Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය අල කළ 


2019-11-24 14363

 

ජනපතිවරණයේ තිරය පිටු පස කතා..!

 
(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පසු ගිය ජනාධිපතිවරණයේදී එජාපයේ අපේක්ෂකත්වය ලබා ගත්තේ ‘සටනක්’ කර බව අපි කවුරුත් දන්න කතාවක්. ඒත් ඒ සටන තුළ බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ බොහෝ දේ සිදු වුණා. ඒ අතරිනුත් වඩාත් වැඩි අවධානයක් දිනා ගත් සිදුවීමක් වුණේ ‘දැඩි රනිල් හිතවාදීන්’ කිහිප දෙනෙක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ සටන කරට ගැනීමයි. ඔවුන් අතර ඉදිරියෙන්ම සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ඇමති මලික් සමරවික්‍රමයි.

දැඩි රනිල්වාදීන් වූ මේ දෙදෙනා සජිත් ප්‍රේමදාසව ‘කරට’ ගැනීම දිහා එජාප පාක්ෂිකයින් ආරම්භයේ සිටම පසු වුණේ කිසියම් කුතුහලයකින්. මංගල සමරවීර කෙසේ වෙතත් මලික් සමරවික්‍රම ගැන කිසිම එජාප පාක්ෂිකයෙකුට ප්‍රසාදයක් තිබුණේ නැහැ.

‘යහ පාලනය අල කළ අය' අතර මලික් සමරවික්‍රම ඉදිරියෙන්ම සිටි නිසයි එහෙම දෙයක් වුණේ.

එසේ ‘බලහත්කාරයෙන්’ ජනපති අපේක්ෂකත්වය දිනා ගත් සජිත් ප්‍රේමදාස තම ජනපති සටන ආරම්භ කරන විට එහි ප්‍රබලයින් බවට පත් වූවන් අතර මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර ඉදිරියෙන්ම සිටියා. මාධ්‍ය වාර්තා කළ ආකාරයට සජිත් ප්‍රේමදාසගේ ජනපතිවරණ ව්‍යාපාරයේ ‘මහ මොළකරු’ නැතිනම් ‘කළමනාකරු’ වුණේ මලික් සමරවික්‍රමයි.

මලික් සමරවික්‍රම පසු ගිය කාලේ ජනපතිවරණ, මහ මැතිවරණ මෙහෙයවපු තාලේ සහ ඒ ආශ්‍රිතව ඇති වුණ යම් යම් සිදුවීම් දන්න කියන අය මේ තීරණය ගැන යළිත් තුෂ්නිම්භූත වුණත් ඔවුන්ට කරන්න දෙයක් තිබුණේ නැහැ.

සජිත් ප්‍රේමදාස මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම විසින් සජිත් ප්‍රේමදාස මහතාට ‘ලොකු’ සහතිකයක් දී තිබෙනවා. ඒ ‘මැතිවරණය සඳහා යන සියලු වියදම්' දරන බවට.

මුදල් ගැන අබ මල් රේණුවක හෝ අවධානයක් යොමු නොකර පසු ගිය කාලය පුරා ජනතා සේවයට කැප වූ සජිත් ප්‍රේමදාස මහතා ‘මලික් සමරවික්‍රම - මංගල සමරවීර’ දුන් මේ සහතිකයෙන් සතුටට පත් වූ බවයි කියන්නේ.

ඉතිං, මංගල සමරවීර - මලික් සමරවික්‍රම සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කරන කොට ආරම්භයේ සිටම ‘අව මංගල ලකුණු’ තිබුණු බවයි වාර්තා වුණේ. විශේෂයෙන්ම මැතිවරණයකදී ප්‍රබල බලපෑමක් කළ හැකි, කරන ‘සමාජ මාධ්‍යවල’ අනුග්‍රහය දිනා ගැනීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් වෙලා තිබෙනවා.

‘අපි යෝජනා කළේ අපිට හිතවත් සමාජ මාධ්‍යවලට මිලියනක් විතර ලබා දෙන්න. මොකද රූපවාහිනී නාළිකාවක තත්පර 30ක එක ඇඩ් එකකටත් ඊට වඩා යනවා. ඒත් සමාජ මාධ්‍යවලට ඒක ලොකු ගාණක්. මොකද සමාජ මාධ්‍ය, විශේෂයෙන් ‘වෙබ් සයිට්’ කර ගෙන යන්නේ බොහොම අමාරුවෙන් බව අපි කවුරුත් දන්නවා. අනික සමාජ මාධ්‍යවලට තියෙන අවධානය හා ක්ෂණිකභාවය පත්තරවලින් හෝ ටෙලිවිෂන්වලින් ගන්න බැහැ. මිලියන ගාණක් දුන්නත් මහ ලොකු දෙයක් කර ගන්න බැහැ. ඒ නිසා අපිට හිතවත් සමාජ මාධ්‍යවලට කරන මේ ගෙවීම බොහොම වැදගත් බවයි අපි කිව්වේ’

මේ ලියුම්කරු සමග අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබලයෙක් කළ ප්‍රකාශයක්.

