Monday 9th of December 2019

English Tamil
Advertiesment


කොටින්ගෙන් වැඩියෙන්ම වැඩ ගත්තේ කවුද..?


2019-11-13 61076

 
(ඉන්ද්‍රජිත් හේවාවිතාරණ )

 

ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන 08 වැනි ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. එනිසා සුුපුරුදු  ලෙස ජනාධිපතිවරණ උණුසුම සමස්ත සමාජය පුරාම පැතිර තිබෙනවා. ඒත් වාසනාවකට වගේ පසු ගිය ජනපතිවරණවල දී දැකිය හැකි වූ දැඩි ප‍්‍රචණ්ඩත්වය, පුද්ගල ඝාතන මේ දක්වා වාර්තා වී නැහැ. එවැනි ඛේද ජනක තත්ත්වයක් ඇති නොවනු ඇති බවයි කාගෙත් විශ්වාසය වන්නේ.

මේ ලිපිය මගින් අවධානය යොමු කරන්නේ පසු ගිය ජනාධිපතිවරණ වලදී ඡන්ද දායකයින් හැසිරුණු ආකාරය, එසේ නැතහොත් ආසන මට්ටමින් ඡන්ද ප‍්‍රතිඵල විශ්ලේෂණය කිරීම සහ එම මැතිවරණයන්හි ස්වභාවය, හා තීරණාත්මක ප‍්‍රවණතා විශ්ලේෂණය කිරීම කෙරෙහියි.

1947දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ‘වෙස්ට්මිනිස්ටර් ක‍්‍රමයේ’ නැතිනම් පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයේ තීරණාත්මක හැරවුමක් සිදු වන්නේ 1977 ජූලි 21 දින පැවැති මහ මැතිවරණයෙන් 5/6ක බලය (140/168ක්) ලබා ගත් එක්සත් ජාතික පක්ෂය ඊට ස්වල්ප කාලයකට පසු දෙවන ජන රජ ව්‍යවස්ථාව සම්මත කරමින් ‘විධායක ජනාධිපති ක‍්‍රමය’ට යාම සමගයි. නව ව්‍යවස්ථාව සමග එවකට අග‍්‍රාමාත්‍යවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ව්‍යවස්ථාව අනුව ‘විධායක ජනාධිපතිවරයා’ බවට පත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු වන විධායක ජනාධිපතිවරයා පත් වන්නේ ජනාධිපතිවරණයකින් නොවීම විශේෂත්වයක්. මෙය මෙම යුගයේ ලෝකයේ බොහෝ රට වල පැවැති තත්ත්වයක් බව ජාත්‍යන්තර දේශපාලන ඉතිහාසය විමසීමේදී හඳුනා ගත හැකියි.

ශ්‍රී ලංකාවේ පළමු වැනි, නැතහොත් ප‍්‍රථම ජනාධිපතිවරණය 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවැත් වුණා. ඒ සඳහා එවකට ජනාධිපති ධූරයේ සිටි එජාප නායක ජේ.ආර්. ජයවර්ධන, ප‍්‍රධාන විපක්ෂය වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ඇමැතිවරයෙක් වූ හෙක්ටර් කොබ්බෑකඩුව, ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවිර, ප‍්‍රමුඛ දෙමළ දේශපාලනඥයෙක් වූ කුමාර් පොන්නම්බලම්, වාමාංශික නායක ආචාර්ය කොල්විලන් ආර් ද සිල්වා සහ වාසුදේව නානායක්කාර යන අපේක්ෂකයින් ඉදිරිපත් වුණා.

ශ‍්‍රීලනිපය වෙනුවෙන් හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඉදිරිපත් වුණේ හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කර තිබීම නිසයි. ඒ වගේම අසාර්ථක 1971 මහ කැරැල්ලට නායකත්වය දී සිර ගතව සිට 1977දී නිදහස ලබා සිටි ජවිපෙ නායකයා කෙරෙහිද සමාජයේ ප‍්‍රබල අවධානයක් යොමුව තිබුණා. ඒ වගේම එවකට ජනපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතා කෙරෙහි ද සමාජය තුළ සැලකිය යුතු විවේචනයක් තිබුණා. විශේෂයෙන් 1980 ජූලි වැඩ වර්ජනය දැඩි ආකාරයෙන් මර්ධනය කිරීම, උතුරේ බෙදුම්වාදය මෝරමින් පැවතීම, ශ‍්‍රීලනිප නායිකාවගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම මේ අතර ප‍්‍රමුඛ වුණා.

