Thursday 30th of November 2023

English Tamil
Advertiesment


රතු සහෘදයිනි, යක්ෂයා දොරට තට්ටු කරනවා..!


2019-11-11 7844

 

රතු සහෘදයිනි, ඊනියා දේශ පාලන කන්‍යාභාවය රැක ගැනීමට පෙර දිනූ නිදහස රැක ගන්න

 

(විශ්වජිත් බණ්ඩාර දිසානායක)

‘යක්ෂයා දොරට තට්ටු කරන කොට දමිළ පක්ෂ කොන්දේසි දාන්නේ නැහැ’ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළේ දමිළ ජාතික සන්ධානය ඇතුළු සියලුම දමිළ පක්ෂ වල ‘කොන්දේසි රහිත සහාය’ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමි වීම පිළිබඳව ජන මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට එක් වෙමින්. දශක තුනකට අධික කාලයක් පුරා ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ කල්ලිය විසින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වපුරන ‘අලි කොටි ගිවිසුම්’ ‘රට බෙදන ගිවිසුම්’ කොතරම් ප‍්‍රවාදයක් ද යන්න ‘අතැඹුලක් සේ’ පැහැදිලිව තිබිය දීත් මේ මැතිවරණයේදීත් ‘රට බෙදන ගිවිසුම්’ ගැන විපක්ෂය ප‍්‍රමුඛ කල්ලි පදනම් විරහිත චෝදනා කරන්නේ ‘ගොරකා දඩමස්’ කරමින්.

මේ අතර ‘යක්ෂයා දොරට තට්ටු කරන විට’ නිවස තුළට වී යක්ෂයා සමග ‘හැංඟි මුත්තන් කරන්න ආසාවෙන් සිටින’ අඳබාලයන් ගැන සමාජය තුළ, විශේෂයෙන් කෝකටත් තෛලයක් වී ඇති සමාජ ජාලා මාධ්‍ය තුළ ප‍්‍රබල, උද්වේගකාර සංවාදයක් සිදු වෙමින් තිබෙනවා.

අගමැති වරයාගේ ඉහත ප‍්‍රකාශය වෙනත් ආකාරයකින් විවරණයට ලක්කළ අයෙක් තම මුහුණු පොතේ සටහනක් තබමින් කියා තිබුණේ (මදක් අශ්ශීල යැයි සිතුණත්) ‘යක්ෂයා දොරට තට්ටු කරන විට තවත් අනාගතයේදි යක්ෂයා ඝාතනය කරන්න දරුවන් හදන්න සැරසෙන වුන් අඳබාලයන්ටත් වඩා ‘මුග්ධයින්’ වශයෙන් සැලකිය හැකි බවයි.

මේ සියලු කතා වල පොදු හරය වන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපති වාදය’ අතර අවසන් සටන සිදු වන අවස්ථාවක (සජිත් - ගෝඨා) ඒ තීරණාත්මක සටනට උර නොදී වල්පල් දොඩමින්, තම ‘දේශ පාලන කන්‍යා  භාවය’ ආරක්ෂා කර ගැනීමට වළි කන ජනතා විමුක්ති පෙරමුණ නැති නම් ඊනියා ජාතික ජන බලවේගය ගැන ක‍්‍රමිකව, හෙවත් වේගවත්ව වර්ධනය වන විරෝධාකල්පයයි.

