Wednesday 29th of November 2023

English Tamil
Advertiesment


“කුජ” මැරුවත් එක්ක අගමැතිට ජනතා විරෝධය..!


2019-07-02 7721

ජනපතිටත් අන්තිමයි

ඇමති කොට්ටය මාරු වුණාට හිසරදය එලෙසමයි..!

2018 මාර්තු 07 දා සිදු වන කුජ හෙවත් අගහරැගේ ග්‍රහ මාරුව ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, රටටත්, යහපතක් නොවන බව පෙනේ.වෘශ්චික රාශියෙන් ධනු රාශියට සංක්‍රාන්ත වන කුජ රනිල් වික්‍රමසිංහ  මහතාගේ දස වැන්නට පිවිසෙයි.  සෙනසුරු සමඟ යෝගවීම ඉතාම භයානකය.  ජනතා නියෝජිත සෙනසුරු සමඟ සටන්කාමී කුජ එක්වීම ජනතාවගේ ප්‍රකෝපයට හේතුවේ.  මේ නිසා අගමැතිතුමාට ජනතාවගේ ප්‍රසාදයක් පළ නොවනු පෙනේ.

කරන කියන කටයුතු හරහා ජනතාව ප්‍රකෝප වනු ඇත.  ජනතාවගේ රුධිරය රත් කරනු ඇත. ආවේගශිලි ස්වරූපයක් ගනී.  සටන්කාමීන් ලෙස ක්‍රියා කරයි.පසුගියදා සිදු වූ ඇමති තනතුරු මාරුව ද ජනතාව තුට්ටුවටවත් ගණන් ගන්නේ ද නැත.  එය හිසරදයට කොට්ටය මාරු කිරීමක් වැනිය.  කොට්ටය මාරු වුණාට ජනතාවගේ හිසරදය එලෙසමයි.වෙළ‍‍ඳ පොලේ බඩු මිල දකින විට හිසරදය දෙගුණ තෙගුණ වේ.  ජනතාවගේ රුධිර පීඩනය ද ඉහළ යනුයේ මාපකයේ රතු කටු ද කඩා ගෙනය.

ශ්‍රී ලංකා කේන්දරයේ නම් කුජ සංක්‍රාන්තිය අයස්ථානයටය. සාධාරණ මුදල් ඉපයීම් දක්නට නොලැබේ.  අයථා අන්දමින් මුදල් ඉපයීමට මහා එවුන් සේම පොඩි එවුන් ද සැරසේ.  කොල්ලකෑම්, හොරකම්, මං පැහැරීම්, අල්ලස්, දූෂණ වැඩිවේ.  මේ අනුව ග්‍රහචාරය මත රටේ තත්ත්වය තවත් භයානක තත්ත්වයක් ගනු විනා යහපත් බවක් නම් නොපෙනේ.

ආර්ථික දරිද්‍රතාවය වැඩි වෙත්ම ජනතාවගේ මානසික පීඩනය ද වැඩිවේ.  ආතතියෙන් පෙළෙන ජනතාවක් සිටින රටක තත්ත්වය කෙබදුද යන්න අමුතුවෙන් කිවයුතු නැත.  මෙයට සෘජුවම වග කිව යුත්තේ ග්‍රහයින්ම නොව පවතින රජයයි.  එනම්, රටක දසවැනි ග්‍රහයා රජය නිසාවෙනි.

ඥානකාරක ගුරු සතුරුව අගමැතිතුමාගේ අටවැන්නේ ගමන් කරයි.  උපදෙස් පැතීමේදි ඉතාම ප්‍රවේශම් විය යුතුය.  මුරුංගා අතු උඩ තබා උපදෙස් දෙන උපදේශකවරුන්, ජ්‍යෙතිෂවේදීන්ගෙන් විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතුය.  අතුත් කඩා ගෙන බිමට වැටුණු මහින්ද රාජපක්ෂ  මහතාට අත් වූ ඉරණමම  අනිත් අයටත් අත් වීමට පුළුවන.  වැරදි උපදෙස් නිසා අමාරුවේ වැටුණු දේශපාලන නායකයෝ අතීතයේ තවත් නොසිටියා නොවේ. සෑම අවස්ථාවකදීම  සාම්ප්‍රදායක මත දරන ජ්‍යෙතිෂවේදීන්ගෙන් ප්‍රවේශම් වීම යහපත්ය.  ජ්‍යෙතිෂ විද්‍යාඥයින් වෙත පමණක් විශ්වාසය තැබීම සුදුසුය.  හේතුව, ජ්‍යෙතිෂවේදීන් ග්‍රහයින් දේශපාලනීකරණය කරන නිසාවෙනි.

ශ්‍රී ලංකාවේ ලග්නය කුම්භ බව කවුරුත් දනිති.  වායු ගණ මෙම ලග්නය පවතින අපේ රට ලෝකයේ වෙනත් දියුණු තාක්ෂණික රටවල් දෙස බලා පිම්බීමට යාම හානිදායකය.  මේ රටේ පොළව, වාතය, පරිසරය, කාලගුණය මේ සියල්ලම සෑදි තිබෙන්නේ කෘෂි ආර්ථික රටාවක් පදනම් කර ගෙනය.  එය මුල් කර ගෙන රට සංවර්ධනය කරනු වෙනුවට වෙනත් රටවල් දෙස බලාන එසේ වීමට යාමෙන් සිදු වන්නේ අලියෙකු වීමට ගිය ගෙම්බාට අත් වුණු ඉරණමමය.

රටේ ගස් කොළන් ටික රැක ගෙන, වාරි කර්මාන්තය දියුණු කර ගෙන, ආර්ථිකය නැංවීම යනු රටේ සාරධර්ම ද රැක ගැනීමට හේතුවේ. අප සතු උතුම් ගුණාංග, ආචාර ධර්ම, විනය සමස්ථ සංස්කෘතියම සැකසී ඇත්තේ මෙම ගොවි ආර්ථිකය හරහා නිසාවෙනි.ඒ නිසා රටේ ගල්නය අනුව රටේ හැඩය පැවතිය යුතුය.  හැඩය වෙනස් කරන්නට යන දේශපාලකයින් නිසා හැමදාම අපේ රට සංවර්ධනය වෙමින් පවත්නා රටකි.

මාර්තු මස 03 උදේ 6.59 ට බුධ මීන රාශියට පිවිසියේ නීචත්වය ද රැගෙනය.  ශ්‍රී ලංකා කේන්දරයේ දෙවැන්නේය.  කුඩා දරුවන්ට ඉතාම අපල කාලයකි.  දරුවන්ට මාරයා අත වනන පරාසයකි.  කුඩා දරුවන් අනතුරුවලට බදුන් වන ප්‍රතිශතය වැඩිවේ.  මේ ගැන මව්පියන්, වැඩිහිටියන් වැඩි ආවධානයක් යොමු කළ මනාය.  එය ජල අනතුරු, ගිනි අනතුරු, මාර්ග අනතුරු ආදිය වශයෙන් විය හැකිය.

 ජ්‍යෙතිෂ විද්‍යාඥ

ආචාර්ය රෙක්ස් ගුණවර්ධන

072-4040500

011-4282555

 

Advertiesment