Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


නිර්භීත අධිෂ්ඨානශීලී වෙනසට මුලපුරන්න මාලිමාව ඉදිරියේ කතිරය ගසන්න


2019-11-04 1347

"මුළු සමාජයම සමස්තයක් වශයෙන් විශාල පීඩනයකින් පසුවෙනවා"

 

"අපි මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ හුදු ආණ්ඩු පරිවර්තනයකට නොවෙයි"

 

සිය පාලනය යටතේ සියලු ජන කොටස් එකාවන්ව සමගියෙන්, රටේ සංවර්ධනය උදෙසා කටයුතු කරන කාලයක් බිහි කරන බවට ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක  අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ සඳුදා(04) පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

අපේ රටේ පැවැත්වෙන මේ ජනාධිපතිවරණයේදී තීරණාත්මක හැරවුම් ලක්ෂයක් රටට අත්කරදීමේ හැකියාවක් තිබෙන බව අප සිතනවා. පසුගිය අගෝස්තු 18 වැනි දින ගාලු මුවදොර පිටියේදී ජාතික ජන බලවේගයේ මහජන රැලියක් පවත්වමින් ජනාධිපතිවරණයට තරග වදින බවත් තරග වදින්නේ කවුද යන්නත් ජනතාව හමුවේ ප්‍රකාශයට පත්කළා. එතැන් සිට ගම්නියම් ගම් පුරා යමින් ජනතාව මුණගැසෙමින් කරුණු පැහැදිලි කරමින් ඉන්නවා.

මේ රටේ අද තිබෙන දේශපාලනයේ විකාරරූපී නාඩගම් තත්වයෙන් මුදාගෙන ඉහළට ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. පහත් පිළිකුල් කළ යුතු දේශපාලන සංවාදය එම තත්වයෙන් මුදාගත යුතුව තිබෙනවා. එය කළ හැකි වැදගත් ස්ථානයක් වී තිබෙන්නේ මේ ජනාධිපතිවරණයේදී දේශපාලන ප්‍රතිපත්ති මූලික කරගත් සංවාදයක් ගොඩනැගීමයි. රටත්, ජනතාවත් හෙළා තිබෙන දේශපාලන ප්‍රපාතයෙන් ගොඩගත හැක්කේ මේ ප්‍රතිපත්තිමය සංවාදය තුළින් පමණක් බව අපේ විශ්වාසයයි. මේ නිසා ජනාතවගෙන් බලය ලබාගෙන අප ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති කිහිපයක් පිළිබඳව කෙටි හැඳින්වීමක් මේ අවස්ථාවේදී කරනවා.

අප ඉදිරිපත් කර තිබෙන්නේ ‘දේශයේ අපේක්ෂාව’ යනුවෙන් නම් කළ, ශක්තිමත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. දුප්පත්භාවයෙන් රටත්, ජනතාවත් මුදාගන්නේ කෙසේද? ඒ වෙනුවෙන් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් අපි ඉදිරිපත්කර තිබෙනවා. රටක ආර්ථිකය මනින සියලුම මිනුම්දඬුවලින් මේ වන විට අප පහත්ම අඩියට තත්වයට වැටී තිබෙනවා.” විශාල ණය කන්ද, විදේශ වෙළඳාමේ බරපතළ හිඟය, රුපියල කඩා වැටීම, රාජ්‍ය ආදායම හීනවීම වගේ හැම පැත්තකින්ම මේ බව තහවුරු වී තිබෙනවා. ගෙවී ගිය අවුරුදු 71 තුළ සමස්තයක් හැටියට රට දුප්පත්කමේ අන්ත ප්‍රපාතයට වැටී අවසන්. එක යුගයකදී ඉහළ සාධනීය තත්වයන් පෙන්නූ දත්ත පවා අද පතුළටම වැටිලා. එයින් රටත්, ජනතාවත් ඉහළට ඔසවා තැබීම අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අරමුණයි. මේ වෙනකොට සමෘද්ධි සහනාධාරය ලබන දුප්පත් පවුල් ලක්ෂ 20ක් සිටිනවා. මේ ජනතාවට තිබෙන මූලිකම ප්‍රශ්නය මුදල් නැතිකම විතරක් නොවෙයි. සමාජයෙන් කොන්වීම, ගෞරවය නැති වීම, සාධාරණ අයිතිවාසිකම් නොලැබීම වගේ තත්වයන් රැසකට මුහුණදී තිබෙනවා.