‘ඔව්, ජනාධිපතිවරණය ආරම්භ වන විට අපි සජිත් පේ‍්‍රමදාස ගැන වැඩි තැකීමක් කළේ නැහැ. අපි හිතුවේ වැඩේ අවුලක් නැතිව සිදු වන බවයි. ඒ නිසා ‘වෙනසකටත් ’ එක්ක අනුරට ඡන්දය දෙන්න අපි හිතා ගෙන හිටියා. ඒත් දැන් අපි බොහෝ දෙනෙක් ඒ තීරණය වෙනස් කරලා තියෙන්නේ. අපිට මේ වේලාවේ ධන වාදය හා සමාජ වාදය සමග සටනක් නැහැ. සටන තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ඒකාධිපති වාදය අතරයි. නැති නම් සම්මුති වාදය සහ අධිකාරී වාදය හෙවත් රෙජිම වාදය අතරයි. දැන් අපිට මහ ලොකු තෝරා ගැනීම්, අත්හදා බැලීම් නැහැ. එක විකල්පයක් විතරයි තියෙන්නේ ඒ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ ගෝඨාභයගේ අධි පති වාදය පරාජය කරන්න පුළුවන් ඇත්ත හැකියාව, බලය, ඡන්ද පදනම තියෙන්නේ සජිත් පේ‍්‍රමදාසට විතරයි. සියයට 05ටත් වඩා අඩු ඡන්ද පදනමක් තියෙන ජවිපෙ විසින් අටවා ගත්ත ‘පෙට්ටි කඩයක් වාගේ’ තියෙන ඊනියා ජාතික ජන බල වේගයට ගෝඨාගේ බුල්ඩෝසරයට අළඟු තියන්න වත් බැහැ. ඒක හරියට ගෝඨගේ රෙජිම බුල්ඩෝසර් එන කොට කොළඹ පැල්පත් වලට වුණා වාගේ තියෙයි. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා. ඒ අපි අනුර ගැන බලන්නේ නැහැ. අපි බලන්නේ අපේ රට ගැන... අපේ නිදහස ගැන. සමාජ වාදය ගැන හීන දකින්න පෙර නිදහසේ හුස්ම ගන්න ඕනෑ’ මේ දීර්ඝ පැහැදිලි කිරීම කළේ පසු ගිය මාස කිහිපය පුරා අනුර කුමාර දිසානායක වෙනුවෙන් සමාජ ජාලා මාධ්‍ය වල ප‍්‍රචාරණයේ යෙදුණු විධායක මට්ටමේ රැකියාවක් කරන තරුණයෙක්.

‘අනුර කුමාර සහෝදරයා ඔය පෙට්ටි කඬේ වහදා දාලා අපිත් එක්ක එකතු වෙන්න’

‘ජවිපෙ හැමදාම කළ පවා දීම මෙවරත් සිදු කරයිද ?’ වැනි සටහන් වලින් මුහුණු පොත පමණක් නොව ඇතැම් විකල්ප මාධ්‍ය හා සංවාද කව පවා මේ වන විට සක‍්‍රීය වී තිබෙනවා. ඔවුන් පොදුවේ ඉල්ලා සිටින්නේ ‘දුර තියෙන සමාජ වාදයට පෙර දිනා ගත් නිදහස සුරක්ෂිත කර ගත යුතු බව’යි.

‘ඔබලා කියන සමාජ වාදය කවදා එයිද කියලා කියන්න ඔබලාවත් දන්නේ නැහැ. ඒක කවදාවත් නොඑන්නත් පුළුවන්. ඒත් මෙහෙම ගියොත් (ඔබලා මෙහෙම කළොත්) නොවැම්බර් 17 වැනි දාට ඒකාධිපතියා එන බව නම් ස්ථිවරව කිව හැකියි. ඒ නිසා ඊනියා දේශ පාලන කන්‍යාභාවය (ඔබලාට එවැනි දෙයක් නැති බව 1994, 2005, මනාව පැහැදිලි කර තිබුණත්) ගැන නොසිතා පොදු සටනට එක්වන්න. ආසන ගණන ගැන මහ මැතිවරණයේදි ගණන් බලමු. (ජුල්ලම් පිටියේ අමරේ 2012දි කළ දේ සිහියට ගන්න) මෙහෙම කියන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නායකයෙක් ලෙස කටයුතු කළ අද රජයේ විධායක නිලයක් උසුලන අයෙක්.

ඔහුත් පැහැදිලිව කියන්නේ ‘එක් ඡන්දයක් හරිම මේ මොහොතේ වැදගත් බවයි.

