Monday 9th of December 2019

English Tamil
Advertiesment


වංශේ කුල බේදේ නී ලොවේ, නොම වේ බමුණා හෝ වසලයා


2019-11-08 1215

අපි විසි එක් වන සියවසේ ජීවත් වුවත් තවමත් ජාතිය, ආගම, වර්ණය සහ කුලය වැනි සාධක පදනම් කරගෙන මිනිසුන්ව කොන් කිරීමටත් වෙන් කිරීමටත් හෑල්ලූ කිරීමටත් පුරුදු වී ඇත. ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, දකුණු අප‍්‍රිකාව වැනි රටවල ඉතිහාසය ඉහත කී අසාධාරණකම්වලින් පිරී ඉතිරී ගොස් තිබුණු අතර අද වන විටත් ඒවායේ අඳුරු සෙවනැලි අඩු වැඩි ලෙස ඒ ඒ රටවල ආර්ථික, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපනික,සමාජයීය සහ ආගමික කටයුතුවල දී බලපෑම් ඇති කරන ආකාරයක් ලෝක දේ්ශපාලනික ප්‍රවණතාවන් කෙරෙහි විචාර ශීලී ලෙස අවධානය යොමුකරන විට පෙනී යයි. නමුත් ඇතැම් රාජ්‍යයන් ඒවායින් යම්තාක් දුරට අත්මිඳී යම් ප‍්‍රගතිශීලි මාවතකට පැමිණ ඇති බවක් පෙනෙන්නට ඇත. නමුත් ඉන්දියාව වැනි පෙරදිග රාජ්‍යයක කුලය යන්න තවමත් ආර්ථික හා දේශපාලනික ක්‍ෂේත‍්‍රයන්හි තීරණාත්මක බලවේගයක් බවට පත්ව ඇත. ඉන්දියාව තුළ කුලභේදය ක‍්‍රියාත්මක වන්නේ හින්දු දහමේ ද ආශිර්වාදය යටතේ ය. මෙහි බලපෑම ශ‍්‍රී ලංකාවටත් එලෙසින් ම බලපා ඇත. මෙයට ප‍්‍රධාන හේතුව නම් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව බුදුදහම තුළ හින්දුු දහම ක‍්‍රියාත්මක වීමත් පසුව හින්දුකරණයට ලක් වූ බුදුදහම ශ‍්‍රී ලංකාවට සම්ප‍්‍රාප්ත වීමත්ය. මෙය ඉතා සරලව කියන්නේ නම් කුලය වැනි හින්දු ඉගැන්වීම් ශ‍්‍රී ලාංකේය බුදුසමයේ ප‍්‍රධාන ඉගැන්වීම් බවට කාලානුරූපිව පත් වූ බවයි.

ගෞතම බුදුන් වහන්සේ පහළ වන්නේ සමාජ අසාධාරණයෙන් පිරී තිබූ, මානව අයිතිවාසිකම් සමානව විභජනය නොවූ සමාජ ක‍්‍රමයක් පැවති අඳුරු කාල පරිච්ඡේදයක් තුළය. මේ කාලය තුල වරප‍්‍රසාද ලත් සුලු පිරිසක් විසින් බහුතරයක් වූ පීඩිත පාන්තිකයන් ඉතා නිර්දය ලෙස සූරා කමින් දිළින්දන්ගේ ශ‍්‍රමය මත යැපෙමින් සුඛෝපභෝගී ජීවිත ගත කළහ. බුදුන් වහන්සේගේ යථාර්ථවාදී ඉගැන්වීම හමුවේ බ‍්‍රාහ්මණාධිපත්‍ය විසින් ගොඩනගා තිබූ විසම සමාජ ක‍්‍රමය දෙදරා යන්නට විය. දැඩි අභියෝගයට මෙන්ම දෝෂ දර්ශනයට ලක් විය. මේ සමාජ ක‍්‍රමය යටතේ පැන නැගී පැවති, උපතින්ම කුලගෝත‍්‍ර අනුව දායාද කර ගන්නා උරුමයන් ලෙස සැලකූ වර්ගවාදය, ගෝත‍්‍රවාදය, ජාතිවාය සහ ආගම්වාදය සහමුලින් ම ප‍්‍රතික්‍ෂේප කළහ. මනුෂ්‍යත්වය පිළිබඳ පුනර් අර්ථකථනයක ගෞතමයාණෝ යෙදුණහ. බුදුසමය සමාජ විමුක්තිය සහ පුද්ගල විමුක්තිය වළකන සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සහ ආගමික නිවාරණයන් ගැන පෙර නොවූ විරූ ප‍්‍රබුද්ධ අර්ථකථන රාශියක් ඉදිරිපත් කොට ඇත. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ අභිනිෂ්ක‍්‍රමණය සමස්ත මානව ප‍්‍රජාවගේ විමුක්තිය උදෙසාය. මානව විමුක්තිය පිළිබඳ උන්වහන්සේගේ ඉගැන්වීම දර්ශනයෙන් සහ චරණයෙන් සමලංකෘත විය.

