Sunday 15th of December 2019

English Tamil
Advertiesment


හැත්තෑ හතේ අලි මන්තරය


2019-11-09 1858

(උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු)

අලියා වැටුණාම නැඟිට්ටවන එක ලේසි නැත. කරු ගහලවත් අලියා නැඟිට්ටවන එක බොරුය. අලියා අලියාම හිතල නැඟිට්ටොත් මිස නැඟිට්ට වන්න නම් බැරිය. මේ ටික හොඳින් තේරුම් ගෙන හිටියේ අලි නැඟිට්ට වන්න කප් ගහපු යූ.ඇන්.පී.යේ ඇත් ගොව්වා ජේ.ආර්. ය. ඔහු පක්‍ෂ නායකත්වය ගෙන අලියා නැඟිට්ටෙව්වේ අලි මන්තරයකින්ය.

හොඳට ගණ පිහිටුවල මේ මන්තරය ජේ. ආර්. හැදුවේ නම් හතරකටය. එක නමක් ජේ. ආර්.ය. නගරයට කතා කළේ ජේ. ආර්. ය. අනෙක් නම ප්‍රේමදාසය. ගමට කතා කළේ ප්‍රේමදාසය. අනෙක් නම ගාමිණීය. සිංහල බෞද්ධයන්ට කතා කළේ ගාමිණීය. අනෙක ලලිත්ය. උගතුන්ට කතා කළේ ලලිත් ඇතුලත්මුදලිය. මේ අලි මන්තරයට අලියා නැඟිට්ටේය. පිම්මේ දිව්වේය. ශ්‍රීල.නි.ප.ය සහ වාමාංශික පක්‍ෂ සමතලා කරගෙන දිව්වේය.

1988දී උතුරේ කොටි යුද්ධයෙන් සහ දකුණේ ජ.වි.පෙ. භීෂණයෙන් තුවාල ලැබ වැටී සිටි අලියා නැඟිට්ට වන්න ජේ. ආර්. ජප කළේද මේ අලි මන්තරයය. 1988 ජනාධිපතිවරණයේදී ශ්‍රීල.නි.ප.ය ලොකු පොතක් ගහල රට පුරා බෙදුවේය. ඒ පොතේ නම ‘අලි බබා සහ හොරු හතළිහ’ය. එහි සඳහන් වූයේ ප්‍රේමදාස ගම් උදාවෙන් හොරකම් කරපු හැටිය. ලලිත් නැව් ගිල්ල හැටිය. ලලිත් වරායට ගත් නැව් මුහුදේම අතුරුදන් වූ හැටිය. ගාමිණී මහවැලියෙන් කාපු හැටිය. ඇපල් වතු ගත්ත හැටිය. ශ්‍රීල.නි.ප.ය මේ තුන්දෙනාව හැඳින්වූයේ පට්ට හොරු ලෙසය. ශ්‍රී.ල.නි.ප.ය එකල රට පුරා අලවපු පෝස්ටරය ජේ. ආර්., ප්‍රේමදාසගේ මඩ සෝදන පින්තූරයකි. ඒත් ජේ. ආර්. ජප කළේ ඒ නම් හතරට හදපු මන්තරයය.

ජේ. ආර්.ට පසු පක්‍ෂ නායකත්වයට පත් ප්‍රේමදාස සහ විජේතුංග තමන්ට ඕනා විදියට මේ මන්තරය වෙනස් කර ගන්න ගියෝය. ප්‍රේමදාස නගරය කොන් කළේය. ඒකෙන් වුණේ ලලිත් සහ ගාමිණීගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ බිහි වීමය. ඔවුන් යූ.ඇන්.පී.යේ ඡන්ද ලක්‍ෂ 10ක් විතර කඩාගෙන නගරය අල්ලා ගත්තේය. ප්‍රේමදාස ඝාතනය වී විජේතුංග ජනාධිපති වී පක්‍ෂ නායකත්වයට පත්වූ විට ඔහු ගම කොන් කොට නගරය අල්ල ගන්න ගියේය. ඒකෙන් වුණේ යූ.ඇන්.පී.යට ගම නැති වීමය. අන්තිමේදී චන්ද්‍රිකාගේ නායකත්වයෙන් යුත් පොදුජන පෙරමුණ ප්‍රේමදාස අත හැරපු නගරයත්, විජේතුංග අත හැරපු ගමත් අල්ලා ගෙන හස්ති කාන්ත මන්තරය ජප කොට අලියා දමනය කොට වසර 17කට පසු ශ්‍රිල.නි.ප.යට ජනාධිපති ධුරයත්, ආණ්ඩුවත් අරන් දෙනු ලැබීය.

