Sunday 8th of December 2019

English Tamil
Advertiesment


56 යළි ඉපදීම


2019-11-22 1721

 
 
(වික්ටර් අයිවන්) 

 

මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සැලකිය හැක්කේ කිසියම් පක්ෂයක් ලැබූ සාමාන්‍ය දේශපාලන ජයග්‍රහණයන් ලෙස නොව දේශපාලන තලයේ සිදුවූ ප්‍රාතිහාරයක් බඳු දෙයක් ලෙසය.ශ්‍රී ලංකාවේ මෙතෙක් තිබූ පිළිගත් මතය වූයේ සුළු ජාතීන්ගේ ආධාර නැතිව මහ ජාතිය මත පමණක් පදනම් වී ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ නොහැකි බවය. මෙම ජනාධිපතිවරණය එම න්‍යාය බොරු කෙරුණු පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය.

2005 ජනාධිපතිවරණයේදීද සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය ජය ගත නොහැකිද යන කතාව සාකච්ඡාවට ලක් කළ කිහිපදෙනකු ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ සමීප ආධාර කරුවන් අතර සිටියේය. එහෙත් ඒ අවස්ථාව වන විට ශ්‍රීලනිපයට ආධාර කළ මුස්ලිම් සමාජ තීරුවක් රටේ සිටියේය. එහිදී පැවති ළඟ ළඟ තරඟයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජය ගත්තේ ප්‍රභාකරන් ක්‍රියාවට නගන ලද ඡන්ද වර්ජන ප්‍රතිපත්තිය නිසාය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ද ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී යුද්ධ ව්‍යාපාරය පරාජය කිරීමට ක්‍රියාකාරී ලෙස දායක වූ ජන වාර්ගික කණ්ඩායමක් ලෙස සැලකිය හැකිය. ඔවුහු ඊලාම් බල ප්‍රදේශය තුළ ජීවත් වෙමින් ඊළාම් අරමුණට බාධා කරන ජන කණ්ඩායමක් ලෙස ක්‍රියා කළා පමණක් නොව, යුධ හමුදාවට එකතු වී ප්‍රභාකරන්ගේ යුධ ව්‍යාපාරයට එරෙහිව සටන් කරන ජන වර්ගයක් ලෙසද ක්‍රියා කළහ.

අතීතයේදී මුස්ලිම් වරුන් අතර එජාපයට හිතවත් ප්‍රබල පිරිසක් සිටියද බණ්ඩාරනායක කාලයේ සිටම ශ්‍රීලනිපයට ආධාර කරන බලවත් මුස්ලිම් කණ්ඩායමක්ද, ඔවුන් අතර සිටියේය. එකල මුස්ලිම් ලෝකයේ බලවත් නායකයන් බවට පත්ව සිටි ඊජිප්තුවේ අබ්දුල් නසාර් හා පාකිස්තානයේ අලි භූතෝ බණ්ඩාරනායකගේ නොබැඳි වැඩසටහනේ ප්‍රබල ආධාර කරුවන් වූහ. සිරිමාවෝ බණ්ඩාරනායකගේ කාලයේදීත් මුස්ලිම් ලෝකයේ බලවත් නායකයන් ලෙස ක්‍රියා කළ ඉරාකයේ සදාම් හුසේන් හා ලිබියාවේ ගඩාෆි ඇගේ බලවත් ආධාර කරුවන් වූහ. මහින්ද රාජපක්ෂ විරුද්ධ පක්ෂයේ ප්‍රබලයකු ලෙස ක්‍රියා කරන කාලයේදී ඔහු ශ්‍රී ලංකාවේ පලස්තීන සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ නායකයකු වූ අතර පලස්තීන විමුක්ති ව්‍යාපාරයේ නායකයා වූ යසර් අර්පත් සමගද දැන හැඳුනුම්කමක් තිබුණේය.

