Monday 9th of December 2019

English Tamil
Advertiesment


අධිකාරී වාදයටයි-ප‍්‍රභූ වාදයටයි එරෙහිව කළු අශ්වයා දිනවමුද..?


2019-11-13 5308

 

නිර්ප‍්‍රභූ ජනතාවගේ මිනිසා -සජිත් පේ‍්‍රමදාස-

 

(ඉන්ද්‍රජිත් හේවාවිතාරණ)

"සජිත් පේ‍්‍රමදාස මහතා කළු අශ්වයකු මෙන් නැගී සිටීමේ වැඩි ඉඩ කඩක් පවතී. සජිත් පේ‍්‍රමදාස මහතා ආමන්ත‍්‍රණය කරන්නේ ජන ගහනයෙන් හතරෙන් එකකට හිමි කම් කියන සුළු ජාතික ප‍්‍රජාවට සහ ග‍්‍රාමීය ප‍්‍රජාවටය.

අමාත්‍ යධූරය හෙබවූ වසර පහක කාලයේදී තරමක නිහඬ ප‍්‍රතිපත්තියක් අනු ගමනය කළ සජිත් පේ‍්‍රමදාස මහතා මත භේද වලට පැටළුණේ නැති තරම්ය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන වියවුලේදී ද රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත වරක් අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කර තත්ත්වය ස්ථාවර කිරීම දක්වා ක‍්‍රියාවලියේදී සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටු කළේය.

නරේන්ද්‍ර මෝදි මහතා අග‍්‍රාමාත්‍ය වරයා ලෙස පළමු වරට ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වූ අවස්ථාවේදී, ගුවන් තොටුපොළේ දී ඔහු පිළි ගැනීමට පැමිණියේද සජිත් පේ‍්‍රමදාස මහතාය.

1993 දී ඝාතනයට ලක් වූ ශ‍්‍රී ලංකාවේ තෙවැනි ජනාධිපති වරයා වන රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පුත‍්‍රයා වන සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ ප‍්‍රභූ පැළැන්තියෙන් තරමක් ඈත්ව සිටින අතර තමන් මහ ජනතාවගේ මිනිසා යැයි ප‍්‍රකාශ කරයි.

නිරීක්ෂකයන්ට අනුව කුලය සජිත් පේ‍්‍රමදාස මහතාට අමතර ඡන්ද කිහිපයක් ගෙනෙනු ඇතැයි පැවසේ.

තමාගේ පාලනයක් යටතේ හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍ය ධූරය හොබ වන බව ද සජිත් පේ‍්‍රමදාස මහතා එක් අවස්ථාවකදී පැවැසීය. රාජපක්ෂ පාලන සමයේදී දූෂණ චෝදනා මත සරත් ෆොන්සේකා මහතා සිර භාරයට ද පත්විය"

ඉහත සඳහන් නිරීක්ෂණයන් ඉදිරිපත් කරන්නේ ලෝ ප‍්‍රකට "ද ඉකොනොමික් ටයිම්ස්" වෙබ් අඩවියයි.

ජනපතිවරණයට තවත් ඇත්තේ දින කිහිපයක් පමණක් වීම තුළ ජාත්‍යන්තර තලයේ මාධ්‍ය තම පුළුල් හා ඇලීම් බැඳීම් නැති දෘෂ්ටිය සහ අත්දැකීම් භාවිත කරමින් ඉදිරිපත් කරන නිරීක්ෂණ සුවිශේෂ වැදගත් කමක් දරනවා.

ඉහද සඳහන් "ද ඉකොනොමික් ටයිම්ස්" වාර්තාවේ සුවිශේෂ නිරීක්ෂණයන් තිබෙනවා. ඒ,

01.සජිත් පේ‍්‍රමදාස මහතා කළු අශ්වයෙකු මෙන් නැගී සිටීමේ වැඩි ඉඩක් පවතී.

02.සජිත් පේ‍්‍රමදාස මහතා ආමන්ත‍්‍රණය කරන්නේ ජන ගහනයෙන් හතරෙන් එකකට හිමි කම් කියන සුළු ජාතික ප‍්‍රජාවට සහ ග‍්‍රාමීය ප‍්‍රජාවටය.

