Monday 9th of December 2019

English Tamil
Advertiesment


ජනාධිපතිවරණය පරිවර්තන අවකාශයක් බවට හරවා ගැනීම


2019-11-10 1558

(වික්ටර් අයිවන්)

ජනාධිපතිවරණයට නියම වශයෙන් තරඟ කරන අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ඉදිරිපත් කර ඇතත්,ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුධය සැබෑ ලෙස තේරුම් ගෙන එම අර්බුධය ජය ගැනීම සඳහා වන ප‍්‍රායෝගික දැක්මක් පෙන්නුම් කිරීමට ඒ කිසිම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් සමත් වී නැත.

ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වීම ලංකාවේ අර්බුධය කෙරෙහි බලපා තිබෙන ප‍්‍රධානතම ප්‍රශ්ණය ලෙස සැලකිය හැකිය. එය එම ප්‍රශ්ණයේ අරටුව ලෙස සැලකිය හැකිය. ජාතිය ඒකාග‍්‍ර කිරීමට නොහැකි වී තිබෙන්නේ වර්ග,ආගම් හා කුලභේද නිසාය. වර්ග හෝ ආගම් නැති කළ නොහැකිය. පැරණි වැඩවසම් ක‍්‍රමය තුළ ශ‍්‍රම විභජනය සඳහා යොදා ගත් ක‍්‍රමයක් වශයෙන් වැඩවසම් කුල ක‍්‍රමය අදට අවශ්‍යවන්නේ නැත. වර්තමානයේ කුල ක‍්‍රමය මත පදනම් වූ ශ‍්‍රම විභජනයක් විහාර දේවාල ගම් වල හැර අන් තැන් වල නැතත්, කුල ක‍්‍රමය විසින් ඇති කළ උස් පහත් බෙදීම් කිසියම් සැලකිය යුතු ප‍්‍රමාණයකට අප අතර පවතී. කුල භේදය මුළුමනින් අහෝසි කිරීමට හේතුවන මත වාදයක් සමග ඒ සඳහා වන ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වී තිබෙන අතර වර්ග හා ආගම් අතර තිබෙන ගැටුම් ඇති කිරීමට හේතුවන භේද නැති කොට වර්ග හා ආගම් අතර ශක්තිමත් සහජීවනයක් ඇති කිරීමට හේතු වන මත වාදයක් සමග ඒ සඳහා වන ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වී තිබේ.

වර්ග භේදයට හා ආගම් භේදයට වඩා කුල භේදය පීඩාකාරීය. 1990 තරුණයන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තරුණ කැරලි කෙරෙහි කුලය රඟපෑ භූමිකාව පිළි ගනිමින් එම තත්ත්වය ගැන වන විග‍්‍රහයක්ද ඊට ඇතුළත්ය. කොමිෂන් සභාවේ මතය අනුව ජේවීපී දෙවැනි කැරැල්ලේ තද බල සටන් පැවතුණේ ගොවිගම නොවන බත්ගම හෝ වහුම්පුර සහ වෙනත් උප කුල වලට අයත් ගම්වලය. ”සමකාලීන තරුණ අසහනයට ආධාරක වූ වැදගත් කොටසක් කුලය විසින් රඟපා ඇති බවට කොමිසම සෑහීමට පත්වී සිටින බව කොමිසම සඳහන් කරන අතර තවමත් සාමාජික හා දේශපාලනික පීඩනයෙන් බහුල ලෙස පීඩාවට පත් වෙමින් අහු මුළු වලට කොටුවී හෝ සිරවී සිටින බව සඳහන් වේ. මෙසේ වෙනස් ලෙස සලකනු ලැබීමට ගොදුරු වූ තරුණයන් කැරලි මාර්ගයට පහසුවෙන් පිවිසෙනු ඇති බවද එහි සඳහන් වේ.

