Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


මානව වාදී මැන්ඩෙලාගෙයි-නට්සි වාදී හිට්ලර්ගෙයි මොඩල අතර වෙනස


2019-11-08 1444

 

"රටට ඕනෑ කරන්නේ බිඳුණු සහ බෙදුණු සිත් එක් කළ හැකි නායකයෙකුයි "

 

අද ශ‍්‍රී ලාංකික අප සැවොම සිටින්නේ ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ඉරණම තීරණය කරනු ලබන ජනාධිපතිවරණයක් අභියස යි.ඉදිරි ශ‍්‍රී ලාංකාව ගමන් කරන දිශානතියේ තීරණාත්මක අවස්ථාව මෙයයි.මෙය කෙටියෙන් පවසන්නේ නම් මානව වාදය සහ පැසිස්ට් වාදය අතර පවතින අත්‍යන්ත වෙනස වටහා ගැනීමේ අරගලයයි. දුර්දාන්ත පැසිස්ට්වාදයෙන් රට වැසියා බේරා ගැනීමේ මහා අරගලයයි. අත්‍යන්ත මහා ජාතිවාදයෙන් රට වැසියා මුදා ගැනීමේ අරගලය යි. පැසිස්ට් රාජ්‍යය වනාහි උග‍්‍ර අන්තවාදී ජාතිවාදී වර්ගවාදී රාජ්‍යයකි. රාජ්‍ය වන්දනය එහි ප‍්‍රමුඛ ලක්ෂණයයි. මෙය පැමිණෙන්නේ සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී අහිංසකම අහිංසක ව්‍යාපාරයක් ලෙසයි.

හිට්ලර් සහ ජර්මන් නට්සිවාදීන් සිදු කළේ ද පාර්ලිමේනතුවෙන් බලයට පැමිණ පාර්ලිමේන්තුවට ගිනි තැබීමයි. එහි රට වැසියා ඇතුළු සියල්ලෝම වහල්ලුය. අනිකාට සවන් දීමක් එහි නැත. අනිකාට ගරු කිරීමක් ද එහි නැති නිසා අනිකාව කිසි විටකත් තේරුම් නොගනියි. අත්‍යන්ත ස්වදේශික වාදය හෙවත් අත්‍යන්ත මහා ජාති වාදයෙන් හදවත ගිනි ගන්නා බැවින් අනෙක් සියල්ලන්ම හෙළා දකී. ඔවුන්ව ආදර්ශයට ගන්නා මහා ජාතිය ද එලෙසින්ම හැසිරේ. එබැවින් රට වැසියාගේ පූර්වාදර්ශය බවට පත් වන්නේ බොහෝ විට එරට පාලකයාගේ හැසිරීම සහ ක‍්‍රියා කලාපයයි (යථා රාජා තථා පජා). පාලකයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නම් එරට වැසියාගේ චින්තනය ගොඩ නැගෙන්නේ ද එලෙසය. පාලකයා පැසිස්ට්වාදී ක‍්‍රෑර අයෙකු නම් එරට වැසියාගේ හැසිරීම ද එබඳුය. මෙම කාරණය අපගේ ඇස් ඉදිරිපිටම යථාර්ථයක් බවට පත්ව ඇත.

අද අපි සැවොම ජීවත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළය. මෙය ඕනෑම අයෙකුට වැටහේ. පාලකයාව තවමත් ප‍්‍රශ්න කළ හැකිය. ඔහුට විරුද්ධ ව  දූෂණ වංචා චෝදනා තිබේ නම් ඒවාට විරුද්ධව නඩු මගට ද තවමත් යෑමට පුළුවනි. එබැවින් පාලකයා දැන් නීතියට බියව ඇත. නීති ගරුකය. වැරදි කිරීමෙන් වැළකී සිටීමට බොහෝ විට උත්සහ ගනිමින් සිටී. ඇතැමෙක් ප‍්‍රශ්න කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කන්නට දැයි කියායි. ඔවුනට දිය යුතු සරළ පිළිතුර නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති නම් කන්නට ද නොහැකිය. මන්ද යත් අති උත්තම රාජ්‍ය වන්දනය හෙවත් පැසිස්ට් වාදය තුළ ජනතාවට තම අභිමතයට අනුව ආහාර ගැනීමක් නොමැත. එය සම්පූර්ණයෙන්ම හිර ගෙයකි. දෙන දේ අනුභව කළ යුතුය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව ප‍්‍රජාචන්ත‍්‍රවාදයයි. නමුත් කවුරුන් කුමක් කීවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපේ රට තුළ ස්ථාපිත කිරීමට ලැබීම ම සුවිසල් විජයග‍්‍රහණයකි.

