Thursday 12th of December 2019

English Tamil
Advertiesment


බහුත්වවාදී නවීන සමාජයක් ගොඩනගන්නේ කෙසේද..?


2019-11-15 1589

 

මහජන ව්‍යවස්ථා සම්පාදනයක අවශ්‍යතාවය මෙන්න ..!

 

අශීලාචාර යුගය අවසන් කරමු.

 

(වික්ටර් අයිවන්)

මහජන ව්‍යවස්ථා සම්පාදනය, මහජනයාගේ පමණක් නොව ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගේද උනන්දුවට හේතුවී තිබෙන දෙයක් බවට පත්ව තිබේ. එය රොහාන් පල්ලෙවත්ත හා මහේෂ් සේනානායක යන අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුළත් පොරොන්දුවක් වී තිබෙන අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාද ජාතිය ගොඩ නැගීමේ අරමුණින් කෙරෙන ව්‍යවස්ථා සම්පාදනයකට පොරොන්දු වී තිබේ. එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කරන සජිත් ප්‍රේමදාසද ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශනයෙන් පාර්ලිමේන්තුවට සීමා නොකළ මහජන සහභාගිත්වය ඇතිව කරන ව්‍යවස්ථා සම්පාදනයක අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

මෙම ලිපියේ අරමුණ 21 වන සියවසේ ව්‍යවස්ථා සම්පාදන මාදිලිය ලෙස සැලකෙන මහජන ව්‍යවස්ථා සම්පාදනය හෙවත් සහභාගි ව්‍යවස්ථා සම්පාදනයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමය.

ශ්‍රී ලංකාව සේම දීර්ඝ යටත් විජිත තත්ත්වයක තිබූ වෙනත් සමහර රාජ්‍යයන්ද ජාතිය ගොඩනගා ගැනීමට සේම නිදහස ලැබෙන විට ලැබුණු රාජ්‍යය නිදහස අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස වෙනස් කර ගැනීමටද අසමත් විය. බොහෝ විට දේශිීය වශයෙන් පැවති භේද නිසාද, පාලකයින්ගේ කොල්ලකාරී ස්වභාවය නිසාද, ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවී ඒවා විසඳා ගැනීමට පහසු නැති අර්බුධ බවට පත්ව තිබුණි. සමහර රට වල සමහර සමාජ කණ්ඩායම් ස්වයං නිර්ණ අයිතිය හෝ වෙන් වීමක් ඉල්ලා සටන් කරන තත්ත්වයන් පැවතුණි. මේ ආකාරයේ බිහිසුණු අර්බුධයන්ට ගිය රාජ්‍යයන්ට ඔවුන් මුහුණ දී තිබුණු අර්බුධ ජය ගැනීමට පරණ ව්‍යවස්ථා සම්පාදන මාදිලිය සුදුසු නොවන බව තේරුම් ගිය විට ඒ සඳහා නව ව්‍යවස්ථා සම්පාදන පරිචයක් සඳහා අත්හදා බැලීම් කරන තත්ත්වයකට යන්නට එම රාජ්‍යයන්ට සිදු විය. සහභාගි ව්‍යවස්ථා සම්පාදන මාදිලිය වශයෙන්ද හැඳින්වෙන මහජන ව්‍යවස්ථා සම්පාදන මාදිලිය බිහි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

කිසිදු බැහැර කිරීමකින් තොරව රාජ්‍යයේ සියලු ලොකු කුඩා සමාජ කණ්ඩායම් එකට එකතු වී කරන අඛණ්ඩ සංවාදයන් ඔස්සේ ඒ සියලු දෙනාගේ පිළිගැනීමට හේතු වන සමාජ ක්‍රමයක් හා රාජ්‍යයක් ප්‍රති නිර්මාණය කර ගැනීමට පුළුවන් කම ලැබෙන හා ඊට ගැළපෙන ආණ්ඩු ක්‍රමයක්, වටිනාකම් පද්ධතියක්, පොදු චින්තනයක් ගොඩනගා ගැනීම එම පොදු උත්සාහයෙන් අපේක්ෂා කළ ප්‍රති ඵලය ලෙස සැලකිය හැකිය. නව ක්‍රමය පරණ ක්‍රමය තරම් සරල හා පහසු නැත. ඉතාමත් සංකීර්ණ සේම මත භේදාත්මකය. ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා පොදු එකඟතාවක් ඇති කර ගනිමින් ඒ සඳහා න්‍යාය පත්‍රයක් හදා ගැනීමේ සිට හදා ගත් ව්‍යවස්ථාව නීති ගත කිරීමෙන් අවසන් කෙරෙන අවස්ථාව දක්වා මහජනයාට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වීමට තිබෙන අයිතිය සහතික කළ යුතු අතර, ආරම්භයේ සිට අවසානය තෙක් සමස්ත ක්‍රියා දාමය මහජනයාට පෙනෙන විවෘත තත්ත්වයක තබා ගත යුතුය.