2015 ජනාධිපතිවරණය වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජන වර්ගය සමග තිබූ යහපත් සම්බන්ධයේ බිඳ වැටීමක් ඇතිව තිබූ අතර 2015 ජනාධිපතිවරණයේදී ලැබූ පරාජය කෙරෙහි එය ඉතා වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. 2015 ජනාධිපතිවරණයෙන් යහ පාලන ව්‍යාපාරය ලද ජයග්‍රහණය සිංහලවාදී හා බෞද්ධවාදී ජනතාව හා විශේෂයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දක්නා ලද්දේ ශ්‍රී ලංකාවේ දෙමළ හා මුස්ලිම් ජන වර්ග එකට එකතු වී දෙමළ බෙදුම්වාදී යුධ ව්‍යාපාරය යුධමය වශයෙන් පරාජය කළ තමන්ගේ වීරයා පරාජය කළ අවස්ථාවක් ලෙසය.

 

අභ්‍යන්තර යුද්ධයෙන් පසු

අභ්‍යන්තර යුද්ධය ජය ගැනීමෙන් දෙමළ සන්ධානයේ නායකයන් සමග වැඩ කළ හැකි පසුබිමක් ගොඩ නැගී තිබුණද එම අවකාශය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රයෝජනයට ගත්තේ නැත. යුද්ධය පැවති කාලයේදී මා අවස්ථා දෙකකදී සම්බන්දන් මහතා ඇතුළු දෙමළ සන්ධානයේ නායකයන් සමග ඔවුන්ගේ ගැටලුව සාකච්ඡා කර තිබුණි. ඔවුන් ප්‍රභාකරන් කෙරෙහි ඇති කර ගත් බියෙන් ඔවුන්ට අවනත වී ක්‍රියාකර තිබුණද ප්‍රභාකරන්ගේ ව්‍යාපාරය පරාජය කරනවා දකින්නට ඔවුන් තුළද කැමැත්තක් තිබුණි. සිංහල බෞද්ධ ජනතාව අතර බලවත් පිළිගැනීමක් නැති රනිල් වික්‍රමසිංහ වැනි නායකයකු ලබා දෙන විසඳුමකට වඩා සිංහල බෞද්ධයින්ගේ ලොකු පිළිගැනීමක් ඇති මහින්ද දෙන විසඳුමක් සිංහල බෞද්ධයන්ගේද පිළිගැනීමට හේතුවනු ඇති බව සම්බන්දන් මහතාගේ මතය වී තිබුණි.

අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසුව සංකේතාත්මක වැදගත් කමක් ඇති දෙයක් දෙමළ සන්ධානය සිදු කළේය. දෙමළ සන්ධානය අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු පවත්වන ලද සම්මේලනය සඳහා ප්‍රභාකරන් විසින් අවුරුදු 25ක් තරම් කාලයක් තිස්සේ තහනම් කර තිබූ සිංහ කොඩිය එම උත්සව ශාලාව සැරසීම සඳහා යොදා ගෙන තිබුණ අතර, උත්සව සභාව ආරම්භ කර තිබුණේ ජාතික ගීය ගැයීමෙනි. එය ඉතාමත් විප්ලවකාරී ක්‍රියාවක් ලෙස සැලකිය හැකි අතර ඔවුන් ඒ ආකාරයෙන් දෙන ලද සංඥාව හරියාකාරව තේරුම් ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් නොවීය. නැතහොත් ප්‍රශ්න විසඳා ගන්නා තැනකට යොමු වන්නට ඔහුගේ දේශපාලන බලවේගයන් ඔහුට ඉඩ නුදුන්නේය.

අවසානයේදී 2010 ජනාධිපතිවරණයේදී ඔවුන් ප්‍රශ්න විසඳා ගන්නට උත්සාහ කළේ විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කළ ජෙනරාල් ෆොන්සේකාට බලවත් ලෙස ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙනි. ඒ දේ ඊට සමාන ආකාරයකින් 2015දීත් සිදු කළේය. ඒ මගින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට ඔවුන් සමත් වුවත් ඔවුන්ට ඒ මගින් දිනා ගත හැකිවූයේ ලිහිල් පාලනයක් පමණය. ඔවුන්ට ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් කිසිවක් දිනා ගැනීමට හැකිවූයේ නැත.