නමුත් මෙම තත්ත්වය වෙනස් කොට නැවතත් මේ රටේ ප‍්‍රජාතාන්ත‍්‍රික රාමුව අරාජික කරමින් රට අඳුරු යුගයකට ඇද දැමීමට දැඩි උත්සහයක යෙදී සිටින බල තෘෂ්ණාවෙන් වියරු වැටී සිටින දේශපාලනිකව සහ ආධ්‍යාත්මිකව පරාජිත පිරිසක් කුරුමානන් අල්ලමින් සිටී. මෙය ශ‍්‍රී ලාංකික අපි මේ මොහොතේ තේරුම් ගෙන සිටී ද? ඔවුන් විසින් මහා ජාතිය ඉදිරියේ ජාතික ආරක්‍ෂාව, ෆෙඩරල් වැනි මහා බිල්ලෝ මවමින් සිටී. එසේම ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ති‍්‍රත්වය එක් පුද්ගලයෙකු වටා ගොඩනගා ගැනීමට ද සැලසුම් කරමින් සිටී. පාලකයා බල ලෝභියෙකු නොවී බලය බෙදා දීමටත් සිය ධූර කාලය අවසන් වූ පසු බලය අත්හැරීම හෙවත් ස්වකීය කැමැත්තෙන්ම ධූර කාලයෙන් ඉවත් වීමටත් වග බලා ගත යුතු ය. නමුත් පසු ගිය දශකය තුළ ම සිදු වූයේත් සහ සිදු වෙමින් පවතින්නේත් පවුල්වාදී දේශපාලන ධූරාවලියක් ශ‍්‍රී ලාංකාව තුළ ගොඩනැඟී, එක ම පවුලක් වටා බලය බෙදී යමින් රටේ සියලු  තීන්දු තීරණ ගැනීම යි. එය පදනම් කර ගෙන දේශපාලන වහළුන් පිරිසක් මේ රට තුළ ඇති වීම යි. එහි සෙවනැලි නැවතත් මතු වෙමින් සැරි සරමින් තිබේ. මෙම පර ගැති වහල් දේශපාලනයෙන් අප ගොඩ එන්නේ කෙසේද? එසේ නම් අපේ දිශානතිය ගමන් කළ යුත්තේ මානවවාදී නෙල්සන් මැන්ඩෙලා මොඩලයකට යන්න අපගේ යෝජනාවයි. අපේ සමස්ත සමාජයම නෙල්සන් මැන්ඩෙලා කරණයකට ලක් කළ යුතුය. පහත උදාහරණයෙන් අප ගමන් කළ යුතු මොඩලය තීරණය කළ හැකිය.

මීට දවස් කිහිපයකට කලින් දකුණු අපි‍්‍රකාව විසින් රග්බි ලෝක කුසලානය ජයග‍්‍රහණය කරන ලදි. එහිදී හදිස්සියේ ශ‍්‍රී ලංකාවට සම්ප‍්‍රාප්ත වුණු දකුණු අප‍්‍රිකානු ජනාධිපතිතුමන් සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යයවේදියා අසන ප‍්‍රශ්නය වන්නේ රග්බි ලෝක කුසලානය විජයග‍්‍රහණය කිරීමේ රහස කුමක් ද යන්නයි. එහිදී දකුණු අප‍්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා ලබා දෙන පිළිතුර නට්සිවාදයෙන්, ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් සහ වර්ගවාදයෙන් වෙළී සිටින වර්තමාන ශ‍්‍රී ලාංකේය සමාජ සන්දර්භයට ඉතාම වැදගත් ය.

