Thursday 12th of December 2019

English Tamil
Advertiesment


රටයි-ජනතාවයි වෙනුවෙන් විධායක බලය පාවිච්චි කරන්න පසුබට වන්නේ නැහැ


2019-11-18 1985

"ඡන්දය දුන් නොදුන් සියලු ජනයාගේ පුරවැසි අයිතීන් රකිනවා"

 

"ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රබල රටක් කරනවා"

 

අභිනව ජනපති ජාතිය අමතයි..!

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

රටේත්,ජනතාවගේත් යහපත සහ රැකවරණය වෙනුවෙන් සිය විධායක බලතල පාවිච්චි කිරීමට තමා කිසි විටෙකත් පසුබට නොවන්නේ යැයි අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

එමෙන්ම ජනාධිපතිවරනයේදී තමාට ඡන්දය ලබා දුන් සහ නොදුන් සියලු පුරවැසියන්ගේ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් රටේ ජනාධිපතිවරයා ලෙස තමා පොදුවේ පෙනී සිටින බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර රුවන්වැලි මහා සෑරඳුන් අභියස, ශ්‍රී ලංකාවේ 7වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමිනි.

ජාතිය අමතමින් අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පුර්ණ කතාව මෙසේය.

"බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදි කළ මේ ඓතිහාසික ස්වර්ණමාලි මහා සෑ පුද බිමේ සිට ඔබව අමතන්නට ලැබීම මා ලද සුවිශේෂී භාග්‍යක්.ශ්‍රී ලාංකේය රාජ වංශයේ ශ්‍රේෂ්ඨතම නරපතියෙකු වන දුටු ගැමුණු මහා රජුන්ගේ පිළි රුව අභියස සිට ජාතිය ඇමතීමට අවස්තාවක් ලැබී තිබෙන්නේ මේ රටේ බහුතරයක් ජනතාව විසින් මා හට ලබා දුන් ඓතිහාසික ජන වරම නිසායි.අද මා ඔබ හමු වන්නේ ඔබ සියලු දෙනාම ආදරය කරන මේ රටේ විධායක ජනාධිපතිවරයා,සේනාධි නායකයා මෙන්ම ඔබේත්,ඔබේ දූ දරුවන්ගේත් ආරක්ෂාව භාර ගන්නා ආරක්ෂක ඇමති වරයා වශයෙනුයි.

සියල්ලන්ටම පෙර මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමතියි මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වූ සුවිශේෂීම පිටු වහල වූයේ අපේ රටේ සිව් දිග වැඩ වසන ගරුතර මහා සංඝරත්නය විසින් මා හට ලබා දුන් ආශීර්වාදය බව.මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව මුල සිටම දැන සිටියා.සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බව මා දැන සිටියත්, මා දමිළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස් කරුවන් වන්නට කියා.එයට ප්‍රතිචාරයනම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුනේ නැහැ.එහෙත් මම ඔබේත් නව ජනාධිපතිවරයා වශයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමග එක් වන ලෙසයි.

මා වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියලුම ඡන්ද දායකයින්ට මම මේ මොහොතේ ස්තුතිය හා ගෞරවය පුද කරනවා.එමෙන්ම මා වෙනුවෙන් ඡන්දය භාවිතා කළත් නොකළත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතියට ගරු කරමින් කවර හෝ අපේක්ෂකයෙක් වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය භාවිතා  කළ අනෙකුත් ඡන්ද දායකයන්ටත් මම ස්තූතිවන්ත වනවා.දකුණේ සිංහල බෞද්ධ පවුලකින් පැවත එන මම අධ්‍යාපනය ලැබුවේ ප්‍රධාන පෙලේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන්.ඒ නිසා බෞද්ධ දර්ශණය හැම විටම මගේ සිතුවිලි වලට හා ගති පැවතුම් වලට එක්වී තිබෙනවා.බෞද්ධ දර්ශණය තුල ඉදි වන්නේ නීතිය,යුක්තිය සහ සාධාරණත්වය සහතික වන ධර්මානුකූල රාජ්‍යක්.සියලුම ජාතිකයන්ට,සියලුම ආගමිකයන්ට ක්ෂේමභූමියක් වූ පාලන තන්ත්‍රයක්.මගේ ධුර කාලය තුල මේ රටේ බෞද්ධ දර්ශණය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම ඇප කැප වී සිටිනිවා.

වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි.ඒ නිසා සාර ධර්ම,පාරම්පරික සිරිත් විරිත් හා අපේ කම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳි සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වුණු සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට තම ආගමික හා ජාතික අනන්‍යතාවයත් රැක ගෙන ගෞරවාන්විතව ජීවත් විය හැකි අයිතිය අපි හැම විටම සුරකිනවා.මැතිවරණ ව්‍යාපාරය පුරා මට අයෝමය ශක්තියක් වූ මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළ ශ්‍රී ලංකාවේ පස් වැනි විධායක ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැති තුමාට මගේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරනවා.ඒ සමගම මම ඔබ තුමාට සුභ උපන් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

මගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණයේ නිර්මාතෘ වරයා මෙන්ම පක්ෂයේ ජාතික සංවිධායක වරයා වන බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තූතියක් මම මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි.පක්ෂයේ මහ ලේකම් තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට මහජන නියෝජිතයන්ට සහ සාමාජිකයන්ට මම ස්තූතිය පුද කරන්න කැමතියි.මට සහාය දීමට එක් වී මෙම මැතිවරණ ව්‍යාපාරය තුල සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ හැමදාමත් අප සමග සිටි සියලුම දේශපාලන පක්ෂ වල නායකයන්ටත්,එම පක්ෂ වල නිලධාරීන්ට සහ සාමාජිකයන්ටත් මේ අවස්ථාවේ මගේ හෘදයාංගම ස්තූතිය මම පුද කරනවා.ඒ වගේම මෙම මැතිවරණ ව්‍යාපාරය තුල අප සමග එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයිනුත් දැක්වූ සහාය මෙහිදී සිහිපත් කරනවා.මෙම මැතිවරණයේදී රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් අතර වෙන කවරදාවත් නැති උද්යෝගයක් අපි දුටුවා.කිසිඳු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මින් පෙර මැතිවරණ ක්‍රියාවලියකට සහභාගී නොවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවර අප වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම වැඩ කළා.

වියත් මග වැනි වෘත්තීය වේදීන්ගේ සංවිධාන,විවිධ ජාතික සංවිධාන,ව්‍යාපාරිකයන්,වෘත්තිකයන්,විද්වතුන්,කලා කරුවන්,සමාජ ජාල ක්‍රියා කාරිකයන්,ඡන්දය දීමට ලංකාවට පැමිණි විදේශ ගත ශ්‍රමිකයන් මෙන්ම තරුණ පරපුර මේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දුන් සුවිශේෂ දායකත්වය මම අගය කරනවා.ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා හමු වී නැතත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම කැපවීමෙන් ඉටු කළ ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේ මගේ ස්තූතිය පුද කරනවා. 

දැන් අපට තිබෙන්නේ ජාතියක් වශයෙන් එකට එක් වී මේ රට ගොඩනැගීමේ වගකීමයි.ඡන්දය භාවිතා කළ ඔබ විසින් මේ ජන වරම මට ලබා දී තිබෙන්නේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අප විසින් රටට යෝජනා කළ ජනතාව විසින් ජනතාව උදෙසා සකස් කළ ජනතා කේන්ද්‍රීය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමටයි.රටේ ඒකීයත්වය,ස්වෛරීත්වය ආරක්ෂා කරන වැඩ පිළිවෙලක්.මේ රටේ ජීවත්වන සියලුම පුරවැසියන්ගේ අපේක්ෂාවන් ඉටු කරන වැඩ පිළිවෙලක්.අනාගත පරපුරට ආඩම්බරයෙන් ජීවත් විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩනංවන වැඩ පිළිවෙලක්.

මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගුවන සියලු කරුණු මගේ ධූර කාලය තුල ඉටු කිරීමට මම කටයුතු කරනවා.ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මගේ රජයේ මුලික වගකීමක් ලෙස මම සලකනවා.අපේ මවු බිම ත්‍රස්තවාදයෙන්,පාතාල ක්‍රියාකාරකම්වලින්,සොරබියෙන්,කප්පම් කරුවන්ගෙන්,මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන්,කාන්තා සහ ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රනය අපි යලිත් ශක්තිමත්ව ගොඩ නගනවා.