‘ඒත් මංගල සමරවීර - මලික් සමරවික්‍රම ඒ ගැන කිසිම උනන්දුවක් දැක්වූයේ නැහැ. කාගේ කාගේ හෝ වුවමනාවට සමාජ මාධ්‍යවලට කිසිම උදව්වක් කරන්න අපිට බැරි වුණා. වෙබ් සයිට්වලට දුන්න ඇඩ් පවා ගියේ ජාතික මාධ්‍යවලට විතරයි. උදාහරණයක් විදිහට දිනමිණ, ලංකාදීප, අද වාගේ පත්තරවලට, ඒවාට අයිති වෙබ්වලට ඇඩ් ගියා. ඒත් අපිත් එක්ක කාලයක් හිටපු වෙබ්වලට එක ශතයක් දුන්නේ නැහැ’ ඔහු තව දුරටත් කියනවා.

‘අපි දැනගෙන හිටියා මේ වැඩේ පිටි පස්සේ ඉන්නේ කවුද කියලා. ඒත් ඒක අභ්‍යන්තර ගැටුම් ඇති කර ගන්න වෙලාවක් නෙමෙයි. ඒ නිසා අකමැත්තෙන් හරි කට පියාන ඉන්න අපිට සිද්ධ වුණා’ වෙබ් කරුවෝ බොහෝ දෙනෙක් උපකල්පනය කළ, ඒත් හරියටම තහවුරු නොවූ කතාවක් ඔහු කියනවා.

‘මේ අතරේ අපි කවුරුත් අපේක්ෂා නොකළ දෙයක් වුණා. ඒ තමයි මංගල සමරවීර - මලික් සමරවික්‍රම, විශේෂයෙන් මලික් සමරවික්‍රම ටික දවසක් යන කොට වැඩෙන් කර අරින තත්ත්වයක් අපි දැක්කා. එයා පොරොන්දු වුණ සල්ලි දුන්නේ නැහැ. මෙය සජිත් ප්‍රේමදාස කිසිසේත් අපේක්ෂා නොකළ තත්ත්වයක්. අන්තිම වෙන කොට සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය බ්ලොක් වුණා. කොටින්ම කිවුවොත් වියදම් කරන්න සල්ලි නැති වුණා. මලික් සමරවික්‍රම වැඩෙන් කර ඇරියා’ ඔහු කණස්සල්ල මුසු ස්වරයෙන් කිව්වා.

'මීටත් වඩා ‘කැත කතා’ තවත් තියෙනවා. ඒත් ඒවා දැන්ම කියන්න බැහැ. සජිත් ප්‍රේමදාසට බොරු වළවල් කැපුව කල්ලිය තාම පක්ෂයේ බලය අල්ලා ගෙන ඉන්නේ’ ඔහු අවසාන වශයෙන් කිව්වා.

ජනතාවට කිසිම සම්බන්ධයක් නැති, ජනතාවට වගකීමක් / වගවීමක් නැති මලික් සමරවික්‍රම වැනි තවත් කිහිප දෙනෙක් පසු ගිය අවුරුදු පහ පුරාම ‘යහ පාලනය අව පාලනය කළ බව’ අපි කාටත් රහසක් නොවෙයි.

උතුරේ හංසයා වෙනුවට ‘කුරුල්ලා’ප්‍රමෝට් කරලා

සජිත් ප්‍රේමදාස මහතා වැඩිම ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේ උතුරු සහ නැගෙනහිරින්. ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා වගේම ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයත් උතුරු - නැගෙනහිර ඡන්ද ගැන යම් අවධානයක් යොමු කළා.

ඒත් ඡන්ද ප්‍රතිඵල නිකුත් වන විට යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක දෙකේ ‘අති බහුතර’ ඡන්ද ප්‍රමාණයක් ‘හංසයා’ විසින් දිනා ගෙන තිබුණා. එය යාපනයේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 83.86%ක ප්‍රතිශතයක්. ගෝඨාභය රාජපක්ෂ මහතා 6.24%ක් ද එම්.කේ. සිවාජිලිංගම් මහතා 1.84%ක ප්‍රතිශතයක් ද දිනා ගෙන තිබුණා.

මේ අතර තවත් ‘අපූරු’ දෙයක් සිදුව තිබුණා. ඒ ‘ආරියවංශ දිසානායක’ මහතා යාපනයෙන් 1.82%ක් වැනි, යාපනයේ සිවාජි ලිංගම් තරම්ම ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමයි. ආරියවංශ දිසානායක මහතා යාපනයෙන් ඡන්ද 6790ක් දිනා ගන්න කොට සිවාජි ලිංගම් මහතා දිනා ගත්තේ ඡන්ද 6845ක් පමණයි.