මානව සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ අදහස් - උදහස් විවිධාකාරය, සිතුම් - පැතුම්, ක‍්‍රියාකාරකම් විවිධාකාරය. නමුත් ජීවවිද්‍යාත්මකව ගත් කල මිනිසා තුළ කිසිදු වර්ගභේදයක් හෝ ජාතිභේදයක් නොමැත. මිනිස් ප‍්‍රජාව වූ කලී ප‍්‍රභේද විරහිත එකම වර්ගයක් බව සනාථ කර ඇත. එනම් මානව වර්ගයා හෝමෝසේපියන් යන එකම ජීවි විශේෂයකට හෙවත් එකම මානවවංශයකට පමණක් අයත් බවයි. නූතන විද්‍යාත්මකවත් බෞද්ධ දාර්ශනිකවත් ඒ අනුව පැහැදිලි වන්නේ මිනිස් පවුල එකම ඒකකයක් බවයි. ලෝකයේ සියලූ මිනිසුන් මිනිස් නමැති එකම කුලයකට අයත් වන බවයි. මානව විමුක්තියෙහිලා ප‍්‍රමුඛ සාධකයක් ලෙස බුදුසමය පුද්ගල ඒකත්වය පිළිගනී. පුද්ගලයා පිළිබද ඉතා ගැඹුරු ඉගැන්වීමක් බෞද්ධ දර්ශනයේ පැනෙන ස්කන්‍ධ, ධාතු, ආයතන විග‍්‍රහය තුළ දී අපට හමුවේ. පුද්ගල මනසේ ක‍්‍රියාකාරිත්වය පිළිබද බෞද්ධ විග‍්‍රහයට ද මෙහි දී වැදගත් ස්ථානයක් හිමි වේ. මිනිසාගේ උසස් හෝ පහත් බව තීරණය වන්නේ ජාතිය, ආගම හෝ කුලය මත නොව ඔහුගේ හෝ ඇයගේ ක‍්‍රියාකාරකම් මතය. එහිදී තීරණාත්මක සාධකය වන්නේ මනසේ ක‍්‍රියාකාරිත්වයයි.

ජාතිය, කුලය, ආගම, වර්ණය යනාදි සංකල්ප මුල් කරගෙන මානව සමාජය තුළ නොයෙකුත් ගැටළු මානව ඉතිහාසයේ පටන් ම වර්තමානය දක්වාම පැවැත එනු දක්නට ලැබේ. නමුත් ශ‍්‍රී ලංකාව වැනි සමාජයක තවමත් ඉහත සාධක ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, ආගමික කටයුතුවල දී සෘජුව සහ වක‍්‍රව බලපෑම් කෙරේ. නමුත් මිනිස් සමාජයේ විවිධ බෙදීම් නිසා මානව විමුක්තිය උදාකර ගැනීමේ දුෂ්කරතාව පිළිබද දීර්ඝ සාකච්ඡාවක් බුදුසමය තුළ විද්‍යමාන වේ. කෙටියෙන්ම දක්වන්නේ නම් බුදුදහම සියළු ආකාරයේ වර්ගවාද සහ ගෝත‍්‍රවාද ඉවතලමින් මානව සමාජයේ ඒකත්වය අවධාරණය කොට ඇත. ලොව වෙසෙන සෑම මිනිසෙකුට ම සිත දියුණු කොට රහත් බව හෙවත් බුදුදහමේ අවසාන ඉලක්කය නැතහොත් නිවීම සාක්‍ෂාත් කළ හැකි බව බුදුසමය අවධාරණය කර සිටී. එවිට ඒ සැවොම ශ‍්‍රමණ ශාක්‍ය පුත‍්‍ර හෝ රහතන් වහන්සේ යන පොදු නාමයෙන් හැඳින්වෙන අතර සිංහල, දෙමල, මුස්ලිම්, කි‍්‍රස්තියානි, බර්ගර්, මැලේ, ජා, ඉංග‍්‍රීසි, අප‍්‍රිකානු යනාදි කිසිදු සම්මතයකට නොවැටේ. නමුත් සම්මතයෙන් ඔබ්බට යමක් කථා කිරීම හෝ සාකච්ඡා කිරීම දාර්ශනික ස්වරූපයක් ගනී. එවන් දාර්ශනික එළඹුමක් කාලීන අවශ්‍යතාවක් සේ සැලකිය හැකිය. යුගයේ අවශ්‍යතාව ලෙස අප සලකන්නේ සමාජ සම්මුතීන්ගෙන් ඔබ්බට සංස්කෘතික හෝ ආගමික මිනිසා ගමන් කළ යුතු බවයි. මිනිස් චින්තනය යාවත් කාලීන විය යුතුය (න චින්තයන්තො පුරිසො විසේසමධිගච්ඡුති) යන්නයි.