‘ඔබලාද පූර්ණ සහාය දුන් 2005 දී මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කළේ (කොටි උතුරු - නැගෙනහිර ඡන්ද වර්ජනයට දැඩි බලපෑම් කළ නිසා) වැඩි ඡන්ද 185,000කින් පමණ. ඒත් මහින්ද බලයට පත්ව මුලින්ම අත තිබ්බේ ඔහුව ශක්තිමත් කර ඔසවා තැබූ ඔබලාට සහ ජාතික හෙළ උරුමයට... ජවිපෙ දෙකඩ කර විමල්ව පැහැර ගත්තේ මහින්ද... ලලිත් - කුගන් අහිමි කළේ මහින්ද... ජුල්ලම්පිටියේ අමරේ ඝාතනය කළේ ඔබේ පාක්ෂිකයින්ව... ඒ නිසා මෙවර ඔබලා පොදු සටන අත හැර ඊළඟ මහ මැතිවරණයේදී ආසන 10-15ක් ගැන සිහින දැක්කොත් ඒක කිසිදා ඉටු නොවන සිහිනයක්. මොකද 2020 දී යළි නිදහස් හා සාධාරණ මැතිවරණ මේ භූමිය තුළ පැවැත්වෙන්නේ නැහැ. 2005-15 උදාහරණ සහිතව එය සනාථ කර තිබෙනවා’ ජනතා විමුක්ති පෙරමුණට තම සරසවි දිවියේ සිට අඛණ්ඩව සහාය දුන්, මේ වන විට පුද්ගලික අංශයේ විධායක නිලයක් දරන ජයවර්ධනපුර සරසවියේ උපාධි ධාරියෙක් කියනවා. ‘ඔහු කියන්නෙත් ජවිපෙ ඇතැම් තීන්දු පැහැදිලිව සේවය කළේ ප‍්‍රතිගාමීත්වයට පමණක් බවයි.

ගෝඨට මුහුණ දෙන්න ජවිපෙ නැතිව බැරිද ?

මේ සියලු සංවාද සිදු වන විට පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහාය නොමැතිව ‘ගෝඨාගමනය’ නතර කළ නොහැකිය යන අදහසයි.

ඒත් බොහෝ දෙනෙක් ඊට එකඟ වන්නේ නැහැ. ඒ අතර වඩාත් තර්කානුකූල, වගේම ප‍්‍රායෝගික අත්දැකීම් ඇති දේශපාලන විචාරකයින් මෙන්ම දේශපාලනඥයින් ද ප‍්‍රමුඛයි.

හිටපු පළාත් සභා මන්ත‍්‍රී වරයෙක් මෙන්ම දේශ පාලන න්‍යායාචාර්ය වරයෙක් වශයෙන් පවා සැලකිය හැකි, අත්දැකීම් බහුල නීතිඥ ශිරාල් ලක් තිලක මහතා පසුගිය සිකුරාදා ‘දිනමිණ’ පුවත් පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව ඒ අතර ඉදිරියෙන් සිටින බවක් දැක ගත හැකියි.

ජනතා විමුක්ති පෙරමුණ වෙනම තරඟ කිරීම නිසා අහිමි වන ඡන්ද ප්රමාණයට සමාන හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් සජිත් අපේක්ෂකයා වීම නිසා රාජපක්ෂ කඳවුර පැත්තෙන් ඇදී ඒමට ලොකු ඉඩක් තියෙනවා. කලක් එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව සිට මහින්ද රාජක්ෂ මහතා ලද යුධ ජයග‍්‍රහණය නිසා සහ එජාප නායකත්වය සමග ඇති ගැටුම් නිසා ඉවත්ව ගිය පිරිස් සජිත්ගේ ආගමනය නිසා නැවත එජාපය වෙත පැමිණෙමින් ඉන්නවා. ඒ නිසා ජවිපෙ න් 2015 මෛත‍්‍රීපාල සිරිසේන මහතා ට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය අහිමි වීම නිසා සජිත්ට පාඩුවක් වෙන්නේ නැහැ, ජවිපෙ සහායෝගය (2015දී මෙන්) නොමැතිව වුවද සජිත් පේ‍්‍රමදාස මහතාට පහසු ජයග‍්‍රහණයක් ලබා ගත හැකි බව මෙහිදී ශිරාල් ලක්තිලක මහතා අවධාරණය කරන්නේ. ඒ සඳහා බල පාන ප‍්‍රායෝගික හා න්‍යායික හේතු ද ශිරාල් ලක්තිලක මහතා ඉදිරිපත් කරනවා.