 

56 විප්ලවය

2015 යහපාලන බලවේගයන් ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ පැවති වාර්ගික හා ආගමික බෙදීම් උග්‍ර තත්ත්වයකට පත් කිරීමට හේතුවිය. එම ජයග්‍රහණය දෙමළ මුස්ලිම් ජනයා අතර සහනශීලී හැඟීමක් ඇති කරන්නට ඇතත්, සිංහල බෞද්ධයන් අතර ඇති කළේ බලවත් කම්පනයක් හා අතෘප්තියකි. වාර්ගික හා ආගමික වශයෙන් ඇතිවී තිබුණ එම බෙදීම නැති කොට ජාතිය ඒකාග්‍ර කොට නූතන ජාතිය ගොඩනගා ගැනීම පිණිස කිසිඳු වැදගත් සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමට යහ පාලන ආණ්ඩුව සමත් වූයේ නැත. සැබෑ ප්‍රශ්නවලට අත ගසන්නට අවශ්‍ය නිර්භීත කමක් යහ පාලන ආණ්ඩුවට නොතිබුණා සේ ම ඒ සඳහා අවශ්‍ය කරන තියුණු දැක්මක්ද නොතිබුණේය. සිංහල බෞද්ධ සැක සංකා වර්ධනය වන්නට ඉඩ හැර බලා සිටින ප්‍රතිපත්තියක් තුළ එම ආවේගයන් මත පදනම් වූ ව්‍යාපාරවල වේගවත් වර්ධනයක් සිදු විය.

සිංහල බෞද්ධ අතෘප්තියේ දේශපාලන ප්‍රතිඵලය කරළියට ආවේ 2019 ජනාධිපතිවරණයේදී වුවත් එය කිසියම් දීර්ඝ කාලීන සංවිධානාත්මක ක්‍රියාදාමයක තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. එය 1956 විප්ලවය අලුත් ආකාරයකින් කරළියට ගැනුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

1956 ජයග්‍රහණය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් ක්‍රියාවට නගන ලද වැඩසටහනක ප්‍රතිඵලයක් ලෙස සැලකිය නොහැකිය. බණ්ඩාරනායක කළේ කලක් තිස්සේ වෙනත් පිරිසක් විසින් සූදානම් කළ ‘සිංහල බෞද්ධ’ අශ්වයා පිට නැගීම මැතිවරණය ජයග්‍රහණය කිරීම පමණය. මෙම ව්‍යාපාරය සඳහා මහ ජනයා සූදානම් කළ ව්‍යාපාරය ලෙස සැලකිය හැක්කේ 1953දී ඇති කර ගත් බෞද්ධ තොරතුරු පරීක්ෂණ කොමිෂන් සභාවය. එය හේන්පිටගෙදර ඥානසිහ හිමි, ගුණපාල මලලසේකර, එන්. හියු දියෙස් හා එල්.එම්. මෙත්තානන්ද වැනි සිංහල බෞද්ධ නායකයන් පිරිසක් ක්‍රියාවට නගන ලද වැඩසටහනක් වූ අතර විවිධ ප්‍රදේශවලට යමින් එම කොමිෂන් සභාව පවත්වන ලද සාක්ෂි විභාගය හා සිංහල බෞද්ධ ජනයා අතර අති විශාල ආගමික උද්වේගයක් ඇති කිරීමට හේතුවී තිබුණි. ඊට අතිරේකව 1956 වසරේ සැමරීමට නියමිතව තිබූ 2500 බුද්ධ ජයන්ති ව්‍යාපාරය, බෞද්ධ කමිෂන් සභා ව්‍යාපාරය සිංහල බෞද්ධ ජනයා අතර ඇති කර තිබූ ආගමික හා වාර්ගික උද්යෝගය තීව්‍ර කිරීමට හේතුවී තිබුණි. එය එක අතකට ආගමික වේෂයෙන් ක්‍රියාත්මක වූ දේශපාලන ව්‍යාපාරයක්ද විය. හොවාඩ් රිගින්ස් (Howard Wriggins)ගේ "Ceylon: Dilemmas of a New Nation" යන කෘතිය 56 විප්ලවය ගැන ලියැවුණු හොඳම විචාර ග්‍රන්ථය ලෙස සැලකිය හැකිය. එහි සිංහල බෞද්ධයන් අතර පැවති දුක් ගැනවිලි හා ආවේගයන් ගැනද ඒවා කෙරෙහි බලපා තිබුණු හේතූන් හා ඒවාහි ඓතිහාසික වටපිටාව ගැන සේ ම අවසානයේදී සිංහල බෞද්ධ ව්‍යාපාරය ඒ සියල්ල තමන්ට වාසිදායක දේශපාලන පරිවර්තනයක් සඳහා යොදා ගත් තීක්ෂණ ආකාරය විග්‍රහ කරන කදිම කෘතියක් ලෙස සැලකිය හැකිය.

