Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


සියලු මාධ්‍ය යට ගැසූ රටක් සුවපත් කළ පස් වසරක මෙහෙයුම මෙන්න


2019-11-08 1624

 

"නීරෝගීකම උතුම්ම ලාභය යි"

 

"සතුට උතුම්ම ධනය යි"

 

"විශ්වාසය උතුම්ම ඥාතියා යි"

 

"නිර්වාණය උතුම්ම සුවය යි"

 

(ඉන්ද්‍රජිත් හේවාවිතාරණ)

බෞද්ධයින්ගේ අත්පොතක් වන් ‘ධම්ම පදයේ’ සඳහන් ඉහත ගාථා රත්නය මගින් කියන්නේ ‘නීරෝගීකම තරම් උතුම් ධනයක් ලාභයක් මිනිසාට නැති බවයි. මේ අදහස ලංකාවේ බොහෝ දෙනෙක්ගේ ‘ආධ්‍යාත්මය’ තුළ පැළපදියම් වී තිබෙනවා.

ඒ සමග අපේ ගම්වල ‘රජෙක් වුණත් මොකටද ලෙඩෙක් වුණොත්’ කියලත් කියනවා. එයින් ද අදහස් වුණේ මොන තරම් සැප සම්පත්, ධනය බලය තිබුණත් ‘නීරෝගීකම’ නැතිනම් එයින් අත්වන ප‍්‍රයෝජනයක් නැති බවයි.

නීරෝගීකම කොතරම් උතුම් ලාභයක් වුණත් එය අත්පත්කර ගැනීම අප සිතන තරම් පහසු නැහැ. ඒක පුද්ගලිකවත් සමාජයක් ලෙසත් පොදුවේ රටක් ලෙසත් ‘අභියෝගාත්මක’ තත්ත්වයක්. මේ නිසා ලෝකයේ බහුතරයක් රටවල් පුරවැසියන්ගේ නීරෝගිකම ‘රාජ්‍ය වගකීමක්’ බවට පත්කර ගෙන තිබෙනවා. එය ලංකාවටත් පොදුයි. ඒත් හුදු වගකීමකින් පමණක් ‘රටක් සුවපත් කිරීම’ කළ නොහැකි බව අපට පරණ අත්දැකීම්වලින් වටහා ගන්න පුළුවන්. ඒ රටක් සුවපත් කිරීම යනු හුදු වගකීම ඉක්මවා ගිය ‘වගවීමක්’ ද වන නිසයි.

මේ තත්ත්වය තුළ වගකීම හා වගවීම සමග මනාව බද්ධ වුණ ‘දැයක් සුවපත් කිරීමේ’ ප‍්‍රශස්ත මෙන්ම තිරසර සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් හා වැඩ පිළිවෙළක් පසුගිය 2015 ජනවාරි සිට මේ දක්වා අඛණ්ඩව සිදු වෙමින් තිබෙනවා.

මූලික දත්ත විමසුමක්

යම් කිසි ක්ෂේත‍්‍රයක සිදු වූ වර්ධනයන් හා ප‍්‍රවණතා හඳුනා ගැනීමේදී ‘දත්ත / සංඛ්‍යා ලේඛන විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරනවා. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය ක‍්‍රියාවලිය තුළ පසු ගිය 2015 සිට මේ දක්වා සිදු වූ ප‍්‍රවණතා සහ සංවර්ධනයත් ප‍්‍රථමයෙන් හඳුනා ගත යුතුයි.

ඉහත වගු සටහන අනුව අපට මහින්ද රාජපක්ෂ යුගයේ අවසාන වර්ෂය වන 2014 සිට වත්මන් ආණ්ඩුවේ තෙවසරක පාලනය වශයෙන් සැලකිය හැකි 2018 දක්වා යුගය තුළ ශ‍්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ භෞතික හා මානව සම්පත් අංශය පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගත හැකියි.