සජිත් කියන්නෙ වෙනම ඡන්ද පදනමක් ඇති අපේක්ෂකයෙක්. ඒ නිසා 2015 ප‍්‍රතිඵල පමණක් ගෙන මෙවර ප‍්‍රතිඵලය සජිත්ට අවාසියි කියල කියන්න බැහැ.මේ වන විට ලැබී ඇති සමීක්ෂණ විමසුම් වලින් සජිත් ඉදිරියෙන් ඉන්න බව තහවුරු වෙලා තියෙන්නේ. ප‍්‍රතිවාදී අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාගේ කැම්පේන් එක, එක තැන සිරව ඇති බවක් පෙනෙනවා. 2018 පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල අනුව ගත්තත් ඔහුට 43% සීමාව ඉක්මවීම අපහසු බවක් පෙනෙනවා. ඔහුට වඩාත් වාසි දායක විදිහට ගණන් බැලුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට 45% සීමාව ඉක්ම වන්න බැරි බව ස්ථිරයි. ඔහුට ජයග‍්‍රහණයට යාමට නම් සිංහල ඡන්ද වලින් 60% ඉක්මවන ප‍්‍රමාණයක් ලබා ගන්න ඕන. එහෙත් සජිත් පේ‍්‍රමදාස මහතා සිංහල ජන සමාජයේ ඉහළ කැමැත්තක් ඇති නායකයෙක්. සමාජයේ පහළ ස්ථර වල ජනප‍්‍රියම අපේක්ෂකයාද වන ඔහුට සිංහල ඡන්ද වලින් ලොකු කුට්ටියක් දිනා ගන්න පුළුවන්. උතුරු,නැගෙනහිර සහ වතුකරයේදී සජිත් ට 75% ඉක්මවන තරමේ ප‍්‍රසාදයක් තියෙන බව රාජපක්ෂ කඳවුර පවා ගණන් බලනවා. මේ තත්ත්වය තුළ ජයග‍්‍රහණයට වැඩිම අවස්ථාව තියෙන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාටයි. (දිනමිණ, 2019 නොවැම්බර් 09)

ශිරාල් ලක්තිලක මහතා මෙන්ම ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලා වේදී වික්ටර් අයිවන්, විදර්ශන කන්නන්ගර (නොවැම්බර් 10, අනිද්දා) සේම තවත් බොහෝ දෙනෙක් ජවිපෙ සහාය නැතිව සජිත් පේ‍්‍රමසදාස මහතාගේ ජයග‍්‍රණය තීරණාත්මකව සිදුවිය හැකි බව පෙන්වා දී තිබෙනවා.

