Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


සුළු අපනයන බෝග වගාව යහ පාලනයෙන් ගොඩ ගිය හැටි මෙන්න


2019-11-08 1334

 

"ඒකාධිපති රෙජීමය වඳුරන් වගේ ප්‍රති අපනයනයේ එල්ලිලා"

 

(ඉන්ද්‍රජිත් හේවාවිතාරණ)

සුළු අපනයන භෝග වගා කරුවා මේ වන විට දේශපාලන වේදිකාවේ හොඳ ඉල්ලමක් බවට පත්ව තිබෙනවා. ඒ ප‍්‍රධාන වශයෙන් ගම්මිරිස් ප‍්‍රති අපනයනය කිරීම සම්බන්ධයෙන් උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නිර්මාණය වූ පරිසරය විපක්ෂයේ දේශපාලනඥයින් අවස්ථාවාදී ලෙස ප‍්‍රයෝජනයට ගැනීම නිසයි.

මේ වන විට කැබිනට් පත‍්‍රිකාවක් මගින් තහනම් කර ඇති ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය සම්බන්ධ සිදුවීම පසෙකට තැබුවත් පසුගිය 2015 සිට මේ දක්වා සුළු අපනයන බෝග වගා ක්ෂේත‍්‍රය තුළ සුවිශාල සංවර්ධනයක් සිදුවෙමින් තිබෙන බව විපක්ෂයේ දේශපාලනඥයින් නොදන්නවා වුණාට සුළු අපනයන බෝග වගාකරුවන් දන්නා කරුණක්.

ඒ නිසා හුදකලා සිදුවීමක් ඉලක්ක කරනවා වෙනුවට පසුගිය පස්වසර තුළ ‘කුළුබඩුවලින් ලෝකය ජයගැනීමට’ ගත් අපමණ වෙහෙස ගැන අවධානය යොමු කිරීම අප සියලූ දෙනාටම වැදගත්.

වත්මන් රජයේ අපේක්ෂාව වන්නේ ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි අපනයනාභිමුඛ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමයි. ‘‘පොහොසත් රටක් ’’ යන තේමාව යටතේ රජය විසින් ක‍්‍රියාත්මක කරන Vision  2025, ව්‍යවසාය ශ‍්‍රී ලංකා, ගම්පෙරළිය, ග‍්‍රාම ශක්ති ඇතුළු සියලුම දැවැන්ත ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන්වල අවසාන ඉලක්කය වන්නේ ශ‍්‍රී ලංකාව ‘‘පොහොසත් රටක් ’’බවට පත් කිරීම යි. අපනයනාභිමුඛ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමයි.

මේ සඳහා වන තිරසර ගමනේදී ‘‘අපනයන කෘෂි බෝගවලට’’ හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයක්. ඒ හෙළ රජ දවස සිට මේ ක්ෂේත‍්‍රයේ දී ශ‍්‍රී ලංකාව ලබා ඇති ජාත්‍යන්තර කීර්තිය සහ ස්වභාව ධර්මයේ අනුග‍්‍රහය ලොව අන් කිසිම රටකට නොදෙවැනි වන නිසයි. තවත් වසර තුනකින්, එනම් 2021දී ඩොලර් මිලියන 1500ක් හෙවත් රුපියල් මිලියන 200,000ක විදේශ විනිමය රටට ලබාදීම ඉලක්ක කොට ගෙන දියත් වන මේ ගමන ‘‘කුළුබඩුවලින් ලොව දිනා ගැනීම සඳහා කරන සංග‍්‍රාමයක් ’’ වශයෙන් සැලකිය හැකියි.