වර්ගය සහ ආගම

බ‍්‍රයස් රයන් නිවැරදි ලෙස පෙන්වා දී තිබෙන ආකාරයට වර්ග, ආගම් භේදය ලංකාවේ අතීතයේදී පැවති දෙයක් නොව නූතනයේදී කරළියට ආ ප‍්‍රපංචයකි. මම මාගේ "ඉතිහාසයේ සභ්‍යත්වය” නැමැති කෘතියෙන් පෙන්වා දී තිබෙන ආකාරයට දුටු ගැමුණුගෙන් පසුව ලංකාව එක්සත් කළ රජ වරුන් තිදෙනාද (I වන විජයබාහු, I වැනි පරාක‍්‍රමබාහු හා IV පරාක‍්‍රමබාහු) ඇතුළු ශ්‍රී ලංකාව පාලනය කළ සියලු රජ වරුන් බුද්ධාගමට අතිරේකව හින්දු ආගමද ඇදහුවේය. ඒ සියලු දෙනා පන්සල් හා වෙහෙර විහාර ඉදි කරන අතර හින්දු, කෝවිල් හා දේවාලද ඉදි කළහ. හින්දු දමිළයන් අතර බුදුන් වහන්සේට ලොකු පිළි ගැනීමක් තිබුණා සේ ම, බෞද්ධ සිංහලයන් අතරද හින්දු දෙවි වරුන්ට ලොකු පිළි ගැනීමක් තිබුණි. සිංහල බෞද්ධයෝ තෙරුවන් නමදින අතර හින්දු දෙවි වරුන්ගේද ආශිර්වාද පැතූහ. හින්දු දෙවි වරුන් වන්දනාමාන කිරීමෙන් මෙලොව ජීවිතය සැපවත් කර ගැනීමට බලාපොරොත්තු වූ අතර බුද්ධාගම ඇදහීමෙන් පරලෝ සැපත ළඟාකර ගැනීමට අපේක්ෂා කළෝය.

පෘතුගීසීන් ශ්‍රී ලංකාවට එන අවස්ථාව වන විටත් මුස්ලිම්වරුන් ලංකාවේ ජීවත් වන තුන් වැනි ජන වර්ගයක් බවට පත්ව තිබුණි. රිදී විහාරය ඒ කාලයේ පැවති බෞද්ධ, මුස්ලිම් සහජීවනය සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.

මුස්ලිම් වරුන් එම විහාරයේ නිල පංගු කාරයන් ලෙස සේවය කළා. ඔවුන්ට විහාර භූමියේ මුස්ලිම් පල්ලියක් පවත්වාගෙන යාමට ඉඩදී තිබුණ අතර මුස්ලිම් පූජකයකු නඩත්තු කිරීම සඳහා විහාර ඉඩමෙන් නිල පංගුවක්ද ලබාදී තිබුණි.

වර්ගය හා ආගම මුල් කරගත් ගැටුම් ඇති වන තත්ත්වයක් ඇති වූයේ ශ්‍රී ලංකාව නූතන යුගයට හෙවත් යටත් විජිතවාදී ධනේශ්වර ක‍්‍රමයකට පිවිසීමෙන් පසුවය.

ආගමික හා වාර්ගික ප‍්‍රබෝධය

ශ්‍රී ලංකාවේ සිංහල,දෙමළ හා මුස්ලිම් යන වර්ග අතර තමන් අදහන ආගම හා වර්ගය මුල් කර ගත් ප‍්‍රබෝධයක් ඇති වීම ආරම්භ වන්නේ බි‍්‍රතාන්‍ය පාලන යුගය තුළ පාසල් අධ්‍යාපනය ව්‍යාප්ත වී ලංකා සමාජය අකුරු උගත් පොත් පත් කියවන සමාජයක් බවට පරිවර්තනය වීමත් සමගය. රීතියක් ලෙස හැම යටත් විජිත රටකම පාහේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ මුල් කර ගත් උද්ඝෝෂණ වලට පෙර කරළියට ආවේ දේශීය ආගම් වල අයිතිවාසිකම් මුල් කර ගත් උද්ඝෝෂණයන්ය. දේශීය ආගම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපාරය ලෙස හැඳින්විය හැකි එම ආගමික උද්ඝෝෂණ ව්‍යාපාරය තුළ කිසියම් ප‍්‍රමාණයකට සැඟවුණු දේශපාලන අරමුණුද තිබුණි.