බුදුදහමේ ඉගැන්වෙන විමුක්තිය සැමට පොදුය. සිංහල හෝ දෙමල බෞද්ධයකු ලබන විමුක්තියේත් ඉංග‍්‍රීසි ජාතික බෞද්ධයකු ලබන විමුක්තියේත් කිසිදු වෙනසක් නැත. මජ්ජිමනිකායේ කණ්ණකත්ථල සූත‍්‍රයේදී කොසොල් රජු බුදුන් වහන්සේගෙන් විමසා සිටින්නේ ක්‍ෂති‍්‍රය, බ‍්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යනාදී වර්ණ පවතින බවත් ඔවුන් ලබන විමුක්තියෙහි වෙනසක් පවතී ද ? යනුවෙනි. එහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ නොයෙක් දර වලින් දල්වන ලද ගිනිවල දැල්ලෙහි හෝ පැහැයෙහි හෝ දීප්තියෙහි වෙනසක් නැත්තා සේම ඔවුන් ලබන විමුක්තියෙහි ද කිසිදු වෙනසක් නැති බවයි. සමන්තපාසාදිකා නම් විනය අටුවාවේ දී මෙම කාරණය තවදුරටත් මෙලෙස පැහැදිලි කෙරේ.

මහණෙනි, යම් සේ මහාසමුද්‍රයේ ජලය එකම වූ ලූණු රසයෙන් යුක්ත වන්නේ ද එලෙසම ධර්මය ද එකම විමුක්ති රසයෙන් යුක්ත වන්නේ ය යනුවෙන් පැහැදිලි කරයි (සෙය්‍යථාපි භික්ඛවෙ මහාසමුද්දෝ ඒකරසො ලෝණ රසො. ඒවමේව ඛෝ භික්ඛවෙ අයං ධම්මො ඒකරසො විමුත්තිරසො).

උදානපාලියෙහි උපෝසථ සූත‍්‍රයේ දී මනරම් උපමාවකින් පැහැදිලි කරන්නේ ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන ගංගා යම්සේ මුහුදට වැටී මහාසමුදුර යන නම ලබන්නේ ද එලෙසින් ම නොයෙක් කුල ගෝත‍්‍රවලින් පැමිණ බුදුසමයට එකතු වන්නන් හඳුන්වන්නේ ශාක්‍ය පුත‍්‍ර ශ‍්‍රමණ නාමයෙන් පමණි.

වංශවත් කුලහීන යනාදි කිසිදු භේදයකින් තොරව සසුනට ප‍්‍රවිශ්ට වීමට බුදුන් වහන්වසේ අවසර ලබා දුන්හ. බුදුන් වහන්සේ ස්වකීය ශ‍්‍රාවකයින්ට වදාරා ඇත්තේ කුලවත් - කුලීන, දුප්පත් - පොහොසත් ආදි කිසිදු වෙනසක් නොකොට සඳ එළිය විලසින් සෑම කෙනෙකුටම ධර්ම මාර්ගය පැහැදිලි කරන ලෙසය. උන්වහන්සේ ඇතුළු ශ‍්‍රාවකයෝ කුලවත් - කුලීන, දුප්පත් - පොහොසත් භේද නොසලකා ගෙපිළිවලින් පිණ්ඩපාතයේ වැඩියහ.

