට සමානය. වන සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන හානිය ගොවීන් බෝග වගාවන්ගෙන් උපයන ආදායම විශාල ප‍්‍රමාණයකට හීන කිරීමට හේතුවී තිබෙන අතර වගා කිරීමට තිබෙන උනන්දුවද හීන කරන සාධකයක් ලෙස ක‍්‍රියා කරයි. වන සතුන්ගෙන් කෘෂිකර්මයට සිදුවන අතිවිශාල හානිය අවම කරන ප‍්‍රතිපත්තියක් ග‍්‍රාමීය ජනයා කෘෂි බෝග වගාවන්ගෙන් උපයන ආදායම් විශාල ප‍්‍රමාණයකින් වර්ධනය කිරීමට හේතුවනු ඇති අතර, බෝග වගාවන් පවත්වාගෙන යෑම කෙරෙහි ඇතිවී තිබෙන උදාසීනතාවද නැති කොට ඒ ගැන නව උනන්දුවක් හා බලාපොරොත්තුවක් ඇති කිරීමට හේතුවනු ඇත.

හැම රටකම පාහේ කෘෂිකර්මයට වන සතුන්ගෙන් එල්ල වන හානිය වළකන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වේ. සන්නද්ධ කැරලි කරළියට එන්නට පෙර වගාවන්ට හානි කරන වන සතුන් දඩයම් කර ගැනීමේ අයිතිය ගොවීන්ට ලබාදී තිබුණු අතර ඒ නිසා කෘෂිකර්මයට හානි කරන වන සතුන්ගේ ගහණයේ පාලනයක්ද සිදුවිය. සන්නද්ධ කැරලි කරළියට ඒමෙන් පසු ගොවීන් ළඟ තිබූ තුවක්කු රජයට පවරා ගන්නා ලද අතර සන්නද්ධ කැරලි අවසන්වීමෙන් පසුත් ගොවීන්ගෙන් පවරා ගනු ලැබූ තුවක්කු ඔවුන්ට ආපසු ලබා නොදීම නිසා කෘෂිකර්මයට හානි කරන වන සතුන්ගේ ගහණයේ වේගවත් වර්ධනයක් ඇතිවිය. මොන මොන හේතු නිසා නරින් දර්ශනයෙන් ඉවත්වීමද මොනරු හා වල් ඌරු ගහණය වර්ධනය කෙරෙහි බලපා තිබෙන අතිරේක සාධකයක් ලෙස සැලකිය හැකිය.

ගෙවතු වගා විෂයේදී පාලනය කළ නොහැකි ඉතාමත් විනාශකාරී සතුන් බවට පත්ව සිටින්නේ රිලවුන් හා වඳුරන්ය. ඔවුන් ගෙවතු පොල් වගාවන්ට හා පලතුරු වගාවන්ට කරන හානිය දැවැන්තය. වඳුරු හා රිලා ගහණයෙන් සියයට 80ක් තරම් ප‍්‍රමාණයකින් අඩු කළ හැකි නම් එය ගෙවතු වගාවේ දැවැන්ත ප‍්‍රබෝධයක් ඇති කිරීමට හේතුවනු ඇති අතර ගෙවුතු වගාවෙන් උපයන ආදායම් දෙගුණයකින් පමණ වැඩි කිරීමට හේතුවනු ඇත. වල් ඌරන්, මොනරුන් හා ඉත්තෑවන් වැනි සතුන් දඩයම් කිරීමේ, එසේ දඩයම් කරන සතුන්ගේ මස් ළඟ තබා ගැනීමේ ප‍්‍රවාහනය කිරීමේ හා විකිණීමේ අයිතිය ගොවීන්ට ලබාදීමෙන් එම සතුන්ගේ ගහණයේ ඇතිවී තිබෙන විශාල වර්ධනය පාලනය කළ හැකිය. වනාන්තරවලින් පිටස්තරව ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිටින කෘෂිකර්මයට හානි කරන සතුන් දඩයම් කිරීමට ඉඩදෙන පිළිවෙතක් දඩයමට යොමුවන්නන්ට සරු ආදායම් උපයා දෙන ජීවන මාර්ගයක් බවට පත්කිරීමටද හේතුවනු ඇත.