මේ තත්ත්වය තුළ ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාට දැඩි තරඟයකට මුහුණදීමට සිදු වූ අතර ඊට පෙර 1947 සිට කිසිඳු  ආණ්ඩුවක් පිට පිට දෙවන වරටත් (1953 හැර) බලයට පත් නොවූ ඉතිහාසය තුළ පළමු ජනපතිවරණයෙන් ද ජේ.ආර්. ජයවර්ධන මහතා තීරණාත්මක ලෙස පරාජයට පත් වනු ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කළා.

‘ජවිපෙ බොල් පිළිම’ බිඳ වැටුණු පළමු ජනපතිවරණය

ඒත් ජේ.ආර්. ජයවර්ධන මහතා 52.91%ක ප‍්‍රතිශතයක් (ඡන්ද 34,50,811) ලබා ගනිිමින් පළමු ජනාධිපතිවරණය පහසුවෙන් ජයග‍්‍රහණය කළා. ප‍්‍රධාන විපක්ෂය වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට ලබාගත හැකි වුණේ සියයට 39.07%ක් හෙවත් ඡන්ද 25,48,438ක් පමණයි. මහත් බලාපොරොත්තු සහිතව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා ලබා ගත්තේ 4.19%ක් හෙවත් ඡන්ද 273,428ක් වැනි ප‍්‍රමාණයක්. සමස්ත ලංකා දමිළ සන්ධානය වෙනුවෙන් ඉදිරිපත් වූ කුමාර් පොන්නම්බලම් මහතා 2.67%ක් හෙවත් ඡන්ද 173,934ක් ද, වාමාංශික නායක හා හිටපු ඇමති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා 0.88%ක් හෙවත් ඡන්ද 58,531ක් ද, වාසුදේව නානායක්කාර මහතා 0.26%ක් හෙවත් ඡන්ද 17,005ක් ද ලබා ගෙන තිබුණා.

81,45,015ක් වූ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 81.06%ක් හෙවත් 65,22,147ක් ඡන්ද ප‍්‍රකාශ කර තිබූ අතර වැඩි ඡන්ද 9,02,373කින් ජේ.ආර්. ජයවර්ධන මහතා ජයග‍්‍රහණය කළා.

දෙවැනි ජනපතිවරණයේදී ‘ශ‍්‍රීලනිප ජයග‍්‍රහණයට’ ජවිපෙ වළ කපයි

ශ‍්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරණය පැවැත් වුණේ 1988 දෙසැම්බර් මස 19 වැනිදා. 1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහතාට ව්‍යවස්ථාව අනුව තෙවන වර තරඟ කිරිමට නොහැකි වූ අතර (මෙම සංශෝධනය 2010 වසරේදී 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉවත් කරනු ලැබූ අතර යළි 2015 දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පනවනු ලැබුවා) එජාප අපේක්ෂකයා ලෙස අග‍්‍රාමාත්‍ය රණසිංහ පේ‍්‍රමදාස (ආර්. පේ‍්‍රමදාස) මහතා ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශ‍්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද, ශ‍්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් ඔසී අබේගුණසේකර මහතා ද (1994දී කොටි මරාගෙන මැරෙන බෝම්බයකින් තොට ළඟදී එජාප ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක මහතා සමග ඝාතනය වුණා) ඉදිරිපත් වුණා.