සුළු අපනයන බෝග අපනයන කෘෂි බෝග බවට පත් වූ හැටි

කුරුඳු, කරාබුනැටි, ගම්මිරිස් ආදි සාම්ප‍්‍රදායික කුළුබඩු කිහිපයක් මත පදනම් වූ සුළු අපනයන බෝග වගාව මේ වන විට ‘‘අපනයන කෘෂි බෝග’’ පුළුල් වර්ගීකරණය යටතේ පුළුල් පරාසයකට පැතිර ගොස් තිබෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව වර්තමානය වන විට දිස්ත‍්‍රික්ක 17ක පවුල් 800,000 - 10,00,000ක් අතර පිරිසක් අපනයන බෝග වගාව හා සම්බන්ධ වී සිටිනවා. එම දිස්ත‍්‍රික්ක අතරින් මහනුවර, රත්නපුරය, ගාල්ල, මාතර සහ මාතලේ දිස්ත‍්‍රික්ක ඉදිරියෙන්ම සිටිනවා. අපනයන ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව ශ‍්‍රී ලංකාව විසින් අපනයනය කරන සුළු අපනයන බෝග වර්ග 12කින් සමන්විත වෙනවා. ඒ අතර කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි, සාදික්කා, කරදමුංගු, කෝපි, කොකෝවා, පුවක්, බුලත්, ඉඟුරු, සහ සිට‍්‍රනෙල්ලා (පැඟිරි) ආදි භෝග ප‍්‍රධාන වෙනවා.

වර්තමානයේ දී කුළුබඩු/ සුළු අපනයන බෝග සහ අපනයන කෘෂි බෝග ආදී විවිධ නම්වලින් හැඳින්වෙන සමස්ත ක‍්‍රියාවලිය සඳහා නායකත්වය දෙන්නේ 2015 සැප්තැම්බර් මස 21 වැනි දින ආරම්භ කරන ලද දයා ගමගේ මහතා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ‘‘ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය’’ විසිනුයි. (පසුගිය කැබිනට් මණ්ඩලය සංශෝධනය සමග මෙය, ප‍්‍රථමික කර්මාන්ත හා සමාජ සුභසාධන අමාත්‍යාංශය බවට පත් වුණා)

රජයේ සංවර්ධන අරමුණුවලට ගැළපෙන ආකාරයට අමාත්‍යාංශයේ දැක්ම සකස් වෙලා තිබෙනවා‘‘අගය එකතු කළ ප‍්‍රාථමික කර්මාන්ත නිෂ්පාදන අපනයනයෙන් ජයගත් ගෝලීය වෙළෙඳපොළක් ’’ එහි දැක්මයි.

අමාත්‍යාංශයේ මෙහෙවර වන්නේ ‘‘ ශ‍්‍රී ලාංකීය ප‍්‍රාථමික කර්මාන්ත නිෂ්පාදන ඵලදායීතාවය ඉහළ නැංවීම හා අගය එකතු කළ නිෂ්පාදන තුළින් ගෝලීය වෙළෙඳපොළට ප‍්‍රවිෂ්ඨවීම මගින් විදේශ විනිමය ඉපයීම් ඉහළ නැංවීම සහ ක්ෂේත‍්‍රය තුළ නියුතු සියලූ පාර්ශ්වයන්ට යහපත් තිරසාර ජීවන පැවැත්මක් තහවුරු කිරීම උදෙසා අවශ්‍ය ප‍්‍රතිපත්ති, සැලසුම්, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම හා ක‍්‍රියාත්මක කිරීමයි. ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ආයතන අතර ‘‘අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට’’ සුවිශේෂ කාර්ය භාරයක් පැවරී තිබෙනවා. වර්තමානයේදී එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා කටයුතු කරනවා.

ශ‍්‍රී ලංකාවේ කුළු බඩු ඇතුළු අපනයන කෘෂි බෝගවලට පවතින ජාත්‍යන්තර කීර්තියත්, අඛණ්ඩව පුළුල් වෙන ගෝලීය වෙළෙඳ පොළත් ජය ගැනීම සඳහා වන තිරසර සැලසුම් ප‍්‍රථමික කර්මාන්ත අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන විසින් මේ වන විට ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය 2015 - 17 තෙවසර තුළ මෙම ක්ෂේත‍්‍රය කෑපී පෙනෙන ප‍්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