කිරි හා මස්

ශ්‍රී ලංකාවේ කිරිපිටි ආනයනය සඳහා වසරකට වැය කරන මිල ඩොලර් මිලියන 400කට සමානය. ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය කිරි ශ්‍රී ලංකාවේම නිපදවා ගත හැකිය. ඒ මගින් කිරි පිටි ආනයනය සඳහා කරන වියදම කපා හැරිය හැකිය.ශ්‍රී ලංකාවට ඒ සඳහා තිබෙන බාධාව තණ පිට්ටනි නැතිකම නොව සංස්කෘතික හා ආගමික ආකල්පයන්ය. කිරි සඳහා පමණක් ගව පට්ටි පාලනයක් පවත්වාගෙන යා නොහැකිය. ගව පට්ටි පාලනය ආර්ථික වශයෙන් ලාභදායී වනුයේ කිරිවලට අතිරේකව මස් පිණිසද හරක් හදන්නේ නම් පමණය. එහෙත් ශ්‍රී ලංකාව කල්පනා කරන්නේ මස් පිණිස හරකුන් මැරීම මහා පාප කර්මයක් ලෙසය.

ශ්‍රී ලංකාවේ මෙන් නොව බෞද්ධ රටවලද ඒක පුද්ගල මස් පරිභෝජනය ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමක පවතී. ටිබෙට් හා මොන්ගෝලියාව යන රටවල් බෞද්ධයන් පමණක් නොව, භික්ෂූන්ද හරක් මස් ආහාරයට ගනිති. දකුණු ආසියානු රටවල් අතර මස් පරිභෝජනයේදී ඉහළම තත්ත්වයක සිටිනුයේ භූටානයයි.

බෞද්ධ නොවන රටවල් මස් පරිභෝජනය ඉතාමත් ඉහළ මට්ටමක පවතින අතර බෞද්ධ රටවල් අතරින් මස් පරිභෝජනය පහළම මට්ටමක තිබෙන්නේ ශ්‍රී ලංකාවේය. තෝරා ගත් බෞද්ධ නොවන රටවල් කිහිපයක ඒක පුද්ගල වාර්ෂික මස් පරිභෝජනය මෙසේය.

එක්සත් රාජධානිය කිලෝ 84, ඇමරිකා එක්සත් ජනපදය කිලෝ 94, ඕස්ටේ‍්‍රලියාව කිලෝ 111, බ‍්‍රසීලය කිලෝ 85.ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල වාර්ෂික මස් පරිභෝජනය කිලෝ 6.3කි. බෞද්ධ රටවල් ලෙස සැලකිය හැකි මියන්මාරයේ කිලෝ 32.1, වියට්නාමය 49.9, තායිලන්තය 25.8, ලා ඕසය 21.3කි.

ශ්‍රී ලංකාව හරක් මස් නොකෑමේ ප‍්‍රතිපත්තිය පවත්වාගෙන යමින් හෝ ඉන්දියාව මෙන් හරක් මස්වලට අපනයන කර්මාන්තයක් ලෙස පවත්වන්නට ඉඩ දෙන්නේ නම් ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කළ හැකිය. හින්දුන් හරකා සලකන්නේ දෙවියන් ලෙසය. ඉන්දියාවේ හින්දුන් කිරි ආහාරයට ගත්තත්, හරක් මස් ආහාරයට ගන්නේ නැත. එහෙත් ලෝකයේ ලොකුම හරක් මස් අපනයනකරු වන්නේ ඉන්දියාවය. 2014 වසරේදී ඉන්දියාව අපනයනය කළ හරක් මස් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 2,087,000කි. එය ලෝක හරක් මස් අපනයනයෙන් සියයට 20ක් වන අතර, ඉන්දියාව ඉන් උපයා ගත් ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 4781.18කි. හරක් මස් සම්බන්ධයෙන් ඉන්දියාව ඇති කරගෙන තිබෙන එම සංයමය අපටද ඇති කර ගත හැකි නම් රට කිරිවලින් ස්වයංපෝෂිත කළ හැකි අතර හරක් පට්ටි කර්මාන්තය හොඳ ආදායම් උපයන කර්මාන්තයක් බවටද පත් කළ හැකිය.