මෙම ව්‍යවස්ථා සම්පාදන මාදිලිය යොදා ගැනීම මගින් සමස්ත ක්‍රමයේ වෙනසක් ඇති කර ගත් රාජ්‍යයන් මෙසේය. නිකරුගුවාව 1986දීය. උගන්ඩාව හා බ්‍රසීලය 1998දීය. දකුණු අප්‍රිකාව 1994දීය. එරිත්‍රියාව හා වෙනිසියුලාව 1977දීය. රුවන්ඩාව 2002දීය. කෙන්යාව 2003දීය.

මෙම ව්‍යවස්ථා මාදිලිය ජාත්‍යන්තර නීතියෙන්ද පිළිගත් ක්‍රමයක් බවට පත්වී තිබෙන අතර ව්‍යවස්ථා සම්පාදනයට ක්‍රියාකාරී ලෙස සහභාගි වීමට මහජනයාට තිබෙන අයිතියද මැනවින් පිළිගැනීමට හේතුවී තිබෙන දෙයක් ලෙසද තහවුරු වී තිබේ.

මහජන ව්‍යවස්ථා සම්පාදන මාදිලිය ශ්‍රී ලංකාව සඳහා යොදා ගැනීම

ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පිළිනොගන්නා කෙනකු නැති තරම්ය. ආණ්ඩුක්‍රමයේද ලොකු අවුලක් තිබෙන බව පොදු පිළිගැනීමට හේතුවී තිබෙන කරුණක් වී තිබෙන්නේ යැයි කිව හැකිය. රටේ පවතින දූෂිත ක්‍රමයේ පූර්ණ වෙනසක අවශ්‍යතාවද මහජනයාගේ බලවත් පිළිගැනීමට හේතුවී තිබෙන කරුණක් වී තිබේ.

රටේ ව්‍යවස්ථාව අනුව (3 වන වගන්තිය) පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහජනතාවටය. එය මහජනයාට අහිමි කළ නොහැකි බලයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැලකෙන්නේද මහජනයාට අහිමි කළ නොහැකි හිමි කමක් තිබෙන මහජනයා පාලනය විය යුතු ආකාරය ගැන මහජනයා පාලකයා සමග ඇතිකර ගන්නා ගිවිසුමක් ලෙසය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයකදී ඊට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වීමේ අයිතියක් මහජනයාට තිබෙන බව ජාත්‍යන්තර නීතියද පිළිගනී. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම රටේ පැවැත්මට නැතිවම බැරි කොන්දේසියක්ව තිබෙන මේ අවස්ථාවේදී මහජනයාට බර තබන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීමට මහජනයාට අවශ්‍ය නම් එය දිනා ගැනීම දුෂ්කර නැත.

එහෙත් ශ්‍රී ලංකාව තෝරාගත යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට සීමා කළ පරණ ක්‍රමයේ ව්‍යවස්ථා සම්පාදනයක් නොවේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හා එහි මන්ත්‍රීවරුන් සිටින්නේ ඉතාමත් ආත්මාර්ථකාමී හා දූෂිත තත්ත්වයකය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තමන්ගේ යුතුකම් හා වගකීම් නිසියාකාරව ඉටු කළ ආයතනයක් ලෙස සැලකිය නොහැකිය. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ට දූෂිත වීමට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙනවා මිස, එම තත්ත්වය වැළකීමට ක්‍රියා කර නැත. නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය හා එය වෙත පැවරී තිබෙන අධීක්ෂණ කාර්යභාරය යම් තරමකට හෝ මැනවින් ඉටු කිරීමටද එය සමත් වී නැත.