‘මේ සඳහා දැක්විය හැකි හොඳම නිදසුන වන්නේ 2005 ජනාධිපතිවරණයයි. එම මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සිය සහයෝගය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන්නා. දැවැන්ත රාජ්‍ය මර්ධනයක්, රාජ්‍ය සම්පත් උපයෝගී කර ගැනීමක් වගේම උතුරේ ඡන්ද වර්ජනයක් සමග වුවත් මහින්ද රාජපක්ෂ මහතාට ලබාගත හැකි වුණේ රනිල් වික‍්‍රමසිංහ මහතාට වඩා වැඩි ඡන්ද 185,000කට ආසන්න ප‍්‍රමාණයක්. රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය සම්පත්, අලි - කොටි ගිවිසුම ආදී ප‍්‍රබන්ධ මගින් එජාපයට දකුණේ දැවැන්ත අවාසි දායක තත්ත්වයක් නිර්මාණය කර තිබුණා. විශේෂයෙන් මැතිවරණය ආසන්නයේ උපාධි ධාරීන් 45,000කට රජයේ රැකියා ලබාදී තිබීම, රුපියල් 350ට පොහොර ලබාදීම ඍජුව මැතිවරණයට බලපෑම් කළා. එවැනි තත්ත්වයක් යටතේ පවා මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කළේ ඉතාම අඩු (ඉතිහාසයේ අඩුම ඡුන්ද පරතරය) ඡන්ද ප‍්‍රමාණයකින්. ඒ නිසා රාජපක්ෂ කඳවුරට ‘වාසි දායක නොවන, රාජ්‍ය සම්පත් හිතූමතේ භාවිත කළ නොහැකි, මත වාදීව දැඩි බලපෑමක් කළ නොහැකි මෙම මැතිවරණයේදී ජවිපෙ සහාය නැතිව සජිත් පේ‍්‍රමදාස මහතාට පහසුවෙන් ජයග‍්‍රහණය කළ හැකියි. ඒත් අපි කියන්නේ දේශපාලනයේ සිතියම් අදින්න බැහැනේ. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේදී ජවිපෙ ප‍්‍රතිගාමීත්වයට, ඒකාධිපති වාදයට සේවය නොකළ යුතුයි’ මේ ලියුම් කරු සමග අදහස් දක්වමින් දේශ පාලන විද්‍යාව පිළිබඳ ප‍්‍රකට මහාචාර්ය වරයෙක් කියා සිටියා.

ජවිපෙ කොතරම් ශක්තිමත් ද ?

මේ ප‍්‍රශ්නය බොහෝ දෙනකු තුළ තිබෙනවා. ඒත් සංඛ්‍යාන විද්‍යාත්මකව (පසුගිය මැතිවරණ ප‍්‍රතිඵල) විශ්ලේෂණයේදී පැහැදිලි වන්නේ ‘ජවිපෙ' යනු බරවා කකුලක්’ බවයි. මේ බව ජවිපෙ සිය දශක 05 ඉතිහාසය මගින් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සනාථ කර තිබෙන බවයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙන්නේ.

ඒ සඳහා ඔවුන් 1971 අසාර්ථක සන්නද්ධ අරගලයේ සිට මේ දක්වා ජවිපෙ ඉතිහාසය තුළින් සාක්ෂි ලබා දෙනවා.