1995 රනිල් පක්‍ෂ නායකත්වයට පත් වුවත් ඔහුට ජේ. ආර්. 1977 මතුරපු අලි මන්තරය ජප කරන්න බැරි විය. රනිල් නියෝජනය කළේ ජේ. ආර්.වය. 2012 තෙක් සජිත් මන්ත්‍රිවරයෙක් පමණක් විය. ප්‍රේමදාසවරු හිටියේ එළියේය. ගාමිණී නියෝජනය කළ නවීන් තමන්ට පක්‍ෂය තුළ තැනක් නැහැ කියා පක්‍ෂයෙන් යන්න ගියේය. ලලිත් නියෝජනය කළ රවී කරුණානායකගේ කණ්ඩායම චන්ද්‍රිකාගේ පොදුජන පෙරමුණෙන් කඩා යූ.ඇන්.පී.යට ගන්න රනිල් සමත් විය. ඒත් යූ.ඇන්.පී.යට ප්‍රේමදාසවරු නියෝජනය කළ ගමයි ගාමිණීලා නියෝජනය කළ සිංහල බෞද්ධ පදනමයි අහිමි වී තිබිණි. යූ.ඇන්.පී.යට අවුරුදු 25ක්ම ජනාධිපතිවරයෙක් පත්කරගත නොහැකි වූයේ ඒ නිසාය.

ගම අල්ලන එක ලෙහෙසි වැඩක් නොවේ. අමාරු වැඩකි. ප්‍රේමදාස ගම ඇල්ලුවේ බොහොම අමාරුවෙන්ය.

1993 මැයි පළමු වැනි දින ඔහු ඝාතනය වී ගමේ ශ්‍රීල.නි.ප. පාක්‍ෂිකයා රතිඤ්ඤා පත්තු කළත්, 1993 පළාත් සභා ඡන්දයේදී ප්‍රේමදාස ගම දින්නේය. හම්බන්තොට, මාතර, ගාල්ල, මොනරාගල, අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර, කුරුණෑගල මේ ඔක්කොම දින්නේය. සබරගමු පළාත් සභාව, උතුරු මැද පළාත් සභාව, ඌව පළාත් සභාව, දකුණු පළාත් සභාව, වයඹ පළාත් සභාව, මධ්‍යම පළාත් සභාව මේ ඔක්කොම යූ.ඇන්.පී.ය දින්නේය. යූ.ඇන්.පී.ය පරාජය වූයේ බස්නාහිර පමණි. පසුව දකුණේ සහ වයඹ පොදුජන පෙරමුණ පළාත් සභා ආණ්ඩුව පිහිටෙව්වේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන්ය. පොදුජන පෙරමුණ සහ ප්‍ර.එ.ජා.පෙ. මධ්‍යම පළාත් සභා මහ ඇමැති අපේක්‍ෂක ලෙස ගාමිණී දිසානායකව නම් කරලත් මධ්‍යම යූ.ඇන්.පී.ය දින්නේය. හේතුව ගමේ පීඩිත ජනතාව ප්‍රේමදාස මියගියත් ඔහුගේ නාමයට ඡන්දය දීමය.

