Tuesday 10th of December 2019

English Tamil
Advertiesment


අතිශය දුර්ලභ ගිං පොල් කඩොලානය අනතුරේ


2019-07-02 1705

අතිශය දුර්ලභ ගිං පොල් කඩොලානය අනතුරේ..!

(ජයකාන්ත ලියනගේ)

"විලාස්"සංචාරක හෝටල් සමූහය ගාල්ල ,අම්බලන්ගොඩල මාදම්පා ගං ඉවුරේ ඉතා දුර්ලභ ගණයේ කඩොලාන පද්ධතියක් විනාශ කරමින් ගං ඉවුරට අයත් යැයි කියන භූමිය අනවසරයෙන් ගොඩ කරන බවට අම්බලන්ගොඩ ගොඩහේන ප්‍රදේශයේ ජනතාව චෝදනා  කරති.

"විලාස්"  සංචාරක හෝටලය මාදම්පා ගඟට යාබද  වෙල්යායකට අයත් ඉඩම් කොටසක් මිල දී ගෙන එම කොටසද සමගින් ගං ඉවුර ද  ගොඩ කරමින් විශාල පාරිසරික විනාශයක් සිදු කරන බව පෙන්වා දෙන එම ජනයා මේ තරම් විනාශයක් වෙද්දී බලධාරීන් සිටින්නේ නිදා ගෙන දැයි ප්‍රශ්න කරති.

සුවිසල් විලක් ලෙස ප්‍රකට මාදම්පා විල මාදම්පා ගඟ යනුවෙන්ද හදුන්වනු ලබයි. කඩොලාන සම්පතින් අනූන මාදම්පා විල අප රටේ සොබාදහමේ අසිරිමත් නිර්මාණයකි. මාදම්පා විල ආශ්‍රිතව අප රටේ වැදගත්ම කඩොලාන පරිසරයක් පිහිටා ඇත. දුර්ලභම කඩොලාන විශේෂයක් වන ගිං පොල් ශාකයද මෙහි පිහිටා ඇත. ගිං පොල් යනු  තාල වර්ගයේ එකම කඩොලාන විශේෂයයි. මාදම්පා විල ආශ්‍රිතව දූපත් විස්සකට  වඩා වැඩි ප්‍රමාණයක් පිහිටා ඇත.

අම්බලන්ගොඩල ගොඩහේන ග්‍රාමයේ ගම්මැද්දේගොඩ කුඹුරු යාය තුන් හවුලට අයත් භූමියේ කොටසක් හා ගං ඉවුරේ කොටසක්ද අයත් වන සේ කඩොලාන භූමිය මෙසේ ගොඩ කරමින් සිටින බවද ප්‍රදේශ වාසීහූ පෙන්වා දෙති. මාදම්පා ගඟේ කලදූවට ආසන්න ගං ඉවුරේ කොටසක් විශාල යන්ත්‍ර සූත්‍ර යොදා කළුගල් බැම්මකින් වට කොට ගොඩ කරමින් සිටින අයුරුද එහි ගිය අපට දක්නට ලැබුණි.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ මෙම ඉඩම් ගොඩ කිරීම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේද නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව සිදු කරන බවයි. මෙම ඉඩමේ පැති බැම්මක් ඉදිකර පීවීසී කොටුදැල් භාවිතා කර වැටක් සවි කිරීමට පමණක්  වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ලබා ගෙන එම අනුමැතියට අදාළ කොන්දේසී සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම භූමිය ගොඩ කරන  බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී තහවුරු කර ගැනීමට හැකිවිය. එම අනුමැතිය ලබා ගෙන ඇත්තේ  "යමුනා නිවස ගොඩහේනල අම්බලන්ගොඩ" යන  ලිපිනයේ පදිංචි එම් එච් නාලනී යන අයෙකු විසින් වන අතර   ඇය හා අදාළ භූමිය ගොඩකරමින් සිටින පාර්ශවය අතර ඇති සම්බන්ධයද සොයා ගැනීමට නොහැකි විය.