 

මාර යුද්ධය

බෞද්ධ භික්ෂූන් ආණ්ඩු වෙනස් කරන දේශපාලනයක ඉතා බලවත් හා ක්‍රියාකාරී ලෙස දායක වූ ශ්‍රී ලංකාවේ පළමු මැතිවරණ ව්‍යාපාරයද ලෙස සැලකිය හැකිය. ඊට පෙර වාමාංශික දේශපාලනයක නිරත වූ භික්ෂූන් කණ්ඩායමක් රටේ සිටියද ශ්‍රී ලංකාවේ තිබෙන සියලු පන්සල් දේශපාලනය සඳහා යොදා ගැනුණු ප්‍රථම අවස්ථාව එය විය. හොවාඩ් රිගින්ස් එහි විස්තර කර තිබෙන ආකාරයට මහජන එක්සත් පෙරමුණේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන දේශපාලන යාන්ත්‍රණය ලෙස ක්‍රියා කළේ භික්ෂූන් වහන්සේලාය. එම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය බවට පත් කරගෙන තිබුණේද ආගම හා භාෂාවය. බෞද්ධ කොමිෂන් සභා වාර්තාව පිටවූයේද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යන බව ප්‍රසිද්ධ වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට දින 12කට පෙරය. එම වාර්තාව පළ කරන ලද්දේද ‘බුද්ධාගම පාවාදීම' යන මාතෘකාව යටතේය. එය ආගමික සංකේත ඉතාමත් නිර්මාණශීලී ආකාරයකින් මැතිවරණ ප්‍රචාරය සඳහා යොදා ගැනුණු මැතිවරණය ලෙසද සැලකිය හැකිය.

 

2500 මාර යුද්ධය නමින් බෙදා හැරුණු පෝස්ටරයක් පිළිබඳව රිගින්ස් කර තිබෙන අර්ථකථනය මෙසේය.

පෝස්ටරයේ එක් පසෙක බෝධියක් මුල වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවකි. චිත්‍රයේ ඉතිරි කොටස යූ.එන්.පී යේ සලකුණ වූ ඇතා පිට නැග ගත් සර් ජෝන් ප්‍රමුඛ කොට ගමන් ගන්නා දිග පෙරහැරකි. සර් ජෝන් අත තිබෙන්නේ බුදු පිළිමයේ හදවතට ඉලක්ක කළ හෙල්ලයකි. අලියා පිට සිටින ඔහුට පිටු පසින් ඉන්නේ ඔහුට සිටියේ යැයි කියන ප්‍රසිද්ධ යෙහෙළියන්ගෙන් එක් කෙනෙකි. ඔහු පිටු පසින් එන පෙරහැරේ බාල් නටන්නෝය. ෂැම්පේන් බොන්නෝය. මුදලට ආවඩන පත්තර කාරයෝය. බෞද්ධ රටක මස් පිණිස සතුන් මැරීම පිළිකුල් කරනු ලැබේ. වරක් අගමැති ප්‍රසිද්ධියේ පිළිස්සූ වසු පැටවකු ඔහු අතින්ම මස් කිරීමේ සිත් කම්පා කිරීමේ සිද්ධිය සැදැහැවතුන්ට මතක් කිරීම සඳහා පෝස්ටරයේ ඉදිරි පසින් මැරූ වසු පැටියෙකු සහිත කරත්තයක්ද වේ. පසුබිමේ ඇමරිකානු මුදල් හිමියෝ කිහිප දෙනෙක් (අන්කල් සෑම්) විශාල ඩොලර් සලකුණු ඔසවාගෙන සිටිති. පෝස්ටරයේ මාතෘකාව වූයේ ‘මාර යුද්ධය-2500ට පෙරත් අදත්' යන්නයි. මේ කියමන ද විය. "මේ බුද්ධ ජයන්ති වර්ෂයේදී ඔබගේ රට, ජාතිය, සාමය දුෂ්ට බලවේගයන්ගෙන් රැකගන්න". මෙයින් ඇඟවූ දේ පැහැදිලිය. බොහෝ විහාර බිතු සිතුවම්වලින් මීට නොවෙනස් දර්ශනයක් පෙන්නුම් කරයි. පව්කම්වල සංකේතය වූ මාර ඇතු පිට නැගී බුදුන්ට හා බුදුන්ට අනුව යන්නන්ට පහර දෙයි. බුදුන්ගේ දැහැමි නිර්මල ගුණයේ බලයෙන් මාරගේ සිත අවුල් වේ. ඇතු බිම ඇද වැටේ. බිම හෙළනු ලැබූ මාර බෙලහීන වේ.