මහජන මන්ත්‍රීවරුන් නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන බව පාර්ලිමේන්තුව දැන සිටියේය. ඒ තත්ත්වය වැළකීම සඳහා පාර්ලිමේන්තුව කිසිදු ක්‍රියා මාර්ගයක් අනුගමනය කර නැත. රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාව හා දූෂිත භාවය ගැනද පාර්ලිමේන්තුව හොඳාකාරව කරුණු දැන සිටියත් ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා කිසිදු උත්සාහයක යෙදී නැත. නීති සම්පාදන විෂයේදීත් පාර්ලිමේන්තුව පෙන්නුම් කර තිබෙන්නේ උපරිම මට්ටමේ බංකොළොත් භාවයකි. නව පළාත් පාලන මැතිවරණ පනත හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ සඳහා දැක්විය හැකි අලුත්ම නිදර්ශන ලෙස සැලකිය හැකිය. පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇද වැටී සිටින බංකොළොත් තත්ත්වය අනුව ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ අන්තර්ගත කර ගත් ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාවට නැගීමේ හැකියාවක් හෝ ඒ සඳහා වන අවංක අභිලාෂයක් වර්තමාන පාර්ලිමේන්තුවට නැත. මහජනයාට බර තබා ක්‍රියා කරන ව්‍යවස්ථා සම්පාදනයක් රටට අවශ්‍ය වී තිබෙන්නේ ඒ නිසාය.

ඒ සඳහා ඇතිකර ගන්නා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළත් කර ගත හැකිය. එහෙත් සංඛ්‍යාත්මක අර්ථයෙන් වැඩි නියෝජන බලයක් මහජනයාට ලැබිය යුතුය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ආසන වලින් 40%ක්ද, මහජන නියෝජිතයන්ට ඉතිරි 60%ද ලැබෙන ආකාරයට එය සකස් කර ගත හැකිය. මහජන නියෝජිතයන් තෝරා ගන්නා ක්‍රමයක් සකස් කර ගැනීමේදී සියලුම සමාජ කණ්ඩායම් වලට විශේෂ වශයෙන්ම ආන්තික සමාජ කණ්ඩායම් වලට ප්‍රමාණවත් සාධාරණ නියෝජනයක් ලැබෙන ක්‍රමයක් සකස් කර ගත යුතුය.

ජන වර්ග අනුව නියෝජිතයන් තේරීමේදී ශ්‍රී ලංකාවේ ජන වර්ග ලෙස සැලකිය හැකි සියලු ජන වර්ග සැලකිල්ලට ගත යුතුය. දැන් ජන වර්ග ලෙස සැලකෙන්නේ සිංහල දෙමළ හා මුස්ලිම් යන ජන වර්ග තුන පමණය. ජන වර්ග ලෙස සැලකිය හැකි වෙනත් කුඩා කණ්ඩායම් රාශියක් පවතී. දෙමළ ජනයා අතර උතුරේ දෙමළ හා උඩරට දෙමළ වශයෙන් ජන වර්ග දෙකක් පවතී. සිංහල, මුස්ලිම් හා දෙමළ ජන වර්ග දෙකට අතිරේකව, මැලේ, වැදි, තෙලිඟු, බෝරා, පාසි, සින්දි යනාදී වශයෙන් (මෙම ලේඛනයට ඇතුළත් නැති ජන වර්ගද සිටිය හැකිය.) ජන වර්ග ලෙස සැලකිය හැකි ජන වර්ග ගණනාවක් රටේ සිටිති. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමේදී ඒ සියලු ජන වර්ග සැලකිල්ලට ගත යුතුය. ආගම් නියෝජනය කිරීම සඳහා ආගමික පූජකයන් යොදා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ තිබෙන කුල ප්‍රශ්නයද මුළුමනින් නොසලකා හැර තිබෙන පුපුරන සුලු ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. සිංහල හා දෙමළ සමාජයේ පීඩිත ගණයෙහිලා සැලකිය හැකි සියලු කුල වලටද ප්‍රමාණවත් නියෝජනයක් ලබාදිය යුතුය.