එහිදී ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ සිදුව ඇති (2018 දක්වා) භෞතික සංවර්ධනයන් සැලකීමේදී රජයේ රෝහල් සංඛ්‍යාව 2014 වර්ෂයේ දී 601 සිට 2018 වන විට 613 දක්වා වර්ධනය වී තිබෙන ආකාරයක් හඳුනාගත හැකියි. ඒ සමග සටහන් කළ යුත්තේ පසුගිය දා විවෘත කළ හම්බන්තොට දිසා රෝහල ද ඇතුළත් වන්නේ නම් තත්ත්වය තව දුරටත් සංවර්ධනාත්මක වන බවයි. ඒ අනුව ඉතා පැහැදිලිව මහින්ද රාජපක්ෂ යුගයට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය රෝහල් පද්ධතියට අලුතින් රෝහල් 12ක් එක්වී තිබෙනවා.

මෙහිදී රජයේ රෝහල් සංඛ්‍යාවේ ඉහළ යාමට සමගාමීම රෝහල් ඇඳන් සංඛ්‍යාව ඉහළ යා යුතුව තිබූ නමුත් 2014 දී 76,918ක්ව පැවති රෝහල් ඇඳන් සංඛ්‍යාව 2018 වන විට 76,774 දක්වා සුළු අඩුවීමක් දැකිය හැකියි. මේ සම්බන්ධයෙන් සිය වාර්තාවේ සටහන් තබන ශ‍්‍රී ලංකා මහ බැංකුව කියන්නේ රෝහල් පද්ධතිය තුළ අඛණ්ඩව සිදුවන ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වූ බවයි.

මෙහිදී ග‍්‍රාමීය වශයෙන් සහ සමාජයීය වශයෙන් වැදගත් ‘ප‍්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක ගණන ද 2014 දී 484 සිට 2018 වන විට 506 දක්වා වර්ධනය වී තිබෙනවා.

රජයේ වෛද්‍ය සේවය වේවා, පොදුවේ පොදුජන වෛද්‍ය සේවය වේවා ප‍්‍රශස්ත මට්ටමකින් පවත්වා ගෙන යාමට වෛද්‍යවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය තත්ත්වයක්. රටක ජනගහනයට සාපේක්ෂව සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව සංවර්ධනයේ ප‍්‍රධාන මිනුමක් වශයෙන් සැලකෙනවා.

ශ‍්‍රී ලංකාවේ 2014, මහින්ද රාජපක්ෂ පාලනයේ අවාසන වර්ෂය සහ වත්මන් ආණ්ඩුව ආරම්භය සහ පසුගිය 2018 වසර දක්වා කාලය සලකන විට 2014 දී රජයේ රෝහල් තුළ සේවය කළ වෛද්‍යවරුන් සංඛ්‍යාව 17,903ක් වූ අතර 2018 වන විට එම සංඛ්‍යාව 20,947 දක්වා 3044ක වර්ධනයක් පෙන්වා තිබෙනවා. මේ තත්ත්වය සැලකිය හැකි වන්නේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක වර්ධනයට බලපෑ ප‍්‍රමුඛ සාධකයක් ලෙසයි.

රජයේ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමට සාපේක්ෂව ‘හෙද සේවක’ සංඛ්‍යාව ද 2014 සිට 2019 දක්වා අඛණ්ඩ වර්ධනයක් පෙන්වා තිබෙනවා. ඒ අනුව 2014 දී 31,964ක් වූ හෙද සේවක සංඛ්‍යාව 2018 වන විට 36,165ක් දක්වා 4201කින් වර්ධනය වී තිබෙනවා. ඊට සමගාමීව 2014 දී 8215ක් වූ උපස්ථායක සංඛ්‍යාව 2018 වන විට 9218 දක්වා 1003 දෙනකුගෙන් වර්ධනය වී තිබෙනවා.

රජයේ රෝහල් තුළ සිදු වූ මෙම අඛණ්ඩ සංවර්ධනය (භෞතික හා මානව) රජයේ ආයුර්වේද රෝහල් සම්බන්ධයෙන් ද සිදුව තිබෙන බවක් නිරික්ෂණය කළ හැකියි. ඒ අනුව 2014 දී 22,422ක් වූ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් සංඛ්‍යාව 2018 වන විට 25,431 දක්වා ආයුර්වේද වෛද්‍යවරුන් 3009ක වර්ධනයක් පෙන්වා තිබෙනවා.

