Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


වසර 05ක් තුළ රට ණය බරින් මුදා ගන්න අපි සූදානම්-අනුර කුමාර-


2019-11-06 1429

 

"අපේ රටේ ජනයා විදේශවල වැඩිපුර කරන රැකියා මොනවාද? ගෘහ සේවය, කොන්ක්‍රීට් අනන එක"

 

රාජ්‍ය සේවකයින්ට තෘප්තිමත් ව කටයුතු කළ හැකි පසුබිමක් නිර්මාණය කරන බවත්,හජන ආරක්ෂාව හා ජාතික සමගිය ගොඩනඟන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ සඳුදා(05) මහනුවර පැවති ජනතා රැලියකට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

රටක් ගොඩනැගීමට නම් රට ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම සියලු පුරවැසියන්ට රැකවරණය, සුරක්ෂිතභාවය තහවුරු කළ යුතුයි. දරුවන්ට තම අනාගතය ගැන සහතිකයක් තිබෙන්න ඕනැ. තරුණයන්ට සුදුසු රැකියාවක් ලැබිල තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්න, ශක්තිමත්ව ගොඩනංවා ගන්න අවස්ථා තිබිය යුතුයි. වැඩිහිටියන්ට තම මහලු වියේදී ජීවිතය පිළිබඳ සුරක්ෂිතභාවයක් සහිත රටක් සමාජයක් අපි හදන්න ඕනැ. කාන්තාවන්ට අනාරක්ෂිතභාවය වෙනුවට ආරක්ෂිත, සමාජ සාධාරණය ඉටුවන රටක් අපි හදන්න ඕනැ. ආබාධිත පුරවැසියන්ට සාධාරණව සහ අයිතීන් භුක්ති විඳිමින් ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඕනැ. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය ජනතාවට පහසුකම් ලැබෙන විධියට කාර්යක්ෂම සේවා බවට පත්කරන්න ඕනැ. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනැ. අද රාජ්‍ය සේවකයන් සතුටින් නොවෙයි ඉන්නේ. එයාගෙන් වැඩක් කරගන්න යනකෙනාත් සතුටින් නොවෙයි ආපසු එන්නේ. කච්චේරියකට ගියොත්, දිසාපති කාර්යාලයකට ගියොත් ඒ තත්වය දකින්න පුළුවන්. ඒ නිසා රාජ්‍ය අංශයේ සේවය ලබාගන්න මහජනතාව සතුටුත් නැහැ. රාජ්‍ය සේවයේ යෙදෙන කෙනාත් තෘප්තියෙන් නොවෙයි තම රැකියාව කරන්නේ. ඒ නිසා රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනැ. ඒ වගේම මහජන ආරක්ෂාව හා ජාතික සමගිය ගොඩනඟන්න ඕනැ. රටේ ඕනෑම පෙදෙසක සැකෙන් බියෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් රටක් අපි හදන්න ඕනැ.

මිනිසා කියන්නේ පරිසර ලෝකයේ එක සත්ත්වයෙක්. අනෙක් හැම සතෙක්ම ස්වභාව ධර්මයෙන් දී තිබෙන පරිසර සාධක මත ජීවත්වෙනවා. අපි මොකද කරන්නේ. පරිසරය වෙනස් කරමින් ජීවත් වෙනවා. මෙතනදි අද පරිසරයට වෙලා තිබෙන විනාශය අති විශාලයි. ඒ නිසා අපේ රට ඉදිරියට යාමට නම් අපේ රටේ තිරසාර පරිසර වැඩපිළිවෙළක් අපි තහවුරු කළ යුතුයි. මේ කරුණු ඉටුකිරීම තමයි රටක පාලනයක ප්‍රධාන වගකීම.