කාන්තාවන්ටද ඔවුන්ගේ ජන අනුපාතිකයන්ට ගැළපෙන තරමේ නියෝජනයක් ලබා දිය යුතු අතර, සමරිසි ප්‍රජාවටද නිසි නියෝජනයක් ලබා දිය යුතුය. ආබාධිතයන් ද විශේෂ ප්‍රභේදයක් ලෙස සලකා ඔවුන්ට ගැළපෙන නියෝජනයක් ලබා දිය යුතුය. රැකියාව, ජීවන මාර්ගය හා වෘත්තිය සැලකිල්ලට ගනිමින් කම්කරුවන්ට, ගොවින්ට, ධීවරයන්ට, හස්ත කර්මාන්ත කරුවන්ට, වෙළෙඳුන්ට, ව්‍යාපාරිකයන්ට හා වෘත්තීය වේදීන්ටද නියෝජනයක් ලබා දිය යුතුය.

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් සඳහා සමාජයේ සියලු පැති නියෝජනය කරන නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් අවශ්‍ය වන්නේ ජාතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන පොදු එකඟතාවක් ඇති කර ගැනීමට තෝරා ගත හැකි හොඳම මාර්ගය එය වන නිසාය. එහෙත් එය සරල මාර්ගයක් නොව දුෂ්කර මාර්ගයකි. වර්ග, කුල, ආගම් භේදයන්ට තිබෙන පිළිගැනීම නැති කොට භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබා දෙන පිළිවෙතක් තුළ ජාතිය ගොඩනගා ගත යුතුව තිබෙන අතර, ඒ අරමුණ කරා ළඟා වීමට හැකි වනු ඇත්තේ සියලු වර්ග, කුල හා ආගම් අතර ඉවසීමෙන් කෙරෙන අඛණ්ඩ සංවාදයක් ඔස්සේය.

ආපසු හැරී බැලීම හා සොයා බැලීම

අතීතයේ සිදුවී තිබෙන බරපතළ වැරදි ඇතුළුව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වලට අදාළ වන වැදගත් හැම දෙයක් ගැනම සොයා බලන තැනකට යාම මහජන ව්‍යවස්ථා සම්පාදනයකට ආවේණික වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැක. එවැනි ක්‍රියාදාමයක් රටේ පැවති යථාර්ථය හා පවතින යථාර්ථය ගැන හොඳ අවබෝධයක් ව්‍යවස්ථා සම්පාදකයන්ට පමණක් නොව මහජනයාටද ලබා දෙනු ඇත. දේශපාලන විෂයේදී මහජනයාට සාම්ප්‍රදායික ආකල්ප අත හැර සාධාරණ ලෙසත්, නවීන ලෙසත් සිතන්න අවශ්‍ය පරිසරයක් ඇති කිරීමටද හේතු වනු ඇත.

1. නිදහසේ සිට වර්තමානය දක්වා සිදුවී තිබෙන ව්‍යවස්ථා උල්ලංගණය ගැනද. ඒවා ඇති කර තිබෙන හානිය ගැනද ඒවාට වගකිව යුත්තන් ගැනද,

2. නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ ඇතිවූ කෝලහාල හා කැරලි ගැනද, ඒ නිසා ඇතිවී තිබෙන ජීවිත හා දේපළ විනාශයන් ගැනද ඒ නිසා බලවත් හානි වලට ලක්වූ අය ගැනද,

3. රාජ්‍ය පාලනය භාරව ක්‍රියා කළ රාජ්‍ය නායකයන් ඇතුළු පාලක පක්ෂ පොදු දේපළ විෂයෙහි කර තිබෙන දූෂණ ගැනද,

4. වර්ග, කුල, ආගම් භේද කෙරෙහි බලපා තිබෙන හේතු හා ඒ නිසා විශේෂ අසාධාරණයන්ට ලක්ව ඇති පුද්ගලයන් හා සමාජ කණ්ඩායම් වේ නම් ඒ ගැනද,