ඉහත සඳහන් සියලූ භෞතික හා මානව සංවර්ධන දත්තයන්ගේ අඛණ්ඩ ඉහළ යාම මගින් පැහැදිලිව පෙන්වා දෙන්නේ වත්මන් පාලනය තුළ, විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ වගකීම හා වගවීම මනාව ක‍්‍රියාත්මක වීම තුළ මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවයේ පැහැදිලිව හඳුනාගත හැකි භෞතික හා මානව සංවර්ධනයක් සිදුව ඇති බවයි.

සෞඛ්‍යයට දරන රාජ්‍ය වියදම

කිසියම් රටක අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට දරන රාජ්‍ය වියදම සැලකෙන්නේ ‘ආයෝජනයක්’ ලෙසයි. ඒ මොන තරම් භෞතික සංවර්ධනයක් සිදු වුවත් උගත් - විනය ගරුක පුරවැසියන් සහ නීරෝගී පුරවැසියන් නැතිනම් එම භෞතික සංවර්ධනයෙන් කිසිදු ප‍්‍රයෝජනයක් නොවන නිසයි.

ඉහත සඳහන් කළ ආකාරයට රාජ්‍ය සෞඛ්‍ය සේවය තුළ රෝහල් පද්ධති, වෛද්‍යවරුන්, හෙදියන් සහ උපස්ථායකයින් ආදී වශයෙන් පුළුල් දියුණුවක් අත්පත් කර ගැනීමේදී ඒ සඳහා රජය විසින් දරන්නා වූ පිරිවැය ද සුවිශේෂ වැදගත්කමක් ලැබෙනවා.

2014 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී මෙරට සෞඛ්‍ය වෙනුවෙන් රජයේ මුළු සෞඛ්‍ය වියදම රු. බිලියන 138.4ක් වූ අතර එය 2018 වන විට රුපියල් බිලියන 218.5 දක්වා රුපියල් බිලියන 80.1ක දැවැන්ත වර්ධනයක් පෙන්වා තිබෙනවා. ඒ සමග 2014 දී රුපියල් බිලියන 116.2ක් වූ පුනරාවර්තන වියදම් 2018 වන විට රුපියල් බිලියන 180,6 දක්වා ද ප‍්‍රාග්ධන වියදම 2014 දී රුපියල් බිලියන 22.3 සිට 2018දී රුපියල් බිලියන 37.9 දක්වා ද 50%කට ආසන්න වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා.

ප‍්‍රතිපත්තිමය තීන්දු හා වැඩසටහන්

ඉහතින් සඳහන් කළ සෞඛ්‍ය සේවාවේ භෞතික හා මානව සංවර්ධන වැඩසටහන්වලට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය 2015 සිට මේ දක්වා මෙරට ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාවට අදාළ විවිධාකාර වැඩසටහන් සහ ප‍්‍රතිපත්තිමය තීන්දු සහ වැඩසටහන් 102ක් ක‍්‍රියාත්මක කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය දා නිකුත් කළ වාර්තාවල දැක්වේ. ඒ අනුව,

1. දුම්කොළ භාවිතය අවම කිරීම සඳහා දුම්වැටිවල බදු ප‍්‍රතිශතය 90% කින් ඉහළ නැංවීම. මෙය ලෝකයේ දුම්වැටි සඳහා පන වන ලද ඉහළම බද්ද වෙයි. බදු පැන වීම හේතුවෙන් දුම්වැටි අලෙවිය වසරක දි බිලියනයකින් අඩු වී ඇත.

2. පැණිබිම බෝතල සඳහා වර්ණ සංකේත ක‍්‍රමය හඳුන්වාදීම. රතු කලාපයේ පැණිබිම භාවිතය 10% කින් අඩුවීම. පැණිබිම වර්ගවල සෑම සීනි ග්‍රෑම් 1 කටම සත 50 ක බද්ධයක් අය කිරීම. එම නිසා සීනි රහිත පැණිබිම ප‍්‍රධාන පෙළේ පැණි බිම වර්ග නිෂ්පදනය කරන බහු ජාතික සමාගමක් විසින් නිෂ්පාදනය කිරීම.

