Thursday 12th of December 2019

English Tamil
Advertiesment


සජිත්ට වළ කැපුවේ කවුද-ජනතාව අතරට නොගිය සංවර්ධනය


2019-11-25 1812

 

දෙවෙනි කොටස 

 
(සුජිත් මංගල ද සිල්වා)

අපි පසු ගිය ලිපිය මගින් සාකච්ඡා කළේ ‘මඩවලින් ම’ සජිත්ව ගොඩ දාන්න ගිය ‘සමාජ මාධ්‍ය මැරයෝ’ සජිත්ට වළ කපපු හැටි ගැන. ඒත් දැන් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ව්‍යාජ වීඩියෝ පට නිෂ්පාදනය කරමින් ‘අශූචි නා ගත්ත මේ සමාජ මාධ්‍ය මැරයන්ට වැඩ වරදින ලකුණු පහළ වෙමින් තිබෙනවා. ඒ යහ පාලනයේ නීතිය නැමුවට ගෝඨාභය රාජපක්ෂ යටතේ නීතිය ‘අකුරටම’ ක‍්‍රියාත්මක වීමට නියමිත නිසයි.

අපි මේ ලිපිය මගින් අවධානය යොමු කරන්නේ සජිත් ප්‍රේමදාසට වළ කැපූ තවත් ක්ෂේත‍්‍රයක් ගැනයි. ඒ පසු ගිය අවුරුදු පහ තුළ ක‍්‍රියාත්මක වුණ විවිධ රාජ්‍ය ව්‍යාපෘති සහ වැඩසටහන් ගැනයි.

2015 ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණයේදී දැවැන්ත රාජ්‍ය බලයක්, මාධ්‍ය මෙහෙයුමක් සහ පෞරුෂ බලයක් සහිතව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ මහින්ද රාජපක්ෂ මහතාව ‘පරාජය’ කිරීම ‘ඊනියා සිවිල් සමාජ මෙහෙයුමක්’ හෝ අතිෂයෝක්තියට නගන ලද ‘සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ’ මෙහෙයුමක් නොව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ම නිර්මාණය කර දුන් අවස්ථාවක් බවයි ඒ ගැන සියුම්ව විමසන විට පෙනී යන්නේ.

2015 දී මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට වළ කැපුවේ ක‍්‍රමිකව නමුත් තියුණු ආකාරයෙන් ආර්ථික, දේශපාලන හා සමාජයීය වශයෙන් රාජ්‍යයේ සියලූම ක්ෂේත‍්‍රවල පැතිරී ගිය ‘පිළිකාවක්’ බඳු ‘ව්‍යාජ සංවර්ධනය’ බව නොරහසක්. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග ඇතුළු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති, ආර්ථිකමය වටිනාකමින් තොර හුදු ප‍්‍රදර්ශනකාමී කොළඹ ලස්සන කිරීම, ඇවිදින මංතීරු ආර්ථික වශයෙන් ඵලදායී නොවන විට ක‍්‍රමිකව දේශයේ ව්‍යාප්ත වූ විරැකියාව, අදායම් පරතරය, ජීවන වියදම ඉහළ යාම වැනි ඍණාත්මකතා පහසුවෙන් වසා ගැනීමට ‘ව්‍යාජ සංඛ්‍යා ලේඛනවලින් පහසු අවස්ථාවක් ලැබී තිබූ බව එම යුගයේ මහ බැංකු වාර්තා, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයට පත් කළ වාර්තා විපක්ෂය විසින් අභියෝගයට ලක් කරන විට හොඳ හැටි පෙනී ගියා.

‘2010 -2019 යුගයේ තිබුණේ අතිෂයෝක්තියට නංවන ලද සංඛ්‍යා ලේඛන. ඒවා කිසිම අවස්ථාවක ආර්ථික යථාර්ථය සමග සමපාත වුණේ නැහැ. ඒත් ආණ්ඩුවට තමන්ගේ දැවැන්ත ප‍්‍රචාරක යාන්ත‍්‍රණය හරහා මේවා වසා ගෙන සිටීමට හැකි වුණා. ඒත් මාධ්‍ය මගින් මොන තරම් ‘සුදු චිත‍්‍රයක් මවා පෑමට සමත් වුණත් ජනතාවට ඇත්ත ඇති සැටියෙන් විඳීමට සිදු වෙනවා. කොටින්ම ආර්ථික සංවර්ධනය ඇඟට දැනෙන දෙයක්. ඒක මහ බැංකු සංඛ්‍යා ලේඛනවලින් නෙමෙයි ප‍්‍රකාශයට පත් විය යුත්තේ. ගමේ සිල්ලර කඩේ සිට පිටකොටුවේ තොග කඩේ දක්වා ඒක ජනතාවට සංවේදී විය යුතුයි’ මේ ගැන කළ විමසීමකදී ප‍්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් කිව්වා.

