Thursday 12th of December 2019

English Tamil
Advertiesment


තනතුරු යනු වරප්‍රසාද නොව වගකීම් බව කවුරුත් තේරුම් ගත යුතුයි -ජනපති-


2019-11-27 1445

තනතුරු යනු වරප්‍රසාද නොව වගකීම් බව ඇමතිවරුන්,රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ප්‍රධාන සියලු තනතුරු ලාභීන් අවබෝධ කරගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා පත්වීම් ලබා දීම නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයේදීය.

එහිදී  වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.  

"මේ ලබපු තනතුරු වරප්‍රසාද නෙමෙයි ඒවා විශාල වගකීම් බව තේරුම් ගන්න ඕන. ජනතාව අති විශාල ජනවරමක් දුන්නේ විශාල බලාපොරෙත්තු ඇතිව.මේ තනතුරු ලබා දීමේදී අපිට දේශපාලනික වශයෙන් වැඩ කරපු, වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්න අයට ලබා දෙන්න හැකියාවක් නෑ. විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ තිබෙන සීමා හේතුකොට ගෙන.

රාජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව අඩු කරන්නට කැමැත්තක් තිබුණත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවාම වගකීම් රාශියක් තිබෙනවා. ඒ නිසා තමයි ඒ ආකාරයෙන්ම තබා ගැනීමට තීරණය කළේ.තමන්ට ලැබුණ අමාත්‍ය ධූරය ගැන සැකයක් තිබෙන්න පුළුවන්. නම කොහොම වුණත් වගකීම් විශාල බව තේරුම් ගන්න ඕන.

මම වසර ගණනාවක් තිස්සේ අධ්‍යන කරපු අවශ්‍යතාවන් දිහා බැලුවාමත් මැතිවරණ ව්‍යාපාරය තුළ ඒ ඒ ප්‍රදේශවලට ගියාම දැකපු ජනතා අවශ්‍යතා දෙස බැලුවාමත් ඒවා ඉටු කර ගැනීමටයි රාජ්‍ය අමාත්‍ය ධූර ලබාදී තිබෙන්නේ.ජනතාවගේ අවශ්‍යතාවන් දිහා බලලා මේ අමාත්‍ය ධූර වෙන් කර තිබෙනවා. දුම්රිය සේවා රාජ්‍ය ඇමති ගත්තෙත් අද දුම්රිය සේවය ගැන විශාල අවශ්‍යතාවක් තිබෙන නිසයි.එය දියුණු කළ යුතුයි. ඒ නිසා තමයි ඒක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයක් ලෙස වෙන් කළේ. දුම්රිය සේවය දිගු කරන්නත් කාර්යක්ෂම කරන්නත් අවශ්‍යයි.

දේශීය වෛද්‍ය සේවාව දියුණු කිරීම ගැන කථා කළා. එය සංචාරක අංශයට භාවිත කරන්නට. එයට ඇති ප්‍රමුඛත්වය නැති වෙලා යනවා. මේ ගැන සොයා බලලයි අපි කල්පනා කළේ එයට රාජ්‍ය අමාත්‍යවරයෙක් ලබා දෙන්නට.

සමාජ ආරක්ෂණ අමාත්‍යවරායට දිළිඳුකම ගැන අපි කථා කළා, මගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදීත් අපේ විරුද්ධ පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයේත් දිළිඳුකම පිටු දැකීම ගැන කථා කළා. මේ නිසයි එම අමාත්‍යාංශය පත් කළේ. ඒක ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක්.කාන්ත හා ළමා කටයුතු කාන්තාවකට දෙන්න බැරි වුණත් ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් අංශයක්.

තාක්ෂණය දියුණු කිරීම ගැන අපි ප්‍රමුඛතාවක් දී තිබෙනවා. ඒ නිසා ඒ අංශයට අපි අවධානය යොමු කර තිබෙනවා.මේ හැම අමාත්‍යාංශයක්ම මේ ගැන හිතලා තමයි අපි වෙන් කළේ. ආයතන ලබා ගැනීමේදී තමන්ට වැටහෙයි කොච්චර වැදගත්ද කියලා.

අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න අවස්ථාව දෙන්න කියලා.ඔවුන්ට වගකීම භාර දීලා ඒක කරන්න දෙන්න. රාජ්‍ය අමාත්‍යවරුන්ට ලේකම්වරයෙක් එනවා.මේක වරප්‍රසාදයක් නෙමෙයි වගකීමක්. ඒ වගකීම නිසියාකාරව ඉටු කරන්න අපි වෙහෙස වෙලා වැඩ කරන්න ඕන.

අපිට ලොකු අභියෝගයක් තිබෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය අංශය දිරිමත් කරලා රාජ්‍ය අංශය කාර්යක්ෂමව ක්‍රියාත්මක කරලා ජනතාවට සේවය කරන්න අපි අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.තනතුරු නොලැබුණත් මන්ත්‍රීවරුන්ට කරන්න පුළුවන් වගකීමක් තිබෙනවා. රාජ්‍ය සේවය ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් කාර්යයක් භාර දී තිබෙනවා.

ඒ වගකීම අපි නිසියාකාරව ඉටු කරමු රට දිරිමත් කරලා ජනතාවට සේවය කරන්න සිතාගමු."

Advertiesment