1848න් පසුව 19 වැනි ශත වර්ෂයේ අවසානය දක්වා ශ්‍රී ලංකාවේ පැවතුණේ ඉන්දියාවට වඩා වෙනස්ව ගැටුම් වලින් තොර සාම කාමී වාතාවරණයකය. වාණිජ වතු වගාව මුල් කර ගත් ධනේශ්වර ක‍්‍රමයක් ඇතිවී එහි වර්ධනය සිදුවන්නේද පාසල් ක‍්‍රමයක් ඇතිවී එහි ඇතිවන වර්ධනයක් සිදුවන්නේද ශ්‍රී ලංකා සමාජය වේගයෙන් අකුරු උගත්, පුවත් පත් හා පොත් පත් කියවන සමාජයක් ලෙස වර්ධනය වන්නේද මේ කාලයේදීය. 19 වන ශතවර්ෂයේ අවසාන දශකය වන විට රටේ එතෙක් පැවති නිසල තාව අවසන් වෙමින් ආගමික උද්ඝෝෂණද කම්කරු නොසන්සුන් තාවන්ද ඇති වන්නට විය.

යටත් විජිත ආධිපත්‍යයක් පැවති දීර්ඝ කාලය තුළ බෞද්ධ හින්දු හා මුස්ලිම් යන ආගම් දරුණු පිරිහීමකට ලක්ව තිබුණි. දේශීය ආගම් කෙරෙහි ඉතාමත් දර දඬු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වූයේ පෘතුගීසි පාලනයක් පැවති යුගයේදී, ඔවුන්ගේ පාලන බල ප‍්‍රදේශ වලය. ඉන් පසු එළැඹෙන ලන්දේසි යුගය එතරම්ම දර දඬු ආගමික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක නොවූ අතර ඉන් පසු එළැඹෙන බි‍්‍රතාන්‍ය යුගය දේශීය ආගම් සම්බන්ධයෙන් සහන ශීලී ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වූ අතර දේශීය ආගම් මුල් කර ගත් ආගම් වල අභිවෘද්ධිය මුල් කර ගත් ආගමික පුනර්ජීවන ව්‍යාපාර ඇති වන්නේ ඒ පසුබිමේය. එම ව්‍යාපාර ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය වෘත්තීය බුද්ධිමතුන් පිරිසක්ද බෞද්ධ හින්දු මුස්ලිම් ආගම් ආශ‍්‍රයෙන් ඇතිවී තිබුණි.

කතෝලික හා ක‍්‍රිස්තියානි ආගම් පැමිණීම තුළ ශ්‍රී ලංකාවේ වාර්ගික හා ආගමික සංයෝජනයේ සැලකිය යුතු වෙනස් කම් ඇති කිරීමට හේතුවී තිබුණි. 1911දී ලක්ෂය 40ක් වූ මුළු ජනගහනයෙන් 60%ක් බෞද්ධයන් වූ අතර 23%ක් හින්දු ද, 10%ක් ක‍්‍රිස්තු භක්තිකයන්ද, 7%ක් මුස්ලිම් භක්තිකයන්ද වූහ. ශත වර්ෂ ගණනාවක් තිස්සේ සිදුවූ ක‍්‍රිස්තියානි කරණය හේතු කොට ගෙන බෞද්ධයන්ගෙන් 9%ක් පමණද, හින්දූන්ගෙන් 12%ක් පමණද, කතෝලික හා ක‍්‍රිස්තියානි ආගම් වැලඳ ගෙන සිටියේය. 7%ක් වූ මුස්ලිම් වරුන් ඉස්ලාම් අදහන්නන් වූ අතර 0.6%ක් වූ බර්ගර් වරු ක‍්‍රිස්තු භක්තිකයෝ වූහ.