‘2010-2015 යුගයේ සිදු වුණ බව කියන භෞතික සංවර්ධනය ජනතාවට දැනුණේ නැහැ. හම්බන්තොට වරාය විවෘත කළ දවසේ ඒකේ වතුර බෝතල්වලට අරන් ආව ජනතාවට ඒකෙන් කිසිම ආර්ථික ප‍්‍රතිලාභයක් ලැබුණේ නැහැ. රස්සා ලැබුණ් නැහැ. ව්‍යාපාරික අවස්ථා ලැබුණේ නැහැ. ඒක එම යුගයේ සෑම සංවර්ධන ව්‍යාපෘතියකම පොදු ලක්ෂණය බවට පත්ව තිබුණා. ඒත් ආණ්ඩුවවේ මාධ්‍ය සහ ආණ්ඩුව කිව්වේ මේ සියලු ව්‍යාපෘති කප් රුකක් කියලා. ඒත් ජනතාවට ඒක ඇඟට දැනෙන්නේ නැතිනම් වැඩක් නැහැනේ. ඔවුන් හැමදාම රවටන්න බැහැ. ඔවුන් අවසානයේ තීන්දුව දුන්නා. 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැව්වේ ආර්ථික හා සමාජයීය වශයෙන් ජනතාව දීර්ඝ කාලයක් පුරා දරාගෙන හිටිය ‘නිහඬ පීඩනය’ විසින්’ මහාචාර්යවරයා තව දුරටත් පැහැදිලි කළා.

2015 පොරොන්දු පත‍්‍රය

ආර්ථික - සමාජයීය හා දේශපාලන වශයෙන් පීඩනයට පත්ව සිටි ජනතාවට 2015 එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ ‘දර්ශනය’ කෙසේ වෙතත් ප‍්‍රතිපත්ති ‘සහනයක්’ වූ බවට සැකයක් නැහැ. ඒ සමග ක‍්‍රමිකව වගේම ‘එජාප ආවොත් අත මිට සරු වෙයි’ ‘රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙක්’ වාගේ අදහස්ද එජාපය දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජ ගත වෙලා ‘ජනමතයක්’ බවට පත් වෙලා තිබුණා.

2015 එජාපයේ සහාය ලැබූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනපතිවරණ ව්‍යාපාරය සහ අගෝස්තු මස මහ මැතිවරණ ව්‍යාපාරයට එජාපයෙන් ඉදිරිපත් වූ ‘ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල’ අන්තර්ගතය නිර්මාණය වුණේ ඍජුව මහින්ද රාජපක්ෂ යුගයේ ආර්ථික හා සමාජයීය ගැටලුවලට ආමන්ත‍්‍රණය කරන විදිහටයි.

‘රැකියා දස ලක්ෂයක්’ ‘අපනයන ආර්ථිකයක්’ ‘පුංචි කාර් සිහිනය’ වැනි වර්ණවත් වගේම බලාපොරොත්තු දල්වන පොරොන්දු ඒ අතර තිබුණා. විශේෂයෙන් රැකියා දස ලක්ෂයේ පොරොන්දුව ඒ අතර වර්ණවත්ම, තරුණ ප‍්‍රජාව ආකර්ෂණය කර ගන්නා පොරොන්දුවක් ලෙසයි තිබුණේ. ඒ පොරොන්දුව තවත් වර්ණවත් කිරීමට සහ ආකර්ෂණයක් ඇති කිරීමට කුලියාපිටියට ලබා දෙන බව කියූ ‘වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව’ වගේම 'හොරණ ටයර් කර්මාන්ත ශාලාවට' හැකියාව ලැබුණා.