 

56 නව ආකාරයකින්

අවසානයේ සිංහල බෞද්ධ ව්‍යාපාරය 1956 අප්‍රේල්වලදී පැවති මැතිවරණයෙන් මාර පරාජය කොට අති විශාල දේශපාලන ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් විය.

2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය ලැබූ ජයග්‍රහණයද 1956 විප්ලවයේ නව සංස්කරණයක් ලෙස සැලකිය හැකිය. 2015 මැතිවරණයෙන් ලැබූ පරාජය සිංහල බෞද්ධ බලවේගයන් අන්ද මන්ද කිරීමට හේතුවී තිබුණි. ඔවුන් එම දේශපාලන සංසිද්ධිය දුටුවේ රට ජාතිය හා ආගම බේරාගත් වීරයාව සුළු ජාතික බලවේගයන් එකට එකතු වී පරාජය කළ ඛේද ජනක අවස්ථාවක් ලෙසය. සිංහල ජාතිය හා බුද්ධාගම අනතුරුදායක තත්ත්වයක තිබෙන්නේ යැයි කියන අදහස හා ඒ තත්ත්වය ජය ගැනීම සඳහා සිංහල බෞද්ධයන් එක්සත්ව ක්‍රියා කිරීමේ වැදගත්කම සිංහල බෞද්ධයන්ට කියා දෙන වැඩසටහන් පන්සල් කේන්ද්‍ර කර ගනිමින් ගම් මට්ටමින් ක්‍රියාත්මක වූ අතර ඒ මගින් වර්ගය හා ආගම මුල් කර ගත් ආවේගයන් රජ කරන සමාජයක් ඇති කිරීමට හේතුවිය. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ කතෝලිකයන් හා ක්‍රිස්තියානින් ඉලක්ක කර ගෙන වුවත් එය සිංහල බෞද්ධයන් අතර අති විශාල බියක් ඇති කිරීමට හේතු විය. මුස්ලිම් ඇමතිවරුන් සියලු දෙනා තනතුරුවලින් ඉවත් වීමේ සංසිද්ධියද ඔවුන් තුළ ඇතිවූ බිය වර්ධනය කිරීමට බලපෑ සංසිද්ධියක් ලෙස ක්‍රියා කළේය. අවසානයේ සුළු ජාතීන්ගෙන් එල්ල වන බලපෑම එක්සත් ක්‍රියා මාර්ගයකින් පරාජය කිරීමට ඔවුන් තීරණය කර තිබෙන අතර ගෝඨාභය රාජපක්ෂට අති විශාල ජයග්‍රහණයක් ලබා දීමට එම වැඩසටහන හේතුවී තිබෙන්නේ යැයි කිව හැක. මේ සියල්ල සිදුවී තිබෙන්නේ ප්‍රසිද්ධ වේදිකාවේ නොව රට පුරා තිබෙන පන්සල්වල නිසා යථා තත්ත්වය දැකීමට ආණ්ඩුව සේ ම විචාරකයන්ද අසමත් විය.

එය ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවත් ඒ නිසා ආගමික හා වාර්ගික වශයෙන් බෙදීම පොදු යහපතට හේතුවන ලෙස යොදා ගැනීමට අසමත් වෙතොත් එය විශාල අවුල් ඇති කරන දෙයක් බවට පත්විය හැකිය. ප්‍රභාකරන්ට රට බෙදීම සඳහා මායිම් සලකුණු කරන ලද සිතියමක් තිබුණි. මැතිවරණ ප්‍රතිඵල දක්වන සිතියමද බොහෝ දුරට ඊට සමානය. එයට අලුතින් එකතු වූ අංගයක් ලෙස සැලකිය හැක්කේ ඊට වතු කම්කරුවන් ඇතුළත් කඳුරටද එකතු වී තිබීමය.