"මෙම ජයග‍්‍රහණය ලබන අවස්ථාව වනාහි 1995 නෙල්සන් මැන්ඩෙලා විසින් රග්බි ලෝක කුසලානය ලබන අවස්ථාව හා සමානයි. එය දකුණු අප‍්‍රිකාවට සුවිශේෂී අවස්ථාවක්. එම ජයග‍්‍රහණය ජාතියක් ලෙස නැගී සිටින්නට අපට ලැබුණු අනර්ඝ අවස්ථාවක්. එදා මැන්ඩෙලාට දැනුන හැඟීමට සමානම හැඟීමක් මගේ රටට 2019 රග්බි ලෝක කුසලානය ජය ගන්නා අවස්ථාවේදීත් ඇති වුණා. මුළු දකුණු අප‍්‍රිකාවම එකාවන්ව ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටියා. ඔබ දන්නවා අපේ රට බහුවිධ ජාතීන්ගෙන් යුක්ත දේශයක් බව. කළු-සුදු සියල්ලෝම කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටියා. මෙය අපේ රට උදක්ම බලාපොරොත්තුවෙන් සිටි ජයග‍්‍රහණයක්. මේ ජයග‍්‍රහණය අපේ රටේ ඉදිරි ගමනට කිනම් ආකාරයකින් බලපාන්නේ ද යන්න පිළිබඳව මුළු රටම අපේක්‍ෂා සහගතව සිටි අවස්ථාවක්. මක්නිසාද යත් මෙම ජයග‍්‍රහණය තුළින් සෘජුවම අපේ රට සංහිඳියාවෙන් සහ බහුවිධ භාවයෙන් ඔසවා තැබීමට හැකිවීමයි.

මේ ජයග‍්‍රහණය 1995 ජයග‍්‍රහණයට වඩා මිහිරි ජයග‍්‍රහණයක්. මෙය නෙල්සන් මැන්ඩෙලාගේ කැපවීමේ සහ ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රතිඵලයයි. එක් ජාතියක් ලෙස අප ගමන් කළ යුතු දිශානතිය පෙන්වූ ජයග‍්‍රහණයක් නිසා මෙහි මිහිර ඊටත් වඩා වැඩියි. මෙහිදී වැදගත් වන්නේ එක් ජාතියක් ලෙස ක‍්‍රියා කිරීම මිසක් ඔබ කතා කරන භාෂාව කුමක් ද යන්න වත් ඔබ නියෝජනය කරන ජන වර්ගය කුමක් ද යන්න වත් ඔබ පැමිණියේ කුමන පළාතකින් ද යන්න වත් ඔබ අදහන ආගම කුමක් ද යන්න වත් නොවේ. අපට වැදගත් වන්නේ ඔබ දකුණු අප‍්‍රිකානුවෙකු වීම යන්න පමණයි. අද අපේ දේශය පැමිණ ඇත්තේ එවන් ස්ථානයකටයි."

දකුණු අප‍්‍රිකාවේ විජයග‍්‍රහණය පිටු පස ඇත්තේ ජාතික සමගියයි. නමුත් මීට දශක කිහිපයකට කලින් ගත් කල උග‍්‍ර වර්ණවාදය, ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය, ගෝත‍්‍රවාදය යන කරුණු නිසා අප‍්‍රිකාව කෑලි කෑලිවලට කැඞී ගිය ද නෙල්සන් මැන්ඩෙලාගේ ජාතීන් එකතු කිරීමේ ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලය ලෙස එක් ජාතියක් ලෙස දෙපයින් දකුණු අප‍්‍රිකානුවෝ නැගී සිටියහ.