මෙම ජනපතිවරණය වන විට පාලක පක්ෂය වෙත සාධනීය තත්ත්වයන් සේම ප‍්‍රබල ඍණාත්මකතා ද තිබුණා. ධනාත්මක තත්ත්වයන් ගත් විට කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය, ගම් උදා ව්‍යාපාරය, නිදහස් වෙළෙඳ කලාප ක‍්‍රමය, විවෘත ආර්ථිකය, මහ පොළ ශිෂ්‍යත්ව ක‍්‍රමය ආදිය මගින් එජාප ආණ්ඩුව දැවැන්ත සමාජ හා ආර්ථික සංවර්ධනයකට මග හෙළි කර තිබුණා. එය ලක්ෂ සංඛ්‍යාත පවුල් ප‍්‍රමාණයක් ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තිබූ අතර භාණ්ඩ හිඟය, රැකියා හිඟය ආදි තත්ත්වයන් සැලකිය යුතු ලෙස අවසන් කර තිබුණා. එහෙත් 1980 ජූලි වැඩ වර්ජනය, 1982 ජනමත විචාරණය මගින් පාර්ලිමේන්තුවේ ධූර කාලය දිර්ඝ කර ගැනිම, 1983 කළු ජූලිය, උතුරේ බෙදුම්වාදය උත්සන්න වීම මෙන්ම 1987 ඉන්දියාව සමග අත්සන් කළ ‘ඉන්දු - ලංකා ගිවිසුම’ අනුව හඳුන්වා දුන් පළාත් සභා ක‍්‍රමය හා ඉන්දීය සාම සාධක හමුදාව මෙරටට පැමිණ සිටීම ප‍්‍රමුඛ චෝදනා වුණා.

ඒ සියල්ලට වඩා ‘ඉන්දීය ව්‍යාප්තවාදය’ කේන්ද්‍ර කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987දී යළි ආරම්භ කළ දෙවැනි සන්න්ධ අරගලය මෙම මැතිවරණය කෙරෙහි ඍජු බල පෑමක් කර තිබුණා. මැතිවරණය වර්ජනය කරන ලෙස ජවිපෙ දකුණේ ඡන්ද දායකයින් ඍජුව බලපෑම් කළ අතර ‘ඡුන්දය දෙන පළමු 10 දෙනා (ඡුන්ද පොළකින්) ඝාතනය කරන බවට ද ජවිපෙ අනතුරු අඟවා තිබුණා. ඒ නිසා දකුණේ සමස්ත මැතිවරණයම ජවිපෙ ‘භීෂණයේ’ ඍජු ගොදුරක් වෙද්දී, උතුරු - නැගෙනහිර පළාත්වල පැවැති බෙදුම්වාදය උච්ච වී තිබුණා. ඉන්දීය සාම සාධක හමුදාව පැමිණ කොටි සංවිධානයට එරෙහිව මෙහෙයුම් දියත් කළ අතර උතුරු - නැගෙනහිර ද මැතිවරණයට පැවැතියේ ඍණාත්මක තත්ත්වයක්.

මේ තත්ත්වය තුළ පාලක එජාප අපේක්ෂක රණසිංහ පේ‍්‍රමදාස මහතාට සැලකිය යුතු අවාසි දායක තත්ත්වයක් නිර්මාණය කර තිබූ අතර විපක්ෂ අපේක්ෂිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට වාසි දායක තත්ත්වයක් නිර්මාණය කර තිබුණා.

එහෙත් දකුණේ සහ උතුරේ භීෂණය හමුවේ එජාප ජනපති අපේක්ෂක රණසිංහ පේ‍්‍රමදාස මහතා 50.43%ක් හෙවත් ඡන්ද 25,69,199ක් ද, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 44.95%ක් හෙවත් ඡන්ද 22, 89,860ක් ද, ශ‍්‍රීලමපෙ අපේක්ෂක ඔසී අබේගුණසේකර මහතා ඡුන්ද 2, 35, 719ක් හෙවත් 1.76%ක ප‍්‍රතිශතයක් ද ලබා ගත්තා.

93,74,164ක් වූ ලියා පදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 51,86,223ක් හෙවත් 55,32%ක් ඡන්දය ප‍්‍රකාශ කර තිබූ අතර ඡන්ද 91,445ක් හෙවත් 1.76%ක් නරක් වූ ඡන්ද බවට පත්ව තිබුණා. වැඩි ඡන්ද 279,339කින් රණසිංහ පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කළා.