2014 දී ශ‍්‍රී ලංකා විසින් අපනයනය කළ මුළු සුළු අපනයන බෝග ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් 119,081ක් වූ අතර 2015දී එය මෙට්‍රික් ටොන් 133,147 දක්වා වේගවත් වර්ධනක් අත්පත් කර ගත්තා. එය 2016 දී 139,377 දක්වා තව දුරටත් වර්ධන වූ අතර 2017 දී එහි පසුබෑමක් වාර්තා වුණා. 2017 වසරේ දී මුළු අපනයනය මෙට්‍රික් ටොන් 131,189 දක්වා පහළ වැටීමක් වාර්තා වුණ. වසර පුරා පැවැති අයහපත් කාලගුණ තත්ත්වයන් මේ සඳහා ප‍්‍රමුඛ හේතුව වූ බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය කාලය තුළ අත්පත් කර ගත් වර්ධනයේ තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ 2014ට සාපේක්ෂව කුරුඳු සහ ගම්මිරිස් අපනයනය තුළ සිදු වූ වේගවත් වර්ධනයයි. 2014 දී කුරුඳු අපනයනය මෙට්‍රික් ටොන් 17,707ක් වන විට එය 2017දී මෙට්‍රික් ටොන් 22,341 දක්වා වර්ධනය වුණා. ඒ අනුව 2017 ශ‍්‍රී ලංකාව කුරඳු වැඩිම ප‍්‍රමාණයක් අපනයනය කළ වසර බවට පත් වෙනවා. ගම්මිරිස් අපනයනය සම්බන්ධයෙන් ද 2017 වසර සුවිශේෂ ප‍්‍රගතියක් අත්පත් කර ගත්තා. ගම්මිරිස් අපනයනය 2014දී මෙට්‍රික් ටොන් 18,660 සිට 2017දී මෙට්‍රික් ටොන් 29,546 දක්වාත් කැපී පෙනෙන ආකාරයෙන් වර්ධන වී තිබෙනවා. මේ සමග කරාබුනැටි අපනයනය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. 2014 දී මෙට්‍රික් ටොන් 3225ක් වූ කරාබුනැටි අපනයනය 2017 දී මෙට්‍රික් ටොන් 6428ක් දක්වා කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙනවා.

මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන අතර ක‍්‍රමයෙන් ප‍්‍රමුඛ තත්ත්වයක් කුළුබඩු විසින් අත්පත් කර ගන්නා ආකාරයක් අපට නිරීක්ෂණය කළ හැකියි. උදාහරණයක් ලෙස 2016 දී කෘෂිකාර්මික අපනයන සංයුතිය තුළ 3.1%ක අගයකට හිමිකම් කී කුළුබඩු අපනයනය තවත් වසරක් ගත වන විට 0.5%ක වර්ධනයක් පෙන්වීමට සමත් වෙලා තිබෙනවා. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 89.2ක වර්ධනයක් (සියයට 28.1ක කැපී පෙනෙන වර්ධනයක්) බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන්නේ. 

සුළු අපනයන බෝග වගාව ප‍්‍රමුඛ ප‍්‍රදේශවල ජන හමුවලට යන විපක්ෂයේ නායකයින් විසින් ඉදිරිපත් කරන ප‍්‍රමුඛ චෝදනාවක් වන්නේ, විශේෂයෙන් ගම්මිරිස් වගාකරුවන්ට අවධාරණය කිරීමට තැත් කරන්නේ වත්මන් රජය ගම්මිරිස් ප‍්‍රති අපනයනය කිරීමට ආධාර අනුබල දීම මගින් ගම්මිරිස් වගා කරුවන් විනාශ කර දමා ඇති බවයි.

එහෙත් ලංකාවට පසු ගිය කාලය තුළ ප‍්‍රමුඛ වශයෙන් ප‍්‍රති අපනයනය සඳහා ආනයනය කරනු ලැබූ සුළු අපනයන බෝගවල ප‍්‍රමාණය දෙස අවධානය යොමු කරන විට පෙනී යන්නේ විපක්ෂයේ චෝදනා ‘හුදු අවස්ථාවාදී ඒවා පමණක්’ වන බවයි.

ශ‍්‍රී ලංකා රේගු වාර්තාවන්ට අනුව අද මහත් අර්බුදයක් සේ මවාපාන ගම්මිරිස් ප‍්‍රතිඅපනයන දත්ත පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ 2015 වසරේදී ගම්මිරිස් ආනයනය කර ඇත්තේ රුපියල් මිලියන 68.9 ක් වටිනාකමින් යුත් ගම්මිරිස් මෙට්‍රික් ටොන් 79.6ක් පමණක් බවයි. එහෙත් 2015 වර්ෂයේදී රුපියල් මිලියන 19,542.5ක වටිනාකමින් යුතු ගම්මිරිස් මෙට්‍රික් ටොන් 16, 656.6ක් අපනයනය කිරීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

එහෙත් වියළි කාලගුණය සහ නියං තත්ත්වය හේතුවෙන් 2016, 17 සහ 2018 යන වර්ෂවල ගම්මිරිස් නිෂ්පාදනය පහත වැටුුණ අතර ඊට සමගාමීව අපනයනය ද අඩුවීමක් වාර්තා වුණා. ඒ අනුව 2018 වර්ෂයේදී ලංකාවට අපනයනය කිරීමට හැකි වුණේ රුපියල් මිලියන 12,074.0ක වටිනාකමින් යුතු ගම්මිරිස් මෙට්‍රික් ටොන් 13,118.1ක් පමණයි.