03.අමාත්‍ යධූරය හෙබවූ වසර පහක කාලයේදී තරමක නිහඬ ප‍්‍රතිපත්තියක් අනු ගමනය කළ සජිත් පේ‍්‍රමදාස මහතා මත භේද වලට පැටළුණේ නැති තරම්ය.

04.පසු ගිය ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළීමේ කුමන්ත‍්‍රණය පරාජය කිරීම සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටු කළේය.

05.කොළඹ ප‍්‍රභූ පැළැන්තියෙන් තරමක් ඈත්ව සිටින අතර තමන් මහ ජනතාවගේ මිනිසා යැයි ප‍්‍රකාශ කරයි.

06.නිරීක්ෂකයන්ට අනුව කුලය සජිත් පේ‍්‍රමදාස මහතාට අමතර ඡන්ද කිහිපයක් ගෙනෙනු ඇතැයි පැවසේ.

07.හිටපු යුද්ධ හමුදාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති වරයා වනු ඇත.

"ද ඉකොනොමික් ටයිම්ස්" මේ සඳහන් කරන්නේ ‘ඍජුව’ සජිත් පේ‍්‍රමදාස සාධකය වටා තිබෙන ‘වර්ණාවලිය’ පමණයි. එහෙත් වඩාත් විමසිල්ලෙන් බලන විට ඉහත නිරීක්ෂණ මතම සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය ‘විජයග‍්‍රහණයක්' කරන කරුණු අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා තිබෙන බව පෙනී යනවා.

සජිත් කළු අශ්වයෙකු මෙන් නැගී සිටිනු ඇත

මෙය ඉතාමත් අපක්ෂපාතී මෙන්ම සුවිශේෂී නිරීක්ෂණයක් බව සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගත් මොහොතේ සිට ක‍්‍රමිකව, ඒත් වේගයෙන් වර්ධනය වූ ධනාත්මක ප‍්‍රවණතා හමුවේ පැහැදිලි වෙනවා. ඒ ආරම්භයේදී බොහෝ දෙනෙක් අපේක්ෂා කළ ආකාරයට සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආගමනය සමග එජාපය තුළ ‘බෙදීමක්’ හෝ ‘කර ඇරීමක්’ සිදු වුණේම නැහැ. දේශපාලන නිරික්ෂකයින් ඇතුළු බොහෝ දෙනෙක් පුන පුනා ප‍්‍රකාශ කළේ සජිත් පේ‍්‍රමදාස මහතාට එරෙහි කණ්ඩායම පක්ෂය කඩාගෙන යාම හෝ මැතිවරණ ක‍්‍රියාවලියට සහයෝගය නොදැක්වීම ‘අනිවාර්යයෙන්’ සිදුවිය හැකි බවයි. ඒ සමග ඡන්ද පදනම අතින් දුර්වල වී ‘මත වාදී තලයේ’ ප‍්‍රමුඛ භූමිකාවක් ඉටු කරන ‘සිවිල් සමාජය’ සජිත් පේ‍්‍රමදාස මහතා වෙතින් ඉවත්ව යනු ඇති බවයි.

එහෙත් ඒ සියලු අනා වැකි බොරු කරමින් එජාපයේ සියලු පාර්ශව සජිත් ප්‍රේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ මොහොතේ සිට ඒකා වන්ව සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් ‘ඇප කැප’ වන ප‍්‍රතිපත්තියක් අනු ගමනය කළා. එය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සිට එජාප ප‍්‍රබලයින් වන රවී කරුණානායක දක්වාත් එජාපෙරමුණට නව ජවයක් හා ආලෝකයක් ලබා දුන් චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග දක්වා පුළුල් පරාසයක සිදු වුණා. අද සජිත් පේ‍්‍රමදාස මහතාගේ වේදිකාවේ සහ ප‍්‍රචාරණ ක‍්‍රියාවලියේ ප‍්‍රමුඛ භූමිකාවක් ඉටු කරන චම්පික රණවක, රාජිත සේනාරත්න, රවී කරුණානායක සජිත් පේ‍්‍රමදාස මහතා ‘ආමන්ත‍්‍රණය නොකරන’ ඉහළ තලයේ හා වෘත්තිකයින්ගේ ඡන්ද සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ලබා දෙන ‘ඡන්ද මැෂින්’ බවට පත්ව තිබෙනවා.