අපේ රටේ ජනයා විදේශවල වැඩිපුර කරන රැකියා මොනවාද? ගෘහ සේවය, කොන්ක්‍රීට් අනන එක, කොරියාව ගත්තොත් විශාල ප්‍රමාණයක් නිරතවෙලා ඉන්නේ, ඉතාම අනාරක්ෂිත රැකියාවල. එනිසා ලෝකය තුළ අපිට තිබෙන්නේ දුප්පතුන්ගේ රැකියා. මේ හැම අතින්ම අපි දුප්පත්භාවයට පත්වූ රටක්. පාලකයා පොහොසත් වීමේ හේතුව සොයාගෙන ගියොත් මේ රට දුප්පත් වීමේ හේතුව සොයාගන්න පුළුවන්. මේ වේදිකාවට ගොඩවී සිටින කිසිවෙක් මෙතනට ආවේ තමන්ගේ ගිණුම් පොහොසත් කරගන්න නොවෙයි. මේ රට පොහොසත් කරන්න. මේ රට පොහොසත් කළොත් මේ ණය උගුලින් රට ගලවා ගන්න පුළුවන්.

කෙන්යාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් පසුගියදා එහි පාර්ලිමේන්තුවේ කථාවක් කළා. ඔහු එහි ආණ්ඩුවට විවේචනයක් එල්ල කළා. මේ ආණ්ඩුව සීමාවකින් තොරව ණය ගන්නවා. ඒ ගැනීම කොච්චරද කියනවා නම්, ශ්‍රී ලංකාවට සිද්ධ වෙනදේ අපටත් වෙනවා කියලා ඔහු ඒ රටේ පාලකයන්ට අනතුරු අඟවනවා. දැන් ලෝකයේ ණයවලින් අර්බුදයට ගිය රටවල් ගැන කථාකරන විට උදාහරණයට ගන්නේ ශ්‍රී ලංකාව.

අපිට ඕන ක්‍රමානුකූලව අපේ රට ණය උගුලෙන් ගලවා ගන්න සැලැස්මක්. අපි හොඳ පුරෝකථනයක් හදන්න ඕනැ. දැනට තිබෙන ණය ප්‍රමාණය මෙපමණයි. 2020-25 වගේ වෙනකොට මෙන්න අපේ ණය බර හෑල්ලු කරන සැලසුම් කියලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනැ. ඕනම ව්‍යාපාරිකයෙක් ණය උගුලක හිරවෙලා නම්, ඔහුට ඒකෙන් ගොඩ එන්න වෙන්නේ නැවත ණයක් අරගෙන ඵලදායී ව්‍යාපෘතිකට යෙදවීමෙන්. ඒ නිසා අපේ පාලනයක් යටතේත් අපිට ණය ගන්න වෙනවා. ඒක අපි හංගන්නේ නැහැ. අපට අවශ්‍ය ප්‍රාග්ධනයත්, අවශ්‍යවන තාක්ෂණයත් ගෙන්වා ගැනීම වෙනුවෙන් අපි ණය ගන්න සූදානම්. අඩු පොලී අනුපාතයකට ණය ගැනීමේ ආයතන ලෝකයේ තිබෙද්දී අපේ රටේ පාලකයෝ ඇයි වැඩි පොලියට ණය ගන්නේ? හබරණ ඉඳන් කන්තලේට පාර කිලෝමීටර් 48යි. චන්ද්‍රිකාගේ ආණ්ඩුව ණයක් ගත්තා ණය පොලිය 1.5%ක් වගේ. හම්බන්තොට වරාය හදන්න ගත්ත ණයවල පොලිය කීයද? 7%යි. නොරොච්චෝලේ හදන්න 5%යි. අධිවේගී මාර්ගය හදන්න 6% ගත්තා. මේක තමයි බරපතළ කාරණය. අවුරුදු 40කට ණයක් ගත්තොත් ඒ කියන්නේ කෝටි 100ක් ගත්තොත් පොලී අනුපාතය 5% නම් මුළු ණය ප්‍රමාණය කෝටි 300 ඉක්මවනවා. එම අනුපාතය 1%නම් කෝටි 140යි වෙන්නේ. මේ ණය කන්ද ගොඩගැහුණේ අඩු අනුපාතයක පොලියකට ණය ගන්න පුළුවන්කම තිබියදී, අධි පොලියකට ගත්තු නිසා.

