Tuesday 10th of December 2019

English Tamil
Advertiesment


ජනාධිපති වරණය රටට පමණක් නොව-ජවිපෙට ද තීරණාත්මකය


2019-11-09 1840

 

(වික්ටර් අයිවන්)

දැන් ශ්‍රී ලංකාව තිබෙන්නේ දේශ පාලන අර්ථයෙන් තීරණාත්මක සන්දිස්තානයකය.ජනාධිපති වරණයේදී තෝරා ගැනීමට මාවත් දෙකක් ලබා දී තිබෙන අතර ඉන් එකක් සීමිත කම් තිබියදීත් ප්‍රතිසංස්කරණ දිනා ගනිමින් ඉදිරියට යා හැකි ප්‍රජාතන්ත්‍ර මාවතයි.තෝරා ගැනීමට ලැබී තිබෙන අනෙක් මාවත වන්නේ ප්‍රජාතන්ත්‍ර ප්‍රතිසංස්කරණ වලට ඉඩක් නැති බැරැක්ක වාදි අධිකාරී මාවත යි.

එළඹෙන ජනාධිපති වරණය ඒ මාර්ග දෙකෙන් කවර මාර්ගයක් තෝරාගන්නේ දැයි තීරණය කරන මැතිවරණය ලෙස සැලකිය හැකිය.මෙම ජනාධිපති වරණයට නියම ලෙස තරඟ කරන අපේක්ෂකයින් හත් දෙනෙකු ඇතත්, ප්‍රධාන තරඟය තිබෙන්නේ දෙදෙනෙකු අතරය.ඒ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත ප්‍රේමදාස හා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතරය.ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඉන්නේ තුන් වැනි ස්තානයේය.

අනුර කුමාර දිසානායකට මේ තරඟයේ ප්‍රති අපේක්ෂකයින් දෙදෙනා සමග කරට කර තරඟයක් තිබුනේ නම් තෝරාගැනීමට මාර්ග දෙකක් වෙනුවට මාර්ග තුනක් ඇති වී තිබෙන්නට ඉඩ තිබුණි.එහෙත් දැන් තිබෙන්නේ ප්‍රධාන මාර්ග දෙකක් පමණය.

අවසාන විග්‍රහයේදී තෝරා ගැනීමට ඇත්තේ මාර්ග තුනක් වෙනුවට මාර්ග දෙකක් පමණක් නම්, ඉන් එක මාර්ගයක් වැටී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝදී අධිකාරි වාදී බැරැක්ක මාවතකට නම් හා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාගේ තරඟය එම විනාශ කාරී මාවතට යන ගමන ශක්තිමත් කිරීමට හේතුවේ නම් ඒ ගැන බැරෑරුම් ලෙස සලකා බැලීමේ වගකීමක් ජවිපෙ නායකයින්ට සේම ජාතික ජන බලවේගයේ නායකින්ට ද තිබෙන්නේය.තීරණාත්මක දේශපාලන වැදගත් කමක් ඇති ස්න්දිස්තානයක දී ගනු ලබන වැරදි තීරණයක් එම ව්‍යාපාරය කෙරෙහි ඉතාමත් විනාශකාරි ප්‍රතිඵල ඇති කළ හැකිය.

දෙවැනි කැරැල්ල නිම නොවී තිබියදී 1988 ජනාධිපති වරණය ආසන්නයේදී ජේවීපී ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වන තැනකට පත්ව තිබුණි.ජේවීපී යේ උපායමාර්ගික අපේක්ෂාව වී තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති වරණයට තරඟ නොකරන තැනකට ගනිමින් ජනාධිපති වරණය අර්බුධයකට යවා, සිය කැරැල්ල වඩා බලවත් ලෙස ඉදිරියට රැගෙන යාමය.ශ්‍රීලනිප අපේක්ෂාව වූයේ ජේවීපී යේ සහය ලබා ගනිමින් ජනාධිපති වරණය ජය ගැනීමය.සිරිමාවෝ බණ්ඩාරනායක ජේවීපී යේ එම වැඩ සටහනට එකඟ නොවී ජනාධිපති වරණයට නාම යෝජනා බාර දුන්නාය.ඒ සමඟ ඇති කර ගන්නට ගිය හවුල බිඳ වැටුන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රීලනිප ක්‍රියාකාරින්ද මරා දමන පිළිවෙතක් අනුගමනය කළේය.