අද විපක්ෂයේ රස ගොදුරක් වී ඇති ගම්මිරිස් ආනයනය දත්ත විමසන විට පැහැදිලිව පෙනී යන්නේ ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනය අඩු වූ වර්ෂවල එහි සැලකිය යුතු වර්ධනයක් තිබූ බවයි. ඒ අනුව 2016 දී මෙට්‍රික් ටොන් 599ක් ද 2017 දී ගම්මිරිස් මෙට්‍රික් ටොන්1398.1ක් ද, 2018 දී මෙට්‍රික් ටොන් 3179ක් ද ආනයනය කර ඇති බව ශ‍්‍රී ලංකා රේගුව සදහන් කරනවා.

2018 දී මෙතරම් ගම්මිරිස් ප‍්‍රමාණයක් ප‍්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කළේ කුමන පදනමින් දැයි අප කළ විමසීමට පිළිතුරු දුන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ ‘ගම්මිරිස් මිල වැඩි වීම සමග ආනයනය විශාල වශයෙන් වැඩි වූ බවයි’ එහෙත් මේ සම්බන්ධයෙන් අධිකරණමය ක‍්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළා.

ආනයනික ගම්මිරිස් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම හේතුවෙන් දේශීය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට බලපා ඇති ගැටළු විසදීම පිණිස අපනයන සැකසීම සඳහා තාවකාලිකව ආනයනය කිරීම නතර කිරීම සඳහා අන්තරාල වෙළදාම සහ වාණිජ කේන්ද්‍රස්ථාන මෙහෙයුම් යනාදී ක්‍රම මගින් ශ්‍රී ලංකාව වෙත ගම්මිරිස් ආනයනය කිරීම අත්හිටුවීමටත් ශ්‍රී ලංකාවෙන් ප්‍රති නැව්ගත කෙරෙන එම කුළු බඩු ශ්‍රී ලාංකීය නිෂ්පාදන ලෙස වාර්තා වීම වැලැක්වීමට අවශ්‍ය ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමටත්, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කල යෝජනාව සඳහා  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව කළු ගම්මිරිස්, පුවක්,සාදික්කා වසාවාසි හා කුරුඳු ප්‍රති අපනයනය සදහා මෙරටට ආනයනය නැවැත්වීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 

මේ අනුව අපට පැහැදිලිව පෙනී යන්නේ ආනයනික ගම්මිරිස් මගින් දේශීය ගම්මිරිස් වගාකරුවන්ට සිදු වූ ඍණාත්මක බලපෑමට එරෙහිව රජය විසින් මේ වන විටත් විධිමත් ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවයි. ඒ අනුව මෙම වර්ෂයේ සැප්තැම්බර් වන විට ගම්මිරිස් ආනයනය මෙට්‍රික් ටොන් 150.52 දක්වා පහත බැස තිබෙනවා.

මේ සමග අපට නිරීක්ෂණය කළ හැකි වන්නේ විපක්ෂය කියන ආකාරයේ ‘දැවැන්ත ආනයනයක්’ සුළුඅපනයන බෝග ක්ෂේත‍්‍රය තුළ ‘සත්‍ය’ වශයෙන් සිදුවන්නේ ද නැති බවයි.

මාධ්‍ය මෙහෙයුම කළ හදිය

‘එකම බොරුව සියවරක් කියන්න - ජනතාව එය සත්‍ය යැයි පිළිගනු ඇත’ යන සුප‍්‍රකට ගොබෙල්ස් න්‍යාය අනුව පසුගිය කාලය පුරාම කටයුතු කරන වත්මන් විපක්ෂය ‘එක් වසරක් / 2018 සිදුවූ ගම්මිරිස් ආනනයක්' පදනම් කරගෙන රජය විසින් සුළු අපනයන බෝග වගාවේ උන්නතිය කෙරේ සිදුකළ සියලූ සංවර්ධන වැඩසටහන් සහ ප‍්‍රතිපත්ති සම්පාදනයන් ‘වසං කර’ හෝ ‘මස්ත බාල්දු’ කර තිබෙනවා. ඒ නිසා අපනයන කෘෂිකර්මයේ උනන්තිය වෙනුවෙන් පසුගිය 2015-19 කාලය තුළ ක‍්‍රියාත්මක කළ තිරසර වැඩසටහන් පහතින් දැක්වීමට අප පියවර ගත්තා.