5. අධිකරණ ක්‍රමයේ, අධිකරණ සේවයේ හා නීති වෘත්තියේ ඇතිවී තිබෙන පරිහානිය කෙරෙහි බලපා තිබෙන හේතු ගැනද,

6. ව්‍යවස්ථා දායකයේ හා එහි මන්ත්‍රීවරුන්ගේ පරිහානිය කෙරෙහි බලපා තිබෙන හේතූන් ගැනද,

7. රජයේ ආයතන ක්‍රමයේ රජ කරන දූෂණය හා අකාර්යක්ෂමතාව කෙරෙහි බලපා තිබෙන හේතු ගැනද,

8. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා සමාජ වගකීමෙන් තොර බව හා දූෂිත භාවය කෙරෙහි බලපා තිබෙන හේතූන් ගැනද,

9. රජයේ සේවය සහ ඔවුන්ගේ ඵලදායීතාව, වැටුප් හා වැටුප් විෂමතා පිළිබඳවද,

10. වෘත්තීය වේදීන්, ඔවුන් සඳහා ඇති ස්වයං නියාමන ආයතන ක්‍රම වල බිඳ වැටීම, ඔවුන් අතර පවත්නා දූෂණය කෙරෙහි බලපා තිබෙන හේතු ගැනද,

11. අධ්‍යාපන ක්‍රමයේ දක්නට තිබෙන පසුගාමී භාවය, පාසල් ක්‍රමයේ තිබෙන විෂමතා, වර්ග හා ආගම් අනුව පාසල් පවත්වාගෙන යාම, අධ්‍යාපනය ලබා දෙන ක්‍රම වල ඇති පසුගාමී බව, පෙළපොත්, විෂය නිර්දේශ, ටියුෂන් අධ්‍යාපනය, ගුරුවරුන් හා ඔවුන්ගේ ඵලදායීතාව හා වැටුප් ගැනද,

12. මහජන සෞඛ්‍යය විෂයෙහි පවත්නා ගසා කෑම, වෛද්‍යවරුන්ගේ භූමිකාව, රජයේ රෝහල් හා පුද්ගලික රෝහල්, ඖෂධ ප්‍රතිපත්තිය ගැනද,

13. පොදු මගී ප්‍රවාහන සේවා වල දකින්නට තිබෙන අවුල්සහගත භාවයද, මහජනයාට විඳින්නට සිදුවී තිබෙන අනේකවිධ පීඩාවන් ගැනද, පොදු බස් සේවාවන් ක්‍රමවත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනද,

14.ශ්‍රී ලංකාවේ කුණු කසළ කළමනාකරණ ප්‍රශ්ණය ගැනද,

15. වී ගොවිතැන, එළවළු හා පලතුරු ගොවිතැන, තේ, රබර්, පොල් ඇතුළු වගාවන් ගැනද, ඒවායින් ලැබෙන ආදායම් හීන වීම කෙරෙහි බලපා තිබෙන හේතු ගැනද,

16. පරිසරය ගැනද,

17. රජයේ ළමා නිවාස ගැනද,

කරුණු සොයා බලන තැනකට යා යුතුය. ඒ අංශ ගැන විධිමත් ලෙස කරුණු සොයා බලා වාර්තා කිරීම සඳහා කොමිෂන් සභා පත් කළ යුතුය.

ව්‍යවස්ථා සම්පාදනය

මහජනයාට හා ව්‍යස්ථා සම්පාදන මණ්ඩලයේ සාමාජිකයන්ට අධ්‍යාපනය ලබා දෙන වැඩසටහන් මහජන ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනක තිබිය යුතු වැදගත්ම අංගයක් ලෙස සැලකිය හැකිය. ඒ සඳහා මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාලා, යොදා ගත යුතු අතර අත් පත්‍රිකා සහ පොත්පත්, මහජන වැඩමුළු, සම්මන්ත්‍රණ හා රැස්වීම් වැනි ක්‍රම යොදා ගත යුතුය.