ඒත් එජාපය බලයට පත් වුණ ගමන් ඉතාම කෙටි කාලයකින් ‘රනිල් වික්‍රමසිංහ වැඩ්ඩා’ කියන කතාව හුදු ප‍්‍රලාපයක් බවට පත් වුණා. ඒ සඳහා මහ බංකු බැඳුම්කර වංචාව ප‍්‍රමුඛ සිදුවීමක් වන විට අමාත්‍ය මණ්ඩලය තෝරා ගැනීම වැනි කරුණු ද තියුණු ආකාරයෙන් බල පෑවා. උදාහරණයක් ලෙස, මෙම ලියුම්කරු පුද්ගලිකව දන්නා ආකාරයට ආචාර්ය හර්ෂ ද සිල්වාට ආර්ථිකමය වශයෙන් ප‍්‍රබල වගකීමක් පැවරෙනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළා. ඒත් ඒ වෙනුවට සිදු වුණේ ‘රෝයල් කල්ලිය’ විසින් ආණ්ඩුවේ මර්මස්ථානවල බලය අල්ලා ගැනීමයි. හර්ෂ ද සිල්වා, බුද්ධික පතිරණ සහ ඉරාන් වික්‍රමරත්න වැනි තරුණ නායකයින් මුල්ලට තල්ලු වෙලා මලික් සමරවික්‍රම,කබීර් හෂීම්,තිලක් මාරපන, සාගල රත්නායක සහ  අකිල විරාජ් කාරියවසම් වැනි ‘පේ‍්‍රමනීය’ චරිතත්, ජෝන් අමරතුංග වැනි ‘කිසිඳු වැදගැම්මක් නැති චරිතත් ආණ්ඩුවේ බල මූලය අත්පත් කර ගත්තා. තව දුරටත් සලකා බැලුවහොත් එජාපයේ ජ්‍යේෂ්ඨයෙකු වූ රවී කරුණානායකට පවා ‘යුක්තිය’ ඉටු වුණේ නැහැ.

කොටින්ම රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව අල්ල ගත්ත ගමන් ‘වැඩේ අනා ගත්තා’

පැළ නොවුණ සංවර්ධනය

මහින්ද රාජපක්ෂ යුගයේ ප‍්‍ර‍්‍රදර්ශනකාමී සංවර්ධනයේ බැට කෑ ජනතාව රනිල්ගෙන් බලාපොරොත්තු වුණේ ‘පොළවේ පැළවෙන සංවර්ධනයක්’ ඒක 1978 -1994 යුගයේ මෙන් ‘ජනතාවට දැනෙන’ එකක් වනු ඇතැයි ඔවුන් කල්පනා කළා. උදාහරණයක් විදිහට 1977 මහ මැතිවරණයෙන් බලයට පත් වුණ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විවෘත ආර්ථිකය හඳුන්වාදීම සමග ආර්ථිකයේ මෙන්ම සමාජයීය වශයෙන් ද නවීරණයක් සිදු වුණා. නිදහස් වෙළෙඳ කලාපවලින් ආරම්භ වුණ ආර්ථික ලිහිල් කරණය ප‍්‍රයිවට් බස් එකේ සිට රෙකෝඩ් බාර් එක දක්වා සංකීර්ණ ආර්ථික අවස්ථා නිර්මාණය කළා. මහවැලිය හරහා පිබිදුන කෘෂි කර්මාන්තය වගේම ගම් උදාව හරහා නිර්මාණය වුණ නව සමාජයීය පරිසරය ආර්ථික හා සමාජයීය වශයෙන් පමණක් නොව සංස්කෘතිකමය වශයෙන් ද ‘වැඩ වසම්’ බැමි පුුපුරා දැම්මා. ඒ හරහා ග‍්‍රාමීය සමාජයේ ප‍්‍රබල පීඩකයෙක් බවට පත්ව සිටි ‘කුල වාදය’ ආදිය ලිහිල් කරමින් අකා මකා දැම්මා.

මේ සියලු තත්ත්වයන් ජනතාව සරලව වටහා ගත්තේ ‘අතට මිටට මුදල් ලැබෙන’ ක‍්‍රමයක් විදිහට.

යළිත් දශක දෙකකට පසු 2015 දී ජනතාව බලාපොරොත්තු වුණේ ජේ.ආර් ජයවර්ධනලා (රනිල් වික‍්‍රමසිංහ), රොනී ද මෙල් ලා (හර්ෂ ද සිල්වා) ආර් පේ‍්‍රමදාසලා (සජිත් පේ‍්‍රමදාස) ගාමිණී දිසානායකලා (නවීන් දිසානාය) ලලිත් ඇතුලත්මුදලිලා (රවී කරුණානායක) පන්නයේ ආර්ථික - දේශපාලන පුනරුදයක් මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ සුසංයෝගය මගින් ඇති වනු ඇති බවයි.