ඩී. බී. විජේතුංග දකුණු පළාත් සභාව විසුරුවා හැර 1994 යළි ඡන්දයක් කැඳවූයේ එය ගල උඩ සටන කියාය. ඔහු දකුණු පළාත් සභා ඡන්දය පැවැත් වුයේ ප්‍රේමදාස නාමය පක්‍ෂයෙන් ඉවත් කොට ප්‍රේමදාසවාදීන් සහ ප්‍රේමදාස පවුලට පන්න පන්නා ගහමින්ය. ඔහු ප්‍රේමදාස විරෝධී ගාමිණී, රොනී, අනුර බණ්ඩාරනායක එක්කරගෙන ඡන්දයට ගියේය. ඒ වෙලාවේ ජ.වි.පෙ. සහ චම්පිකගේ ජනතා මිතුරන් දකුණේ ගම්වල ප්‍රේමදාසවාදී පීඩිත ජනතාව චන්ද්‍රිකා වටා එකතු කරනු ලැබීය. චන්ද්‍රිකා ගල උඩ සටනින් ජය ගත්තාය. 1994 මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය ඇය රැල්ලට දින්නාය. ඒත් ඇයට ගම අල්ලන්න බැරි විය.

ප්‍රේමදාස අල්ලපු ගම අල්ලා ගත්තේ ජ.වි.පෙ.ය. ජනතා විමුක්ති පෙරමුණ 2004 මහ මැතිවරණයේදී ප්‍රේමදාසගේ කුල පීඩිත ගම සිය ග්‍රහණයට ගෙන චන්ද්‍රිකා සහ ශ්‍රීල.නි.ප.ය අත්අඩංගුවට ගත්තේය. මේ කුල පීඩිත ගම දේශපාලනයේ මහා බලයක් කළේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ සම්ප්‍රදායික වමය. බණ්ඩාරනායකගෙන් පසු මැතිනියත් පරණ වම සමඟ මේ ගම 1970 තෙක් ආරක්‍ෂා කරගත්තාය. 1971 ජ.වි.පෙ. මේ ගම ශ්‍රීල.නි.ප.යෙන් කැඩුවේය. 1977 ජේ. ආර්.ගේ නායකත්වයෙන් ප්‍රේමදාස ඒ ගම කැඩුවේය. ප්‍රේමදාස ඝාතනයට පසු ජ.වි.පෙ. ඒ ගම කඩා ගත්තේය. 2005 මහින්ද ඒ ගම සියතට ගත්තේය. ජ.වි.පෙ. දුර්වල විය.

“2019 ජනාධිපතිවරණයේදී මේ ගම කොයිබටද..?”

යූ.ඇන්.පී.යේ රනිල්ගේ ඡන්ද පදනම වූ උගත්, බුද්ධිමත් ව්‍යාපාරික නාගරික ජනතාවට කතා කරන අපේක්‍ෂකයෙක් ලෙස පොහොට්ටුවෙන් ගෝඨාභය නම් කළ විට යූ.ඇන්.පී.ය නම් කළේ ගමේ පීඩිත කුල නියෝජනය කරන මහින්දගේ ඡන්ද පදනමට කතා කරන්න පුළුවන් ප්‍රේමදාස කෙනෙකි. ගෝඨා විෂන් එකක් ගැන කතා කරයි. සජිත් ගමට කතා කරයි.

“එතකොට ජ.වි.පෙ…?”

ජ.වි.පෙ.ට දැන් ඒ ගමේ ඡන්ද නැත. ජ.වි.පෙ. කතා කරන්නේත් නගරයටමය. 1982 මැතිණිය ශ්‍රී.ල.නි.ප.ය පරාජය වූ විට ජේ. ආර්. අපූරු කතාවක් කීවේය. ජේ. ආර්. කීවේ මැතිණිය ගඟක නනා ඉද්දී ඇගේ ඇඳුම් ඇන්. ඇම්. සහ කොල්වින් උස්සාගෙන ගියා කියාය. ඔහු එයින් අදහස් කළේ මැතිනියගේ වාමවාදී ජන පදනම දැන් මැතිණියට නැහැ කියන එකය. ඒක තියෙන්නේ පරණ වම ළඟ යැයි කියාය. මේ වගේම ජ.වි.පෙ. ගම 2005 දී මහින්ද උස්සාගෙන ගියේය. ජ.වි.පෙ.ට දැන් ගමත් නැත. 2015 ජනාධිපතිවරණයේදී ජ.වි.පෙ. අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකොට මෛත්‍රිපාලට ඡන්ද ලක්‍ෂ 5ක්, 7ක් අතර ගණනක් දුන්නා යැයි පොහොට්ටුව සිතයි.