ආගම් භේදය සමග වර්ග භේදය

ශ්‍රී ලංකාවේ බෞද්ධ හා හින්දු ආගමික පුනර්ජීවන ව්‍යාපාර වලට ඉතා බලවත් ක‍්‍රිස්තියානි විරෝධී අන්තර්ගතයක් තිබුණු අතර මුස්ලිම් පුනර්ජීවන ව්‍යාපාරයට පමණක් ක‍්‍රිස්තියානි විරෝධී අන්තර්ගතයක් නොතිබුණි. සියලූ ආගමික පුනර්ජීවන ව්‍යාපාර අතරින් බලවත්ම ව්‍යාපාරය ලෙස හා වඩාත්ම සටන් කාමී ව්‍යාපාරය ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාලගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ බෞද්ධ පුනරුද ව්‍යාපාරයයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය හෝ ආරුමුගම් නාවලර්ගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ හින්දු පුනර්ජීවන ව්‍යාපාරය ඉන්දියාවේ හින්දු හා මුස්ලිම් ආගමික පුනර්ජීවන ව්‍යාපාරය සමග ගත් කල සැලකිය හැක්කේ සටන් කාමී බවක් තිබියදීත් පසු ගාමී අදහස් දරන ලද ව්‍යාපාර ලෙසය. ඒවා සිංහල සමාජයේ හා දෙමළ සමාජයේ පැවති කුල භේදය ඉවසුවේය. ජාතිය ඒකාග‍්‍ර කරන දෘෂ්ටියක් ඒවාට නොතිබුණේය. ඒ නිසා ඒවා භේදකාරී අදහස් වපුරන ව්‍යාපාර ලෙස ක‍්‍රියා කළේය.

අනගාරික ධර්මපාල සිංහල බෞද්ධ චින්තනය කෙරෙහි වඩාත්ම බලපෑ චින්තකයා ලෙස සැලකිය හැකි අතර ආරුමුගම් නාවලර් දමිළ හින්දුන්ගේ චින්තනය කෙරෙහි වැඩියෙන්ම බලපෑ චින්තකයා ලෙස සැලකිය හැකිය. සිංහල ජන වර්ගය ලංකාවේ අන් සියලු ජන වර්ග වලට පමණක් නොව ලෝකයේ අන් සියලු ජන වර්ග වලටද වඩා උත්තම ජන වර්ගයක්ය යන මතය සිංහල බෞද්ධ ජන මනසට කාවන්දන ලද්දේ අනගාරික ධර්මපාලය. ධර්මපාල ලංකාවේ හිමි කරුවන් ලෙස සලකන ලද්දේ සිංහල ජන වර්ගය පමණය. දෙමළ මුස්ලිම් ජන වර්ග සලකන ලද්දේ ලංකාවේ සාරය උරා බොන පර දේශක්කාරයන් ලෙසය.

ආගමික පුනර්ජීවන ව්‍යාපාරය නිසා ඇතිවූ ආගමික හා වාර්ගික ප‍්‍රබෝධය අන්තර් වාර්ගික හා ආගමික කලකෝලාහල ඇති කිරීමට හේතුවිය. 1884 ජනවාරි වලදී කොටහේනේදී පාස්කු ඉරිදා දිනයේදී බෞද්ධයන් හා කතෝලිකයන් අතර ලොකු කෝලාහලයක් සිදුවිය. ඉන්පසු 1915දී සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇතිවිය. එය රට පුරා ව්‍යාප්ත වූ කෝලාහලයක් විය. එහිදී සිදුවූ ජීවිත හා දේපළ විනාශය අති විශාලය.

ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම

ශ්‍රී ලංකාව නිදහසට පෙර හෝ පසුව වර්ග, කුල හා ආගම් අනුව බෙදී සිටි ජනතාව ඒකාග‍්‍ර කිරීමට හේතු වන ආකාරයට ජාතිය ගොඩ නගා ගැනීමට සමත් වූයේ නැත.ශ්‍රී ලංකාවේ සිංහල හා දෙමළ හා අවසානයේ මුස්ලිම් ප‍්‍රචණ්ඩ ගැටුම් ඇති වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඒ ප‍්‍රචණ්ඩ ගැටුම් වෙනුවෙන් ලංකාව ගෙවා තිබෙන වන්දිය සුවිශාලය.

ඇති වූ ප‍්‍රචණ්ඩ ගැටුම් හා ඒ ආශ‍්‍රයෙන් රටේ ඇති වූ අශීලාචාර වට පිටාව සමාජය පමණක් නොව, රාජ්‍යය සහ එහි ආයතන ක‍්‍රමයද දූෂිත කොට ජරාජීර්ණ කිරීමට හේතුවී තිබුණි.

අභ්‍යන්තර යුද්ධය අවසන් වූ අවස්ථාව සමාජ ක‍්‍රමයේ ඇතිවී තිබුණ විකෘතිය හා රාජ්‍යය හා එහි ආයතන ක‍්‍රමයේ ඇතිවී තිබුණ කුණු වීම ජය ගැනීම සඳහා ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ කරළියට ගැනීම සඳහා ලැබුණු ස්වර්ණමය අවස්ථාව ලෙස සැලකිය හැකිය. දෙමළ සන්ධානයේ නායකයන්ද ඒ අවස්ථාවේ සිටියේ මටසිලුටු තැනකය. ප‍්‍රභාකරන් ජාතික ගීය හා ජාතික කොඩිය පාවිච්චි කිරීම සඳහා යොදා ගෙන තිබුණු තහනම අහෝසි කරමින් අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් පසුව දෙමළ සන්ධානය විසින් පවත්වන ලද පක්ෂ සම්මේලනයකදී පළමු වරට ජාතික ගීය ගයන ලද අතර ඒ අවස්ථාව සඳහා ජාතික කොඩියද යොදාගෙන තිබුණි. එය දෙමළ උතුරෙන් ලැබුණු බලවත් සංඥාවක් වුවද එය තේරුම් ගැනීමට අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයා අසමත් විය. ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ වල අවශ්‍යතාව තේරුම් ගැනීමටද මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා අසමත් විය. එම තත්ත්වය රට තිබුණ අර්බුධයට වඩා ලොකු අර්බුධයකට තල්ලු කිරීමට හේතු වූ අතර, එහිම ප‍්‍රතිඵලයක් වශයෙන් රාජපක්ෂ ජනාධිපති වරයාට ජනාධිපතිවරණයෙන් පරාජය වී ආණ්ඩු බලයද අහිමි කර ගනිමින් ගෙදර යන්නට සිදු විය. එහිම ප‍්‍රතිඵලයක් වශයෙන් බලයට පැමිණි යහ පාලන ආණ්ඩුවද අඳුරේ අත පත ගාන පිළිවෙතක් අනුගමනය කළා විනා විකෘති වී තිබූ සමාජ ක‍්‍රමයේ හා කුණු වී තිබුණු රාජ්‍යයේ සැබෑ වෙනසක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලට අත නොගැසුවේය.

දැන් අර්බුධය තිබෙන්නේ උපරිම තත්ත්වයකට වර්ධනය වූ තත්ත්වයකය. සමාජ ක‍්‍රමය හා රාජ්‍යය තිබෙන්නේද උපරිම තත්ත්වයකට වර්ධනය වූ ක‍්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලින් තොරව එක අඩියක් වත් ඉදිරියට යා නොහැකිව හිරවූ තත්ත්වයකය.