මැන්ඩෙලා විසින් ජාතිය ගොඩනැගීමේ කාර්ය භාරය නිවැරදිව වටහා ගෙන එය ගොඩනැගීමට ස්වකීය රට වැසියා මෙහෙයවීය. නමුත් අපේ රටේ පවතින මහා අභාග්‍ය සම්පන්න බව වන්නේ ජාතිය ගොඩනැගීමේ අවස්ථාව ඊනියා දේශ පේ‍්‍රමීන්ගේ අකුල් හෙළන වැඩ පිළිවෙළ  නිසා දිනෙන් දින වල පල්ලට යෑමයි.  අපි ශ‍්‍රී ලාංකික ද? අපි අද සිටින්නේ කොතන ද? යන්න ශ‍්‍රී ලාංකික අපි සියල්ලෝම අපේ හෘදයසාක්‍ෂියෙන්ම ඇසිය යුතු ප‍්‍රශ්නයකි. මෙයට සෘජු විසඳුම නෙල්සන් මැන්ඩෙලා මොඩලය තුළ පවතින බව අප සැවොම අවබෝධ කර ගත යුතුය. එය වටහා ගෙන එවන් නායකත්වයක් ඇති ජව සම්පන්නයකු තෝරා ගැනීමට අපි සැවොම එක්ව ඉදිරියට පැමිණිය යුතුය. එවැනි නායකත්වයක් තුළ පමණක් බෞද්ධකම, හින්දුකම, ඉස්ලාම්කම සහ ක‍්‍රිස්තියානිකම මැනවින් සුරක්‍ෂිත වේ. අප විසින් මේ අවස්ථාවේ බලයට තෝරා පත් කර ගත යුත්තේ අපව එකිනෙකාගෙන් වෙන් කරන නායකයකු නොව බිඳුණු සහ බෙදුණු හදවත් එක් කළ හැකි නායකයෙකුය. සියල්ලන්ව එක් කර ගෙන ඉදිරියට යා හැකි නායකයෙකුය.

ජාතිවාදයෙන්, ආගමික උන්මාදයෙන් හෝ බලකාමයෙන් වියරු වූවෙකුට යුද්ධය හෝ යුද ජයග‍්‍රහණය වනාහි ස්වකීය අභිමතාර්ථය (මිලිටරි ඒකාධිපති ජනාධිපති ජුන්ටාව) මස්තකප‍්‍රාප්ත කර ගැනීමට තිබෙන බලවත්ම අවියයි. ඔහු වටා එකතු වන්නේ ද ජාතිවාදයෙන්, ආගමික උන්මාදයෙන් හෝ බලකාමයෙන් වල්මත් වූ පිරිසකි. බොහෝ විට ඔවුන් සිතන්නේ බර්න්හාඩි ප‍්‍රකාශ කළ ආකාරයට යුද්ධය යනු ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් ලෙසයි. මෙම අදහස වූ කලී දුෂ්ට ලේ පිපාසිත නොමිනිසුන්ගේ තිරිසන් මානසික වින්දනීය සිතුවිල්ලකි. පාස්කු ප‍්‍රහාරයෙන් මෙම කුරිරු බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීමට වෑයම් කළත් එය අග රදගුරුතුමන්ගේ ස්ථානෝචිත ප‍්‍රඥාව නිසා වැළකී ගියේය. මොවුන්ගේ ප‍්‍රකාශවලින් පැහැදිළි වන එක කරුණක් ඇත. එනම් නැවත වරක් මේ රට යුද්ධයක් වෙතට තල්ලු කරමින් ස්වකීය තිරිසන් නීච වින්දනය ලබා ගැනීම මිස වෙන කිසිවක් නොවේ. මෙම යුදමය පසුබිමට අවශ්‍ය පිඹුරු පත් සකස් කර ගැනීමට මොවුන්ට අවශ්‍ය වී ඇත. අද එය කදිමට ශ‍්‍රී ලාංකේය දේශපාලන වේදිකාව මත දැකිය හැකිය. මිලිටරි ඒකාධිපති ජනාධිපති ජුන්ටාවේ ප‍්‍රධාන තේමාව ජාතිවාදයයි. ඔවුන්ගේ ආමන්ත‍්‍රණය ද බහුතර සිංහල බෞද්ධ ජනතාවටයි. එයට ප‍්‍රධානම හේතුව නම් ඔවුන් විසින් බහුතර සිංහල බෞද්ධ වැඩිහිටි සහ තරුණ පිරිස් ඊනියා ජාතිවාදයෙන් සහ දේශපේ‍්‍රමිත්වයෙන් වර්ෂ ගණනාවක සිට දූෂණය කිරීමයි.