මේ ඡන්ද ප‍්‍රතිඵල ගැන නිරීක්ෂණයේ යෙදෙන දේශපාලන විශ්ලේෂකයින් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දකුණේ භීෂණයක් ඇති නොකළේ නම් මෙහි අවසන් ප‍්‍රතිඵල වෙනස් විය හැකිව තිබූ බවයි. එහි සත්‍යතාව පිිළිබඳ පැහැදිලි ඉඟියක් මෙම ප‍්‍රතිඵලය 1982 සමග සැසදීමේදී ලබා ගත හැකි බවයි ,ඔවුන් පෙන්වා දුන්නේ. 1982දී 81.06%ක් ඡන්දය ප‍්‍රකාශ කර තිබූ අතර 1988 දී එය 55.32% දක්වා 25%ක පමණ ප‍්‍රතිශතයකින් පහළ බැස තිබුණා. ජවිපෙ භීෂණය මැද පැවැති මෙම ජනාධිපතිවරණයේදී ජන මතය නිවැරදි ලෙස ප‍්‍රකාශයට පත් නොවූ බවට වන තර්කයට පැහැදිලි පදනමක් ඇති බව පොදුවේ පිළි ගැනුනත් එයින් ජයග‍්‍රාහකයාට බලපෑමක් සිදු වුණේ නැහැ. ජනපතිවරණ ප‍්‍රතිඵල අභියෝගයට ලක් කරමින් ශ‍්‍රීලනිප නායිකාව විසින් ඉදිරිපත් කළ ‘ඡන්ද පෙත්සම’ දීර්ඝ නඩු විභාගයකින් පසුව ප‍්‍රතික්ෂේප වුණා.

තෙවැනි ජනපතිවරණයේදී පත්තු වූ කොටි බෝම්බය ‘එජාපය වනසා දමයි’

ශ‍්‍රී ලංකාවේ තෙවැනි ජනාධිපතිවරණය පැවැත් වුණේ 1994 අගෝස්තු 16 දා පැවැති මහ මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් ‘පොදුජන එක්සත් පෙරමුණ’ තියුණු ජයග‍්‍රහණයක් කර ආණ්ඩුව පිහිටු වීමට පසුවයි. ඒ අනුව එජාපයේ 17 වසරක පාලනය අවසන්ව තිබූණා.

රණසිංහ පේ‍්‍රමදාස මහතා ඝාතනය වීම (1993 මැයි 01) හේතුවෙන් ජනාධිපති පදවියට ඩී.බී විජේතුංග මහතා පත්ව සිටි අතර ජනපතිවරණය පැවැත්වෙන විට අග‍්‍රාමාත්‍ය පදවියේ පොදු ජන පෙරමුණේ නායිකාව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කටයුතු කරමින් සිටියා.

1994 නොවැම්බර් 09 වැනි දින පැවැති තෙවැනි ජනපතිවරණය ද නිසි පරිදි ජන මතය ප‍්‍රකාශයට පත් වූ මැතිවරණයක් ලෙස දේශපාලන විචාරකයින් විසින් පිළි ගන්නේ නැහැ. ඒ 17 වසරක එජාප පාලනය නිමා කළ මහ මැතිවරණය ( අගෝස්තු 16) ආසන්නයේම පැවැත්වීමටත් වඩා එජාප ජනපති අපේක්ෂක ගාමිණි දිසානායක මහතා ඇතුළු එජාපයේ ‘වර්ණවත්’ නායකයින් විශාල පිරිසක් තොට ළඟ පැවැති ජනපතිවරණ ප‍්‍රචාරක රැළියකදී කොටි සංවිධානයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට ලක්ව ඝාතනය වීම නිසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ මහත් කම්පනයක් ඇති කළ (එහි පසු කම්පන තවමත් පවතී) මෙම සිදු වීම සමග එජාපයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අතර එහි ඍජු වාසිය පොදුජන පෙරමුණට ලැබුණා.