1971 කැරැල්ල කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භයම ‘මන්ද බුද්ධික’ බව කියන පැහැදිලි උදාහරණයක්. ජනතාවගේ 2/3ක බලයෙන් පත් වූ කීර්තිමත් වාමාංශික නායකයෝ සහාය දුන් ආණ්ඩුවට එරෙහිවයි ජවිපෙ අවි අතට ගත්තේ. ඇත්තටම රෝහණ විජේවීර බලාපොරොත්තුව හිටියේ යළි එජාප ආණ්ඩුවක්. ඔහු මතවාද ශක්තිමත් කළේ එජාපයට එරෙහිව මිස ශ‍්‍රීලනිපය නායකත්වය දෙන වාමාංශික පක්ෂවල පූර්ණ සහාය ලබන ආණ්ඩුවට නොවෙයි. ඒත් ඔහුට තිබුණ අධි තක්සේරුව හෝ වැරදීමක් නිසා පළමු කැරැල්ල ඛේදවාචයක් වුනා. දෙවැනි අවස්ථාව විජේවීර හිරෙන් නිදහස් වී පැමිණි පසු පැවැති පළමු ජනාධිපතිවරණය. 1980 ජූලි වැඩවර්ජනය, ශ‍්‍රීලනිපය භේද වීම හමුවේ ජවිපෙ දැවැන්ත ආකර්ශනයක් දිනාගෙන තිබුණා. විජේවීරගේ අවසන් රැළියට ඔහු පවා විශ්වාස නොකළ පිරිසක් පැමිණ සිටියා. ඒත් 1982 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර ගත්තේ ඡන්ද 273,428ක්, 4.19%ක් පමණයි. ඒකෙන්ම පේනවා ජවිපෙට ඇති සැබෑ බලය. ඔවුන් විවිධ සන්නිවේදන ක‍්‍රම මගින් රටට පෙන්වන බලය සැබෑ දේශපාලන භූමිය තුළ නැහැ. ඒක හරියට බරවා කකුලක් වගේ. ජවිපෙ කළ දෙවැනි හා තෙවැනි මන්ද බුද්ධික ක‍්‍රියාව තමයි 1988 දෙසැම්බර් 19 දින පැවැති ජනාධිපතිවරණයට කළ බලපෑම. ඔවුන් ඒ වන විට දෙවැනි සන්නද්ධ අරගලය දියත් කර සිටි නිසා ඍජුව ජනාධිපතිවරණයට මැදිහත් වුණා. ආරම්භයේදී ශ‍්‍රීලනිපයට සහාය පළ කළත් පසුව එයටත් එරෙහිව කටයුතු කළා. අවසානයේ සිදු වුණේ එජාප අපේක්ෂකයා ජයග‍්‍රහණය කිරීම. එදා ජවිපෙ දකුණේ ඡන්දය වැළැක්වූයේ නැති නම් (ඡන්දය දුන්නේ සියයට 55.32ක්) ඉතාම පහසුවෙන් ශ‍්‍රීලනිප අපේක්ෂිකාව ජයග‍්‍රහණය කරනවා. ඒ ඓතිහාසික අවස්ථාව සම්පූර්ණයෙන් විනාශ කළේ ජවිපෙ. ඊට පසුව එහිම ගොදුරක් බවට පත්ව රටම ලේ විලක් කිරීමට 88-89 යුගයේ ජවිපෙ සමත් වුණා. ඉතාම පැහැදිලිව කියන්නේ, මේ කාලේ ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවේ සිටියේ නැතිනම්, ඉන්දු ලංකා ගිවිසුම මගින් බොහෝ බෙදුම්වාදී සංවිධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට (කොටි හැර) එක්කර ගෙන නොතිබුණා නම් ලංකාව දෙකඩ වෙනවා. ඒත් ඉන්දීය සාම සාධක හමුදාව උතුරේ සිටීම හා ආණ්ඩුව අනුකම්පා විරහිතව ජවිපෙ මර්ධනය කළ නිසා රට ආරක්ෂා වුණා.

1994 ජනාධිපතිවරණයේදී ජවිපෙ පොදුජන එක්සත් පෙරමුණට සහාය දී ජනාධිපතිවරණයෙන් ඉවත් වුණත් ඔවුන්ට එම මැතිවරණයට කළ හැකි ‘අල්ප හෝ බලපෑමක්’ තිබුණේ නැහැ. ඒත් තවත් වසර 05කට පමණ පසු 1999 දෙසැම්බර් 21 පැවැති ජනාධිපතිවරණයේදී ජවිපෙ සැබෑ බලය යළිත් හෙළි වුණා. ඔවුන් විසින් ඉදිරිපත් කළ නන්දන ගුණතිලකට ලබාගත හැකි වුණේ ඡන්ද 344,173ක් හෙවත් ප‍්‍රතිශතයක් ලෙස සියයට 4.08%ක් පමණයි. එය ‘ඇපය ගළවා ගැනීමට’ පවා ප‍්‍රමාණවත් නොවන ඡන්ද ප‍්‍රමාණයක්.

