Thursday 12th of December 2019

English Tamil
Advertiesment


රටේ දුප්පත් කම තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩ පිළිවෙළක් ඇත්තේ අපට පමණයි-අනුර-


2019-11-10 1608

කිසිඳු අන්තවාදියෙකුගේ කරේ නොනැග ජනතාව ළඟට යා හැකි එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණක් බවත්,අන්තවාදයක සරණ යන්න අද ප්‍රධාන පක්ෂ දෙකටම සිදුවී ඇති බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්බලන්තොට පැවති ජනතා රැළියකට එක්වෙමිණි .

එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

මේ දේශපාලන කඳවුරු දෙකට තව අවුරුදු 100ක් බලය දුන්නත් මේ රට විනාශයෙන් විනාශයට ඇදගෙන යනවා මිස වෙන කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ ජනතාව මේ විනාශකාරී කඳවුරු දෙකින් මිදිලා මේ රට ගොඩනඟන අලුත් කඳවුරකට රට භාරදීම සඳහා මෙම ජනාධිපතිවරණයේදී තීරණයක් ගත යුතුයි. මේ දැන් දවස් කිහිපයකට කලින් කුඩු කිලෝග්‍රෑම් 240ක් අහුවුණා. සාමාන්‍යයෙන් කුඩු කිලෝ එකක් රුපියල් කෝටියක් පමණ වෙනවා. ඒ කියන්නේ කෝටි 240ක කුඩු. මේ අම්බලන්තොට නගරේ ඉන්නවද කෝටි 240ක බිස්නස් එකක් කරන්න පුළුවන් කෙනෙක්. කවුද මේව කරන්නේ? මේව කරන්නේ ගම්වල ඉන්න සාමාන්‍ය මිනිස්සු නොවෙයි. පොලිසියේ මහත්වරු හැමදාම පෙන්වනවා. අහුවෙන කුඩු තොග. හැබැයි ඔබලා කවදාවත් දැක්කද කුඩු ගෙනාපු කෙනා. කුඩු අහුවෙනවා, ගේන කෙනා අහුවෙන්නේ නැහැ. ඇයි? ගේන්නේ ධනවත් සහ බලවත් අය. නමුත් කුඩුවලට අහුවෙලා හිරේ ඉන්නවා, ගමේ කුඩු පැකට් එකක් තියාගෙන ගහපු කෙනා. ගෙනාපු කෙනා එළියේ මොකද? නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක කරන පාලනයක් තමයි ජාතික ජන බලවේගය විසින් ගොඩනඟන්නේ. මේ අපරාධ වැඩිවීමට ප්‍රබලම හේතුව නීතිය සාධාරණව ඉටුනොවීමයි.

අපි උතුරට - නැගෙනහිරට යන්නේ ඒජන්ට්ල නැතිව. රාජපක්ෂලාට යන්න වෙලා තියෙන්නේ හිස්බුල්ලගේ, කරුණාගේ, පිල්ලෙයාන්ගේ කරේ නැගලා. සජිත් ප්‍රේමදාස උතුරු-නැගෙනහිරට යන්න ඕනැ හකීම්ගේ, අමීර් අලිගේ කරේ නැගලා. කිසිදු අන්තවාදියෙකුගේ කරේ නොනැග ජනතාව ළඟට යා හැකි එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. සජිත් උතුරට යන්නේ සම්බන්ධන් මහත්මයාගේ කරට අතදාගෙන. එහෙම නැතිව ඒ අයට එහෙට යන්න බැහැ. ගෝඨාභය උතුරට යන්නේ අපේ රටේ මෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරලා, ඊළාම් කොඩිය ඔසවලා ජාතික කොඩිය බිමදමපු වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා. එනිසා කවර වර්ගයක හෝ අන්තවාදයක සරණ යන්න අද මේ පක්ෂ දෙකටම සිදුවෙලා. අද ලංකාවේ අන්තවාදයක සරණ නොයන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. අපි නැගෙනහිරට ගියා. කාන්තන්කුඩිය අපිට තහනම් ප්‍රදේශයක් කියලා අන්තවාදී දේශපාලනඥයෝ අපිට තර්ජනය කළා. අපි දෙපාරක්ම එහෙ ගියා. අපි සාර්ථකම රැස්වීම පැවැත්වූයෙ කාන්තන්කුඩිවල. කල්මුණේ, අක්කරපත්තුව, කින්නියා, මුතූර්, ඔට්ටමාවදි, මඩකලපුව ආදී ප්‍රදේශ ගණනාවක අපි ගිහිල්ලා ජනතාවට ආමන්ත්‍රණය කළේ කිසිදු අන්තවාදියෙකුගේ, ජාතිවාදියෙකුගේ කරේ නැගලා නොවයි. ඒනිසා අද රටේ උතුරේ දෙමළ ජනතාවටද, නැගෙනහිර මුස්ලිම් ජනතාවටද, කඳුකරයේ වතුවල ජිවත්වන ජනතාවටද, දකුණේ සිංහල ජනතාවටද එකම වහලක් හැටියට නිර්මාණය වී තිබෙන බලවේගය ජාතික ජන බලවේගය පමණයි. සියලු දෙනා එක කොඩියක්, එක වහළක් යටට ගේන්න පුළුවන් නම්, ඉන් කියැවෙන්නේ රටේ අන්තවාදය මුළුමනින්ම පරාජය බවයි. අපි මේ මැතිවරණ ව්‍යපාරය තුළම අන්තවාදයට එරෙහිව දේශපාලන ජයග්‍රහණයක් මේ වන විට අත්පත්කරගෙන හමාරයි. අන්තවාදය පරාජය කරන අයට පමණයි අපේ රටේ මහජන ආරක්ෂාව හා ජාතික සමගිය තහවුරු කරන්න පුළුවන්.

