Sunday 8th of December 2019

English Tamil
Advertiesment


බෙදුම්වාදයේ අලුත්ම ගොදුරු බිම-බුගන්විල්-


2019-11-22 1294

පැපුවා නිව්ගිනියාවේ (Papua New Guinea) කොටසක් වන දූපත් කිහිපයක් ‘ස්වාධීනත්වය’ දිනා ගැනීම සඳහා වන ජනමත විචාරණයකට ලබන සෙනසුරාදා මුහුණ දීමට නියමිතය. ඡන්ද විමසීම අපේක්ෂා කළ පරිදි සිදුවුවහොත් ‘බුගන්විල්’ (Bougainville) ලෝකයේ ඊළඟ රට බවට පත්විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

207,000ක් පමණ වන 'බුගන්විල්' වැසියන් නිව්ගිනියාවෙන් වෙන්වී ස්වාධීනත්වයක් අවශ්‍යද යන්න පිළිබඳව ඡන්දය ප්‍රකාශ කිරීම සමග 'බුගන්විල්' ඉතිහාසය යළි ලියවීම සිදුවනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

නිරීක්ෂකයින් අපේක්ෂා කරන්නේ 75%ක පමණ ප්‍රමාණයක් ස්වාධීනත්වය සඳහා ඡන්දය ප‍්‍රකාශ කරනු ඇති බවයි. කෙසේ වෙතත් ජනමත විචාරණය පළමු පියවරක් පමණක් බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

 

නිදහස ලැබෙන්නේ ඇයි ?

මෙම දූපත් 18 වන සියවසේ ප්‍රංශ ගවේෂකයෙකුගේ නමින් නම් කරන ලද අතර 19 වන සියවස අවසානයේ ජර්මානු යටත් විජිතයක් වන ‘ජර්මානු නිව් ගිනියා’වේ කොටසක් බවට පත්විය.

පළමුවන ලෝක සංග්‍රාමයේදී ඕස්ට්‍රේලියාව එහි පාලනය අතට ගත් අතර 1975 වන තෙක් (දෙවන ලෝක යුද්ධ සමයේ ජපාන පාලනයේ කෙටි කාලයක් සහිතව) එහි රැඳී සිටි අතර ලක්ෂ තුනක පමණ ජන ගහනයක් ඇති 'බුගන්විල්' සෑම විටම මුරපොළක් වශයෙන් පැවතිණි.

ජර්මානුවන්ගේ පළමු පරිපාලන මධ්‍යස්ථානය 1905 සිට ඔවුන්ගේ පාලනය ආරම්භ වී වසර 21 ක් ගතවන තෙක් ස්ථාපිත වූයේ නැත.

'බුගන්විල්' ජන සාහිත්‍යය අනුව ‘කඳුකරයේ මධ්‍යම සහ උතුරු'  ඇතැම් බුගන්විල් ප‍්‍රදේශ පල්ලි හෝ යටත් විජිත පාලන තන්ත‍්‍රය සමග සම්බන්ධතා පැවැත්වීමට පියවර ගෙන තිබෙන්නේ දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් පසුවයි.

බුගන්විල් ගරිල්ලා සටන්කරුවන්

 

 

1975 දී පැපුවා නිව්ගිනියාවට නිදහස ලබා දුන් විට එතරම් උනන්දුවක් නොතිබුණ ද 'බුගන්විල්' පළාතක් බවට පත් විය.

ඇත්ත වශයෙන්ම පැපුවා නිව්ගිනියාව පිහිටුවීමට ටික කලකට පෙර නිදහස ප්‍රකාශ කිරීමක් පවා සිදු වුණා. එය ‘උතුරු සොලමන් ජනරජය’ (Republic of the North Solomons) නිර්මාණය කිරීමේ උත්සාහයක් විය. කෙසේ වෙතත් එය ඕස්ට්‍රේලියාව සහ පැපුවා නිව්ගිනියාව විසින් නොසලකා හරිනු ලැබුවේය.

ස්වාධීනත්වය සඳහා වන අරගලය 20 වන සියවස තුළ වර්ධනය වූ 'බුගන්විල් අනන්‍යතාවයේ ප්‍රකාශනයක්' වශයෙන් සැලකේ. ආරම්භයේ දී වතු යටත් විජිතවාදයට ප්‍රතිචාරයක් ලෙස එය වර්ධනය වූයේ වර්ගවාදය සහ ආර්ථික සූරාකෑමට එරෙහිව වේ.