ව්‍යවස්ථා සම්පාදනයට අදාළ සියලු කටයුතු මහජනයාට පෙනෙන හෝ දැක බලා ගත හැකි තත්ත්වයක තිබිය යුතු අතර, ඕනෑම ප්‍රශ්ණයක් පිළිබඳව අදහස් පළ කිරීමක් කරන්නට කැමති අයට අදහස් පළ කිරීමට ඉඩ ලැබෙන සුදුසු ක්‍රමවේදයක් පවත්වාගෙන යා යුතුය. ව්‍යවස්ථා සම්පාදනයට අදාළ ඕනෑම මට්ටමකින් සකස් කෙරෙන සියලුම කෙටුම්පත් මහජනයාගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කළ යුතුය.

මහජන ව්‍යවස්ථා සම්පාදනයක් යන්නෙහි තේරුම රටේ සියලුම මහජනයා එක තැනකට එකතු වී ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා යන්න නොවේ. රටේ මහජනයාට ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීමට විවිධ මාර්ග ලබාදී ඔවුන්ගේ අදහස් අතර තිබෙන වැදගත් අදහස් ද සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම හඬක් නැති ආන්තික සමාජ කණ්ඩායම් වලට සවන් දෙමින් හා ඒවා සැලකිල්ලට ගනිමින් ව්‍යවස්ථාව සම්පාදනය කරනවා යන්න එහි තේරුමයි. එය විවෘත මහජනයාට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වීමට ඉඩදෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකි. එය ව්‍යස්ථා සම්පාදනයේදී ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.

රාජ්‍යයේ විශාල බිඳ වැටීමක් හෝ හිර වීමක් තිබෙන රටක මිස මහජනයාගේ පිළිගැනිමට හේතුවී තිබෙන ව්‍යවස්ථාවක් හා කාර්යක්ෂම ආණ්ඩුක්‍රමයක් ඇති රටක මහජන ව්‍යවස්ථා සම්පාදන දිනා ගත නොහැකිය. එහෙත් මේ ඓතිහාසික මොහොතේ ශ්‍රී ලංකාව තිබෙන්නේ මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම සඳහා තිබිය යුතු සියලුම කොන්දේසි සපුරා තිබෙන තත්ත්වයකය. රාජ්‍ය හා සමස්ත ආයතන ක්‍රමයද තිබෙන්නේ අවුල් ජාලයකය. සමාජ ක්‍රමය තිබෙන්නේද අවුල් ජාලයකය. ආර්ථිකය තිබෙන්නේද බංකොළොත් තත්ත්වයකට පත් වීමට ආසන්න තත්ත්වයකය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේද වැරහැල්ලක් බවට පත්වූ තත්ත්වයකය. ආණ්ඩුක්‍රමය තිබෙන්නේද අවුල් ජාලාවකය. සාම්ප්‍රදායික පාලකයන් සිටින්නේද මහජන විශ්වාසය පමණක් නොව හොඳ සිහියද අහිමි කරගත් තත්ත්වයකය.ශ්‍රී ලංකාවට ගැලවීම සඳහා මහජන ව්‍යවස්ථා සම්පාදනයක් තෝරා ගන්නවා හැර, තෝරා ගැනීමට අන් මාවතක් නැත.

මහජන ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා වන ප්‍රායෝගික වැඩසටහනක් සඳහා හොඳම ආදර්ශ මාදිලිය වන්නේ දකුණු අප්‍රිකාවය. එහි එම වැඩසටහන ක්‍රියාත්මක වූයේ ප්‍රධාන අදියර දෙකක් යටතේය. ඒ අදියර දෙක අතර ගැඹුරු අන්තර් සම්බන්ධයක් තිබුණි. පළමු අදියරය සඳහා අන්තර්කාලීන ව්‍යවස්ථාවක්ද, අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක්ද ඇති කර ගත්තේය. පළමු අදියරයේදී සිදු කළ යුතු දේවල් සේ ම දෙවැනි අදියරයේදී සිදු කළ යුතු දේවල්ද එම අන්තර්කාලීන ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබුණි.

ඇති කර ගන්නට යන ආණ්ඩුක්‍රමයේ ස්වභාවය හා ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු ප්‍රධාන ලක්ෂණ ව්‍යවස්ථා මූලධර්ම ලෙස සලකා මූලධර්ම 34ක් සඳහා පොදු එකඟත්වයක් ඇති කර ගෙන තිබුණ අතර, ඒ එකඟත්වයද අන්තර්කාලීන ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබුණි.