වාණිජ වෙළඳපොළෙන් මේ පාලකයෝ ණය ගත්තා. ආධාර, යෝජනා ණය වර්ග දෙන ආයතන ලෝකයේ තිබෙනවා. හැබැයි ඒවායින් ණය ගන්න ගියවිට කොන්දේසි දමනවා. ඒ ණය අරගෙන කරන ව්‍යාපෘතිය ශක්‍යතාවෙන් යුක්ත වෙන්න ඕනැ. යොදන මුදලට අනුව ප්‍රතිලාභ තිබෙන්න ඕනැ. ඒ කොන්දේසියට අනුව ණය ගන්න ගියා නම්, සූරියවැව පිට්ටනිය හදන්න ණය හම්බවෙන්නේ නැහැ. ඇයි? යොදන මුදලට අනුව මැච් නැහැ. එන්නේ නැහැ. ඒ අනුව තමයි මොරගහකන්ද යෝජනා ක්‍රමයටත් ණය නොලැබුනේ. ඒකට මුදල් දැම්මේ ආණ්ඩුව. මොරගහකන්ද ව්‍යාපෘතියට යොදන මුදල අනුව අවුරුද්දට දස වතාවක් ජලය පිරෙන්න ඕනැ. අර කොන්දේසිය අනුව. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ණය දුන්නේ නැහැ. අඩු පොලියට ණය ගන්න පුළුවන් ආයතනවල ඊළඟ කොන්දේසිය නම් ඒ ණය අරගෙන හදන ව්‍යාපෘතිය, කොන්ත්‍රාත් දීමේදී ටෙන්ඩර් පටිපාටි විධිමත්ව අනුගමනය කළ යුතු බවයි. හැබැයි ඒවා රාජපක්ෂලාට රනිල්ලාට අල්ලන්නෙ නැහැ. ඇයි? ඒවා අනුව ණය ගත්තොත් තමන්ගේ ගජමිතුරන්ට කොන්ත්‍රාත් එක දෙන්න විධියක් නැතිවෙනවා. ඊළඟ කොන්දේසිය නම් ඒ ණය අරගෙන කරන ව්‍යාපෘතිය පරිසරයට කොපමණ හානිදායකද කියලා බැලීම. පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවෙන් අසමත් නම්, ණය දෙන්නේ නැහැ. එහෙම ණයක් ගන්න ගියා නම් උමාඔය ව්‍යාපෘතියට ණය ලැබෙන්නේ නැහැ. ඒවාට ණය දෙනවා වාණිජ වෙළඳපොළෙන්.

ඊළඟ කොන්දේසිය නම් ඕනෑම ව්‍යාපෘතියකින් අවතැන් වන ජනතාව යළි ගොඩනඟන, ඒ අයගේ ජිවිත සුරක්ෂිත කිරීම සඳහා දෙන දීමනා, ප්‍රතිලාභ නිසිපරිදි ලබාදීම. අවතැන් වන දරුවන්ට පාසලක් තිබුණා නම් හොඳ පාසලක් සුදුසු තැනකින් ලබාදිය යුතුයි. අවතැන් වූවන්ගේ විනාශ වන නිවාස වෙනුවට සුදුසු නිවාස ලබාදිය යුතුයි. ඔවුන්ට පිරිසිදු පානීය ජලය ලබාදිය යුතුයි. මේ ආදී ලෙස රට හදන්න කවුරු හරි එනවා නම් මෙම කොන්දේසි අපි විසින්ම දාගත යුතු නොවේද? මේ කොන්දේසි රටකට නරකද? ජනතාවට හානිකරද? නැහැ. අපේ පාලනයක් යටතේ ණය ගන්නේ අඩු පොලී අනුපාතය සහිත ආයතනවලින්. ණය අරගෙන අපි එම ණය යොදවන්නේ ඵලදායිතාව සහිත ව්‍යාපෘතිවලට පමණයි. ඒ වගේම ඒ ණයවලට සරිලන වත්කම් හදන්න ඕනැ. හිටපු විගණකාධිපතිවරයා මොකක්ද ළඟකදී කිව්වේ. ආණ්ඩුවේ ණය ටි්‍රලියන 11යි. එකෙන් හදපු වත්කම් ප්‍රමාණය ටි්‍රලියන 1.8යි. අපි අහනවා මේ රටේ පාලකයන්ගෙන් ඔබලා ටි්‍රලියන 11ක ණයක් ගත්තා. කෝ වත්කම්. කෝ ණයවලින් කරපුවා. පෙන්නන්න බැහැ. ඔන්න ප්‍රශ්නය තිබෙන තැන. අපි හිතාගෙන හිටියේ කොමිස් එක 10%යි. කියලා. මේ වාර්තාව ගත්තහම අපිට තේරෙනවා හදලා තියෙන්නේ 10%යි කියලා. කොමිෂන් එක 90%යි. ඔන්න රට ණය බරින් පුරවපු හැටි. ඒ වගේම මේ පාලකයන් ගත් ණයවලින් අවශ්‍ය වත්කම් හැදුණේ නැහැ. පෙරළා වත්කම් නිර්මාණය නොවන ව්‍යාපෘතිවලටත් මුදල් වෙන් කරලා.

