Thursday 5th of December 2019

English Tamil
Advertiesment


සිහියෙන් බලන්න...දහම ඔබ අසලමයි..!


2019-11-15 1083

 

ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම් සෙවිය යුත්තේ සැඟවුණ දෙයක්‌. නොපෙනෙන දෙයක්‌....

ඉන්ද්‍රියන් හයටම පස්‌සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය දකින්නේ නැහැ. ආලෝකය තුළ සිටිමින් ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස්‌ අවිද්‍යාවෙන් වැසිලා. ඔබ ධර්මය සොයන්නේ නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මඟ යන්න. උන් වහන්සේ ගිය මග අධ්‍යයනය කරන්න. සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක්‌ පෙරුම් පුරා පැමිණියද සිද්ධාර්ථ කුමරාට වයස අවුරුදු 29 වන තෙක්‌ එතුමා ඉලක්‌ක කර ගෙන පැමිණි පාරමී ගමනේ අරමුණ ගැන දැනීමක්‌ හැඟීමක්‌ නොදැනුණා. කුමරාට මෙම සංසාරික ඉව මතුවී එන්නේ සතර පෙර නිමිති දැකීමත් සමඟයි. එතෙක්‌ කුමරා ගත කළේ සිය පියා විසින් නිර්මාණය කරන ලද, සැලසුම් කරන ලද දුක නැති සමාජ පරිසරය තුළ කෙළි ලොල් ජීවිතයක්‌. ධර්මය සොයා ගෙන ගිහි ජීවිතයෙන් නික්‌මුණ කුමරා මුලින්ම කළේ සියල්ලම අත හැරීමයි. යශෝධරාව, රාහුල කුමරු, රාජ සම්පත් සියල්ලම අත හැරියා. ප්‍රථම අදියර තමයි එය. සියල්ල අත හැරලා කැලයට ගියේ. පරිසරයට, ස්‌වභාව ධර්මයට ගිහින් මොකද කළේ..?

කුමරුන්ට කියවීමට ධර්ම පුස්‌තක හෝ භාවනා පංති, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා.... මේවා තිබුණාද..? ත්‍රිපිටකය තිබුණාද..? ලෝකයේ තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ.

මෙවැනි පරිසරයක කුමරා ගිය මඟ කුමක්‌ද..? ඔබ නිවී සැනසිල්ලේ සිතන්න. සිතමින් අවබෝධය ලබන්න. කුමරා කැලයට ගොස්‌ බලාගෙන සිටියා පරිසරය, ස්‌වභාව ධර්මය දෙස. ඇති වෙන නැති වෙන සිතිවිලි දෙස. වෙන බලන්න දකින්න දෙයක්‌ කැලයේ තිබුණේ නැහැ. කුමරා දැක්‌කා උදයට හිරු පායනවා. සවසට හිරු බැස යනවා. රාත්‍රියට සඳ පායනවා. උදේට සඳ බැස යනවා. වැස්‌ස වහිනවා. පායනවා. පින්න, සීතල, සුළඟ, වලාකුළු, දේදුණු එනවා යනවා. නියඟය එනවා, ගංවතුර එනවා. එකම දේ නැවත නැවත සිදු වෙනවා. ගස්‌ වල දලු ලනවා, කොළ බවට පත් වෙනවා, වියළෙනවා, වැටෙනවා, නැවැත නැවැත ඒ දේම සිද්ධ වෙනවා.

මල් එනවා, ගෙඩි හැදෙනවා, ඒවා ඉදෙනවා, බිමට වැටෙනවා, පැළ වෙනවා, පැළය ගසක්‌ වෙනවා, එකම දෙය නැවත නැවතත් වෙනවා. හිස රැවුල කපනවා. එය නැවත නැවත සිද්ධ වෙනවා. කුස ගිනි දැනෙනවා. ආහාර ගන්නවා. එය නැවත නැවත සිදු වෙනවා. ශරීරයේ හැම ස්‌වභාවයක්‌ම, පරිසරයේ හැම ස්‌වභාවයක්‌ම නිත්‍ය භාවයේ නොපැවතී අනිත්‍ය භාවයට පත් වෙනවා. බෝසත් කුමරුන් කැලයේ සිටිමින් දකින්න ඇත්තේ ඔය ස්‌වභාවයයි. වෙන දකින්න දෙයක්‌ කැලයේ නැහැ. එහෙම නම් ඉහත පරාසය තුළ ධර්මයේ අර්ථය තිබෙන්න ඕනේ. සියල්ල අත හැරීම තුළ බෝසත් කුමරුන්ගේ සැහැල්ලු, නිකෙලෙස්‌ සිත නිරතුරුවම සමාධිමත්ව තිබීම නිසා ඉහත ස්‌වභාවයන් ඉතා හොඳින් බෝසත් කුමරුන්ට පෙනෙන්නට, දැනෙන්නට ඇති. බෝසත් කුමරුන් සම්මා සම්බුද්ධ පදවිය අවබෝධ කර ගන්නා මොහොත දක්‌වාම උන්වහන්සේ අවබෝධය ලැබුවේ ස්‌වභාව ධර්මය, පරිසරය තුළින්ම ය.