මාදම්පා ගග ඉවුරේ සිට අඩි 30 ක දුරින් දැල් වැට ඉදි කළ යුතු බවත් රක්ෂිත සීමාවේ පස් ඉවත් කිරීම හෝ අලුතින් පස් දැමීම නොකළ යුතු බවත් එම කොන්දේසි අතර සදහන් වේ. එමෙන්ම  කඩොලානවලට කිසිදු හානියක් නොකළ යුතු බවද ඇතුළු කොන්දේසි අටක්  එහි සදහන් වන නමුත්  මෙම ගොඩ කිරීම සිදු කරනු ලබන්නේ ඒ   සියලුම කොන්දේසී උල්ලංඝනය කරමිනි. මෙම කොන්දේසිවලට අනුව අදාළ වැට ඉදි කිරිම සිදු කරනවාද යන්න සොයා බැලීම සදහා පත්කර ඇත්තේ වාරි මාර්ග දෙපාර්මේන්තුවේ කාර්මික නිලධාරී එම් ඊ මෙන්ඩිස් මහතාය. ඔහු මේ වන විට විශ්‍රාම ගොස් සිටින අතර ඔහු මේ සම්බන්ධයෙන් කිසිවක් සොයා නොබැලූ බව ප්‍රකාශ කරන ගම්වාසීන් එසේ වීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවද ප්‍රකාශ කරයි.

මෙම අනවසර ඉදි කිරීම සම්බන්ධයෙන් ගොඩහේන ප්‍රදේශවාසීන් 47 දෙනෙකුගේ අත්සන් සහිතව ගාල්ලල ගොවි ජන සේවා සහකාර කොමසාරිස්වරයාටද ලිපියක් මගින් දැනුම් දී තිබෙන අතර අම්බලන්ගොඩ පොලිසියටද පැමිණිල්ලක් කර තිබේ. දුර්ලභ කඩොලාන පද්ධතිය ආරක්ෂා කර දෙන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින ගම්වාසීහූ කුඹුරු සහ  වගුරු ප්‍රදේශ ගොඩ කිරීමෙන් ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බවද පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ගොඩහේන ග්‍රාමයේ පදිංචි තරංග ප්‍රියලාල් (35) මහතා  මෙසේ පැවසීය."මේ ගොඩ කරන වෙලට අයත් ඉඩම් කොටස අයිති වෙලා තිබුණේ අපේ ගමේ හිටපු රූපා මහත්මියටයි. ඇය ඒක වික්ක බව කියනව. මේ කොටසේ ළිඳකුත් තිබුණා. රූපා නැන්දට අයත් ඉඩම අපි දන්නවා. මේ අය  ගං ඉවුරේ කොටසකුත් ගොඩ කරනව. කුඹුර වුණත් ගොඩ කරන එක වැරදියි. කඩොලාන සම්පූර්ණයෙන්ම කපල විනාශ කරලා. මම ධීවරයෙක් ලෙසත් කටයුතු කරනවා. අපි ගගට බහින තොටුපල තිබෙන්නෙත් මෙතන. ඇල මාර්ගයකුත් තිබුණා. ඇල මාර්ගයත් මේ වන විට  වහල. තොටුපොළට යන පාරත් වහල. හෝටල් හිමියන්ට සල්ලි තිබෙනව. ඒ අය නිලධාරීන්ට සල්ලිදීලා නීති විරෝධී වැඩ කරනවා"

පාරම්පරික ගොවියෙකු වන එම් ජී විල්සන් (87)  මහතා. 

මේ ස්ථානයේ  තිබෙන්නේ අට හවුලේ වෙල්යායයි. මටත් අයිති කොටසක් තිබෙනවා. අපි ඉස්සර මේ වෙල් යායේ හොදින් ගොවිතැන් කළා. එක පැත්තකින් ගං ඉවුර. අනිත් පැත්තෙන් ඇල. මේ ගොඩ කිරීම නිසා ඇල වැහිල තිබෙනවා. වෙල හැරුණ විට අනිත් ඒවා රක්ෂිතයටයි අයිති. ඒ නිසා කිසිම කොටසක් ගොඩකරන්න බැහැ. කවුරු  හරි මිළ දී ගත්තත් කුඹුරු කරන්න විතරයි පුළුවන්. මේ ඉඩම්වලට ඔප්පු නැහැ. වගා නිලධාරීන් අපිට ඒවා දීල තිබෙනවා.

 

එස් ඩබ්ලිව් සුමිත් චමින්ද (41) මහතා. 