කෘෂි විප්ලවයක අවශ්‍යතාව

එකතැන පල්වෙන තැනක තිබෙන සාමාන්‍ය ගොවීන් අත තිබෙන ග‍්‍රාමීය කෘෂිකර්ම අංශයට සේ ම ධනවත් සමාගම් පාලනය කරන වාණිජ කෘෂිකර්ම අංශයටද විප්ලවකාරී පරිවර්තනයක් අවශ්‍ය වී තිබෙන්නේ යැයි කිව හැකිය. ලංකාවේ ආර්ථිකයේ ලොකු දියුණුවක් ඇති කළ හැකිවනු ඇත්තේ එම අංශය දෙක උපයන ආදායමේ ලොකු දියුණුවක් ඇති කිරීමට හේතුවන විපර්යාසයක් ඇති කිරීමට සමත් වේ නම් පමණය.

ග‍්‍රාමීය කෘෂිකර්ම අංශයේ දියුණුව සඳහා එම අංශයට වන සතුන්ගෙන් එල්ල වී තිබෙන හානියෙන් එම අංශය නිදහස් කර දිය යුතුය. ඊට අතිරේකව එම අංශයේ ශ‍්‍රම ඵලදායකත්වය ඉහළ නැංවීමට හේතුවන බෝග වගාවන්ට යොමු කළ යුතුය. වී ගොවිතැනට ලබාදී තිබෙන ප‍්‍රමුඛත්වය නැති කළ යුතුය.

වී වගාවෙන් ඉපැයිය හැකි ආදායම ඉතාමත් සීමිතය. වාසනාවන්ත වෙතොත් කුඹුරු අක්කරයක් සඳහා උපයා ගත හැකි උපරිම ආදායම රුපියල් 40,000කි. ලංකාවේ ඉඩම්වලින් ලොකුම පංගුව (හෙක්ටයාර් 9,33,000) වෙන්කර තිබෙන්නේ වී වගාවටය. තෙත් කලාපයේ කුඹුරු ඉඩම්වලින් ලොකු පංගුවක වී වගා කරන්නේ නැත. ඒ ඉඩම්වල වෙනත් කිසිවක් වගා කරන්නේද නැත. වී ගොවිතැනේදී මිනිස් ශ‍්‍රමය අවශ්‍ය වන්නේ කන්නයක් සඳහා දින 19ක් පමණය. මාස තුනකටත් වැඩි කාලයක් සඳහා දින 19ක් වැඩ කරන ගොවි ජනතාවකට පොහොසත් ගොවි ජනතාවක් විය හැක්කේ කෙසේද? අනෙක් අතට තුන්වේලටම බත් කන ජාතියක් නිරෝගි හා කාර්යක්ෂම ජාතියක් විය හැක්කේ කෙසේද? ලංකාවේ බත් කන ප‍්‍රමාණය අඩු කොට මාංසජනක ආහාර, එළවළු හා පලතුරු වැඩියෙන් කන ජාතියක් බවට පත් කළ යුතුය. ඒ මගින් ඉඩම් ප‍්‍රයෝජනයට ගන්නා ශ‍්‍රමයේද, වගා කරන දේවල හා ක‍්‍රමවලද ලොකු වෙනසක් ඇති කිරීමට හේතුවී කෘෂිකර්මයෙන් උපයන ආදායම්වලද ලොකු වෙනසක් ඇති කළ හැකිය.

