Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


19 ට වංචා කළ ආණ්ඩුව පෞද්ගලික මාධ්‍යයෙන් ඉල්ලන් කන හැටි


2019-11-06 1242

 

ව්‍යවස්ථා සංශෝධන  කෙටුම් පතේ තිබුණු "පෞද්ගලික මාධ්‍ය නියාමනය"  හලළා  

 

 

 

ජනාධිපතිවරණ සමයේ පෞද්ගලික මාධ්‍ය ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩිව චෝදනා කරන ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පාදනය කිරීමේදී අදාළ පනත් කෙටුම්පතේ පෞද්ගලික මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ඇතුළත්ව තිබූ වගන්ති ඉවත් කළේ කුමක් නිසා දැයි ප‍්‍රශ්න නොකිරීම පුදුමයට කරුණක් බව ජ්‍යේෂ්ඨ නීතිඥයෙක් අප සමග ප‍්‍රකාශ කළේය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ 2015 මාර්තු මස 16 වන දින නිකුත් කරන ලද 19 වැනි ව්‍යවස්ථාවට අදාළ ‘පනත් කෙටුම්පතෙහි ( එල්.ඞී. ඕ.20/2015) 40 වැනි හා 41 වැනි පිටුවල 26 (5) (අ), (ආ) සහ (ඇ) වගන්තිවල මැතිවරණ කාලයන්හි පෞද්ගලික මාධ්‍ය නියාමනයට අදාළ පැහැදිලි ප‍්‍රතිපාදන දක්වා තිබූ බවයි.

ඒ බව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ 2015 මාර්තු මස 16 වැනි දින රජයේ මුද්‍රණාලය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද පනත් කෙටුම්පතෙහි 40 සහ 41 යන පිටුවල පැහැදිලිව සඳහන් වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

26, 5 (අ) ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීම විෂයෙහි ලා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කිරිම සඳහා අවශ්‍ය යැයි කොමිෂන් සභාව විසින් සලකනු ලබන උපමාන, අවස්ථානුකූල පරිදි, කොමිෂන් සභාව විසින් උචිත යයි සලකනු ලබන යම් ගුවන් විදුලි හෝ රූපවාහිනී සේවයක් පවත්වා ගෙන යන්නකු හෝ යම් ප‍්‍රවෘත්ති පත‍්‍රයක අයිතිකරුවකු හෝ ප‍්‍රකාශකයකු වෙත කලින් කල නිකුත් කිරිමේ බලය කොමිෂන් සභාවට ඇත්තේ ය. කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන එකී සියලූම උපමානවලට, එකී සභාව විසින් නිශ්චය කරනු ලැබිය හැකි පරිදි වූ ආකාරයේ ප‍්‍රමාණවත් ප‍්‍රසිද්ධියක් දිය යුත්තේ ය.

(ආ) (අ) ඡේදය යටතේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වෙත, ශ‍්‍රී ලංකා රූපවාහානී සංස්ථාවේ සභාපතිවරයා වෙත, ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සභාපතිවරයා වෙත සහ වෙනත් සියලූ, රජයට අයත් හෝ රජයේ පාලනයට යටත් ගුවන් විදුලි හෝ රූපවාහිනී ව්‍යවසායයක් සහ සෑම පුද්ගලික ගුවන් විදුලි සේවා හෝ රූපවාහිනී සේවා පවත්වාගෙන යන්නකුගේ ව්‍යවසායයක් වෙත නිකුත් කරනු ලැබූ උපමාන අනුව ක‍්‍රියා කිරිම සහතික කෙරෙන සියලූ පියවර ගැනීම, ඔවුන්ගේ කාර්යය විය යුත්තේ ය.

(ඇ) (අ) ඡේදය යටතේ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද යම් උපමාන අවස්ථානුකූල පරිදි, ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හෝ ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හෝ ස්වාධීන රූපවාහිනී නාලිකාව හෝ වෙනත්, රජයට අයත් හෝ රජයේ පාලනයට යටත් ගුවන් විදුලි හෝ රූපවාහිනී ව්‍යවසායයක් හෝ පුද්ගලික ගුවන් විදුලි සේවා හෝ රූපවාහිනී සේවා පවත්වාගෙන යන්නකුගේ ව්‍යවසායයක් හෝ විසින් උල්ලංඝනය කරනු ලැබු අවස්ථාවක දී, නමින් හෝ නිලයෙන් හෝ නිසි බලධරයකු, කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබිය හැක්කේ ය.