දුප්පත්කම කියන්නේ සල්ලි නැතිකම ම නොවෙයි. අපේ රටේ වාර්තාවකට අනුව අවුරුදු 14ට අඩු දරුවෝ ලක්ෂ 35ක් ඉන්නවා. ඒ ලක්ෂ 35න් ලක්ෂ 4 1/2ක් දුප්පත්ම පවුල්වල දරුවෝ. දුප්පත් අයගෙන් 70%ක් ග්‍රාමීය දරුවෝ. දුප්පත්කම, විශාල සමාජ අර්බුදයක් නිර්මාණය කරලා. සල්ලි තිබෙන දරුවෙක් පාසැල් හැරයන ප්‍රවණතාවය වගේ අට ගුණයක ප්‍රවණතාවක්, දුප්පත් දරුවෙක් පාසල අතහැර යාමට තිබෙන බව සංඛ්‍යා ලේඛන වාර්තාවකින් කියැවෙනවා. දුප්පත්භාවය ඉක්මනින්ම ලෙඩ කරනවා. මහලු කරනවා. ඉක්මනින්ම මරණයට ගෙනියනවා. පන්තියේ දරුවන් අතර දුප්පත් දරුවෙක් හිටියොත් ඒ දරුවා පන්තියෙන් කොන්වෙනවා. පොලිසියට ගියොත් වැඩියෙන්ම ශබ්දය දාන්නේ කාටද? දුප්පත් අයට. රජයේ කාර්යාලයකට ගියොත් වැඩක් කරගන්න, අමාරුම කාටද? දුප්පතාට. බස් එකට නැග්ගොත් කොන්දොස්තරගේ වැඩිම ශබ්දය කාටද? දුප්පතාට.

අපි ආණ්ඩු හදන්නේ මොකටද? මේ දුප්පත්භාවයෙන් ජනතාව ගලවා ගන්න. අපේ රටේ හැමදාමත් සිද්ධ වුණේ කුමක්ද? දේශපාලනඥයා දුප්පත්කම විකුණන එක. සිරිමාවෝ, ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල්, මෛත්‍රී, සජිත් මේ හැමෝම තමන්ගේ වේදිකාවල දුප්පත්කම වික්කා. විකුණමින් සිටිනවා. ළමයට කිරි වීදුරුවක්, ගැබිණි මවට පෝෂණ මල්ලක් මම දෙනවා කියලා. එක්කෙනක් කියනවා, මේ මොකක්ද? කරන්නේ දුප්පත් බව විකුණන එක. දෙන්න අපිට බලය. අපි දුප්පතකම විකුණන ආර්ථිකය වෙනුවට එය තුරන් කරන ආර්ථිකයක් ගොඩනඟන බවට සහතික වෙනවා. අපි පැෂන් එකට දුප්පත් වෙච්ච අය නොවයි. ඇත්තටම දුප්පත් වුණු අය. ඒ නිසා අපිට අවංක වුවමනාවක් තිබෙනවා, මේ රටේ දුප්පත්භාවය තුරන් කරන්න. මේ රටේ දුප්පත් ජනයා අපි ඔක්කෝම එකතුවෙලා අපේ පාලනයක් හදාගමු. අවුරුදු පහකින්, හයකින් අපේ රටින් දුප්පත්භාවය නිසැකවම තුරන් කරනවා. ගමේ ඔබට තිබෙන්නේ වී, කෙසෙල්, එළවළු වැනි සීමාසහිත වගා අවස්ථාවන්. වී පාඩු වුණොත් එළවළු නැත්නම් කෙසෙල්. විවිධ යැපීම් අවස්ථා අපට නැහැ. අපි බලයට ආවොත් ගම් ඇතුලේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායන් නිර්මාණය කරනවා. අපි ගමේ ඉන්න තරුණයාට ක්ෂේත්‍ර ගණනාවකම ආර්ථික අවස්ථා නිර්මාණය කරලා දෙනවා. ආර්ථිකයේ නව අවස්ථා ගණනාවක් අපි විවෘත කර දෙනවා. විශේෂයෙන් අපේ රටේ කාන්තාවන්ට. රටේ දුප්පත්කම තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් තිබෙන එකම බලවේගය ජාතික ජන බලවේගයයි.

පොහොසත් රටක් පොහොසත් ජනතාවක් සහිත රටක් බවට මේ රට පරිවර්තනය කරන්න නම් නොවැම්බර් 16 වැනිදා ඡන්දපොළට ගොස් “මාලිමාව ලකුණ” ඉදිරියේ කතිරය ගසා ජාතික ජන බලවේගය දිනවන්න කියා අපි ඔබට ආරාධනා කර සිටිනවා.

 

Advertiesment