2000 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජවිපෙ ඡන්ද 518,774ක් දිනා ගෙන මන්ත‍්‍රී ධූර 10කුත් යළි 2001 දෙසැම්බර් 05 වැනි දින පැවැති මහ මැතිවරණයෙන් ඡන්ද 8,15,353ක් දිනාගෙන මන්ත‍්‍රී ධූර 16කුත් ජවිපෙ දිනා ගත්තත් ඒවා නිවැරදි බලය ලෙස සලකන්න බැහැ. ඊට හේතුව වන්නේ ඊට පසුව පැවැති කිසිඳු ජනාධිපතිවරණයකට ජවිපෙ ඉදිරිපත් නොවීමයි. ඔවුන් 2004 මහ මැතිවරණයේදී සහ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාටත්, 2010 දී සරත් ෆොන්සේකා මහතාටත් සහාය දෙනවා. ඒ අතර 2010 මහ මැතිවරණයේදී ඔවුන් ලබා ගන්නේ ඡන්ද 441,251ක් හෙවත් 5.49%ක ප‍්‍රතිශතයක් පමණයි. ඒ කියන්නේ පසු ගිය මැතිවරණවලදී ජවිපෙ දිනාගත් ඡන්ද සහ මන්ත‍්‍රී ධූර ගණන පැහැදිලි විකෘතියක් බව අපට පෙනී යනවා. ඔවුන්ට මෙම මැතිවරණයේදී දිනාගත හැකි වන්නේ ද මන්ත‍්‍ රීධුර 07ක් පමණයි.

2015 දී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන්නත් ජවිපෙ 2015 අගෝස්තු 17 මහ මැතිවරණයේදී තනිව තරඟ කරනවා. එහිදී ඔවුන් දිනා ගන්නේ ඡන්ද 543,944ක් හෙවත් 4.87%ක් පමණයි.

මේ දත්ත අනුව අපට පැහැදිලිව පෙනී යනවා ජනතා විමුක්ති පෙරමුණ සිය අඩ සියවසක දේශ පාලන ඉතිහාසය තුළ තවමත් ‘සුළු පක්ෂයක්’ වශයෙන් රැඳී සිටින බව. ඔවුන්ට විකෘති තත්ත්වයකදී හැර 5%ක අවම සීමාව පවා ඉක්මවා යාමට නොහැකියි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ හෝ වත්මන් ජාතික ජන බලවේගය හෝ රටේ පාලන බලය දිනාගත හැකි පක්ෂයක් නොවෙයි. ඔවුන් ‘සුළු ජන පක්ෂ' වලටත් වඩා ‘සුළු වාමාංශික පක්ෂයක්' පමණයි. ඒ නිසා ජනාධිපතිවරණයක් වැනි ජාතික වශයෙන් තීරණාත්මක මැතිවරණයකදී, විශේෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය වැනි ‘නිදහස’ පිළිබඳ තීරණාත්මක මැතිවරණයකදී අත්හදා බැලීම් හෝ සිහින දැකීම සිදු නොකළ යුතු ‘අනතුරුදායක’ කාර්යයක් බවයි පොදුවේ සැලකිය හැකි වන්නේ.

ඒ නිසා සමාජ වාදය සහ ධන වාදය අතර තෝරා ගැනීමක් නොවන නමුත් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ඒකාධිපති වාදය අතර අවසන් සටනක් වන මෙම ජනාධිපතිවරණයේදී ‘අති නවීන යූපීඑස් හෝ චන්ද්‍රිකා තාක්ෂණය' තිබියදී අති පැරණි ‘මාලිමාවකින්’ මගින් ගමන් මග සොයා ගැනීමට තැත් කිරීම කොතරම් ප‍්‍රඥා ගෝචර දැයි ජනතාව කල්පනා කළ යුතුයි.

අවසාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණට සහ එයට ආවඩන කල්ලි වලට අවධාරණය කළ යුත්තේ ‘දේශපාලනය' කිරීමට නම් ‘නිදහසක්' තිබිය යුතු බවයි.

රතු සහෘදයිනි, 2015 නතර වූ තැනින් යළි ආරම්භ කරන්න පෙරට එන්න හිත හදා ගන්න. මෙය ධන වාදය සහ සමාජ වාදය අතර පන්ති සටනක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ඒකාධිපති වාදය අතර තීරණාත්මක සටනක් බව අමතක නොකරන්න... ලලිත් - කුගන්... ජුල්ලම්පිටියේ අමරෙට බිලි වූ දෙදෙනාට ... ඔවුන්ට යුක්තිය ඉටු කරන්න.

 

 

Advertiesment