කුළුබඩුවලින් ලෝකය ජය ගන්නා සංග‍්‍රාමයට පසුබිම සකසන ව්‍යාපෘති

01. ධනසවිය ( අපනයන කෘෂි බෝග පදනම් වූ ගෙවතු වගා වැඩසටහන) මෙම වැඩ සටහන ආරම්භ කරන ලද්දේ අපනයන කෘෂිකාර්මික බෝග ප්‍රමුඛ වූ ගෙවතු ස්ථාපනය කිරීම සඳහා කාන්තාවන්ට සහය දැක්වීම මඟින් ඔවුන්ගේ ආර්ථිකය ඉහළ නැංවීම උදෙසා යි. මෙහි ඉලක්කය වූයේ කාන්තාවන්ගේ ක්‍රියාශීලී සහභාගීත්වයෙන් පොකුරු ගම්මාන ප්‍රවේශයක් තුලින් කුඩා පරිමාණ අපනයන කෘෂි බෝග අංශයේ සමස්ථ වර්ධනයකි. අපනයන කෘෂීබෝග මත පදනම් වූ ගෙවතු වගා නිෂ්පාදනය ජාතික ආර්ථිකයට දායක වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම "ධනසවිය" වැඩසටහන 2016 වර්ෂයේ දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබුවේ ගෙවතු 50,000ක් ඇති කිරීම ඉලක්ක කරගෙනයි. 2017 වර්ෂයේ දී ගෙවතු 140,904 ක් ද  2018 වර්ෂයේ දී ගෙවතු 121,302 ක් ද  ඉලක්ක ගත කර ගැනුණු අතර ගෙවතු 125,910 ක් සාර්ථකව සම්පූර්ණ කළා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරින් සහ සංවර්ධන නිලධාරින් විසින් මෙම ඉලක්කය සාර්ථකව සම්පූර්ණ කරගෙන තිබෙනවා.

02.බෝග අගය එකතු කිරීමේ වැඩසටහන : අපනයන කෘෂිබෝගයන්ට අගය එකතු කිරීම තුළින් විදේශ ආදායම ඉහළ නැංවීම සහ නව වෙළෙඳ පොළ සොයාගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.

03.‘‘ගෝලීය ගෙවත්ත’’ තේමා කරගත් කෘෂිකාර්මික සංවර්ධන අධි කලාප 23ක් පිහිටුවීම - අපනයනාභිමුඛ නව කෘෂි නිෂ්පාදන හා සේවා ව්‍යාපාර ආරම්භ කිරීමට සහ දැනටමත් පවත්නා ව්‍යාපාර පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන ව්‍යවසායකියින් හා ආයෝජකයින්  දිරි ගැන්වීම සඳහා අවශ්‍ය භෞතික හා ආර්ථික යටිතල පහසුකම් ඇති කරමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් සුහද ශීලීව සම්බන්ධ කෙරෙන සුවිශේෂී වූ කාලපයන් ලෙස මෙම සංවර්ධිත අධි කලාප හැඳින්විය හැකියි.

04. අපනයන කෘෂි බෝග ක්ෂේත‍්‍රයේ නියැලී සිටින නිෂ්පාදකයින්, සැපයුම්කරුවන් හා ආයෝජකයින් ඇතුළු පාර්ශ්වකරුවන් සඳහා එකම වහළයක් යටින් සියලූ පහසකුම් සැලසීම පිණිස සේවා පියසක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීම.

05.අපනයන කෘෂි බෝග ඵලදායීතාවය වැඩි කිරීම හා එමගින් ඉහළ අපනයන ආදායමක් ලබා ගැනීම සඳහා අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 45.8ක පර්ෂණ ව්‍යාපෘතියක් දියත් කළා. වැඩි අස්වැන්නක් සහිත වැඩි දියුණු කළ ප‍්‍රභේද බිහි කිරීම, අසු අස්වනු තාක්ෂණික අංශයේ නව නිපැයුම්, නව වගා ක‍්‍රම හා අස්වනු නෙළීමේ ක‍්‍රම, රෝග පළිබෝධ මර්ධනය හා මර්ධන ක‍්‍රම, අස්වනු කල් තබා ගැනීමේ ක‍්‍රම යනාදිය මෙම පර්යේෂණයන්හි ප‍්‍රතිඵල වශයෙන් දැක්විය හැකියි.