ඒත් ‘රෝයල් කල්ලිය’ විසින් සමස්ත රාජ්‍යයේම බලය අල්ලා ගැනීම සමග ආරම්භයේදීම යහ පාලනයේ බැමි පුපුරා ගිය බවයි කාටත් වැටහී ගියේ. මේ සඳහා සුප‍්‍රකට උදාහරණය විදිහට මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කළ අර්ජුන ඇලෝසියස්ව දැක්විය හැකියි. රනිල් වික‍්‍රමසිංහගේ ‘රෝයල් කල්ලියට’ අයත් අර්ජුන ඇලෝසියස් 2015 යහ පාලන අභිලාෂයන්ට ‘වස දුන්’ පුද්ගලයා වශයෙන් හැඳින්විය හැකියි. ඔහු ඍජුව රනිල් වික‍්‍රමසිංහගේම තෝරා ගැනීමක් නිසා එහි වගකීම මෙන්ම ‘වගවීම’ ද රනිල් වික‍්‍රමසිංහට පැටවුණත් එයින් සිදු වුණ දෙයක් නැහැ.

‘ආණ්ඩුව බලයට පත් වූ අලුතම සිදු වුණ මහ බැංකු බැඳුම්කර වංචාව අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයට තීරණාත්මක බලපෑමක් කළා. යහ පාලන ආණ්ඩුව මාස 08කට පසු මහ මැතිවරණයට ගියේ පතිවත බිඳ ගත්ත ගැහැනියක් වාගේ නින්දාවට පත් වෙලා. සංවිධානාත්මක නොවන ලෙස සහ අදූරදර්ශී ලෙස ක‍්‍රියාත්මක කළ දින 100යේ වැඩසටහන මගින් ආණ්ඩුව තුළ ඇති කළ අවුලට බැඳුම්කර වංචාව දැවැන්ත උත්තේජනයක් ලබා දුන්නා. ඉතාම පහසුවෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත හැකිව තිබූ මහ මැතිවරණයෙන් එජාපයට ආසන 106කින් සෑහීමට පත් වීමට සිදු වුණේ ඍජුව මේ අවුල නිසයි. සරලව පැහැදිලි කළහොත් ශක්තිමත් එජාප ආණ්ඩුවක් බිහි කර ගැනීමට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති කළේ මහ බැංකු බැඳුම්කර සිදුවීම’ රාවය පුවත්පතේ උපදේශක කර්තෘ වික්ටර් අයිවන් පසු කාලයක මේ සිදු වීම විග‍්‍රහ කරමින් කිව්වා (අදහස පමණක් සලකා ඇත)

2015 මහ මැතිවරණය වන විට අපකීර්තිමත් ලෙස ‘වොක්ස්වැගන්’ කර්මාන්ත ශාලාව පිළිබඳ සිහිනය බිඳ වැටී තිබුණා. එය ඉතාම ශක්තිමත් ආකාරයෙන් විපක්ෂය තම දේශපාලන වේදිකාවේදී ‘අවියක්’ කොට ගත්තා. ඔවුන් එහිදී දක්වා සිටියේ එජාපය දෙනවා කිව්ව රැකියා දස ලක්ෂයේ වැඩසටහනට අවසානයේ උරුම වන ඉරණම වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව හරහා මනාව පිළිබිඹු වන බවයි. විපක්ෂය කිව්ව ආකාරයෙන් ම එය සිදු වුණා. 2019 ජනපතිවරණය වන විට එජාපය විසින් දුන් රැකියා 1,000,000යේ පොරොන්දුව ‘හුදු පොරොන්දුවක්’ බවට පත්ව 2015ට වඩා වැඩි විරැකියා ප‍්‍රතිශතයක් වාර්තා වුණා.

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ‘පුද්ගලික ව්‍යාපෘති’

මේ සමග ජනපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පුද්ගලික න්‍යාය පත‍්‍රයක් මත ක‍්‍රියාත්මක කළ ‘කප්පරක් ව්‍යාපෘති’ ගැන කතා නොකළහොත් සිදු වන්නේ අඩුවක්. ඊට හේතුව වන්නේ පසු ගිය 2015 -19 ආණ්ඩුව ‘පුස්ස බින්ඳා වාගේ’ තත්ත්වයට පත් කරන්න ජනපතිවරයාගේ ‘පුද්ගලි ව්‍යාපෘති’ නොමසුරු දායකත්වයක් ලබා දුන්න නිසයි.

මහින්ද රාජපක්ෂ යුගයේ හම්බන්තොට සංවර්ධනයට ලබා දුන් අසීමිත අවධානය හා සම්පත් ගැන 2015 ජනපතිවරණ වේදිකාවේ දී බලවත් සංවාදයක් තිබුණා. ‘හොඳම දේ හම්බන්තොටට’ ලබා දුන් මහින්ද රාජපක්ෂ සංවර්ධනය අවසානයේ හම්බන්තොට ‘පාළු නගරයක්’ කළ බවට චෝදනා එල්ල වුණා.