 

ප්‍රතිඵලයේ ඇතැම් ලක්ෂණ

මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකාවේ ගමන් මගේ බොහෝ වෙනස් කම් ඇති වීමට නියමිතය.

එ.ජා.ප.යේ හැකිළීමක් හා බිඳ වැටීමක් ඇති විය හැකිය. තුන් වැනි බලවේගයක් වශයෙන් ඉදිරියට එන්නට උත්සාහ කළ ජ.වි.පෙරමුණ පැවැත්මේද විශාල බිඳ වැටීමක් ඇති විය හැකිය. ජවිපෙට දෙමළ උතුරෙන් එකම ඡන්දයක්වත් ලබා ගැනීමට නොහැකි වීම ඔවුන්ගේ දැක්මේ සීමාවන් මනා ලෙස පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. සිංහල බෞද්ධයන්ගේ අති විශාල පිරිසක් තමන්ගේ ආරක්ෂාව සඳහා තනි කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන විට මුස්ලිම්,දෙමළ හා උඩරට දෙමළ යන ජන වර්ගද තමන්ගේ ආගමික හා වාර්ගික දුක් ගැනවිලි නිරාකරණය කර ගැනීම සඳහා ඊට වෙනස් ආකාරයකින් තනි කණ්ඩායම් දෙකක් ලෙස ක්‍රියා කළේය. එසේ ක්‍රියා කිරීමෙන් සිංහල බෞද්ධ ජනතාව අමන්දානන්දයට හේතුවන ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වුවත් දෙමළ හා මුස්ලිම් ජන වර්ගවලට පරාජය හැර කිසිඳු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට හැකි වූයේ නැත. දැන් ඔවූහු සිටින්නේ කරකවා අත හරිනු ලැබූ මානසික තත්ත්වයකය.

සමාජ ක්‍රමයේ ඇතිවී තිබෙන මෙම තියුණු බෙදීම සම්බන්ධයෙන් තනි සිංහල බෞද්ධ ඡන්ද බලයකින් බලයට පත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිය කුමක් විය හැකිද? බෙදී සිටින මේ ජාතිය ඒකාග්‍ර කරන නායකයකු ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් ඔහුට තිබේද? නැතහොත් තමන් බලයට පැමිණියේ තනි සිංහල බෞද්ධ ඡන්ද බලයෙන් වන නිසා සිංහල බෞද්ධ නොවන අය බලා ගැනීම මගේ වගකීමක් නොවේය කියා කල්පනා කරන ප්‍රතිපත්තියක් මගින් ඇතිවී තිබෙන මෙම බෙදීම ගල් ගැසෙන තත්ත්වයක් ඇති කරයිද? රටේ අනාගත ඉරණම රැඳී පවතින්නේ මෙම සංකීර්ණ ප්‍රහේළිකාව විසඳා ගැනීමට ඔහු සමත් වේද?නැද්ද? යන ප්‍රශ්ණය මතය.

ශ්‍රී ලංකාව ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු නොව ලී ක්වාන් යූ වැනි අධිකාරිවාදී පන්නයේ නායකයෙකි. සිංගප්පූරුව දියුණුවේ ඉහළම තත්ත්වයක තිබෙන රටක් බවට පත් කිරීමට ලී ක්වාන් යූට හැකි වූයේ වාර්ගික හෝ ආගමික ගැටුම් ඇති වීමට ඉඩක් නොලැබෙන පරිදි සියලු දෙනා පිළිගැනීමට හා ගෞරවයට හේතුවන ලෙස ජාතිය ගොඩ නගා ගැනීමට හේතුවන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාය. ඒ විෂයය ගැන පමණක් ලී ක්වාන් යූ ලියා තිබෙන ප්‍රමාණය අති විශාලය. නව ජනාධිපතිවරයා ලී ක්වාන් යූගෙන් ඉගෙන ගත හැකි ඒ පාඩම පමණක් වුවත් ඉගෙන ගැනීමට සමත් වෙතොත් එය නව ජනාධිපතිවරයාගේ සේම රටේද යහපතට හේතුවනු ඇතැයි කිව හැකිය.

 

Advertiesment