Thursday 12th of December 2019

English Tamil
Advertiesment


යාපනය සරසවි සිසුන්ට මහ විරු සැමරීම තහනම්


2019-11-27 1482

යාපනය විශ්ව විද්‍යාල පාලක සභාව විසින් විශ්ව විද්‍යාල සීමාව තුළ බදාදා (27) හා බ්‍රහස්පතින්දා (28) යන දින දෙක තුල කිසිඳු ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙස විශ්ව විද්‍යාල සිසුන් වෙත දන්වා ඇති බව යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් පවසනවා.

ඒ අනුව විශ්ව විද්‍යාල පාලක සභාව විසින් විශ්ව විද්‍යාල සිසුන් වෙත දැනුම් දී ඇත්තේ විශ්ව විද්‍යාල පාලක සභාවේ අනුමැතියකින් තොරව කිසිඳු ක්‍රියාකාරකමක් යාපනය විශ්ව විද්‍යාල භූමිය තුළ නොකරන ලෙසටයි .

යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් බදාදා (27) මහ විරු සැමරුම් වැඩසටහනක් සංවිධානය කොට තිබූ බැවින් අදාළ ක්‍රියාව නවතා දැමීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙන නමුත් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් පැවසුවේ විශ්ව විද්‍යාල සිසුන් පාලක සභාවේ නිවේදනය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර යුද්ධයෙන් මිය ගිය ඥාතීන් සැමරීම සිදු කරනු ඇති බවයි.

තවද අඟහරුවාදා(26) යාපනය විශ්ව විද්‍යාල සිසුන් එල්. ටී. ටී.ඊ සංවිධානයේ හිටපු නායකයාගේ උපන්දිනය සමරමින් කේක් කපා ඇති බවද යාපනය ආරක්ෂක අංශ සඳහන් කරන අතර එල්. ටී. ටී.ඊ සංවිධානය වෙනුවෙන් ජිවිතක්ෂයට පත්වු එල් ටී. ටී.ඊ සාමාජිකයින් සැමරීමේ මහ විරු දිනය සැමරීම වෙනුවෙන් මහ විරු සොහොන සැරසීම මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

මෙවර උතුරු පළාතේ ප්‍රධාන මහ විරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහ විරු සොහොන ප්‍රදේශයේ බදාදා(27) සවස පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට ඇති බවත් ආරක්ෂක අංශ වැඩි දුරටත් සඳහන් කරයි.

එසේම කිලිනොච්චිය කනගපුරම්, මුලතිව් අලම්පිල්, මුල්ලියාවේලි, මුල්ලිවයික්කාල්, මල්ලාවි,වවුනියාව ඊච්චන්කුලම, මන්නාරම ප්‍රදේශයේ මහ විරු සොහොන් මේ වන විටත් මහවිරු සැමරුම් සැමරීමට සරසා ඇති බවද වාර්තා වෙනවා.

Advertiesment