මජ්ජිමනිකායේ වාසෙට්ඨ සූත‍්‍රයේ දී පැහැදිලි කරන්නේ වෘක්‍ෂලතා, කුහුඹුවන් දළඹුවන් උරගයින් මසුන් පක්‍ෂීන් සිව්පාවුන් අතර ජීව විද්‍යාත්මකව නොයෙකුත් වෙනස්කම් දක්නට ලැබුණත් මිනිස් සමාජයේ එවන් ජීව විද්‍යාත්මක කිසිදු වෙනස්කමක් දක්නට නැත. මිනිස් සමාජයේ දක්නට ලැබෙන සියළු වර්ගවාද සහ ගෝත‍්‍රවාද මිනිසා විසින් ගොඩ නැගූ සම්මුතීන් (සාමඤ්ඤං) පමණි. සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා කි‍්‍රස්තියානි වේවා බර්ගර්, මැලේ, ජා හෝ බෞද්ධ හෝ අබෞද්ධ වේවා මේ සියල්ලක් ම අප ගොඩ නගා ගත් සංකල්ප හෝ සම්මුතීන් පමණයි. මේ සම්මුතීන් සිියල්ලක් ම මානවවාදය හමුවේ අභියෝගයට ලක් වේ. අප මිනිසුන්ට සැලකිය යුත්තේ එක් එක් ගෝත‍්‍රවාද හෝ වර්ගවාද හෝ කුලවාද හෝ ආගම්වාද නිසා නොව ඒ සියල්ලෝ ම මිනිසුන් ය යන ශ්‍රේෂ්ඨ හැඟීමෙනි. අප මිනිසුන් ලෙස හදවතින් ම බැඳිය යුතුය. එකිනෙකාට ගරු කළ යුතුය. නූතන මානව අයිතිවාසිකම් තුළ ද ප‍්‍රධාන තේමාව වන්නේ සියලූ මිනිසුන් නිදහස්ව උපත ලබා ඇති බවත් ජාති, වංශ, වර්ණ, ස්තී‍්‍ර-පුරුෂභාවය, ආගම් දේශපාලන ආදි භේදයන් පදනම් කරගෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය නොකළයුතු බවත් එකිනෙකාට සහෝදරත්වයෙන් සැලකිය යුතු බවත්ය. එසේ කරන්නේ නම් එය මිනිසත් බවට කරන මහත් නිගාවකි.

එබැවින් අප සමාජය වර්තමානයේ ගමන් කළ යුත්තේ ගෝත‍්‍රවාදය හෝ කුලවාදය හෝ වර්ගවාදය හෝ ආගම්වාදය දෙසට නොව මානවවාදය දෙසටය. එවිට සමාජ, සංස්කෘතික සහ ආගමික ගැටළු හැකිතාක් දුරට විසඳා ගැනීමට පුළුවනි. එබැවින් මිනිස් හදවත මානවවාදයෙන් තෙත් කළ යුතුය. පැරණි ඉන්දියානු පඬිවරයකු පවසන පරිදි උදාර චරිත ඇත්තවුන්ට මුළුමහත් ලෝකයම තම ගෙදර හා සමාන වන්නේමය (උදාර චරිතානාන්තු වසුදෛව කුටුම්බකං). මිනිසා සම්භවය වී ඇත්තේ එකම මානව කුලයක වන අතර එහි උපත මුල් කර ගනිමින් විවිධ බේදීම් නොතිබිය යුතු බව බෞද්ධ දාර්ශනික ස්ථාවරයයි. පුද්ගල වේමත්තතාව පවතින බව බුදුසමය පිළිගනී. නමුත් එය පවතින්නේ මිනිසාගේ භෞතික සහ ආධ්‍යාත්මික සංවර්ධනයේ දියුණුව මත මිස ජාතිභේද, ආගම්භේද, වර්ගභේද හෝ කුලභේද මත නොවේ. වර්තමානය වනවිට පෙනී යන්නේ ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය, කුලවාදය යනාදිය මානසික ව්‍යාධීන් බවට පත්ව ඇති බවයි. ඉහත මනෝ ව්‍යාධීන්ගෙන් මානවයා ගලවා ගැනීමට හැකි සෑම පියවරක්ම ගැනීමට සෑම දෙනාටම නුවණැස පහල වෙත්වා.

(කථිකාචාර්ය මොරගස්වැවේ විජිත හිමි) 
එක්සත් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය.
Advertiesment