3. බෝනොවන රෝග පාලනය කිරිම සඳහා සුවදිවි මධ්‍යස්ථාන 846 ක් සහ සුවනාරි මධ්‍යස්ථාන 906 ක් ස්ථාපිත කිරීම. එමගින් විවිධ රෝග ලක්ෂණ පරික්ෂා කර රෝගීන් රෝහල් කරා යොමු කරනු ලබයි.

4. 2015 ට පෙර රුපියල් ලක්‍ෂ තුනහමාරක් වැයකර රජයේ රෝහල්වලට ඇතුළත් වන හෘද රෝගීන් සඳහා ලබාගැනීමට සිදුවූ ස්ටෙන්ට් එක වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ රජයේ රෝහල්වලදී ලබා දීම. එනිසාවෙන් බොහෝ රෝගීන්ට ජීවත්වීමේ අයිතිය හිමිවීම.

5. වෙළෙඳපොලේ අලෙවි වන ස්ටෙන්ස් මිල අඩු කිරීම. ඒ අනුව 2015 ට පෙර රුපියල් ලක්‍ෂ තුනහමාරකට අලෙවි වූ ලෝහමය ස්ටෙන්ට එකක මිලට රුපියල් එක්ලක්‍ෂ පනස්දහස දක්වා මිල අඩු කරන ලදී. ඒ අනුව වෙළෙඳපොල නියාමනය සිදුවිය.

5. හෘදයාබාධයක් ඇති වූ විගස රෝහලට රැගෙන එන රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා ටෙනෙක්ට ප්ලෙස් නැමැති එන්නත හඳුන්වා දීම. එම එන්නත රෝගීන්ට පැය 02ක් වැනි කාලයක් තුළ ලබාදීමෙන් රෝගියෙකු සුවපත් කිරීමේ හැකියාව ඇත. එක් එන්නතක වෙළෙඳපොළ වටිනාකම රුපියල් පනස්දහසකි.

6. අන්ධභාවයට පත්වෙමින් සිටින ලක්‍ෂ 12ක් ඉන් මුදවා ගැනීම සඳහා අක්‍ෂි කාච ලබා දීම. 2015 ට පෙර රුපියල් 40,000ක් පමණ වැයකර ලබාගැනීමට සිදුවූ මෙම අක්‍ෂි කාච නොමිලේ ලබා දීම නිසා දුප්පත් අසරණ මිනිසුන් බොහෝමයකට ලෝකය දැකිමේ වාසනව උදා වී ඇත.

7. වෙළෙද පොළේ අලෙවි වන අක්ෂි කාච වර්ග 38ක මිල නියාමනය කිරීම. රුපියල් 30,000කට අලෙවි වූ අක්ෂි කාචයක උපරිම මිල රුපියල් 8000 දක්වා නියාමනය කරන ලදී.

8. පිළිකා රෝගීන් සඳහා රුපියල් ලක්ෂ 15ක් දක්වා සීමා කර තිබු ප‍්‍රතිකාර ජීවිතාන්තය දක්වා ලබාදීමට පියවර ගැනීම. මේ වන විට එක් රෝගියෙකුට රුපියල් ලක්ෂ හාරසිය පනහ ඉක්මවා ප‍්‍රතිකාර ලබාගෙන ඇත.

9. සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තියට අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල 2016 වසරේ දී අඩු කිරීම. ඉන් පසු පිළිකා ඖෂධ ඇතුළු අනෙකුත් ඖෂධ 25ක මිල 2018 වසරේ දී අඩු කිරීම. මෙහිදි හෘද රෝග දියවැඩියාව වැනි දෛනිකව වැඩි වශයෙන් භාවිතා කරන ඖෂධ වර්ග වල මිල අඩු විය. මේ නිසා වෙළෙඳ පොළේ් විවිධ ඖෂධ නාමවලින් අලෙවි වන ඖෂධ වර්ග 1000ක පමණ මිල අඩු වී ඇත. මේ වන විට ඖෂධ වර්ග 73ක මිල පාලනය කර ඇති අතර ඉදිරියේ දී තවත් ඖෂධ වර්ග 27ක මිල පාලනය කිරීමට නියමිතව ඇත.