2015 ජනපතිවරණයේදී ‘වර්ණවත් භූමිකාවක්’ ඉටු කළ ‘සිවිල් සමාජය’ ද සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආගමනය සමග වඩාත් සක‍්‍රීය භූමිකාවන් ඉටු කිරීමට පියවර ගත්තා. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ ‘අධිකාරී වාදයට එරෙහි වීම’ යන මධ්‍යම පාන්තිකයින් වඩාත් ආකර්ෂණය කර ගන්නා සටන් පාඨ වල ප‍්‍රමුඛ භූමිකාවක් අද සිවිල් සමාජය වෙතින් ඉටු වෙමින් තිබෙනවා.

සජිත් පේ‍්‍රමදාස මහතා ‘කළු අශ්වයෙකු' මෙන් නැගී සිටීමට තවත් කරුණු කිහිපයක් ප‍්‍රබල ආකාරයෙන් දායක වුණා. ඒ ශ‍්‍රීලනිපයේ (අවස්ථා වාදීන් කිහිප දෙනකුගේ හැර) අති බහුතරය දිනා ගැනීමට පේ‍්‍රමදාස මහතා සමත් වීම තුළයි. හිටපු ජනපතිනිය, කුමාර වෙල්ගම, ආතාවුද සෙනෙවිරත්න ආදී ශ‍්‍රීලනිපයේ ප‍්‍රමුඛයින් සේම ශ‍්‍රීලනිපයට සම්බන්ධ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන්, ආසන සංවිධායක වරුන් ඇතුළු පුළුල් ලෙස තෘණ මූල මට්ටම දක්වා විහිදුණු ශ‍්‍රීලනිපයේ ‘ඡන්ද ගොඩක්’ මේ වන විට සජිත් පේ‍්‍රමදාස මහතා වටා ගොනු වෙමින් තිබෙනවා.

ඒ වගේම සුළු ජන ඡන්ද පදනම තුළ කිසිඳු ආකාරයක බෙදීමකින් තොරව ‘ගෙඩිය පිටින්’ තමා වෙත කොන්දේසි විරහිතව ආකර්ෂණය කර ගැනීමට පේ‍්‍රමදාස මහතා දැක්වූ ‘සාමාර්ථය’ ඔහුව ‘කළු අශ්වයෙකු’ බවට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තරව කීර්තියට පත් ‘ද ඉකොනොමික් ටයිම්ස්’ සජිත් ගැන කරන ‘සුවිශේෂම’ නිරීක්ෂණය 100%ක් නිවැරදි බව තහවුරු වන්නේ මෙම කාරණා නිසයි.

ආමන්ත‍්‍රණය කරන ‘නිර්ප‍්‍රභූ සහ නිර්බල' පාර්ශව 

"ද ඉකොනොමික් ටයිම්ස්" නිරීක්ෂණය කර ඇති ආකාරයට සජිත් පේ‍්‍රමදාස මහතා මෙරට බහුතර ප‍්‍රජා කණ්ඩායම වන ග‍්‍රාමීය ජනතාවට සහ ජන ගහණයෙන් 25%ක් පමණ වන ‘සුළු ජනතාවට’ ආමන්ත‍්‍රණය කර තිබෙනවා. මේ අතර ‘සුළු ජනතාව’ වඩාත් සුවිශේෂ වන බවයි ලියුම් කරුගේ ද නිරීක්ෂණය වන්නේ.

ඊට හේතුව වන්නේ ‘සුළු ජනතාවට’ ආමන්ත‍්‍රණය කිරීමට හා ඔවුන්ගේ ‘විශ්වාසය’ දිනා ගැනීමට කිසි යම් අපේක්ෂකයෙකු දක්වන සාමාර්ථ කම තුළ ඔහු සතු වඩාත් ධනාත්මක විභවතා වන මානව හිමිකම් කෙරේ දක්වන ලැදියාව හා බැඳියාව, අන් මත ඉවසීමට දක්වන නැමියාව වඩාත් හොඳින් ප‍්‍රකට වන බවයි. සරලව කිවහොත් ඔහු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්’ බව සුළු ජන ප‍්‍රජාවේ විශ්වාසය දිනා ගැනීම තුළින්ම පැහැදිලි වෙනවා. අනෙක් අතින් රටක සුළු ජාතීන්ගේ සහාය හා විශ්වාසය දිනා ගන්නා දේශපාලනඥයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ ද ගෞරවයට ලක් වන බව නොරහසක්.