වාන් දොරටු ඇරීම

ජනාධිපතිවරණයට තරඟ කරන විකල්ප බලවේග වලට අවශ්‍ය නම් මෙම ජනාධිපතිවරණය උපාය මාර්ගික අර්ථයෙන් ක‍්‍රමයේ සැබෑ පරිවර්තනයකට දොරටු විවර කර ගන්නා අවස්ථාවක් බවට හරවා ගත හැකිය. කොටින්ම කියනවා නම් අවුලක් බවට පත් ව තිබෙන ජාතිය ද, දූෂණයෙන් කුණු වී තිබෙන රාජ්‍යය ද ප‍්‍රතිනිර්මාණය කර ගැනීම සඳහා ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ අරමුණු කර ගත් මහජන ව්‍යවථා සම්පාදනයක් දිනා ගන්නා මැතිවරණයක් බවට හරවා ගත හැකිය.

ප‍්‍රධාන ප‍්‍රවාහයේ තරඟ කරුවන් දෙදෙනා අතර තිබෙන්නේ ළඟ ළඟ තරඟයකි. ජාතික ජන බලවේගය ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවේ ප‍්‍රමාණය කුමක් වුවද අනුර කුමාරට මෙම තරඟයේ පළමු වැනියා හෝ දෙවැනියා විය නොහැකිය. රොහාන් පල්ලෙවත්ත, මහේෂ් සේනානායක හා දුමින්ද නාගමුවට ද එම ධර්මතාව අදාළය.

ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර තරඟය ළඟ ළඟ තරගයක් වන නිසා ම ජනාධිපතිවරණයට තරඟ කරන විකල්ප ව්‍යාපාර වලට මෙම තරඟය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකිය. ප‍්‍රධාන තරඟ කරුවන් දෙදෙනා අතරින් ජය ගත යුතු හා පරාජය කළ යුතු අපේක්ෂකයා තීන්දු කළ හැකිය. මෙම හැකියාව උපාය මාර්ගික ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම සඳහා මෙම සුවිශේෂ තත්ත්වය ප‍්‍රයෝජනයට ගත හැකිය.

මහජන ව්‍යවස්ථා සම්පාදනය මෙම විකල්ප ව්‍යාපාරවල ද වැදගත් අරමුණක් වන බැවින් ඒ සඳහා අවශ්‍ය බලය සහිත රාමුවක් සකස් කරන බවට සදාචාරමය වශයෙන් පමණක් නොව නීතිමය වශයෙන් ද බැඳීමක් ඇති ගිවිසුමකට එකඟ වන්නේ නම් ඊට එකඟ වන අපේක්ෂකයාට සහාය ප‍්‍රකාශ කොට තරඟයෙන් ඉවත් විය හැකිය. එමගින් ක‍්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන මහජන ව්‍යවස්ථා සම්පාදනයකට දොරටු විවෘත කර ගත හැකිය.

විකල්පයට කළ හැකි දේ

විකල්ප බලයක් වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයින් සියලු දෙනා මෙම ජනාධිපතිවරණයට තරඟ කරන්නේ ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා නොව ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කොට පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීම සඳහා හෝ තිබෙන පාර්ලිමේන්තු නියෝජනය වර්ධනය කර ගැනීම සඳහාය. එහෙත් ලංකාවේ අර්බුධය තිබෙන්නේ වහා විසඳා ගත යුතු තත්ත්වයක මිස ඔවුන් කවදා හෝ බලයට පැමිණ විසඳා ගත යුතු තත්ත්වයක නොවේ.

අනෙක් අතට ලංකාවේ මැතිවරණ ක‍්‍රමය සකස් වී තිබෙන්නේ විකල්ප ව්‍යාපාර වලට ලොකු බලයක් ලැබෙන ආකාරයට නොව ලොකු මුදල් බලයක් ඇති අයට බලය ලැබෙන ආකාරයටය. මහජන ව්‍යවස්ථා සම්පාදනයකින් එම විෂම තත්ත්වය වෙනස් කළ හැකි අතර එවැනි වෙනස් කම් ඇති කිරීමෙන් පසුව පවත්වන මැතිවරණයක් නිසැකව ම විකල්ප ව්‍යාපාර වලට, වඩා වාසි දායක ප‍්‍රතිඵල ලබා ගත හැකිය.