ස්‌වභාව ධර්මයත්, තමාගේ කයත්, සිතත් දෙස අත් හැරීමෙන් සමාධිමත් වූ සිතින් බැලීමේදී, අනිත්‍ය හැර වෙනත් ස්‌වභාවයක්‌ මෙහි නොමැති බව උන් වහන්සේ දකින්නට ඇති. ඔය මඟ තමයි අපගේ ශාස්‌තෲන් වහන්සේ නිවීම සඳහා ගිය මඟ. අබුද්ධෝත්පාද කාල වලදී පහලවන පසේ බුදුරජාණන් වහන්සේලාද ධර්මය අවබෝධ කර ගන්නේ ඉහත බුදු මඟ අනුගමනය කරමින්ය. ඔබේ අනිත්‍යභාවයට පත් වන සිත ඔබට දෙන සැප කෙටි දුර කල් මරණ මාර්ග සිතේ අනිත්‍ය බව දකිමින් අත් හරින්න. සැබෑ බදු මඟ ඔබ ගමන් කරන්න.

කිරි ගසකට ඇනීමේදී යම්සේ කිරි වෑහේද, ඉහත බුදු මඟ ඔබ ගතහොත් නිවීම ඒකාන්තය. මන්ද එය බෝසතුන් වැඩි මඟ නිසාය. ධර්ම විනය දෙක යනුවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැඳින්වූයේද ඉහත මාර්ගයමය. ධර්මය යනු ස්‌වභාව ධර්මයයි. විනය යනු සතියයි, සිහියයි. එහි අර්ථය සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාව ධර්මය දෙස බලන්න යන්නයි. ශාසනය තුළ මුල් දශක දෙක තුළදී, විනය පැනවීමකින් තොරව සංඝරත්නය හික්‌මුණේ උන්වහන්සේලා සතියෙන් යුක්‌තව ස්‌වභාව ධර්මය දෙස බැලීම නිසාය. එහි ප්‍රති ඵලය ධර්මාවබෝධයයි. පසු කාලීනව සංඝරත්නය සතියෙන් තොරව ස්‌වභාව ධර්මය දෙස බැලීම නිසා සතිය සිහිය ඇති කිරීමට විනය පැනවීමට බුදුරජාණන් වහන්සේට සිදු විය.

ඔබ දක්‍ෂ වෙන්න සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාව ධර්මය දෙස බලන්න. එවිට ඔබ දකින්නේ ධර්මයේ ස්‌වභාවයයි. ධර්මයේ ස්‌වභාවය, වෙන දෙයක්‌ නොවේ. අනිත්‍යය පමණමයි. ස්‌වභාව ධර්මයත්, ඔබත් දෙකක්‌ නොව එකකි. දෙකම නිර්මාණය වී ඇත්තේ ඝණ, ද්‍රව, උණුසුම්, වායු ධාතූන්ගෙන්ය. මේවායේ ස්‌වභාවය අනිත්‍යයයි. ස්‌වභාව ධර්මයත් ඔබේ කයත් දෙකම ඉහත ධාතූන්ගෙන් සැදි නිර්මාණයන්ය . ඇසට නොපෙනෙන, ප්‍රඥාවෙන් පමණක්‌ දැකිය හැකි ප්‍රවේගකාරීව අනිත්‍ය භාවයට පත් වන ඉහත ධාතූන්, අනිත්‍ය තාවයට පත් වන වාරයක්‌ පාසාම අවකාශ ධාතුවක්‌ද ඇති කරවයි. එම අවකාශ ධාතුවද ධාතූන් ඇති වන නැති වන මොහොතක්‌ පාසාම අනිත්‍ය භාවයට පත්වේ. මේ සියල්ලම ශීල, සමාධි, මඟ ඉක්‌මවා ගොස්‌ ප්‍රඥාවෙන් දකින ධර්මයෝය. ස්‌වභාව ධර්මය ලෙසත්, කය ලෙසත් අපි දකින්නේ විවිධත්වයෙන් යුතු හැඩයන්, වර්ණයන්, ස්‌වභාවයන් ලෙසින් එකිනෙකට වෙනස්‌ ධාතු කොටස්‌ හතර පමණකි.

ඇසේ අවිද්‍යාව නිසා එකිනෙක සම්මුති නවයකින් හඳුන්වා ගනී. එහෙයින් ඔබ ස්‌වභාව ධර්මයත් කයත් එක ගොඩකට දමන්න. මේවා ක්‍රියාත්මක භාවයට පත් වන සිත දෙස බලන්න. සිත තුළද ඔබ දකින්නේ අනිත්‍ය ස්‌වභාවය පමණක්‌මය.

බාහිර රූපත්, අභ්‍යන්තර ආයතනත්, සලායතනත් පස්‌සය වීමෙන් සකස්‌ වන ආගන්තුක සිත අයිති අනිත්‍යයටය. එහෙයින් මේ සියලු ධර්මයෝ අනිත්‍ය ධර්මයෝය.

ඔබ කළ යුත්තේ මේ සියල්ල දෙස සතියෙන්, සිහියෙන් යුක්‌තව බලා සිටීමම පමණකි. එවිට ඔබ තුළ නිරායාසයෙන්ම වැඩෙන්නේ සතර සති පට්‌ඨානයයි. සතර සති පට්‌ඨානය නිවන් මගේ නිවීමේ තීරක බලවේගයයි. කාය, චිත්ත, ධම්ම, වේදනා යනු ලෝකයයි. සතර සති පට්‌ඨානය අවබෝධයෙන් දැකීම යනු ධර්මාවබෝධයයි. ලෝකාවබෝධයයි.

ඔබ සියල්ල අත් හරින්න. අනිත්‍ය වූ රූපය දෙස අනිත්‍යවූ සිතෙන් බලා සිටින්න. එවිට ඔබට සියල්ල ලැබේවි. ඒ සියල්ල ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය...!!

තෙරුවන් සරණයි .....!!!

රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ

විසින් රචිත

-අත්හැරීම 02-

ග්‍රන්ථය ඇසුරිණි.

 

Advertiesment