‘සුළු ජාතීන්ගේ අවිශ්වාසයට ලක් වන නායකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ලෙස වත්මන් ලෝකය පිළි ගන්නේ නැහැ. ඔවුන් සලකන්නේ අධිකාරිවාදී / ඒකාධිපති පාලකයින් ලෙසයි’ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු සදහන් කළා.

එහිදි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් ජයග‍්‍රහණය කිරීම සඳහා සුවිශේෂ හැකියාවක් / ශක්තියක් සුළු ජාතීන්ගේ පූර්ණ විශ්වාසය දිනා ගන්නා අපේක්ෂකයා සතු වන බවයි.

2012 ජන සංගණනය අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජන ගහණයෙන් 74.9%ක් සිංහලයින් වන විට ශ‍්‍රී ලාංකික දමිළ ජනතාව 11.1%ක් නියෝජනය කරනවා. ඉන්දීය සම්භවයක් ඇති දමිළ ජනතාව 4.1%ක් ද මුස්ලිම් ජනතාව 11.1%ක් ද වෙනවා. ඒ අනුව අපට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 25%කට වැඩි ප්‍රමාණයක් 'සුළු ජාතීන්' නියෝජනය කරන බවයි. මේ තත්ත්වය ආගමික වශයෙන් ගත් විට 2012 ජන සංගණනය අනුව බෞද්ධ ජන ගහන ප‍්‍රතිශතය 70.1%ක් වන අතර හින්දු ජනගහණය 12.6%ක් ද ඉස්ලාම් ජනගහණය 9.7%ක් ද රෝමාණු කතෝලික ජනගහණය 6.2%ක් ද වන අතර අනෙකුත් ආගම් අදහන ජන ගහණය 1.4%ක් පමණ වෙනවා.මේ අනුව පැහැදිලි වන්නේ ලංකාවේ ‘සුළු ජාතීන්ට’ වඩා වැඩි ප‍්‍රතිශතයන් ‘සුළු ආගමිකයින්’ 30%ක් පමණ ජීවත් වන බවයි. සිංහල බෞද්ධ අධිපති වාදයේ සහ අන්ත වාදයේ ආශිර්වාදය හා රැකවරණය ලබන ඕනෑම අපේක්ෂකයෙකුට මේ 30%ක් වන සුළු ආගමික ජන ගහණයේ විශ්වාසය දිනා ගැනීම කළ නොහැකි දෙයක්.

මෙවැනි තත්ත්වයක් තුළ සජිත් පේ‍්‍රමදාස මහතා වඩාත් විශ්වසනීය ආකාරයෙන් සහ තිර සර ලෙස මේ මොහොත වන විට ජන ගහණයෙන් 30%ක් වන ‘සුළු ජාතීන් හා සුළු ආගමිකයින් නියෝජනය කරන බහුතර ජනගහණයේ විශ්වාසය (කොන්දේසි විරහිත) දිනා ගැනීම පේ‍්‍රමදාස මහතා ‘කළු අශ්වයෙක් සේ නැගී සිටීමට’ ප‍්‍රමුඛ සාධයක් වූ බව වටහා ගත හැකියි.

මෙහි ඇති විශේෂත්වය තමයි සජිත් පේ‍්‍රමදාස මහතා විශේෂයෙන් සුළු ජාතීන්ගේ පූර්ණ සහාය දිනා ගෙන තිබෙන්නේ ‘කොන්දේසි විරහිතව’ වීම. විපක්ෂය සම්ප‍්‍රදායික ලෙස ‘පෙඩරල් / රට බෙදන කතා’ කිව්වත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ භාවිතය තුළ / ක‍්‍රමය තුළ පැහැදිලිවම ‘කිසිඳු කොන්දේසියක් නැත’ යන වචනය අවධාරණය වෙනවා. ඒ වගේම සජිත් පේ‍්‍රමදාස මහතාගේ භාවිතය තුළ එවැන්නකට ‘අල්ප හෝ ඉඩක් ’ නොමැති බව ඕනෑම අයෙකුට වටහා ගත හැකියි. ඒ නිසා 1999, 2005 මැතිවරණ වේදිකාවේ තීරණාත්මක මාතෘකාවක් වූ ‘රට බෙදන හොර ගිවිසුම්’ සජිත් පේ‍්‍රමදාස මහතා හමුවේ පහසුවෙන් නිෂ්ප‍්‍රභා වෙනවා.