අද ලෝක දේශපාලන මට්ටම ද බොහෝ රාජ්‍යයන්වල උග‍්‍ර දක්‍ෂිණාංශික ස්වභාවයක් ගෙන ඇත. එනම් ‘අන්ත ස්වදේශික වාදය’ ඉස්මතු කිරීමයි. මේ තුළ නියෝජනය වන්නේ අත්‍යන්ත ජාති වාදයයි. එයම බොහෝ රටවල ආර්ථික, දේශපාලනික, අධ්‍යාපනික සහ අනෙකුත් භෞතික සහ ආධ්‍යාත්මික අංශයන්ගේ කඩා වැටීමට ද සෘජුවම බලපා ඇත. බොහෝ රාජ්‍යයන් අරාජිකත්වයටම පත්ව ඇත. තම ජාතිය අනෙක් සියලූ ජාතීන්ට වඩා ශ්‍රේෂ්ඨය, අනෙක් සියලූ ජාතීන් අශුද්ධය යන මතය මනස් කාන්ත ලෙස ජන ගත කරමින් මහ ජාතියේ මොළ සුද්ධ කරමින් ස්වකීය පටු දේශ පාලන අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට වෑයම් කිරීමයි. මෙයම නට්සිවාදි හිට්ලර් විසින් ජර්මනිය තුළ ගොඩනැගීය. දැඩි වර්ගවාදයක් පැතිරවීය. මෙම නට්සිවාදී හිට්ලර් මොඩලය ශ‍්‍රී ලාංකේය සන්දර්භය තුළ ක‍්‍රියාත්මක කිරීමට ඇතැම් උග‍්‍ර දක්‍ෂිණාංශික පාලක පිරිසක් බලාපොරොත්තු වෙමින් සිටී. මෙවන් තත්ත්වයක් යටතේ ශ‍්‍රී ලාංකේය ජාතිය ගොඩ නැගීම අසීරු සහ ඉතා දුෂ්කර කාරණයක් බවට පත්ව ඇත.

මෙලෙස දූෂණයට ලක්ව ඇති අපේ මාතෘභූමිය බේරාගැනීමට සැබෑ මේසියානුවරයෙකු හෙවත් ගැලවුම්කරුවෙකු අනිවාර්යයෙන් ම අවශ්‍ය මොහොත දැන් එළඹ ඇත. එනම් මානවවාදී-මානුෂවාදී නෙල්සන් මැන්ඩෙලා මොඩලය මේ රට තුළ ක‍්‍රියාත්මක කිරීමේ අවස්ථාවයි. අපේ රට නෙල්සන් මැන්ඩෙලා කරණයට ලක්කළ යුතුය. එනම් රාජ්‍ය නායකයා වනාහි ආධ්‍යාත්මික ශික්‍ෂණයකින් හෙබි මානව වාදියෙක් වීමයි. තම ජාතිය පමණක් නොව අන්‍ය ජාතීන් ද ශ්‍රේෂ්ඨය යන උත්කෘෂ්ඨ මානව වාදය ක‍්‍රියාත්මක කළ හැකි උත්තුංග පෞර්ෂයකින් හෙබි නායකත්වයක් තෝරාගැනීමයි. එවිට අපේ ජාතිය ගොඩ නැගිය හැකි අතර ඊනියා ජාතිවාදින්ගෙන් සහ ආගමිකයන්ගෙන් අපේ සිංහල, දෙමළ, මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි ලෙස ගැනෙන සියලු පිරිස් බේරා ගත හැකිය.

ඒකාධිපති පැසිස්ට්වාදි පුද්ගලයන් සහ චින්තකයන් අනිවාර්යයෙන්ම පැරද විය යුතුමය. එම නිසා මානව වාදී නෙල්සන් මැන්ඩෙලා මොඩලය සහ නට්සිවාදී හිට්ලර් මොඩලය අතර පවතින මෙම වෙනස බුද්ධිමත් ශ‍්‍රී ලාංකික ජනතාව තේරුම් ගත යුතුය. අපි අපෙන් ම ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ මානව වාදී නෙල්සන් මැන්ඩෙලා කෙනෙකු ඉදිරියේ දී රටේ ජනාධිපති වරයා වශයෙන් තෝරා ගන්නේ ද නැත හොත් නට්සි වාදී ඒකාධිපති වියරුවේ සිටින අහිංසකම අහිංසක හිට්ලර් කෙනෙකු තෝරාගන්නේ ද යන්න වෙතටයි. තීන්දුව ඔබේ අතේය. දැනුවත් කිරීම අපේ යුතුකමය. අපේ මාතෘභූමියේ ඉරණම විසඳීම, බුද්ධිමත් තරුණ වැඩිහිටි ඡන්ද දායක ඔබ සැමට බාරයි.

කථිකාචාර්ය මොරගස්වැවේ විජිත හිමි
එක්සත් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය.

 

Advertiesment