එම අනන්‍යතාවයේ මූලික සලකුණ වූයේ 'සමේ අඳුරු වර්ණයයි'(dark skin colour). බොහෝ බුගන්විල් වැසියන්ට පැපුවා නිව්ගිනියා වැසියන්ට වඩා තද සමක් තිබෙනවා.

නිදහස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අතෘප්තිය සමනය වූ අතර 1988 දී වසර නවයක බෙදුම්වාදී යුද්ධයක් ආරම්භ විය.

බෙදුම්වාදී යුද්ධය හේතුවෙන් ඝාතනයට ලක් වූවන්ගේ සංඛ්‍යාව 4000 සිට 20,000 දක්වා පරාසයක පැවති අතර එය එවකට දූපතේ ජනගහණයෙන් 03%ත් – 13%ත් අතර ප්‍රමාණයක් විය.

ජාත්‍යන්තර මැදිහත් කරුවන්ගේ සහාය ඇතිව 1997 දී සටන අවසන් විය. එහි ප්‍රතිඵලය වූයේ 2005 දී ස්වයංක්‍රීය බුගන්විල් රජය විසින් නිර්මාණය කරන ලද 'බුගන්විල් සාම ගිවිසුම' (Bougainville Peace Agreement) වූ අතර 'ස්වාධීනත්වය පිළිබඳ නොබැඳි ජනමත විචාරණය'ක (non-binding referendum on independence) පොරොන්දුව එමගින් ලබා දුන්නේය.

බුගන්විල්හි සිවිල් යුද්ධයේ  සටන්කරුවන්

 

 

 

ඉතින් එහි ඇති විකල්ප මොනවාද ?

මෙහිදී ඇතිවිය හැකි ප්‍රතිඵල දෙකක් ඇත. 

වැඩි ස්වාධීනත්වයක් අපේක්ෂා කරයි නම් ඔවුන් ස්වාධීනත්වයට පක්ෂව ඡන්දය දෙනු ඇත.

ජනතාව නිදහස සඳහා ඡන්දය දෙනු ලැබුවහොත් 'බුගන්විල්' පැපුවා නිව්ගිනියාවෙන් වෙන් වූ වෙනම ස්වෛරී රටක් බවට පරිවර්තනය වනු ඇත.

'බුගන්විල්' ජනතාව නිදහස සඳහා ඡන්දය දුන් නමුත් පැපුවා නිව්ගිනියාව එම ප‍්‍රතිඵල පිළි නොගතහොත් එය නව අර්බුධයකට හා නව යුද්ධයකට තුඩු දිය හැකිය.

ඡන්දය ප්‍රකාශ කිරීම නොවැම්බර් 23 සිට දෙසැම්බර් 7 දක්වා පැවැත්වෙන අතර ප‍්‍රතිඵල දෙසැම්බර් මාසයේදී ලබා දීමට බලාපොරොත්තු වේ.

ජනමත විචාරණ කොමිෂන් සභාවේ ප්‍රධානත්වය දරන්නේ හිටපු අයර්ලන්ත අගමැති බර්ටි අර්න් (Bertie Ahern) විසිනි. ඔහු උතුරු අයර්ලන්ත සාම ක්‍රියාවලියේ කොටසක් වූ '1998 සුබ සිකුරාදා ගිවිසුම' සාකච්ඡා කිරීමට සහාය වුණා.

 “මෙම ක්‍රියාවලිය විශ්වසනීය එකක් වනු ඇතැයි මම විශ්වාස කරමි."යැයි අර්න් මහතා ප්‍රකාශ කර ඇත.

බුගන්විල් වැසියන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වන පෝස්ටරයක්

 

 

පැපුවා නිව්ගිනියාව පවසන්නේ කුමක්ද ?

ජනමත විචාරණ ක්‍රියාවලිය සඳහා වන අරමුදල් මධ්‍යම රජය මීට පෙර අත්හිටුවා ඇති අතර එයින් බලාපොරොත්තු වී ඇත්තේ 'බුගන්විල්' සඳහා වෙනම රාජ්‍යක් ලබා නොදීමයි.

ඔක්තෝම්බර් මාසයේදී නව අගමැති ජේම්ස් මාරපේ නැවත වරක් කියා සිටියේ ‘ඡන්දය' නොපැමිණෙන බව සහ එහි ප්‍රතිඵලය පැපුවා නිව්ගිනියාව සහ බුගන්විල් ආණ්ඩු විසින් ‘සාකච්ඡා කරනු ඇති’ බවයි.

පැපුවා නිව්ගිනියාවට බුගන්විල් තබා ගැනීමට අවශ්‍ය ඇයි ?