මෙවර ජ.වි.පෙ. අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීම නිසා සජිත්ට ඒ ඡන්ද අහිමි වී සජිත් පරාජය වේ යැයි ඔවුහු ගණන් හදති. හැබැයි 2015 මහ මැතිවරණයේදී එ.ජා.ප.ය ඡන්දය ඉල්ලුවේ තනියමය. ඒ එ.ජා.ප.ය ආණ්ඩුව ගෙන මාස 6ක් ගත වී ආණ්ඩුව කුණු වෙන්න පටන්ගත් වේලාවේය. බැඳුම්කර චෝදනාව උණු උණුවේම එළියට ආ වේලාවේය. කෝප් වාර්තාවෙන් බැඳුම්කරය වංචාවක් බව කියා තිබිණි. ඒත් ජ.වි.පෙ. හෝ දමිළ ජාතික සන්ධානය නැතිව යූ.ඇන්.පී.ය දින්නේය. ඒ ඡන්දයට නායකත්වය දුන්නේ බැඳුම්කර හොරා යැයි පොහොට්ටුව චෝදනා කළ රනිල්ය. අනෙක මහින්ද තරග කළේ 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිව දිනවන්න යූ.ඇන්.පී.යට ආපු දුමින්ද දිසානායකලා එක්කය. 2015 ඡන්දයට මහින්ද ආවේ මෛත්‍රි එක්ක එකටය. පහත දැක්වෙන්නේ 2015 මහ මැතිවරණ ප්‍රතිඵලයය.

එ.ජා.ප. – 50,98,916 – 45.66%

එ.ජ.නි.ස. – 47,32,664 – 42.38%

දමිළ ජාතික සන්ධානය – 5,15,154 – 4.62%

ජ.වි.පෙ. – 5,44,154 – 4.87%

ඉතින් සජිත්ට දිනන්න ජ.වි.පෙ. අවශ්‍ය වන්නේ නැත. ඔහු දිනන්න නම් ඔහුගේ පියා අල්ලගෙන සිටි 2005දී මහින්ද අල්ලා ගත්ත ගම අල්ලා ගත යුතුය. බණ්ඩාරනායක සහ වම මේ ගම ඇල්ලුවේ ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය කියලාය. ප්‍රේමදාස ගම ඇල්ලුවේ රදලයන් සහ පොඩි මිනිහා කියාය. මහින්ද ගම අල්ලා ගත්තේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් කියාය. සජිත් ගම අල්ලන්න යන්නේ මහින්දගේ දේශප්‍රේමී ආයුධයි, පියා වූ රණසිංහ ප්‍රේමදාසගේ පොඩි මිනිහාගේ මන්තරයයි ජප කරමින්ය.

සජිත්ට දිනන්න ඒ මන්තරය මදිය. 1977 ජේ. ආර්. ජප කළ අලි මන්තරයම සජිත් ජප කළ යුතුය. ජේ. ආර්. නියෝජනය කරන රනිල් සජිත්ට උතුරු – නැඟෙනහිර ඡන්ද අරන් දී තිබේ. ගාමිණී නියෝජනය කරන නවීන් සජිත් දින වන්න රට වටේ යයි. ලලිත් පිල නියෝජනය කරන රවී සහ ලලිත්ගේ සමීපතම දේශපාලන සහායිකාව වූ ෂර්මිලා සජිත්ට තරග වදින්න හංසයා ලකුණ දී තිබේ. 77 අලි මන්තරයේ ගණ නම් හරිය.

“යූ.ඇන්.පි.යට වසර 25කට පසු ජනාධිපතිවරයෙක් ලැබෙයිද..?”

ඒක නම් තවම කියන්න බැරිය.

 

-ගුරුදා විග්‍රහය-

 

Advertiesment