06.නව වගාවන් සඳහා ගොවීන් උනන්දු කරවීමටත්, දැනට අපනයන වගාවන්හි නිරත ගොවීන්ගේ දැනුම වර්ධනය කිරීමට හා ඔවුන්ගේ වගාවන් හි ඵලදායීතාවය වැඩි දියුණු කිරීමටත් ‘‘සංවර්ධන සහයක වැඩ සටහන’’ දියත් කළා. 2015 ජනවාරි සිට 2016 ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා දියත් කළ මෙම වැඩ සටහන සඳහා රුපියල් මිලියන 560ක් ආයෝජනය කළා. මෙමගින් ප‍්‍රතිලාභීන් 50,000කට සෙත සැලසුණා.

07. අපනයන කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයෙහි නියැලෙන වගාකරුවන් දිරිගැන්වීම.

08. දේශීය කුළුබඩු වර්ග සහ ආයුර්වේද ඖෂධ වර්ග, ඖෂධ පැළෑටි සඳහා විදේශීය වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීම.

09.ගෝලීය වෙළෙඳපොළ වෙත තරඟකාරීව අගය එකතු කළ ශ‍්‍රී ලංකාකේය නිෂ්පාදන අපනයනය.

10.අපනයන ක‍්‍රියාවලිය හා බැඳුණු අපනයන සැකසුම් කලාප පිහිටුවීම.

11.අපනයන වෙළෙඳ පොළ තුළ ඉහළ වටිනාකමක් ඇති ‘‘ටෙමි ජර්සි’’ වර්ගයේ අඹ වගා ව්‍යාපෘතිය (අම්පාර දිස්ත‍්‍රික්කය)

12.අක්කර 25,000ක අන්නාසි වගා ව්‍යාපෘතිය.

13.ඇපල් දෙණිය බුලත් අලෙවි මධ්‍යස්ථානය බහු භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයක් ලෙස ප‍්‍රතිසංවිධානය කිරීම.

14.අමු ද්‍රව්‍ය ලෙස හෝ අගය එකතු කළ නිෂ්පාදන ලෙස හෝ කුළුබඩු අපනයනයේ ජීවානුහරණය කළ කුළුබඩු සඳහා ඇති ඉහළ ඉල්ලුම සපුරා ලීම සඳහා වී.එච්.ටී. තාක්ෂණය යටතේ ජීවානු හරණය කළ කුළු බඩු අපනයනයට අවස්ථාව සලසා දීම.

15. කෘෂි කාර්මික නවීකරණ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ආධාර මඟින් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නවීකරණ ව්‍යාපත්‍තිය ආරම්භ කිරීම.

16.සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි අපනයන ගම්මාන 5000ක් ඉදිකිරීමට පියවර ගැනීම. ඒ ඒ ප්‍රදේශවලට ආවේණික අඹ,කටු අනෝදා සහ ඖෂධ පැළ හා වෙනත් කෘෂි බෝග මේ යටතේ වගා කිරීමට සැලසුම් කර තිබෙනවා.

17.අපනයන කෘෂිකාර්මික බෝග පැළ දස කෝටියක් රට පුරා ජනතාව අතර බෙදා හැරීම.

තම දශක පාලනය තුළ ‘කරුංකා’ පුවක් ආනයනය කරමින් මහත් ආන්දෝලනයක් ඇති කළ, කුණු ආනයනය කර ප‍්‍රතිඅපනයට පවා නීති සම්පාදනය කළ වත්මන් විපක්ෂයේ සිටින එවකට පාලකයින් ‘ප‍්‍රතිඅපනයනය’ දඩමීමා කරගෙන කරන මේ අවස්ථාවාදී දේශපාලනය ගැන නිරවුල් සහ හෘදසාක්ෂියට එකඟව සලකා බැලීමට ලක්ෂ සංඛ්‍යාත සුළු අපනයන බෝග වගාකරුවන්ට හැකියාව තිබෙන බව අපගේ විශ්වාසයයි.

අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබා දුන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ස්තුතිය හිමිවේ.


 

Advertiesment