ආරියවංශ දිසානායක මහතා වන්නි දිස්ත්‍රික්කයේදී තවත් ‘සුවිශේෂ’ ජයග්‍රහණයක් ලැබුවා. ඒ ඔහු වන්නියේදී සිවාජි ලිංගම් මහතාට ද වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනා ගැනීමයි. ඒ අනුව ආරියවංශ දිසානායක මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් ඡන්ද 2548ක් හෙවත් 1.20%ක් දිනා ගන්නා කොට සිවාජි ලිංගම් මහතා දිනා ගත්තේ ඡන්ද 1295ක් හෙවත් 0.61%ක් පමණයි.

ඒ උතුරේ,

නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයෙන් ආරියවංශ දිසානායක මහතා ඡන්ද 648ක් හෙවත් 0.75%ක් දිනා ගන්න කොට හිස්බුල්ලා මහතා දිනා ගත්තෙත් ඡන්ද 652ක් පමණයි. ඒ කියන්නේ 0.75%ක ප්‍රතිශතයක්. මඩකළපුවේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය වන විට 04 වැනි තැන හිටියේ ආරියවංශ දිනානායක මහතා. ඒ ඡන්ද 2363ක් හෙවත් 0.78%ක ප්‍රතිශතයක් දිනාගෙන. අනුර කුමාර දිසානායක වගේම සවාජිලිංගම් පවා හිටියේ ආරියවංශ දිසානායක මහතාට පිටුපසින්.

ඉතිං, කොහොමින් කොහොම හරි ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙන කොට මුළු රටෙන්ම ආරියවංශ දිසානායක මහතා ඡන්ද 34,537ක් හෙවත් 0.26%ක් දිනා ගත්තා. ඒ 06 වැනියා බවට පත් වෙමින්.

බොහෝ දෙනෙක්ට මේ ඡන්ද ප්‍රතිඵලය ගැන ‘පුදුමයක්’ ඇති වුණා. ඒත් මේ ගැන කතා කිහිපයක් අතරින් විශ්වාසනීයම කතාව කිව්වේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් උතුරු - නැගෙනහිර ප්‍රචාරක කටයුතු කළ ‘දමිළ’ මිත්‍රයෙක්.

‘උතුරු - නැගෙනහිර මිනිස්සුන්ට ‘හංසයා’ ගැන කියලා වැඩක් නැහැ. ඔවුන් ඒ ගැන දන්නේ නැහැනේ. ඉතිං අපි කළේ ‘කුරුල්ලට ඡන්දය දෙන්න’ කියලා කිව්ව එකයි. ඒත් මේ පාර ඡන්ද කොළේ කුරුල්ලෝ දෙන්නෙක් ඉන්න බව අපිට අමතක වුණා. ඒ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ හංසයා සහ ආරියවංශ දිසානායක මහතාගේ උකුස්සා. ඉතිං අපි හිතන්නේ යාපනයේ ජනතාව ‘කුරුල්ලට ඡන්දය’ දීලා තියෙනවා. අපි හිතන්නේ මේ තත්ත්වය ශ්‍රී ලංකාවෙම වුණා කියලයි. ඒකෙන් වුණේ සජිත් ප්‍රේමදාස මහත්තයට තවත් ඡන්ද තිස් හතර දාහක් විතර අඩු වුණ එකයි’ ඔහු තමන් අතින් සිදු වූ වරද ගැන යම් පසු තැවීමකින් කිව්වා.

‘තාරාවා’ හොයලා

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ මැතිවරණ කොට්ඨාශයේ මැතිවරණ රාජකාරියේ නිරත වූ ජ්‍යේෂ්ඨ ඡන්ද පොළ නිලධාරියෙක් තමන් මුහුණ දුන් අත්දැකීමක් කිව්වා. ‘අපේ ඡන්ද මධ්‍යස්ථානයේ විශාල පිරිසක් ඡන්ද ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව. ඉතිං ඡන්ද දාන්න ආපු සමහර මුස්ලිම් කාන්තාවන් ඡන්දය ලකුණු කරන කොට යම් ප්‍රමාදයකට ලක් වුණා. ඔවුන්ට තමන් ඡන්දය ප්‍රකාශ කළ යුතු ලකුණ හොයා ගන්න අපහසු වුණා. ඉතිං අපි ඒ ගැන විමසූ විට මුස්ලිම් කාන්තාවන් විශාල පිරිසක් කියා සිටියේ ‘අපිට තාරාවා පෙන්නන්න’ කියලයි. ඔවුන් දන්න හංසයෙක් නැහැ. ඔවුන් ඡන්ද පොළේදී හෙව්වේ තාරාවෙක්වයි’

 

 

Advertiesment