අනෙක් කරුණ වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා සුළු ජාතීන්ට අයත් වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී, මධ්‍යස්ථ වාදී නායකයින්ගේ පූර්ණ විශ්වාසය දිනා ගැනීම. දමිළ ජාතික සන්ධානය ප‍්‍රමුඛ උතුරේ දමිළ බලවේග, පලනි දිගම්බරම් ඇතුළු වතු ජනතාව අතර වඩාත් ශක්තිමත් දේශපාලන බලවේග, මනෝ ගනේෂන් ඇතුළු කොළඹ නාගරිකය තුළ බලවත් දමිළ බලවේග, රාවුෆ් හකීම්, රිෂාඞ් බදුර්දීන් සහ විශේෂයෙන් මෑතකදී එජාපයට එක් වූ කොළඹ මුස්ලිම් සමාජයේ දැඩි ගෞරවයට පාත‍්‍ර වූ ෆවුසි ඇතුළු පිරිසක් අද සජිත් පේ‍්‍රමදාස මහතාට පූර්ණ සහාය දෙන විට ප‍්‍රතිවාදී අපේක්ෂකයාට සහාය දෙන්නේ අදත් ඊළාම් වාදය වෙනුවෙන් පෙනී සිටින ඊපීඩීපී සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද, කොටි සංවිධානයේ ඝාතකයින් ලෙස ක‍්‍රියා කළ කරුනා අම්මාන්, පිල්ලේයාන් සහ ලංකාවේ බෙඳුම් වාදයේ ජීව මාන සාධකය වන වර්ධරාජා පෙරුමාල් සහ ඉස්ලාම් අන්තවාදීන්ගේ බලවේග වලට නායකත්වය දෙන (ඩමි ජනපති අපේක්ෂක) හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා වැනි අය. මේ තත්ත්වය සමග පසු ගිය කාලයේ මුස්ලිම් සමාජයට දැඩි පීඩනයක් හා වෛරයක් එල්ල කළ අතුරලියේ රතන, මධුුමාදව අරවින්ද, ගම්මන්පිල, විමල් වීරවංශ, අම්පාරේ ජයන්ත වීජේසේකර ආදීන් එක් වුණ විට සුළු ජාතීන් හා සුළු ආගමිකයින් තව තවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවිශ්වාස කරනවා මිස ඔහුව ‘අල්පමාත‍්‍රයකින්’ හෝ විශ්වාස කිරීමට පෙළඹෙන්නේ නැහැ.