මේ නිසා මුළු සමාජයම සමස්තයක් වශයෙන් විශාල පීඩනයකින් පසුවෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ සමස්ත සමාජයත්, ඒ වගේම ඒ සමාජයේ විශේෂ අවධානය යොමුකළ යුතු සමාජ තීරු පිළිබඳවත් මූලිකත්වයේලා සැලසුම් සකස්කර තිබෙනවා. ආබාධ සහිතවූවන්, රෝගීන්, වැඩිහිටියන්, ළමුන් හා කාන්තාවන් වැනි සමාජ තීරු ගැන විශේෂ අවධානය යොමුකර තිබෙනවා. උදාහරණයක් හැටියට අන්ධ කෙනෙකුට කියවා තේරුම්ගත හැකි පරිදි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයම වාචිකව වෙබ් අඩවියෙන් ශ්‍රවණය කළ හැකි පරිදි සකස් කර තිබෙනවා. අනෙක් පැත්තෙන් අපේක්ෂාභංගත්වයට පත්වී සිටින තරුණ පරපුර එයින් මුදා ගැනීමේ මූලික අවධානය අපේ ප්‍රතිපත්ති තුළ තිබෙනවා. කාන්තාවන් සම්බන්ධයෙන් සහ ළමුන් සම්බන්ධයෙන්ද ඒ වගේමයි. අපේ දරුවන් මේ තරගකාරී අධ්‍යාපන පීඩනයෙන් මුදා ගැනීමේ ව්‍යුහාත්මක අධ්‍යාපන වෙනස්කම් අපි සිදුකරනවා.

ඒ වගේම සෞඛ්‍යය, අධ්‍යාපන, ප්‍රවාහනය වගේ සේවාවන් ලබාගැනීමේ හැකියාව තමන්ගේ පොකට් එකේ තරමට තීරණය කරන රටක් වෙනුවට අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගත හැකි පරිදි රාජ්‍යයේ මැදිහත්වීම සැලසුම්සහගතව යොදවනවා. අද රාජ්‍ය සේවකයාත්, රජයේ සේවය ලබන්නාත් යන දෙදෙනාම අතෘප්තියෙන් ඉන්නේ. ඒ නිසා රාජ්‍ය අංශයේ සේවාවන් පෞද්ගලික අංශයට විකුණා දැමීම වඩාත් හොඳ බවට ජනතාව තර්ක කරන තත්වයකට පත්වෙලා. මේ තත්වයෙන් රාජ්‍ය සේවය මුදාගෙන ජනතාව වෙනුවෙන් සාධාරණ සේවා සැපයීමේ තත්වයට අපි පත්කරනවා.

රාජ්‍ය සේවයේ කඩාවැටීම අපේ රටේ අධිකරණ ක්‍රියාවලියෙන් ඉතාම පැහැදිලි වෙනවා. නඩුවක් විභාග කර තීන්දුව ලබාදීම දීර්ඝ ක්‍රියාවලියක කොටසක්. ඒ අධිකරණ ක්‍රියාවලිය අකාර්යක්ෂම, අලස, ඇල්මැරුණු තත්වයකට පත්වෙලා. මෙහි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීම අපේ මූලික අරමුණයි.