ගාමිණි දිසානායක මහතාගේ ඝාතනයෙන් පසු අපේක්ෂකත්වය ගාමිණි දිසානායක මහතාගේ වැන්දඹු බිරිඳ වූ ශ‍්‍රීමා දිසනායක මහත්මියට හිමි වූ අතර ඇයට ‘අනුකම්පාවේ ඡන්ද ’හිමිවනු ඇතැයි ඇතැමුන් විශ්වාස කළා. (එය බොහෝ විට ලංකාවේ සිදුවිය. 1959 දී ශ‍්‍රීලනිප නායක අගමැති බණ්ඩාරනායක ඝාතනය සමග දේශපාලනයට පැමිණි ගෘහණියක පමණක් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1960 ජූලි මහ මැතිවරණයෙන් අග‍්‍රාමාත්‍ය පදවියට පත් වූවාය)

1994 නොවැම්බර් 09 වැනි දින පැවැති ජනපතිවරණයෙන් (ජනතා විමුක්ති පෙරමුණ මෙම මැතිවරණයේදී පොදු ජන එක්සත් පෙරමුණට සහාය පළ කරමින් තම අපේක්ෂකයා ඉවත්කර ගත්තා) පොදු ජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය 62.28%ක් හෙවත් ඡන්ද 47,09,205ක් ලබා ගත් අතර, එජාප අපේක්ෂිකා ශ‍්‍රීමා දිසානායක මහත්මිය 35.91%ක් හෙවත් ඡන්ද 25,15,283ක් ලබා ගත්තාය. තවත් අපේක්ෂකයින් සිවු දෙනකු (ස්වාධීන ආපේක්ෂක හඩ්සන් සමරසිංහ ඡන්ද 58,886, සිංහලේ මහා සම්මුත භූමි පුත‍්‍ර පක්ෂයේ නායක හරිශ්චන්ද්‍ර විජේතුංග ඡන්ද 32,651, හිටපු රාජ්‍ය ඇමැති වරයෙකු වූ ඒ.ජේ රණසිංහ (ස්වාධීන) 22,752, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නිහාල් ගලප්පති 22,749) 01%කටත් වඩා අඩු ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත්තා.

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වූ 1,09,37,279න් 77,13,232ක් ඡන්ද ප‍්‍රකාශ කර තිබූ අතර 151,706ක් ප‍්‍රතික්ෂේප වී තිබුණා. ඒ අනුව වැඩි ඡන්ද 19,93,927කින් පොදු ජන පෙරමුණේ අපේක්ෂිකාව ජයග‍්‍රහණය කළා. එය එතෙක් මෙතෙක් ජනපති අපේක්ෂකයෙක් ලැබූ විශාලතම ජයග‍්‍රහණය වශයෙන් සැලකිය හැකි වුවත් දේශපාලන විචාරකයින් කියන්නේ එයින් ජන මතය නිසි ලෙස පිළිබිඹු නොවූ බවයි.

ඊට හේතු වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ ඊට මාස තුනකට පෙර පැවති මහ මැතිවරණයෙන් එජාපය මුළු ඡුන්ද 34,98,370ක් දිනාගත් බවයි. ඒ අනුව මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ එජාපයේ ඡන්ද පදනම 34,98,370 සිට 27,15, 283 (සියයට 35.91) හෙවත් ඡන්ද 783,087කින් පහළ වැටීම ‘එජාප ස්ථාවර ඡන්ද පදනම’ සක‍්‍රීය ලෙස ඡන්ද පොළට නොයාම නිසා උද්ගත වූ තත්ත්වයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

‘අනපේක්ෂිත ලෙස ගාමිණි දිසානායක මහතා ඝාතනය නොවුණා නම් සමස්ත ප‍්‍රතිඵල මීට වඩා වෙනස් විය හැකිව තිබුණා’ යන උපකල්පනය අදත් බොහෝ දෙනෙක් තුළ තිබෙනවා.