පාස්කු ප‍්‍රහාරය හා කතෝලික ඡන්ද

පසු ගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරය සමග මෙරට ජන ගහණය තුළ 6.2%ක නියෝජනයක් ඇති රෝමාණු කතෝලික හැසිරීම කෙරෙහි බොහෝ දෙනෙක් අවධානය යොමු කර තිබෙනවා. ඒත් මේ පිළිබඳ නිරීක්ෂණයේ යෙදෙන දේශපාලන විශ්ලේෂකයින් කියන්නේ මෙරට රෝමාණු කතෝලික ජනගහණ ව්‍යුහය තුළ ඇති ‘සිංහල රෝමාණු කතෝලික’ සහ ‘දමිළ රෝමාණු කතෝලික’ බෙදීම ගැන බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන බවයි. එමෙන්ම පොදුවේ ‘රෝමාණු කතෝලික ලෙස’ නාමකරණය කළත් එම ජනතාව අතර ‘ක‍්‍රිස්තියානි’ නිකායික පිරිසද සැලකිය යුතු ප‍්‍රතිශතයක් නියෝජනය කරන බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ලියුම්කරු සමග අදහස් දැක්වූ මීගමුව කේන්ද්‍ර කර ගත් කතෝලික සිවිල් සංවිධාන නායකයෙක් සඳහන් කළේ ‘පාස්කු ඉරිදා ප‍්‍රහාරය කතෝලික ජනතාව තුළ දැඩි කම්පනයක් ඇති කළ බව ඇත්ත. ඒත් ඒ ප‍්‍රහාරයේ මූල බීජය හඳුනා ගන්න බැරි තරම් කතෝලික ජනතාව අඳ බාලයන් නොවෙයි. අපි කවුරුත් දන්නවා ඉස්ලාම් අන්ත වාදය පෝෂණය කළේ, පෝෂණය වුණේ කොහොමද කියලා. ඒ වගේම තමයි කතෝලික ජනතාව ස්වභාවයෙන්ම දැනුවත් ජනතාවක්. ඔවුන්ට වඩාත් පුළුල් පරාසයක තොරතුරු ලැබෙනවා. ඒ වගේම කතෝලික ජන ව්‍යහුය තුළ වඩාත් බලවත් (ආර්ථික හා මතවාදිව) ක‍්‍රිස්තියානි ජනතාව දැඩිව අධිකාරී වාදය ප‍්‍රතික්ෂේප කරන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ අයිතිවාසිකම් පිළිගන්නා ජනතාවක්. ඒ නිසා පාස්කු ප‍්‍රහාරයේ දේශපාලන වාසිය ඔවුන් අධිකාරී වාදයට නොදෙන බව පැහැදිලියි. ඒ වගේම පසුගිය කාලයේ (දැන් අවධානය ගිලිහී ගිය) කතෝලික සභාවට අයත් නොවුණ නිකායන් ගණනාවක් අඛණ්ඩව බෞද්ධ අන්ත වාදයේ ප‍්‍රහාරයට හා හිංසනයට ලක් වුණා. පාස්කු ප‍්‍රහාරය එන්න පෙර මේ බෞද්ධ අන්තවාදීන්ගේ සහ දේශපාලන උසි ගන්න වන්නන්ගේ ඍජු ගොදුරු බවට පත් වුණේ රට පුරා ව්‍යාප්තව පවතින සුළු තර ක‍්‍රිස්තියානි නිකායන් සහ පල්ලි. ඒ ගැන අපි කිසිවෙකුට අමතක නැහැ. පාස්කු ප‍්‍රහාරයට සමාන කම්පනයක් හා භීතියක් පසු ගිය පාලන සමයේ කූප්පනු ලැබූ ආගමික අන්ත වාදීන් නිසා අපි ලැබුවා. ඒ නිසා පාස්කු ප‍්‍රහාරය කතෝලික ඡන්ද අධිකාරී වාදයට යට කරන රැල්ලක් වන්නේ නැහැ. අපි පාස්කු කම්පනය වගේම මේ අධිකාරී වාදය යළි තහවුරු වුව හොත් සිදු විය හැකි විපත ගැනත් හොඳින් සංවේදීයි’ ඔහු දිර්ඝව පැහැදිලි කළා.

දෑත් පිරිසිදු නිර්ප‍්‍රභූ නායකයා

" ඉකොනොමික් ටයිම්ස්" කියන ආකාරයට සජිත් පේ‍්‍රමදාස නිර්ප‍්‍රභූ නායකයෙකු වන්නා සේම ‘දෑත් පිරිසිඳු’ නායකයෙක් (ලියුම්කරුගේ අවධාරණය)

මේ කාරණය අද සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය විජයග‍්‍රහණයක් කිරීමට තීරණාත්මකව බලපා තිබෙනවා. ඒ සජිත් පේ‍්‍රමදාස මහතා පමණක් නොව ඔහු සමග පෙරමුණු ඇණිය ලෙස කට යුතු කරන සියලු දෙනා නිර්ප‍්‍රභූ සහ දෑත් පිරිසිඳු දේශපාලනඥයින් වීමයි. ඒ වගේම තම පාලනයක් තුළ ‘කිසිදු ආකාරයක දූෂිතයින්ට අවස්ථාවක් නොදෙන බවට’ පේ‍්‍රමදාස මහතා කරන අවධාරණය සමාජය තුළ මේ වන විට මුල් බැස ගෙන තිබෙනවා.

ඒ වගේම පේ‍්‍රමදාස මහතාගේ නිර්ප‍්‍රභූ භාවය තුළ ඔහු කොළඹ ඇතුළු නාගරික අඩු ආදායම් ලාභීන්ගේ මෙන්ම ප‍්‍රභූ වාදයෙන් බැට කන හම්බන්තොට ඇතුළු වැඩ වසම් ප‍්‍රදේශ වල ජනතාවගේ ද දැඩි ආකර්ෂණයට හා විශ්වාසයට ලක්ව තිබෙනවා.