එම නිසි බලධරයා පත් කරනු ලැබූ දින සිට, සියලූ ම දේශපාලන විකාශන හෝ ඡන්ද විමසීම් කෙරෙහි බලපාන්නේ යැයි කොමිෂන් සභාවේ මතය වන වෙනත් යම් විකාශනයක් හෝ සම්බන්ධයෙන් අවස්ථානුකූල පරිදි ගුවන් විදුලි සංස්ථාවේ හෝ රූපවාහිනී සංස්ථාවේ හෝ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ හෝ යම් රජයට අයත් වෙනත් ගුවන් විදුලි හෝ රූපවාහිනී ව්‍යවසායයක හෝ පුද්ගලික ගුවන් විදුලි සේවා හෝ රූපවාහිනී සේවා ව්‍යවසායයක හෝ කළමනාකරණය ඒ ඡන්ද විමසීම අවසන්වන තෙක් ඒ නිසි බලධරයා යටතට ගනු ලැබිය යුතු අතර නිසිබලධරයා විසින් පවරා ගන්නා ලද කළමනාකරණය හා සම්බන්ධ හෝ ඊට අදාළ කිසිදු කර්තව්‍යයක් ඒ කාල සීමාව තුළදී ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී නාලිකාව හෝ වෙනත්, රජයට අයත් හෝ රජයේ පාලනයට යටත් වෙනත් ගුවන් විදුලි හෝ රූපවාහිනී ව්‍යවසායයක් පුද්ගලික ගුවන් විදුලි සේවා හෝ රූපවාහිනී සේවා පවත්වාගෙන යන්නාගේ ව්‍යවසායයක් හෝ විසින් ඉටු නොකළ යුත්තේ ය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත, පිටුව 40-41, 2015/03/16 මැතිවරණ ක‍්‍රියාවලිය තුළ දී සිදුවිය යුතු ඉතා වැදගත් ප‍්‍රතිපාදනයක් වන මෙම වගන්ති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 23 -5 (අ) සහ (ආ) වගන්තිය තුළ නැති බවයි. 5 (අ) ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීම විෂයෙහි ලා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කිරීම සඳහා අවශ්‍ය යයි කොමිෂන් සභාව විසින් සලකනු ලබන උපමාන, අවස්ථානුකූල පරිදි, කොමිෂන් සභාව විසින් උචිත යයි සලකනු ලබන යම් ගුවන් විදුලි හෝ රූපවාහිනී සේවයක් පවත්වා ගෙන යන්නකු හෝ යම් ප‍්‍රවෘත්ති පත‍්‍රයක අයිතිකරුවකු හෝ ප‍්‍රකාශකයකු වෙත කලින් කල නිකුත් කිරීමේ බලය කොමිෂන් සභාවට තිබිය යුත්තේ ය.

(ආ) (අ) ඡේදය යටතේ, අවස්ථානුකූල පරිදි ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වෙත, ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වෙත, ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සභාපතිවරයා වෙත සහ වෙනත් සියලූ රජයට අයත් හෝ රජයේ පාලනයට යටත් ගුවන් විදුලි හෝ රූපවාහිනී ව්‍යවසායක ප‍්‍රධාන විධායක නිලධරයා වෙත නිකුත් කරනු ලැබූ උපමාන අනුව ක‍්‍රියා කිරීම සහතික කෙරෙන සියලූ පියවර ගැනීම, ඔවුන්ගේ කාර්යය විය යුත්තේ ය. (ඍජු උපුටා ගැනීම - 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, පිටුව 34, 2015 මැයි මස 15 වැනි දින ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රයේ ෂෂ වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.)

මේ අනුව ඉතාම හොඳින් පැහැදිලි වන්නේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පාදන කළ පාර්ශව විසින් එහි පනත් කෙටුම්පත තුළ අන්තර්ගත කර තිබූ වඩාත් ඉදිරිගාමී ප‍්‍රතිපාදන එය සම්මත කර ගැනීමේදී ඉවත් කර ඇති බවයි.

මේ තත්ත්වය තුළ ජනපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය හැර පෞද්ගලික මාධ්‍ය නියාමනය කිරීමට තමාට කිසිදු නීතිමය බලයක් නැති බවට මැතිවරණ කොමිෂම දක්වන කරුණු සර්ව සාධාරණ බව සඳහන් කළ ජ්‍යේෂ්ඨ නීතිඥවරයා වැඩි දුරටත් කියා සිටියේ පනත් කෙටුම්පතින් අදාළ වගන්ති ඉවත් කිරීමට කටයුතු කළ ව්‍යවස්ථා සම්පාදකයින් සහ එය සම්මත කිරීමේදී වැඩි වගකීමක් දැරූ ආණ්ඩුවට වත්මන් ජනපතිවරණ සමය තුළ පෞද්ගලික මාධ්‍ය නියාමනයට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කිරීමට හෝ පෞද්ගලික මාධ්‍යවලට දොස් පැවරීමට කිසිදු ආකාරය සදාචාරාත්මක හෝ නෛකික හිමිකමක් නොමැති බවයි.

කර්තෘ සටහන - වත්මන් ජනපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ පෞද්ගලික මාධ්‍ය කිහිපයක් හැසිරෙන නිර්ලජ්ජිත ආකාරය අප ද පිළිකුළෙන් බැහැර කරමු. නමුත් 2015 ජනවාරි 08 දේශපාලන ජයග‍්‍රහණයේ ජීව ගුණය දුර්වල කිරීමට ආණ්ඩුව සහ 19 වැනි ව්‍යවස්ථා සම්පාදකයින් හා ඊට සම්බන්ධ පාර්ශ්ව ගත් කුමන්ත‍්‍රණකාරී පියවර ද අපි දැඩිව හෙළා දකිමු.

 

Advertiesment