කොළඹ ඉඳන් මාතරට රේල්පාර අධිවේගී කරන්න ගියා. ඩොලර් මිලියන 150යි. ඉන්දියානු සමාගමකට දුන්නේ. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 150ක ණයක් ගත්තා. කොටස් වශයෙන් රේල්පාර අධිවේගී කළා. මාතර ඉඳන් ගාල්ලට මුලින් අධිවේගී කළා, කිලෝ මීටර් 38යි. ඒකට ගියා ඩොලර් කෝටි 06ක්. රුපියල් කෝටි 900යි. පොලියත් එක්ක කෝටි 2000ක් පමණ වෙනවා. මේ ව්‍යාපෘතිය පටන් ගන්නවිට ඩලස් තමයි ඇමති වෙලා හිටියේ. වැඬේ ඉවර වෙනකොට ඇමති කුමාර වෙල්ගම. මම දවසක් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ඇහැව්වා. රුහුණු කුමාරි කෝච්චියට ගාල්ලේ ඉඳන් මාතරට රේල් පාර අධිවේගී කරන්න කලින්, යන්න විනාඩි කීයක් ගියාද කියලා. විනාඩි 42ක් ගියා කියලා කිව්වා. එතුමා දීපු උත්තරය හැන්සාඞ් එකේ තිබෙනවා. මම ඊළඟට ඇහැව්වා රුපියල් කෝටි 900ක ණයක් අරන් පොලියත් එක්ක කෝටි 2000ටත් වඩා වැඩිවෙන ණයක් අරන් අර අධිවේගී කළ කොටසේ කෝච්චියට ගාල්ලේ සිට මාතරට යන්න කොච්චර වෙලාවක් යනවාද කියලා. විනාඩි 39යි කිව්වා. කෝටි 900ටම අඩුවෙලා තිබෙන්නේ විනාඩි 03යි. වැසිකිළියට ගිහිල්ලා මුත්‍රා කරන වෙලාවටත් අඩුයි. ණය බරින් ගොඩ එන්න අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 3ක් තිබෙනවා. එක අඩු පොලියට ණය ගැනීම. දෙක ණයවලින් ඊට සරිලන වත්කම් හැදීම. තුන ණයවලින් අවශ්‍ය වත්කම් නිර්මාණය කිරිම. එහෙම කළොත් පරණ ණයත් ටික ටික ගෙවාගෙන අවුරුදු 5-6 ක් ගතවන විට මේ ණය උගුලෙන් අපට ගැලවෙන්න පුළුවන්.

අපි ඔබට සහතිකයක් දෙනවා. අපි ඉදිරිපත් කර තිබෙනවා මේ ණය උගුලින් ගැලවෙන මාවත. ඒ මාවතේ තමයි ජාතික ජන බලවේගය මේ රට ණය බරින් මුදාගැනීමේ උත්තර හොයාගෙන යන්නේ. අපි සහතික වෙනවා, අවුරුදු 5-6කින් අපි ඒ උත්තරය සොයා ගන්නා බවට. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබත් රටත් මේ ණය බරින් මුදා ගන්න අවශ්‍ය නම් නොවැම්බර් 16 උදෙන්ම ඡන්ද පොළට ගිහිල්ලා දෙවරක් කල්පනා නොකර මාලිමාව ලකූණ ඉදිරියේ කතිරය ගසා අපව ජයග්‍රහණය කරවන්න කියලා.

 

Advertiesment