10. රජයේ රෝහල්වලට ලබාගන්නා ඇතැම් ඖෂධ සහ එන්නත් සඳහා ආදේශක හදුන්වාදීම. උදාහරණයක් ලෙස රුපියල් 285000 කට අලෙවි කළ එකම පිළිකා ඖෂධය වෙනුවට තවත් ඖෂධයක් තරගයට ඉදිරිපත් කිරීමෙන් ඉහත ඖෂධයේ මිල රුපියල් 165,000 දක්වා අඩු කිරිම. ඉන් පසු තවත් පිළිකා ඖෂධ දෙකක් හඳුන්වා දීම නිසා එම පිළිකා ඖෂධයේ මිල රුපියල් 48,000 දක්වා මේ වන විට අඩු වී ඇත.

11. පරිගණක මෘදුකාංගයක් හදුන්වා දෙමින් කිසිඳු හිඟයකින් තොරව රෝහල්වලට ඖෂධ ලබාදීම 2015 වසර වන විට දිනපතා ඖෂධ වර්ග 44 - 79 අතර ප‍්‍රමාණයක හිඟයක් පැවැති අතර, නව මෘදුකාංගය හදුන්වා දීමෙන් පසු ඖෂධ හිඟය අවසන් විය.

12. රජයේ රෝහල්වල සිදු කරන රුධිර පරික්ෂණ නොමිලේ සිදු කිරීම සහ රජයේ රෝහල්වලට පැමිණෙන රෝගින් පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂණ සිදු කර ගැනීම තහනම් කිරිම. ඒ සඳහා රුපියල් බිලියන 2.6ක් වැය කරමින් අවශ්‍ය ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර රසායනාගාර සේවා ඇති සියලූම රෝහල් වලට ලබා දීම. මෙම උපකරණය මගින් තත්පර 30කදී රෝග පරීක්‍ෂණ වාර්තා 16ක් ලබාගත හැකිය.

13. 2015 වනවිට හදිසි අනතුරු හා හදිසි ප‍්‍රතිකාර ඒකක එකක් පමණක් ද, ළමා රෝහල් එකක් පමණක් ද, පිළිකා රෝහල් එකක් පමණක් ද, මාතෘ රෝහල් 02 ක් ද, ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක විය. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දිවයින පුරා ප‍්‍රධාන රෝහල්වල හදිසි අනතුරු ඒකක සහ හදිසි ප‍්‍රතිකාර ඒකක 24 ඉදිකර ඇත. මාතෘ හා ළමා රෝහල් 12 ක් බැගින් ද පිළිකා රෝහල් 06 ක් ද ස්ථාපිත කිරීම.

14. පළාත් සහ රෝහල් සංවර්ධනය කිරීම සඳහා 2016 වසරේ දී රුපියල් මිලියන 5000ක මුදලක් ලබාදීම. 2017 වසරේ දී සහ 2018 වසරේ දී රුපියල් මිලියන 3000කට අධික මුදලක් ලබාදීම.

15. තැලසිමියා රෝගීන් සඳහා ඇටමිදුළු බද්ධ කිරීමට මහනුවර මහ රෝහලේ මහල් 08කින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කිරීම. එම වාට්ටු සංකීර්ණය ලබන මැයි මාසයේ දී විවෘත කිරීමට නියමිතය. ඉන් පසු අකාලයේ මිය යාමට සිටි දිවයින පුරා සිටින තැලසිමියා දරුවන් 3000 ක ගේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදු කර ජීවිතය ලබාදීම.

16. රුධිරගත පිළිකා රෝගීන් සඳහා ඇටමිදුලූ බද්ධ කිරීමේ සැත්කම් මහරගම අපේක්ෂා රෝහලේ, ළමා රෝහලේ සහ මහනුවර මහ රෝහල තුල ආරම්භ කිරීම. දැනට ස්වයං ඇටමිදුලූ බද්ධ කිරීම් 52 ක් සිදු කර ඇත. ඉදිරියේ දී දායක ඇටමිදුලූ බද්ධ කිරීම ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම. මෙමගින් මෙම සියලු රෝගීන්ට ජීවිත දානය ලැබී ඇත.