එක් හේතුවක් නම් 'බුගන්විල්' ස්වාභාවික සම්පත් වලින් පොහොසත් වීමයි. යුද්ධය නිසා එම ප්‍රදේශයේ තඹ සහ රන් කැණීම් බොහෝමයක් නතර කළ අතර යුද්ධයට පෙර 'බුගන්විල්' පැපුවා නිව්ගිනියා හි ධනවත්ම ප‍්‍රදේශයක් විය.

අනෙක් හේතුව නම් එය පූර්වාදර්ශයක් විය හැකි බවයි. 'බුගන්විල්' නිදහස ලබා ගතහොත් අනෙකුත් පැපුවා නිව්ගිනියාහි පළාත් (20 ට වඩා වැඩි ගණනක්) ස්වයං පාලනයක් සඳහා වන ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ අවදානමක් පැවතීමයි.

බුගන්විල් නිදහස සඳහා සූදානම්ද ?

'බුගන්විල්' නව රටක් බවට පත් වුවහොත් එය කුඩා රටක් වනු ඇත. එය වර්ග කිලෝමීටර් 10,000 ට වඩා අඩු භූමි ප්‍රමාණයක් (සයිප්‍රසයට වඩා තරමක් විශාල වන අතර ලෙබනනයට වඩා තරමක් කුඩා) වේ.

ඒ හා සමානවම ජනගහනය අතින්ද ලෝකයේ කුඩාම රාජ්‍යක් බවට පත් වේ.

නමුත් ඕස්ට්‍රේලියාවේ ලෝවි ආයතනයේ (Australia’s Lowy Institute) පර්යේෂණයන්ට අනුව 'බුගන්විල්' ස්වයං රාජ්‍යක් ලෙස නැගී සිටීමට වසර ගණනාවක් ගත විය හැකිය.

බුගන්විල් හි වෙළඳපොළක කාන්තාවක් බුලත් හපමින් 

 

 

රට ස්වාභාවික සම්පත්වලින් පොහොසත්. විශේෂයෙන් තඹවලින් ඉතාම පොහොසත්ය. ඕස්ට්‍රේලියානු පරිපාලනය යටතේ 1960 දශකයේ සිට මහා පරිමාණයෙන් මෙම සම්පත් උකහා ගැනීමට කටයුතු කළේය. නමුත් වර්තමානයවන විට  පතල් කැණීම් යුද්ධයෙන් අඩපණ වී ඇති අතර ආදායම බෙදා හැරීම පිලිබඳ විශාල ගැටලුවක් පවතී.

ලෝවි ආයතනය විසින් උපුටා දක්වන ලද එක් තක්සේරුවකට අනුව, බුගන්විල්ට ලබා ගත හැකි වන්නේ  ස්වාධීන රාජ්‍යක් ලෙස නැගී සිටීමට අවශ්‍ය 565ක් පමණකි.

 

වෙනත් රටවල් කරන්නේ කුමක්ද ?

ආසන්නතම ධනවත් රට වන ඕස්ට්‍රේලියාව බුගන්විල්ගේ විශාලතම ආධාර සපයන්නා වන අතර යුද්ධය අවසන් කිරීමටද විශාල ලෙස මැදිහත් විය.

ඕස්ට්‍රේලියාව ‘සාකච්ඡා කරන ඕනෑම විසඳුමක්’ පිළිගන්නා බව පවසන නමුත් බොහෝ බුගන්විල් වැසියන් විශ්වාස කරන්නේ ඕස්ට්‍රේලියාව නිදහසට විරුද්ධ බවයි. ඒ අතර තව දුරටත් එක්සත් ජනපදය හා චීනය ද බුගන්විල් හී වර්ධනයන් දෙස සමීපව නිරීක්ෂණය කරමින් සිටී.

නව වරායක් ඇතුළුව බුගන්විල් හි ආයෝජනය කිරීම සඳහා චීනය දැනටමත් නියෝජිත කණ්ඩායමක් යවා ඇතැයි ආරංචි මාර්ග පවසයි. බීජිනයද  මෑතකදී පැසිෆික් සාගරයේ දූපත් ජාතීන් සමඟ සබඳතා වැඩි දියුණු කිරීම සඳහා සිය ප්‍රයත්නයන් වැඩි කර ඇති අතර සොලමන් දූපත් හා කිරිබාටි සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගෙන ඇත.

මේ අතර එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ජපානය  ජනමත විචාරණයට සහාය වීම සඳහා අරමුදල් සපයා ඇත.

-බී.බී.සී ලෝක සේවය-
Advertiesment