ඒත් අවාසනාවට මෛත‍්‍රීපාල සිරිසේන ජනපතිවරයා ද තම උපන් බිමට සේවය කිරීමේ නොනිමි ආසාවෙන් පෙළෙන්න ගත්තේ ලණුවක් වශයෙන් හෝ ‘පැරකුම් යුගයක් නැවතත් අරඹවු’ කියන මිත්‍යාවේ ගිලී යමිනුයි. ඒ අතර ප‍්‍රකට ව්‍යාපෘතිය මොරගහකන්ද - කළු ගඟ වන අතර ඊටත් වඩා නාස්තිකාර, කිසිඳු ආර්ථිකමය වටිනාමක් නැති ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන දියත් වුණා. රුපියල් කෝටි 1000කටත් වඩා වැඩි රාජ්‍ය ආයෝජන මගින් සිදු වුණ පිිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය මගින් පොළොන්නරුවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සිදු වුණත් එමගින් රටේ ආර්ථිකයට කිසිඳු දායකත්වයක් හෝ වටිනාකමක් එක් වුණේ නැහැ. ඒවා හුදු ‘ගමට කළ වැඩ ’ බවට ලඝු වුණා.

ඒ අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අති උත්කර්ෂවක් ව්‍යාපෘතිය වූ 'මොරගහකන්ද - කළු ගඟ මහා ජලාශ ව්‍යාපෘතිය’ මේ දක්වා රටේ ආර්ථිකයට ‘කිසිවක්’ ලබා නොදෙන වේගයෙන් ‘සුදු අලියෙක් බවට’ පත්වන ව්‍යාපෘතියක් බවයි අදාළ විෂය ගැන විශේෂඥයෝ කියන්නේ.

‘ශ්‍රී ලංකාව වගේ කෘෂි කාර්මික යැයි කියා ගන්නා (ඇත්ත තත්ත්වය එය නොවේ) රටවල්වල දැවැන්ත වාරි ව්‍යාපෘති මගින් දේශපාලනඥයින්ට ආකර්ෂණයක් හා ගරුත්වයක් ලබා දුන්නත් එයින් ආර්ථික හා සමාජයීය වශයෙන් සිදුවන යහපතක් නැහැ. මහා ජලාශ මගින් කෘෂි කර්මාන්තයට තව දුරටත් අලුත් දෙයක් එක් කළ නොහැකියි. මොකද ශ්‍රී ලංකාවේ වගා කළ හැකි භූමියෙන් අති බහුතර කොටසක් වගාකර අවසන්. අනෙක් අතට වී වගාව කියන්නේ ක‍්‍රමිකව හැකිලෙන ක්ෂේත‍්‍රයක්. ‘ආහාරය සඳහා (බත්) සහල්වලට ඇති ඉල්ලුම ක‍්‍රමිකව හැකිලෙන බව කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිපත්ති සම්පාදකයින් දන්නේ නැහැ. නැතිනම් ඔවුන් අධි තක්සේරුවක ඉන්නවා. එහෙම නැතිනම් ඔවුන් ව්‍යාජ මවා පෑමක් කරනවා. රට නාගරීකරණය වන විට, ජනතාවගේ ක‍්‍රය ශක්තිය වැඩිවන විට ඔවුන්ගෙන් සහල් සඳහා ඇති ඉල්ලූම ක‍්‍රමිකව අඩු වෙනවා. අනෙක් අතින් වී වගාව හරහා ලැබෙන මූර්ත ආදායම අවම නිසාත්, එයින් ආදායම් ලබා ගැනීම අවදානම් සහගත නිසාත් විශේෂයෙන් අලුත් ශ‍්‍රමයක් වී වගාවට යොමු වන්නේ නැහැ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ වී වගාව ආශ‍්‍රිතව තිබෙන්නේ අතිෂයින් පටු ඒකීය පාරිභෝජන රටාවක්. අපි වී වලින් කරන එකම දේ ‘බත්’ කන එක විතරයි. ඒත් ලෝකයේ අනෙක් රටවල්වල වී කියන්නේ ‘අන්තර්' භාණ්ඩයක්. මත් පැන් පෙරීමට වගේම සත්ව ආහාර සඳහාත් වී වගා කරනවා. ඒ හරහා ඉහළ මිලක් ලැබෙනවා. ඉතිං මොරගහකන්ද වැනි ව්‍යාපෘති ඵලදායී ආයෝජන වෙන්නේ නැහැ’ කෘෂි විද්‍යාඥයෙකු වන එම්. ටී. අත්තනායක පැවසුවා.