‘සජිත්ගේ දෑත් පිරිසිඳුයි. ඔහුගේ පියා මේ රටේ නිර්ප‍්‍රභූවාදයේ කූඨප‍්‍රාප්තිය වශයෙන් සැලකිය හැකියි. ඔහුට එරෙහි වුණේ ‘ප‍්‍රභූ පන්තිය මිස නිර්ප‍්‍රභූ ජනතාව නොවෙයි. ඒ නිසා මේ මැතිවරණයේදී නොවෙයි 1988 ජනපතිවරණයෙන් පසු නිර්ප‍්‍රභූ අපේක්ෂකයෙක් ඉහළටම එසවී සිටිනවා. මේ තත්ත්වය ග‍්‍රාමීය ජනතාව අතර ආකර්ෂණයක් ඇති කිරීමට ප‍්‍රබල හේතුවක් වී තිබෙනවා. විශේෂයෙන් ‘සජිත් අපේ මිනිහෙක් ’ කියන්න පුළුවන් සියලු සාධක ඔහු සම්පූර්ණ කර සිටිනවා. ඔහු වටා සිටින්නේ අන්ත වාදීන් නොවන, ප‍්‍රභූන් නොවන දේශපාලනඥයින්, ඔවුන් වෘත්තිකයින් වශයෙන් ද සැලකිය හැකියි. ඒ වගේම සජිත් පේ‍්‍රමදාස මහතා වටා රැස්ව සිටින්නේ ‘නියම සිිවිල් නිල ධාරීන්’ මිස මිලිටරි නිල ධාරී ව්‍යුහයක් නොවෙයි’ ප‍්‍රකට දේශපාලන විචාරකයෙක් පසු ගිය දා ලියා තිබුණා.

මේ සමග "ද ඉකොනොමික් ටයිමිස්' නිරීක්ෂණයේ ‘කුල සාධකය’ ගැන ද අකමැත්තෙන් වුවත් යමක් ලිවිය යුතුයි.

‘ඒ නිරීක්ෂණය ඉතාම නිවැරදියි. සජිත් පේ‍්‍රමදාස මහතාට නිර්ප‍්‍රභූ සමාජයේ වගේම (එවැනි දෙයක් දැන් තිබෙන බව අපි පිිළිගන්න අකමැති වුවත්) ‘කුලය’ පදනම් කර ගත් සමාජ ස්ථරයේ ද දැඩි ආකර්ෂණයක් තිබෙනවා. අපි හෘද සාක්ෂියට එකඟව පිළි ගත යුතුයි විවාහයේදී සහ දේශපාලනයේදී කුලය ප‍්‍රමුඛ සාධයක් බව’ දේශපාලන විශ්ලේෂකයෙක් සඳහන් කළා.

අවසාන වශයෙන් ‘කාන්තා ගරුත්වය’ කේන්ද්‍රීය කරුණක් කරගත් මේ නිර්ප‍්‍රභූ සරල මිනිසා, සුළු ජාතීන්ගේ ගෞරවයට පාත‍්‍ර වූ මේ අදීන මිනිසා, අධිකාරී වාදයට එරෙහිව නැගී සිටින ශක්තිමත්ම ‘පොදු ජනයාගේ මිනිසා’ හැර වෙනත් එකම හෝ විකල්පයක් මෙවර ජනපතිවරණයේ අනෙක් කිසිඳු අපේක්ෂකයෙකු සතුව තිබේ දැයි ඔබ ඔබේ ‘හෘද සාක්ෂියෙන්’ විමසා බලන්න.

කාන්තා හිංසනය හා කාන්තා ගරුත්වය... අධිකාරී වාදය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය... ජන වාර්ගික හා ආගමික හිංසනය හා සංහිඳියාව... ප‍්‍රභූ වාදය හා නිර්ප‍්‍රභූ වාදය අතර තීරණාත්මක සටනේදී ඔබේ මනාපය තෝරා ගැනීම වඩාත් පහසු බව අපගේ විශ්වාසයි. ඒ සමග ජාතික ආරක්ෂාව වඩාත් හොඳින් තහවුරු කළ... කළ හැකි ෆීල්ඩ් මාෂල් වරයා ද වේදිකාවේ සිටින බව අමතක නොකරන්න.

 

Advertiesment