මේ සමග තවත් කරුණක් ගැනත් අවධානය යොමු කළ යුතුයි. ඒ ‘සිවිල් යුද්ධයට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් ’ ලබා දෙන බවට පොදු ජන එක්සත් පෙරමුණ දුන් මැතිවරණ පොරොන්දුව (සාමයේ කතිකාව) හේතුවෙන් කුමාරතුංග මත්මියට උතුරු - නැගෙනහිර සුවිශේෂ ආකර්ෂණයක් හිමි වූ බවයි. ඒ අනුව යාපනය ඇතුළු කොටි සංවිධානයේ ඍජු බලපෑමට ලක්ව තිබූ උතුරේදී මෙන්ම නැගෙනහිර ද බණ්ඩාරනායක මහත්මිය ‘අති බහුතර’ ඡන්ද ප‍්‍රමාණයක් (උදාහරණ ලෙස යාපනය දිස්ත‍්‍රික්කයෙන් 16,934ක් ( ශ‍්‍රීමා දිසානායක 223යි, හඞ්සන් සමරසිංහ 341යි) වන්නි 33,583 හා 4493ක් වශයෙන් ද මඩකළපුව දිස්ත‍්‍රික්කය 144,725:14,812ක්ද දිගා මඩුල්ල 168,289:59,074ක්, ත‍්‍රිකුණාමලය 10,068: 635ක් ආදී වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ‘අති බහුතරයක්’ ඡන්ද ලබා ගෙන තිබුණා. ඒ අනුව පැහැදිලි වන්නේ 1994 දී ද ශ‍්‍රීලනිපය නායකත්වය දුන් පොදු ජන එක්සත් පෙරමුණ ‘සැබෑ ජනමතය’ තුළ ජයග‍්‍රහණය නොකළ බවයි. 1994 දී සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයේම බලය දිනාගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දුන් පොදු ජන එක්සත් පෙරමුණ 1997 දී ‘වයඹ පළාත් සභා කොල්ලය’ හරහා තම දේශපාලන සුජාත භාවය අහිමි කරගත් අතර ජන වාර්ගික අර්බුදයට ‘දේශපාලන විසඳුමක්’ ලබා දෙනු වෙනුවට සුපුරුදු යුද්ධය වෙත ඇඳී ගොස් තිබුණා. ඒ අනුව නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ආදිය ද සිදු වුණේ අපේක්ෂා කළ ධනාත්මක ආකාරයෙන් නොවෙයි.

එමෙන්ම දකුණේ කම්කරුවන්ට ලබා දුන් ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුවක් වූ ‘කම්කරු ප‍්‍රඥප්තිය’ පවා එවකට කම්කරු ඇමතිවරයා වූ මහින්ද රාජපක්ෂයට සම්මත කර ගැනීමට හැකි වුණේ නැහැ. 88-89 භීෂණය දඩමීමා කර ගෙන බලයට පැමිණිය ද, ජවිපෙ සහාය දිනා ගත්තද එම පොරොන්දු පවා ඉටු කිරීමට පොදු ජන පෙරමුණු ආණ්ඩුවට හැකියාව ලැබුණේ නැහැ. තව දුරටත් කිවහොත් ‘3.50ට පාන් රාත්තලක් ලබාදීම’ 'දූෂිතයින් ගොල්ෆේස් පිටියේ එල්ලීම’ වැනි පොරොන්දු ඉතිහාසයේ කුණු බක්කයට විසිවී තිබුණා.

1994 දී බලයට ඒමට ‘ජන මාධ්‍ය නිදහස’ ප‍්‍රමුඛ අවියක් වුවත් ‘සුප‍්‍රකට පිත්තල හන්දියේ ප‍්‍රහාරය’ හරහා ජන මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වූ සුජාත භාවය ද අහිමි කර ගෙන තිබුණ අතර ජීවන වියදම ඉහළ යාම, රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකිරිම, ආර්ථික වර්ධනය අඩාල විම, යුද්ධය අවාසි දායක වීම ආදි කැපී පෙනෙන ඍණාත්මකතාවලින් ආණ්ඩුව දුර්වල වෙමින් තිබුණා.

සිවු වැනි ජනපතිවරණයේදී ‘කොටි එජාපය දේශපාලනිකව' ඝාතනය කරයි

මේ තත්ත්වය තුළ බලයට පත්ව ඉතාම කෙටි කාලයක් තුළ ජන ප‍්‍රාසාදය අහිමි කර ගත් පොදු ජන එක්සත් පෙරමුණ තම සියලු රාජ්‍ය බලය සමග 1999 දෙසැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණයට මුහුණ දුන්නා.