එවිට ලංකාවට අවශ්‍ය සහල් වියළි කලාපයේම නිපදවා ගන්නා තත්ත්වයක් ඇති කරගත හැකිය. එවිට තෙත් කලාපයේ වී වගාව සඳහා යොදාගෙන තිබෙන ඉඩම් ඒවාහි පහත් බිම් ස්වභාවයේ වෙනසක් ඇති නොකොට ආර්ථික වශයෙන් ඵලදායී වගාවන් හෝ ක‍්‍රියාකාරකම් සඳහා යොදාගත හැකිය. එම කුඹුරුවල ඉස්සන් වගා කළ හැකිය. මිරිදිය මසුන් වගා කළ හැකිය. කිරට සහ මසට මී හරකුන් හදන විශාල ගොවිපොළවල් බවට පත් කළ හැකිය. ඒ මස් අපි නොකන්නේ නම් එය අපනයන කර්මාන්තයක් බවට පත්කරගත හැකිය. එම කුඹුරු විදේශ වෙළෙඳපොළට තාරාවුන් නිපදවන ගොවිපොළවල් බවට පත් කරගත හැකිය.

ග‍්‍රාමීය ජනතාව උපයන ආදායම්වල ලොකු වෙනසක් ඇති කිරීමට හේතුවන වගාවන් හා ආර්ථික මාර්ග අප හඳුනාගත යුතුය. ගංජාවලට විවෘත වී තිබෙන ඉඩ ප‍්‍රශස්ත ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට අසමත් වෙතොත් කවදා හෝ ඒ ගැන අපට අඬන්නට සිදුවනු නොවැළැක්විය හැකිය. ගංජා අපනයන බෝග වගාවක් බවට පත්කරගත හැකිය. වැනිලා වගාවද ලංකාව මුළුමනින් නොසලකා හැර තිබෙන වගාවකි. වර්තමානයේ වැනිලා කිලෝවක මිල රුපියල් 45,000ක් වන අතර වැනිලා කිලෝවක මිල රුපියල් 20,000කට අඩු නොවනු ඇති බවට උපකල්පනය කර තිබේ. කිතුල් වගාවද වාණිජ බෝග වගාවක් බවට පත් කළ හැකිය.

මෝටර් රථ සඳහා යොදා ගන්නා ඉන්ධනවලට ඇල්කොහොල් සියයට 15ක් දක්වා මිශ‍්‍ර කිරීමට තිබෙන හැකියාවද ලංකාව සැලකිල්ලට ගත යුතුය. එසේ මිශ‍්‍ර කොට නිපදවන ඉන්ධන බ‍්‍රසීලය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය හා ඉන්දියාව පරිහරණය කරයි. ලංකාව ඉන්ධන ආනයනය සඳහා වාර්ෂිකව කරන වියදම ඩොලර් මිලියන 5000කට ආසන්නය. ලංකාවේ කසිප්පු නිපදවන මිනිසුන් ලවා ඉන්ධනවලට මිශ‍්‍ර කළ හැකි සියයට සියයක් පිරිසිදු කසිප්පු නිපදවා ගතහැකි නම් ලංකාවේ ඉතිරි කරගත හැකි වාර්ෂික ඉන්ධන වියදම ඩොලර් මිලියන 750කි. එය ග‍්‍රාමීය ජනතාවට සරු ආදායම් උපයන මාර්ගයක් බවට පත්කර දිය හැකිය. ලංකාවේ දියුණුවට අවශ්‍ය වන්නේ ආදායම් විෂයෙහි විප්ලවකාරී වෙනසක් ඇති කිරීමට හේතුවන ප‍්‍රායෝගික අදහස්ය.

 

Advertiesment