මේ සමග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන - අතුරලියේ රතන හිමි විසින් නායකත්වය දුන් ‘වසවිස නැති ගොවිතැන’ හරහා නිර්මාණය වූ ඍණාත්මකතා ද (වල් නාශක තහනම) මෙරට කෘෂි ආර්ථිකය, විශේෂයෙන් වතු වගාව සහ බඩ ඉරිඟු වගාවට ඍජු හානියක් කළා. ඒ සියලු හානිවල අවසාන ශේෂය වුණේ ‘රනිල්ගේ ආණ්ඩුව කෘෂිකර්මාන්තය’ විනාශ කළා යන චෝදනාව.

කටින් බතල කොළ හිටවූ ව්‍යාපෘති

ජනතාවගේ ඇඟට දැනෙන සමාජ - ආර්ථික සංවර්ධනයක් බිහි නොකළ එජාපය ආර්ථික වර්ධන වේගය තුළ අපකීර්තිමත් තත්ත්වක් වාර්තා කළා. ව්‍යාජ සංඛ්‍යා ලේඛන හෝ ‘බැලුම් ආර්ථිකය’ හරහා මහින්ද රාජපක්ෂ යුගයේ ‘පුම්බන ලද ආර්ථිකය’ රනිල් වික්‍රමසිංහ - මෛත්‍රීපාල සිරිසේන යුගයේ ‘හුළං බැස්ස බැලුම් බෝලයක්’ බවට පත් වුණේ ‘එජාපය ආවොත් ආර්ථිකය ගොඩ ’ යන බලාපොරොත්තුව බිඳ දමමින්. මේ තත්ත්වය කොතරම් හානිකර ලෙස ක‍්‍රියාත්මක වූවා ද කිවහොත් 2019 වන විට දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධනය 2.9% දක්වා ‘අපකීර්තිමත්’ ලෙස පල්ලම් බැස තිබුණා.

‘එජාපය බලාපොරොත්තු වුණ ආර්ථික සංවර්ධනය කිසිම ආකාරයකින් ළඟා කර ගන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ යුගයේ ණය ගෙවන්න ණය ගන්නවා හැර ආණ්ඩුවට කරන්න තවත් දෙයක් ඉතුරු වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පුළුල් කළ රාජ්‍ය සේවය වගේම සුභ සාධන කටයුතු (සමෘද්ධිය හා පොහොර සහනාධාරය) තව දුරටත් පවත්වා ගෙන යාම වගේම ඒවා පුළුල් කිරීමට ද එජාපයට සිදු වුණා. විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම හා නිවාස ආදි ක්ෂේත‍්‍රවල අඛණ්ඩව සිදු වුණ ඌණ උපයෝගී මූල්‍ය සම්පාදනය (ලාභ හෝ නිෂ්පාදන ජනිත නොකිරීම) තුළ ආර්ථිකය තව තවත් එක තැන පල්වෙන තත්ත්වයට ආවා. උදාහරණයක් ලෙස අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදු වුණ අඛණ්ඩ ඉදි කිරීම්, සුරක්ෂා රක්ෂණය, කිරි වීදුරුවක් ලබා දීම ආදිය ජනතාව ආකර්ෂණය කර ගැනීමට සමත් වුණේ නැහැ. ආණ්ඩුව වියදමක් දැරුවත් ඒවා දේශපාලන අර්ථයෙන් ගත් විට ‘නිෂ්ප‍්‍රයෝජන’ වැඩසටහන් බවට පත් වුණා. 2005 දී මහින්ද රාජපක්ෂ පොහොර සහනාධාර ලබා දී ගත්ත දේශපාලන වාසිය මේ කිසිම ව්‍යාපෘතියකින් ලබා ගැනීමට ආණ්ඩුවට නොහැකි වුණා’

ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතාව හා ආර්ථික උපනිති ගැන නිරන්තරයෙන් පර්යේෂණ පවත්වන ‘අග්නි දිග ආසියානු සමාජ - ආර්ථික උපනති විශ්ලේෂණ මධ්‍යස්ථානයේ’ ශ‍්‍රී ලංකා විශ්ලේෂක ආචාර්ය පී.ඒ. දමයන්ත මහතා කියා සිටියා.

