Thursday 25th of April 2024

English Tamil
Advertiesment


පාර්ලිමේන්තුවේ 2/3 ලැබුණොත් 19 අහෝසි කරන බව ජනපති කියයි


2019-12-01 12572

 

"19 ගැන ජනපතිගෙන් හින්දු පුවත්පතට සෘජු ප්‍රකාශයක් "

 

"13 යට‍තේ පොලිස් බලතල ලබා දීමට හැකියාවක් නැහැ"

 

පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලැබුණහොත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරන බවත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම අසාර්ථක එකක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ "ද හින්දු" පුවත්පත සමග පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ "රටක් පාලනය කිරීමට ස්ථාවරත්වයක් අවශ්‍යයි. පැවති සිරිසේන-වික්‍රමසිංහ රජයේ එම ස්ථාවරත්වය තිබුනේ නැහැ. ඒ නිසා ඔවුන් නිතරම එකිනෙකා අතර සටන් කරමින් සිටියා. එහෙම සටන් කරමින් ඉද්දි රටක් දියුණු කරන්නේ කොහොමද? රටට ආයෝජකයින් පැමිණෙන්නේ නැහැ" යනුවෙණි.

බලය බෙදා හැරීම පිළිබඳව හෝ දෙමළ ජනතාව බහුතරව ජිවත්වන ප්‍රදේශවල අයිතිවාසිකම් සම්බන්ධයෙන් 13වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවාද? යන්න ගැන මෙහිදී "ද හින්දු" පුවත්පතේ මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ 13වන ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රමයේම කොටසක් සහ එහි අඩංගු ඇතැම් කරුණු දැනටමත් ක්‍රියාත්මක බවයි.එසේම එහි එන පොලිස් බලතල ලබාදීම වැනි කරුණු ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් ගත හැකි වෙනත් ක්‍රියා මාර්ග ගැන තමන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බවත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස ප්‍රකාශ කරණ ලදි.

"දමිළ ජනතාවට යහපත් ජීවිතයක් ලබා දී ඔවුන්ව සංවර්ධනය කිරීම වඩාත් වැදගත්. නිදහස හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනටමත් ප්‍රතිපාදන තිබෙනවා. ධීවර කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය දියුණු කිරිමෙන් ඒවායේ ප්‍රතිලාභ ඔවුන්ට සෘජුව ලබා ගත හැකි ක්‍රමයක් සහ ඔවුන්ගේ රැකියා සම්බන්ධයෙන් සොයා බැලීම මම සිදු කරනවා.එසේම කිසිඳු අවස්ථාවක සිංහල ජනතාව කියන්නේ නැහැ ඒ ප්‍රදේශය සංවර්ධනය කරන්න එපා හෝ ඔවුන්ට රැකියා දෙන්න එපා කියලා.

වසර 70 ක් තිස්සේ පත්වන සියළු නායකයින් එක දෙයක් පොරොන්දු වුනා. ඒ තමයි බලය බෙදා හැරීම. නමුත් අවසානයේ කිසිවක් සිදු වුනේ නැහැ. බහුතර ප්‍රජාවේ කැමැත්තට එරෙහිව කිසිඳු දෙයක් කරන්න බැහැ. නමුත් දේශපාලන ප්‍රශ්න වෙනස්. උතුර සහ නැගෙනහිර සම්බන්ධයෙන් මා ගන්නා සංවර්ධන ක්‍රියාමාර්ග ගැන ඔබලාට පුළුවන් තවත් වසර 05 කින් මා ගැන විනිශ්චය කරන්න.

එමෙන්ම සුදු වෑන් රථවලින් පැමිණ පැහැර ගෙන යාම් සහ මාධ්‍යවේදීන් මර්ධනය කිරිම සම්බන්ධයෙන් එල්ල වන සියළු චෝදනාවල කිසිඳු සත්‍යක් නැහැ. 2009 වර්ෂයේ යුද්ධයෙන් පසුව ඒ සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා ගැන පසු විපරමක් සිදු කළා. ඔවුන්ටද ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හමු වූයේ නැහැ. එසේ කළානම් පසු ගිය රජය මට එරෙහිව මේ සම්බන්ධයෙන් චෝදනා ගොනු නොකලේ ඇයි?

යුධ සමයේදී මාධ්‍ය සීමා කිරීම් කිරීමට අපට සිදුවුණා. නමුත් ඉන් පසුව ඔවුන්ට නිදහසේ වැඩ කර ගෙන යාමට අවශ්‍ය වට පිටාව සකසා දුන්නා. අපි නෙමෙයි යුද්ධය ආරම්භ කළේ. නමුත් මහින්ද රාජපක්ෂ රජය තමයි යුද්ධය අවසන් කළේ."

 

Advertiesment