17. පෞද්ගලික රෝහල් නියාමනය කිරීම. රෝගී පරීක්‍ෂාව සඳහා අයකරන ගාස්තුව උපරිමය රු. 2000 දක්වා සීමා කිරීම. රෝගියෙකු විනාඩි 10 ක කාලයක් වෛද්‍යවරයා විසින් පරීක්‍ෂණයට ලක් කිරීම. කිසියම් සැත්කමක් කිරිමෙන් පසු අදාල වෛද්‍යවරයා පැයක කාලයක් රෝගියා සමීපයේ සිටීම. පෞද්ගලික රෝහල්වල විවිධ පරීක්‍ෂණ ගාස්තු 53 ක මිල ඉදිරියේදී නියාමනය කීරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සැලසුම් කර ඇත.

18. වසර 2020 වනවිට සියලුම ශ‍්‍රී ලංකිකයින්ට ඊ-හෙල්ත් කාඞ්පතක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සියලූ පියවර ගෙන ඇත. කිසියම් රෝගියෙකුගේ සියලූම රෝග වාර්තා ඊ-හෙල්ත් කාඞ් පතට ඇතුළත් කර ඇත.

19. මෙතෙක් භාවිතා කළ උපකරණ යොදා සැකසූ ජපන් වැන් රථ වෙනවුට අති නවීණ ගිලන් රථ ලෙස ජර්මනියේ නිෂ්පාදනය කරනු ලබන ගිලන් රථ 350 ක් කැබ් රථ 150 ක් ලබාගැනීමට කටයුතු කිරීම. ඒ අනුව ෆෝර්ඩි වර්ගයේ සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ මේ වන විට විටත් රෝහල්වලට ලබා දී ඇත.

20. විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සඳහා අර්ධ සුඛෝපභෝගී නිල නිවාස 1500 ක් ඉදිකිරීම සඳහා කටයුතු කිරීම. ඒ විදේශීය ආයෝජනයක් මතයි. ඉන් පසු හෙද හෙදියන් සහ අනෙක් කාර්ය මණ්ඩල සඳහා ද නිල නිවාස ඉදිකිරීමට නියමිතය.

21. රුපියල් මිලියන 5000 ක ප‍්‍රංශ ආධාර යටතේ ද සොයිසා කාන්තා රෝහලේ නව ජන්ම ළදරු ඒකකය සංවර්ධන කටයුතු අවසන් කර ජනතා අයිතියට පත් කිරීම.

22. ලංකාවේ දෙවැනි ජාතික රෝහල බවට මහනුවර ශික්ෂණ රෝහල පත් කිරීම.

මේ වත්මන් රජය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ භූමිය මත ක‍්‍රියාවට නංවා ඵලදායී ලෙස ක‍්‍රියාත්මක කර ඇති සුවසේවා වැඩසටහන්වලින් කිහිපයක් පමණි.

වැඩවර්ජන හා තර්ජන

වත්මන් රජය මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ මේ සියලු සංවර්ධන ව්‍යාපෘති සහ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සිදු කළේ දේශපාලන අතකොළුවක් බවට පත්ව සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අඛණ්ඩව, දීපව්‍යාප්තව ක‍්‍රියාත්මක කළ වැඩවර්ජන, කඩාකල්පල් කිරීම් සහ සහයෝගය ලබානොදීම් සමග බව ද අප සිහියට නගා ගත යුතුය.

මේ අනුව අපට පෙනී යන්නේ දේශපාලන අතකොළුවල අඛණ්ඩව තර්ජන - ගර්ජන හමුවේ වගකීම හා වගවීම ඉටු කරමින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තිරසර සංවර්ධනයක් අත්පත් කර ගැනීමට පසුගිය 2015-2019 කාලය තුළ හැකියාව ලැබුණු බවයි.

 

 

Advertiesment