මම ඒ අවස්තාවේදී ඒ ගැන කතු වැකියක්ද,විශේෂ ලිපියක්ද, පළ කරණ ලද අතර එහි මම කරන ලද පුරෝකථනය වූයේ ප්‍රජාතන්ත්‍ර ප්‍රවාහයට එකතු වීමට ලැබුන අවස්තාව අහිමි කර ගැනීම නිසා ඔවුන්ට සිය ජීවිත වලින් ලොකු වන්දියක් ගෙවන්නට සිදු වණු  නොවැලැක් විය හැකි බවය.එය එසේම සිදු විය.

ජවිපෙ මේ මොහොතේ සිටින්නේද ඒ හා සමාන තීරණාත්මක සන්දිස්තානයකය.මොන මොන හේතු නිසා හෝ ගෝඨාභය ජය ගත හොත් හා එම ජයග්‍රහණය කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුව ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද නිසා බව සනාත වුව හොත් එය එම දේශ පාලන ව්‍යාපාරයේ දේශ පාලන  මල ගම බවට පත්විය හැකිය.

ජාතික ජන බලවේගයට මේ මොහොතේ කළ හැකි හොඳම දේ වනුයේ, ක්‍රමයේ ගැඹුරු වෙනසකට හේතු වන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් සඳහා සජිත් ප්‍රේමදාස සමග එකඟතාවක් ඇති කර ගනිමින් ගෝඨාභය පරාජය කිරීම ස්ථීර සාර දෙයක් බවට පත් කිරීමය.

ජවිපෙ 17වැනි සංශෝධනය දිනා ගත්තේද එවැනි ක්‍රියා මාර්ගයකිනි.එය පුන්චි ප්‍රතිසංස්කරණයක් පමණය.එහෙත් මෙම තීරණාත්මක මොහොතේදී පුළුල් ප්‍රජාතන්ත්‍ර බලවේගයක් නියෝජනය කරන අපේක්ෂකයා ලෙස සැලකිය හැකි සජිත් සමග විදිමත් එකඟතා ගිවිසුමක් ඇති කර ගැනීම මගින් ප්‍රජාතන්ත්‍ර විරෝදී බැරැක්ක බලවේගයට කිසිඳු ඉඩක් නොලැබෙන තත්ත්වයක් සහතික කෙරෙන අතර ක්‍රමයේ ගැඹුරු වෙනසක් සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ දිනා ගැනීමේ ඇත්ත හැකියාවක් පවතී.ඒ සඳහා ඇති කර ගන්නා එකඟතාව සදාචාරාත්මක හා නයිතික බැඳීමක් ඇති එකඟතාවක් බවට පත් කර ගත හැකිය.

ඒ මගින් එම ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ වැදගත් අයිති කරුවකු හා පන්ගු කරුවකු බවට පත් වීමේ හැකියාව ජවිපෙට හා ජාතික ජන බලවේගයට හිමි වන අතර ජනාධිපති වරණයට තරඟ කිරීම මගින් අපේක්ෂා කරන පාර්ලිමේන්තු නියෝජනයට වැඩි නියෝජනයක් මෙම වැඩ සටහන යටතේ දිනා ගන්නා අතර මෙම දූෂිත ක්‍රමයේ ගැඹුරු වෙන්ස් කම් ඇතිකිරීමට හේතු වන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් දිනා දීමේ ගරුත්වය හිමි කර ගැනීමේ හැකියාවද ලැබෙන්නේය.

ඒ ගැන ජවිපෙ සේම ජාතික ජන බලවේගයද බැරෑරුම් ලෙස සලකා බලන තැනකට යා යුතු නැද්ද?

 

Advertiesment