"මේ ගොඩ කරන කොටස අයිති රූප නැන්දටයි. ඒක වෙලක්. ඒක හෝටලයට අයිති නැහැ. නමුත් ගොඩ කරන කොටසට ගං ඉවුරත් අයිතියි. කඩොලාන විශාල වශයෙන් කපල. ඉතා දුර්ලභ ගිං පොල් කියන කඩෝලාන විශේෂයත් තිබෙනවා. කිරල ගස් විශාල වශයෙන් තිබෙනව. කිරල ගෙඩි ඉතා පෝශ්‍යදායී ආහාරයක්. විදේශිකයින් පවා කැමතියි. කිරල මුල්වලින් බෝතල මූඩි කපනව.ගොඩ කරන ස්ථානයේ කිරල ගස් විශාල වශයෙන් කපල. මුලින් ප්‍රචාරය යැව්වේ අවසර ලබා ගෙන  කරනවා කියල. අවසරදීල තිබෙන්නේ හෝටලයට අයත් කොටසේ දැල් වැටක් ගහන්න විතරයි. ඒ අවසර දුන් ලිපිය අපි ළග තිබෙනවා. රක්ෂිත සීමාවේ කිසිදු තාවකාලික හෝ ස්ථිර ඉදි කිරිමක් කරන්න එපා කියල තියෙනවා. අඩි 30 ක් රක්ෂිත සීමාව කියල තියෙනවා. ගොඩ කරන හරියේ ඉදල ගං ඉවුරට අඩි 15ක් වත් නැහැ. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියා කිසිවක් සොයා බලල නැහැ. අත යට ගනුදෙනු මත සිදු වුණා කියලයි ආරංචි. මෙහෙම කළාම ගංවතුර කාලෙට අපේ ගෙවල් එක්කම යට වේවි"

සුමිත් අබේසූරිය (44)  මහතා.

"අපි පොඩි කාලේ ඉදන්ම මෙතන වෙලයි ඇලයි තිබුණත් මේ වන විට ඒ  දෙකම නැහැ. වෙල ගොඩ කරලා ඇල වහලා ඇල උඩයි හෝටලයේ තාප්පය බැදලා තිබෙන්නේ. වෙල සල්ලිවලට ගත්ත කියලයි කියන්නේ. හෙන්දිරිස් සිංඥො සීයගේ වෙලත් මෙතන තිබුණා. විශාල පාරිසරික විනාශයක් සිදු කරලා තිබෙනවා. කඩොලාන කපපු එකම කොච්චර අපරාධයක්ද? ගං ඉවුරේ බැරල් බස්සලයි කොන්ක්‍රීට් කණු සවි කර  තිබෙන්නේ. මේ ස්ථානය පැරණි තොටුපලක්. ඩවිනිස් සීයලායි... ජයාජි අයියලායි ඔරු ගොඩ කළේ මේ ස්තානයේ තොටුපලට. නමුත්  තොටුපලට යන්නත් දැන්  බැහැ. මිරිදිය ධීවර කර්මාන්තය ඉවරයි. අලුත් පරම්පරාව මේවා කරන්නේ නැහැ. වයසක ධීවරයින්ට හෝටල් කාරයෝ එක්ක හැප්පෙන්න හයිය නැහැ. ඔවුන් විශාල වශයෙන් සල්ලි වියදම් කරලා විරෝධතා වළක්වනවා"

ආර් කුමාර මහතා :(50)

රටක නීතියක් තිබෙනවා ජනතාව රැකුනොත් විතරයි රට රැකෙන්නේ අපේ ගම අපි ආරක්ෂා කරගන්න ඕනෑ පිටස්තරින් ආපු අයට අපේ ගම විනාශ කරන්න දෙන්න බැහැ මේ ගැන කියන්න අපි පොලීසි ගියා නීතියෙන් විසදුමක් ගන්නකම් මුල් කාලයේම මේක නතර කරන්න පොලිසියට තිබුණා එහෙම කළේ නැත්තේ ඇයිද කියල අපි දන්නේ නැහැ පරිසරය විනාශ කළාම අපේ ප්‍රදේශයත් ඉතියෝපියාවක් වේවි

හෝටලයට අපි විරුද්ධ නැහැ කඩොලාන විනාශ නොකරල ගංඉවුර ගොඩකරන්නේ නැතුව හෝටලයට අයත් කොටස සංවර්ධනය කර ගන්නවාට අපි විරුද්ධ නැහැ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා හෝටලයේ අයට ලියුමක් දීල තිබෙනවා ගොඩකර ගන්න කියල දැන් කියනවා නැහැ කියල රජයේ නිලධාරීන් බරපතල වරදක් කරල තිබෙන්නේ.

පී ඒ චන්දි (48) මහත්මිය.