අපේක්ෂකයින් 13 දෙනකු ඉදිරිපත් වූ මෙම ජනපතිවරණයේ ආරම්භක සමය තුළ පොදු ජන එක්සත් පෙරමුණ වාර්තා ගත ලෙස රාජ්‍ය මාධ්‍ය ඇතුළු රාජ්‍ය සම්පත් උපරිම ලෙස අප යෝජනය කළ අතර සැලකිය යුතු මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයක් ද උපරිම ආකාරයෙන් පවත්වා ගෙන ගියා. (වයඹ පළාත් සභා කොල්ලය මෙන්) මේ තත්ත්වය තුළ පවා විපක්ෂයේ ජනපති අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ඉදිරියෙන් සිටින තත්ත්වයක් පැහැදිලිව දැක ගත හැකි වුණා. ‘දුන් පොරොන්දු සියල්ල අවිනීත’ ලෙස නොව අති උද්දච්ඡ ලෙස කඩ කළ ‘පොදු ජන එක්සත් පෙරමුණ’ සිටියේ පරාජයේ මුව විට බව පැහැදිලිව දැක ගත හැකි වුණා.

ඒත් 1994 ජනාධිපතිවරණයේදී ‘තොට ළඟ බෝම්බය’ මෙන්ම 1999 ජනාධිපතිවරණයේදී ද ‘තීරණාත්මක කොටි බෝම්බයක්’ කොළඹ පුර හල අසල පැවැති පොදු ජන එක්සත් පෙරමුණේ අවසාන ප‍්‍රාචාරක රැළියේදී පුපුරා ගියා. ජනපතිණියට ‘ඇසක්’ අහිමි කළ මෙම මරාගෙන මැරෙන බෝම්බයෙන් ‘එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ මහතාව දේශපාලනිකව ඝාතතනය ’ වූ බවයි පැහැදිලිව පෙනී ගියේ.

පුර හල කොටි ප‍්‍රහාරයේ වග වීම නිර්ලජ්ජිත ලෙස විපක්ෂ නායක, ජනපති අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ මහතාට එල්ල කළ පොපෙ සම්පූර්ණ රාජ්‍ය මාධ්‍ය යොදා ගෙන මැතිවරණ දිනයේ පවා (ජනපතිණිය දවස පුරාම රාජ්‍ය මාධ්‍යවල පෙනී සිටියා) දැවැන්ත ලෙස ජනපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් කළේ එජාප අපේක්ෂකයාට ‘කොටි ලේබල්’ අලවමින්.

අවසාන ප‍්‍රතිඵලය ලෙස වසර පහක් තුළ (43,12,157) 62.28%ක් වූ ඡන්ද ප‍්‍රතිශතය 51.12%ක් දක්වා දැවැන්ත නාය යාමකට ලක් කර ගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනපතිවරණය ජයග‍්‍රහණය කරන විට ‘රාජ්‍ය මාධ්‍ය විසින් ඝාතනය කරසිටි' එජාප නායක, රනිල් වික‍්‍රමසිංහ මහතා 42.71% (36,02,748) ලබා ගෙන සිටියා.

1994 දී පොදු ජන එක්සත් පෙරමුණට සහාය දුන් ජවිපෙ විසින් තීරණාත්මක මැතිවරණයකදී පවා දිනාගෙන තිබුණේ 4.08%ක් හෙවත් ඡන්ද 344,173ක් වැනි ‘අල්පයක්’ පමණයි.

‘පුර හල කොටි බෝම්බය පත්තු නොවුණා නම් මේ ජනපතිවරණ ප‍්‍රතිඵල සපුරා වෙනස් විය හැකි බව උතුරු - නැගෙනහිර ඡන්ද ප‍්‍රතිඵල මනාව පෙන්වා දුන්නා. ඒ යාපනය ඡන්ද ප‍්‍රතිඵලය 52,943:48,005ක් ලෙස ද, වන්නිය 16,202 : 43,803ක්, මඩකළපුව 58,975:105,100ක් ලෙසද, දිගා මඩුල්ල 149,593:109,805ක් ලෙසද , ත‍්‍රිකුණාමලය 56,691:63,651ක් ලෙසද  යළි ප‍්‍රතිනිර්මාණය වී තිබුණ නිසයි.

1994 දී මෙන්ම 1999 දී ද කොටි සංවිධානය එජාපය දේශපාලනිකව ඝාතනය කරමින් ශ‍්‍රීලනිපයට දැවැන්ත දේශපාලන වාසියක් අත් පත් කර දී තිබුණා.

කොටි යළි සේවය කළ 2005 සිට කතාව හෙට

 

Advertiesment