අපි සෑම රටක් සමගම මිත්‍ර ශීලීව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.ලෝක දේශපාලනය තුල විවිධ ජාතීන් අතර බල අරගලයකට මැදි වන්නට අපිට අවශ්‍යතාවයක් නැහැ.අප සමග සම්බන්ධතා පැවැත්වීමේදී අපේ රටේ ඒකීයත්වයට සහ ස්වෛරීත්වයට ගරු කරන ලෙස අපි සියලුම රට වලින් ඉල්ලා සිටිනවා.

අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපගේ මූලික වගකීමක්.ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඉටු කිරීමේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ මැතිවරණය ආරම්භයේ සිටම අපි මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරන්නට කැප වුනා.ප්‍රතිවාදීන්ට අපහාස නොකර ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් තොර පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් හරහා අන් සියලු දෙනාටම ආදර්ශයක් සපයන්නට අපට පුළුවන් වුනා.රාජ්‍ය පාලනය තුලත් ඒ ආදර්ශමත්භාවය දිගටම පවත්වාගෙන යන්නට මම ක්‍රියා කරනවා.

නීතියේ අධිපත්‍යට ගරු කරන,සමාජ සාධාරණත්වය සුරකින,දූෂණයෙන් වංචාවෙන් තොර,සැබෑ ජනතා සේවයට කැපවුන වෘත්‍තීමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් යලි මේ රටේ ස්ථාපිත කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා.ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල පොරොන්දු වූ ආකාරයටම අපේ පාලන ක්‍රමයේ විවිධ වගකීම පැවරීමේදී හැකියාවට හා දැනුමට හැම විටම මුල් තැන ලබා දෙනවා.

අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කිරීමට වගකීම් රාශියක් අප සතුව තිබෙනවා.ගෝලීය නව ආර්ථික ප්‍රවණතාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා ඔවුන් දැනුමින් වර්ධනය කිරීමට සහ ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමට උපකාර කිරීමට අපි ප්‍රමුඛත්වයක් දී කටයුතු කරනවා.21වන ශත වර්ෂයේ අභියෝගයන්ට මුහුණ දීමට අපේ ජනතාව සුදානම් කිරීම සඳහා රටේ සෑම ක්ෂේත්‍රයකම නව තාක්ෂනය භාවිතාව පුළුල් කරනවා.අපගේ සමස්ත ජීවන රටාව තුලම ගුණ ගරුක බව,නීති ගරුක බව සහ විනය ගරුක බව රකින සමාජයක් ගොඩ නැගීම සඳහා ඔබ සියලු දෙනාගේම සහාය මම බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි.ඒ අනුව මට ඡන්දය දුන් අය මෙන්ම නොදුන් සියලු දෙනාගේම පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා.අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව ජනතා අපේක්ෂාවන් ඉටු කරන්නට මම සැම විටම කැප වෙනවා.අපි ඉදිරියේ විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා.විශාල වැඩ කොටසක් කෙටි කලක් තුල ඉටු කරන්නට තිබෙනවා.උවමනාව තිබෙනවානම් අපට කරන්නට බැරි දෙයක් නැහැ.ජයග්‍රහණය කරන්නට නොහැකි අභියෝගයක් නැහැ.රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන දැක්ම අප සතුව තිබෙනවා.

ඒ සඳහා සැලසුම් "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා අපි ඉදිරිපත් කර තිබෙනවා.මම මේ රටේ විධායක ජනාධිපතිවරයායි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසි විටක පසුබට වන්නේ නැහැ.ඒ අනුව සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීම සඳහා ජනතාව විසින් ලබා දී ඇති මෙම ඓතිහාසික ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා මගේ ප්‍රතිපත්තිය අනුව කටයුතු කළ හැකි නව රජයක් මම පිහිටුවනවා.

මම මගේ රටට ආදරේ කරනවා,මම මගේ රට ගැන ආඩම්බර වෙනවා,මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා, අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් රටක් ගොඩ නැගීම සඳහා මා සමග එක්වන මෙන් සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.

ඔබ සැමට ස්තුතියි,තෙරුවන් සරණයි."

 

Advertiesment