ගෝඨාභය පරාජය කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි ගමනට නැතිවම බැරි අත්‍යාවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය හැකිය.එහෙත් අප ඔහු පරාජය කළ යුත්තේ එල්ටීටීඊ බෙදුම් වාදි ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීමට ඔහු විසින් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන ලද බවද අමතක නොකරමිනි. එහිදී ඔහු තමන්ට ලැබී තිබුන අති ව්ශාල බලය පටු දේශපාලන අරමුණු සඳහා යොදා නොගත්තේ නම් ඔහුගේ කතාව මීට වඩා වෙනස් කතාවක් වන්නට ඉඩ තිබුණි.
ඔහු රාජ්‍ය නායකත්වයට තරඟ නොකොට වෙනත් බලවත් තනතුරකට තරඟ කළේ නම් හෝ තේරී පත් වූයේ නම් මෙම විවාදය මීට වෙනස් වන්නට ඉඩ තිබුණි.ඔහු කොතරම් දක්ෂ වුවත් ඔහු වැනි ප්‍රශ්ණ ගත පුද්ගලයෙකු රටේ රාජ්‍ය නායකයා නොකර ගත යුතුය.මම මීට පෙර ද ලියා ඇති පරිදි ඔහුට එරෙහිව ඉදිරි පත්ව තිබෙන අධි චෝදනා පත්‍ර සංක්‍යාව අටකි.අන්තර් ගත චෝදනා වල සොබාවයද බිහිසුණුය.අධි චෝදනා යනු කට කතා වලින් කෙරෙන චෝදනා නොවේ.පරීක්ෂණ බල අධිකාරියක් විසින් කරන පරීක්ෂණ වලින් පසුව නීති පති ගේද අනුමතිය ඇතිව පහලම අධිකරණයක් වෙනුවට මහා අධිකරණයක් වෙත ඉදිරිපත් කෙරෙන චෝදනා වලියකි.
එවැනි චෝදනා ඇති පුද්ගලයෙකු රාජ්‍ය නායකත්වයට තරඟ කිරීම නුසුදුසුය.තරඟ කරන්නට ඉඩ දීමද නුසුදුසුය.අධි චෝදනා ඇති පුද්ගලයෙකුව රජයේ සේවයේ ඉහල තනතුරකට තබා පහලම තනතුරකටවත් බඳවා ගන්නේ නැත.
මෙම අධි චෝදනා ඉදිරිපත් කිරීම පටු දේශපාලන අරමුණකින් කරන ලද ඒවා වීනම් අභියාචනා අධිකරණය ඉදිරියට ගොස් ඒ බව සනාත කොට ඒ සියලු චෝදනා නිෂ්ප්‍රභා කර ගත යුතුව තිබුණි.එවැනි නඩු කරයකට දීර්ඝ කාලයක් ගන්නේ නැත.එහිදී ඔහු ඔප්පු කළ යුතු වන්නේ ඉදිරි පත් කර තිබෙන අධි චෝදනා සත්‍ය පදනමක් නැති දේශපාලන වශයෙන් පළි ගැනීමේ අරමුණින් ඉදිරිපත් කර තිබෙන චෝදනා බවය.ජනාධිපතිවරණයට තරඟ කළ යුතුව තිබුනේ ඉන් පසුවය.එසේ කිරීමට සමත් වී නම් නිර්දෝෂී භාවය සඳහා වන අධිකරණ සහතිකයක් ද ඇතිව ලොකු තරඟයකින් තොරව ජනාධිපතිවරණයෙන් පහසු ජයග්‍රහණයක් ලබා ගන්නට හැකි වන්නට ඉඩ තිබුණි.අධි චෝදනා වලට සත්‍ය පදනමක් නැති නම් එම කෙටි අධිකරණ මාර්ගය තෝරා නොගත්තේ ඇයි.
පුරවැසි ප්‍රශ්ණයද පුපුරන සුලු ප්‍රශ්ණයක් ලෙස සැලකිය හැකිය.ඒ ගැනද ඔහු මහ ජනයාට කරුණු පැහැදිළි කරන්නේ නැත.අධි චෝදනා ඉදිරිපත් වී තිබෙන හමුදා බුද්ධි අංශ වලට සම්බන්ධ නිලධාරීන් කිහිප දෙනා සම්බන්දයෙන් ප්‍රකාෂ කර තිබෙන ප්‍රතිපත්තියද නීතියට සේම යුක්තියට ද පටහැනිය.එම නිලදාරීන් කිහිප දෙනාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනා ජනාධිපති අපේක්ෂකයාට එල්ල වී තිබෙන චෝදනා අතර අන්තර් සම්බන්දයක් ඇති බව රහසක් වන්නේ නැත.චෝදනා ලාබීන් වන ඔවුන් නිර්දෝෂි නම් ඔවුන් නිදහස් කළ යුතුව තිබෙන්නේ ඊළඟ ජනාධිපති විසින් නොව සිදු කරන පරීක්ෂණයකින් පසු අධිකරණය විසිනි.
ආරක්ෂක අංශ වලට අදාලව ගෝඨාභයගේ පාලන කාලය තුල සිදුවී තිබෙන හොඳ දේවල ගරුත්වය ගෝඨාභයට ලැබිය යුතු සේම වැරදි හා සීමාන්තික දේවල් සිදු වී ඇති නම් එවාහි වගකීමද ඔහු භාර ගත යුතුය.බන්ධනාගාර සිද්ධියේදී ලැයිස්තුවකට අනුව තෝරා ගත් සිර කරුවන් පිරිසක් මරා දැමීම,රතු පස් වල හා නිදහස් වෙළඳ කලාපයේ සිදුවූ සහාසික ක්‍රියා,කප්පම් ලබා ගැනීම සඳහා තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමිම,ලසන්ත ගාතනය,එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම,මාධ්‍ය වේදින් ගණනාවක් පැහැර ගෙන ගොස් ඔවුන් බිහිසුණු වද හින්සාවන්ට ලක් කිරීම,පෙරටුගාමී පක්ෂයේ ලලිත් හා කූගන් අතුරු දහන් කිරීම,ජන මාධ්‍ය ආයතන ගණනාවකට පහර දීම වැනි ක්‍රියා මවා පතුරුවා හරින ලද ප්‍රබන්ධ නොව මේ මහ පොලොවේ සිදුවූ ඇත්ත කතාය.
මෙවැනි බිහිසුණු චෝදනා තිබෙන පුද්ගලයෙකු රටේ රාජ්‍ය නායකයා කර ගත හොත් ඉන් රටට හා රටේ අනාගතයට සිදු වන හානිය අති විශාලය.ඒ සමග නව ජනාධිපති වරයාට එම අව ලස්සන කලු පැල්ලම් මකා ගැනීම සඳහා නීතියට පටහැනිව ක්‍රියා කරන්නට සිදු වනු ඇති අතර එම තත්ත්වය රටේ පාලනය හා ගමන් මග කෙරෙහි ඇති කරන බල පෑම ඉතාමත් විනාශකාරි විය හැකිය.
Lanka Newsweek © 2023