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මහජන ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහන ආරම්භ කිරීමට එකඟ තාවක් ඇති කර ගත හැකි නම්, එම ව්‍යවස්ථා සම්පාදනය අදියර දෙකක් යටතේ සිදු කළ හැකිය. පළමු අදියරේ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හා මැතිවරණ ක‍්‍රමයට අදාළ ප‍්‍රතිසංස්කරණ සිදු කළ හැකිය. ඒ මගින් මුදල් බලයට ලැබෙන වැදගත්කම අවම කෙරෙන ආකාරයට මැතිවරණ ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කළ හැකිය. එම ප‍්‍රතිසංස්කරණ වලින් පසුව පාර්ලිමේන්තු මැතිවරණයකට යා හැකිය.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් දක්වා කාලය තුළ ව්‍යස්ථා සම්පාදන මණ්ලය සමන්විත වනු ඇත්තේ වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී වරුන් 225න් හා ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු පිළි ගත් ක‍්‍රමයකට තෝරා ගන්නා මහජන සංවිධානවල නියෝජිතයින්ගෙනි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ව්‍යවස්ථා සම්පාදනයේ වඩා වැදගත් දෙවැනි අදියර සඳහා එම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට පැරණි මන්ත‍්‍රීවරුන් වෙනුවට අලුත් මන්ත‍්‍රීවරුන් පත් වනු ඇත.

සාමාන්‍යයෙන් මහජන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාදාමයකදී ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය ව්‍යවස්ථා කෙටුම්පත් කරන ක‍්‍රියාදාමයට පමණක් සීමා වන්නේ නැත. කොමිෂන් සභා පත් කිරීමෙන් හෝ වෙනත් උචිත ආකාර වලට සමස්ත ක‍්‍රමයට අදාළ සියලු දේ සොයා බැලීමේ බලය භුක්ති විඳිනු ලබන්නේය. ඊට අන්තර් කාලීන ව්‍යවස්ථාවක් තිබිය යුතු අතර සමස්ත ක‍්‍රියාදාමය සිදු කරන්නට යන ආකාරය කාල රාමුවක් සහිතව එහි සඳහන් විය යුතුය. මහජන ව්‍යවස්ථා සම්පාදනකදී සියලු කටයුතු වලට සහභාගි වීම සඳහා මහජනයාට උපරිම අවස්ථා සලසා දීම අත්‍යවශ්‍ය හා අනිවාර්ය කොන්දේසියක් වන්නේය.

එවැනි පරිවර්තන වැඩ සටහනකට ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් කෙනෙකු එකඟ කරවා ගනිමින්, අවශ්‍ය නීත්‍යානුකූල ගිවිසුම් ඇතිකර ගනිමින්, ඔහුට ජය ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙමින්, මහජන ව්‍යවස්ථා සම්පාදනයකට දොරටු ක‍්‍රමවත් ලෙස විවෘත කරවා ගැනීමට හැකිවේ නම්, එය සියලු ජන කණ්ඩායම් වල ද, පොදු වේ මහජනයාගේ ද මහත් ආස්වාදයට හේතු වනු නොඅනුමානය. එය විකල්ප ව්‍යාපාර වලටද ලොකු මහජන පිළි ගැනීමක් ලබා දීමට හේතු වනවා සේ ම එම ව්‍යාපාරවල නායකයින්ට හා ක‍්‍රියාධරයින්ට එම පරිවර්තන වැඩ සටහනේ නියමුවන් බවට ද පත්විය හැකිය.

ක‍්‍රමයේ සැබෑ පරිවර්තනයක් සඳහා යොදා ගත හැකි මෙම ස්වර්ණමය අවස්ථාව ප‍්‍රයෝජනයට ගත යුතු නැද්ද?

 

Advertiesment