එම එකඟතාවන්ට පසුව මැතිවරණයකට ගොස් ඉන් තේරී පත් වන මන්ත්‍රීවරු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත්වී අන්තර්කාලීන ව්‍යවස්ථාවේ සඳහන් මූලධර්ම 34ට අනුකූලව නව ව්‍යවස්ථාව සම්පාදනය කළෝය.

සමස්ත වැඩසටහන සකස් කර තිබුණේ මහජනයාටද ක්‍රියාකාරී ලෙස දායක විය හැකි, අදහස් පළ කළ හැකි හා සිදුවන හැම දෙයක්මත් මහජනයාට දැක ගත හැකි වන ආකාරයටය.

ව්‍යවස්ථා සම්පාදනය සඳහා අන්තර්කාලීන ව්‍යවස්ථාවෙන් නියම කළ රාමුවක් තිබුණු අතර, ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම අවසන් වීමෙන් පසුව අධිකරණය සලකා බලන ලද්දේ අන්තර්කාලීන ව්‍යවස්ථාවේ සඳහන් මූලධර්ම 34ට අනුකූලව ව්‍යවස්ථාව සම්පාදනය කර තිබේද යන්න ගැනය. දකුණු අප්‍රිකානු ආකෘතිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට සුදුසු ආකෘතියක් සකස් කර ගත හැකිය.

ශ්‍රී ලංකාවට සුදුසු ආණ්ඩුක්‍රමයක් තෝරා ගැනීමේදී තෝරා ගන්නා ආණ්ඩුක්‍රම ආකෘතිය කුමක් වුවත් මහජනයාට පරමාධිපත්‍යය බලය අභ්‍යාස කිරීමේ අයිතිය මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියට සීමා නොකොට, ආණ්ඩුකරණයට මහජනයාට ඍජු ලෙස මැදිහත් විය හැකි සංවිධාන ක්‍රම ඇති කර ගත යුතුය.

ස්විට්සර්ලන්ත හා තවත් සමහර රටවල ක්‍රියාත්මක වන “ජනප්‍රිය ප්‍රාරම්භනය” “විකල්ප ජනමත විචාරණය” තෝරා පත් කළ මන්ත්‍රීවරුන් ආපසු කැඳවීමේ බලය වැනි අයිතීන් ඇතුළත් ආණ්ඩුක්‍රමයක් තනා ගත හැකිය. එවැනි ක්‍රමවේදයක් මගින් දේශපාලකයන්ට ලැබී තිබෙන අති විශාල බලය සීමා කොට ආණ්ඩුකරණය තුළ මහජනයාටද ලොකු බලයක් ලබා දිය හැකිය. ඒ මගින් ආණ්ඩුකරණය කාර්යක්ෂම කළ හැකි අතර, රටේ පුරවැසි ප්‍රජාවද මැතිවරණ වලදී ඡන්දය පාවිච්චි කිරීම යන පටු රාමුව තුළ හිර නොකර, ආණ්ඩුකරණයට ක්‍රියාකාරී ලෙස මැදිහත් විය හැකි පුරවැසි ප්‍රජාවක් බවට පත් කළ යුතුය.

වර්ග, කුල, ආගම් භේදයන්ට තිබෙන පිළිගැනීම අහිමි කොට ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවයද සමාන අයිතිවාසිකම් ද ලබා දෙන ප්‍රවේශයක් තුළ සමාජය ඒකාග්‍ර කොට ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමයේ වැදගත්ම අරමුණක් බවට පත් කර ගත යුතුය.

මහජන ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනකට යාමට ශ්‍රී ලංකාව සමත් වෙතොත් එය රටේ දීර්ඝ අශීලාචාර කාලය තුළ සමාජයට ඇතිවී තිබෙන රෝග වලින් සමාජය සුවපත් කොට ඔවුන් බහුත්වවාදී ආකල්ප හා නවීන අදහස් දරන ක්‍රියාකාරී සමාජයක් බවට පත් කිරීමට හේතු වනු ඇත.

Advertiesment