" අපි මේ ගමේ උපන් අය. අපේ ප්‍රදේශයේ පරිසරය අපිට වටිනවා. පරිසරය විනාශ වෙලා ගියාම අපිට හුස්ම ගැනීමට  පිරිසිදු වාතයවත් නැති වෙනවා. විනාශ කරපු කොටසේ කිරල, ගිං පොල්ල, වල් කදුරු වගේ කඩොලාන විශාල වශයෙන් තිබුණා. කිරල ගස් මුල් පිටින්ම ගලවලා. පොලීසිය කියනවා මේවා අපිට අදාළ නැහැ කියලා. ඒක පුදුම කතාවක්. අපේ ගමේ පරිසරය පොලීසියට වඩා අපිට අදාළයි. පොලීසිය යුක්තිය හා සාධාරණත්වය ඉටු කළ යුතුයි. පිට ප්‍රදේශවල අයට ඇවිත් අපේ ගම විනාශ කරන්න දෙන්න පුළුවන්ද? හෝටලයට අයත් ඉඩමේ දැල් වැටක් ගහන්න අවසර අරන් ගගේ රක්ෂිතයත් අල්ල ගෙන ගොඩ කරනවා. අපේ ප්‍රදේශයේ වැසි වතුර බැහැල යන ඇලත් වහලා. ඇල උඩ හෝටලයේ තාප්පය බැදලා. වෙල මිලදී ගත්තත් ගොඩ කරන්න පුළුවන් කමක් නැහැ"

ගාල්ල දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ කාර්මික නිලධාරී එම් ඊ මෙන්ඩිස් (60) මහතා.

"මේ ඉඩමේ පැති බැම්මක් ඉදි කරන්නත්, පීවීසී දැල් වැටක් ගහන්නත් අවසර ඉල්ලා තිබුණේ 2017 සැප්තැම්බර් මාසයේ. ඒ සදහා කොන්දේසි 08 ක් යටතේ 2017.10.12 දින දපස/දිවාඉ/සං3/52/10/17  ලිපිය මගින් අවසර ලබා දුන්නා. එම ලිපියේ පැහැදිලිව තිබෙනවා ගං ඉවුරේ සිට අඩි 30 ක් ඈතින් වැට ඉදි කරන්න කියලා. අඩි 01 ක් උස බැම්මක් මතයි මේ වැට ඉදි කරන්න කියලා තිබෙන්නේ. අලුතෙන් පස් දාන්නත්, තිබෙන පස් ඉවත් කරන්නත් එපා කියලා තිබෙනවා. මේ වන විට අදාළ කොන්දේසි කඩ කර ඇති බව කියනවා. මේ ඉදිකිරිම පිළිබදව අධීක්ෂණ පැවරුවේ මටයි. දැන් මම විශ්‍රාමිකයි. ගොවි ජන සේවා දොපාර්තමේන්තුවටත් ලිපියේ පිටපතක් යැව්වා. ඒ අයත් සොයා බැලිය යුතුයි"

කෘෂිකර්ම පර්යේෂණ හා නිශ්පාදන සහකාර බී චන්ද්‍රකුමාර (55) මහතා.

"දැල් වැට ගැසීමට අනුමැතිය දුන් ලිපියේ පිටපතක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලැබිල නැහැ. මම පසුගියදා මෙහි පිටපතක් ගෙන්නා ගත්තා. මේ ලිපියේ තිබෙන කොන්දේසි කඩ කර තිබෙනවා. ඒ ගැන මමත් දැනුවත් වුණේ ලිපිය ලැබුණට පස්සෙයි. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියා මේ ගැන දැනගන්න ඕනෑ. වෙල්යායක් ගොඩ කරනවා නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ගන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලා නැහැ. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියා අධීක්ෂණය කරල නැහැ. නව ඉදිකිරිමක් කරන විට ප්‍රාදේශීය සභාවෙනුත් අනුමැතිය ගන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලනවා"

    මෙම ඉදිකිරිම කරන බව කියන ගොඩහේන විලාස් හොටලයේ කළමණාකරු වසන්ත වෙත්තසිංහ (32) මහතා මෙසේ කීය.

අපිට තව හෝටල් දෙකක් තිබෙනවා. අපේ ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමීවයි. අපි ගොඩ කරන කොටස ගඟේ  රක්ෂිතයට අයිති නැහැ. ගොඩ කරන්නේ අපි සල්ලිවලට ගත්ත කොටසක්. ඒකට සින්නක්කර ඔප්පු තිබෙනවා. අපි පරිසර හිතවාදීන්. අපි පරිසරය ආරක්ෂා කරනවා. ගඟට  ඩීසල් මිශ්‍ර වෙනවට අපි පාවිච්චි කරන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන බොට්ටුයි. මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරනවට අපි විරුද්ධ නැහැ. අපිට සගවන්න කිසිම දෙයක් නැහැ"

Advertiesment