‘ඔබට අවශ්‍ය නම් සජිත් පේ‍්‍රමදාස මහතා පරාජයට පත් වුණේ කුමක් නිසාද කියලා වටහා ගන්න ඔබට තිබෙන්නේ මේ ආණ්ඩුව පසු ගිය වසර පහ තුළ ග‍්‍රාමීය ජනතාව කේන්ද්‍ර ගතව දියත් කළ වැඩසටහන් දෙස විමසිලිමත් වීමයි. ගම් උදාව ඒ අතර ප‍්‍රමුඛයි. සජිත් පේ‍්‍රමදාස යටතේ, ඔහුගේ ඍජු මැදිහත් වීම හා කැප වීම මත දියත් වූ ගම් උදා වැඩසටහන මගින් ඇත්තටම එජාප රජයට හෝ ඇමැතිවරයාට අලුත් වටිනාමක් ලබා දුන්නේ නැහැ. අපි දන්න තොරතුරු අනුව සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පසු ගිය වසර පහ පුරාම ඉදි කරලා තිබෙන්නේ නිවාස 5000කට අඩු ප‍්‍රමාණයක්. ඒවායින් ද අති බහුතරයක් හම්බන්තොට හා ඔහුගේ මැතිවරණ ආසනය වුණ තිස්සමහාරාමයේ ඉදි වුණේ. මුළු අමාත්‍යාංශයම හා ඊට අනුබද්ධ සියලුම ආයතන මේ වටා කේන්ද්‍රගත වුණේ. කොටින්ම සජිත් පේ‍්‍රමදාස ඇමැතිවරයා ගෙවල් හදන එක හැර ජාතික වශයෙන් වැදගත් කිසිඳු කටයුත්තක් කළේ නැහැ. ඒත් ඇත්තටම ඔහු විසින් ජනතාවට ලබා දුන්නේ නිවාස 5000කට අඩු ප‍්‍රමාණයක්. ඒවාත් ණය වාරික පදනම මත තමයි ලබා දුන්නේ. ඒ අතර තවත් ‘ක්ෂුද්‍ර ව්‍යාපෘති රැසක්, ඒ කියන්නේ ශිල්ප සවිය, ආදිය දියත් වුණත් ඒවායින් සමාජයට ඍජු බලපෑමක් සිදු වුණේ නැහැ. හම්බන්තොට, තිස්සමහාරාමයේ හැර අනෙක් පළාත්වල එක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට නිවාස 20-30 ව්‍යාපෘතියක් ලැබුණා කියලා ජනතාවට දැනෙන්නේ නැහැ’ ආචාර්ය දමයන්ත කියා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ ‘ඔබ කියන ආකාරයට සජිත් පේ‍්‍රමදාස මහතාට වළ කැපුවේ කවුරුත් නොවෙයි. ඔහුගේ මේ ක්ෂුද්‍ර චින්තනය විසිනුයි. ඔහු ජාතික තලයට ඔසවා තබන්න අඩු ආදායම් ලාභීන්ට ගෙවල් හදන ව්‍යාපෘතිවලට බැහැ. ඊට වඩා වර්ණවත් වැඩ කොටසක් ඇත්තටම අධ්‍යාපන ඇමැතිවරයා, බස්නාහිර පළාත් සංවර්ධන ඇමැතිවරයා අතින් සිදු වුණා. ඒත් ඒවා වුණත් දේශපාලන ආයෝජන වුණා කියලා අපි හිතන්නේ නැහැ’ ආචාර්ය දමයන්ත පැහැදිලි කළා.

ගමට නොදැනුණ සංවර්ධනය

‘මහින්ද රාජපක්ෂ යුගය සැලකුණේ ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයේ ස්වර්ණමය යුගය ලෙසයි. ඒ අතර ග‍්‍රාමීය යටි තල පහසුකම් සංවර්ධනය (මාර්ග) ඉදිරියෙන්ම තිබුණා. ‘මග නැගුම, ගම නැගුම’ වාගේ ව්‍යාපෘති දියත් වුණා. ඒ හරහා ග‍්‍රාමීය මාර්ග පද්ධතිය තුළ සැලකිය යුතු දියුණුවක් සිදු වුණා. ඒත් එජාප ආණ්ඩුව විසින් දියත් කළ ‘ගම් පෙරළිය’ ව්‍යාපෘතිය තුළ අපේක්ෂා කළ ඉලක්ක ජය ගැනීමක් හෝ ‘ජනගත වීමක්’ සිදු වුණේ නැහැ. ඒ සඳහා ලැබිය යුතු ප‍්‍රචාරණය හෝ ලැබුණේ නැහැ. අවසානයේ ‘ගම්පෙරළිය’ හරහා ආණ්ඩුවට කිසිම දේශපාලනයම වාසියක් ලැබුණේ නැහැ’ ආචාර්ය දමයන්ත එජාප ආණ්ඩුවේ දැවැන්තම ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තමන්ගේ නිරීක්ෂණ පැහැදිලි කරමින් කිව්වා.

‘මේ සමග එජාප ආණ්ඩුව (කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යටතේ) ‘වැව් 1000ක් ගම් 1000ක් ’ ව්‍යාපෘතිය, ‘සිතමු’ ගෙවතු 2,500,000ක ව්‍යාපෘතිය, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ආදිය දියත් කළා. ඒත් අවසාන විග‍්‍රහයේදී මේ කිසිවක් භූමිය මත සිදු වෙලා නැහැ. ඒවායින් ආණ්ඩුවට අවශ්‍ය කළ දේශපාලන වාසිය ලැබිලා නැහැ. මේ වගේ ව්‍යාපෘති දයා ගමගේ ඇමැතිවරයා යටතේ ග‍්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා දියත් වුණා. සුළු අපනයන බෝග නිෂ්පාදන ගම්මාන 5000ක් ඇති කිරීම, ධීවර අමාත්‍යාංශය යටතේ ධීවර ගම්මාන බිහි කිරීම වාගේ දැවැන්ත ව්‍යාපෘති දියත් වුණත් අවසාන ශේෂ පත‍්‍රය තුළ මේ එකම ව්‍යාපෘතියක් හෝ ජනතාවට දැනෙන, ආර්ථිකයට වටිනාකමක් එක් කරන ව්‍යාපෘති බවට පත් වුණේ නැහැ. ඒවා නිලධාරීන්ගේ සිතියම් සහ ප‍්‍රස්තාර මත තමයි ප‍්‍රතිඵල පෙන්නුම් කළේ. ඒත් ඒවා ගමට, ජනතාවට නොදැනුණන බව පසු ගිය ඡන්ද ප‍්‍රතිඵල මගින් මනාව පැහැදිලි කළා’ ආචාර්ය පී.ඒ දමයන්ත තමන් පසු ගිය වසර කිහිපය තුළ ක්ෂේත්‍ර ගතව සිදු කළ පර්යේෂණවලින් ලබා ගත් පුළුල් තොරතුරු සාරංශ කරමින් කිව්වා.

මේ ලියුම්කරු සමග අදහස් දැක්වූ ආර්ථික හා සමාජ පර්යේෂකයින් කිහිප දෙනකුම අවධාරණාත්මකව කියා සිටියේ එජාප ආණ්ඩුවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති වූ ‘එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා’ ‘ගම්පෙරළිය’ 'වැව් 1000ක් ගම් 1000ක්’ 'ආහාර නිෂ්පාදන ජාතික සංග‍්‍රාමය’ පමණක් නොව සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ක‍්‍රියාත්මක කරන ලද අතිෂය ජනතාවාදී ව්‍යාපෘති රැසක් පවා නිසි ඉලක්කය හෝ ජනතා ප‍්‍රසාදය දිනා නොදගත් බවයි.

‘වැඩ කළාට වැඩක් නැහැ. ඒවා ජනතාවට දැනෙන්න ඕනෑ. මාකට් කරන්න ඕනෑ. එහෙම නැති නම් දේශපාලනමය වශයෙන් වටිනාකමක් ලබා ගන්න බැහැ. ඒත් එජාපයේ තිබුණ ‘අඳබාල සන්නිවේදන’ හැකියාව නිසා ඒ සියලු වටිනාකම් අහිමි වෙලා ගිහින් දකුණේ, ග‍්‍රාමීය ජනතාව අතර අන්ත පරාජයක් ලබා ගැනීමට සිදු වුණා. ඒ සියල්ල සිදු වුණේ ‘කටින් බතල කොළ හිටවපු’ එක නිසා නෙමෙයි ‘කළ දේ කියා ගන්න බැරි ගොළුවෙක් වීම නිසා’ ප‍්‍රවීන දේශපාලන විශ්ලේෂක භාතිය බරුකන්ද සඳහන් කළා.

‘ප‍්‍රදර්ශනාකාරයෙන් තොර සංවර්ධනය’ කියලා අපිත් පසු ගිය කාලේ ආණ්ඩුව මාකට් කරන්න හැදුවා. බලා ගෙන ගියාම කළ දේ කියා ගන්න බැරි වුණේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. ඒකට වග කියන්න ඕනෑ ආණ්ඩුවේ ‘මීඩියා’ භාරව සිටි කල්ලිය’ ඔහු අවධාරණාත්මකව කිව්වා.

සජිත්ට වළ කැපූ ‘ආණ්ඩුවේ මීඩියා නඩය’ ගැන හෙට

 

 

Advertiesment