ඒ වගේම මහජන ආරක්ෂාව තහවුරු කෙරෙන ජාතික සමගිය ගොඩනැගීම, විශේෂ අවධානය යොමු කළ තවත් ක්ෂේත්‍රයක් උතුර-නැගෙනහිර ජනතාව ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් හෝ කතෝලික, බෞද්ධ, හින්දු, ඉස්ලාම් භේදයක් නැතිව සහෝදරත්වයක්, සහජීවනයක් සහිත සමාජයක් අපේ රටේ බිහිකළ යුතුයි. ජාතික ජන බලවේගය ගොඩනැගීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි මේ සම්බන්ධයෙන් විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කරමින් සිටියා. ජාතික ජන බලවේගයට බලය ලබාගතත හැක්කේ පොදු ජනතාව ඒ වෙනුවෙන් දක්වන දායකත්වයෙන් විතරයි. අප ඉල්ලා සිටිනවා මේ ජනාධිපතිවරණයේදී අපට බලය ලබාදෙන්න කියලා. ජනතාව මේ දක්වා පාලකයන් වෙනස් කරන්න උත්සාහ කළා. පාලකයන් හොඳ මිනිසුන් බවට පත්කරන්න උත්සාහ කළා. නමුත් වැඩක් වුණේ නැහැ. දැන් ජනතාව වෙනස් වෙන්න ඕනෑ. ඔබ ඒ වෙනස ඔබ තුළ ඇතිකරගෙන ඒ වෙනුවෙන් පාලනයක් ගොඩනඟන්න ඕනෑ. ජනතාව වෙනස්වීම පිළිබඳ ඒ නිර්භීත අධිෂ්ඨානශීලී ක්‍රියාමාර්ගය නොවැම්බර් 16 වැනිදා ජාතික ජන බලවේගයේ ‘මාලිමාව’ ලකුණ ඉදිරියේ ඡන්දය ලකුණු කිරීමෙන් මුලපුරන්න, කියලා අපි ඉල්ලා සිටිනවා.

 මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අනුර කුමාර මහතා මෙසේ ප්‍රකාශ කළේය.

අපි මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ හුදු ආණ්ඩු පරිවර්තනයකට නොවෙයි. සමාජ පරිවර්තනයකට. සමාජ පරිවර්තනයක් සිදුවෙන්නේ දශකවලින්, සියවස්වලින්. ඒ පරිවර්තනය 1, 2, 3, 4 වගේ අනුක්‍රමිකව සිදුවන දෙයක් නොවෙයි. දේශපාලනයේ පිමි ලෙස සිදුවන දෙයක්. උදාහරණයක් හැටියට 2014 සැප්තැම්බර් මාසයේ විතර මහින්ද රාජපක්ෂ බලයෙන් පහකෙරෙන බව කිසිවෙකුත් විශ්වාස කළේ නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිවෛන බවක් විශ්වාස කළේ නැහැ. නමුත් 2015 ජනවාරි 08 වැනි දින ඒ දේ සිද්ධ වුණා. මේ වෙනකොට දේශපාලන පිම්මකට අවශ්‍ය කරන සාධක පෙළගැසී තියෙනවා. මොනවද ඒ සාධක?

ජනතාවට මේ විධිහට තවදුරටත් යන්න බැහැ කියලා තහවුරු වී තිබෙනවා. ඒ වගේම පාලකයන්ට තවදුරටත් මේ විධිහට යන්න බැහැ කියලා තහවුරු වී තිබෙනවා. මේ මූලික සාධක දෙක සම්පූර්ණ වුණාම සමාජය ඇතුළෙන්ම පරිවර්තනයකට විශාල ඉඩකඩක් නිර්මාණය වෙනවා. අප විශ්වාස කරනවා අපේ රට ඒ තත්වයට පත්වෙලා තියෙනවා කියලා.

අපේ රටේ ඡන්ද දායකයන් බහුතරය නූතන තාක්ෂණය පළල් වීමත් එක්ක තාමත් එකතු වී නැහැ. නමුත් මේ වෙනකොට විද්‍යුත් මාධ්‍ය නාලිකාවලට වඩා දේශපාලනයේදී සමාජ මාධ්‍ය සක්‍රීය වී තිබෙන බව පැහැදිලියි. විද්‍යුත් නාලිකාවලට දේශපාලන පක්ෂ තිබෙනවා වගේම දේශපාලන පක්ෂවලටත් මාධ්‍ය නාලිකා තිබෙනවා. මේ මෙවලම්වලට තවදුරටත් දේශපාලනය තුළ ඉඩ-කඩ විවෘත වෙනවාට වඩා සමාජ ජාල තුළට වේගයෙන් නැඹුරු වීමක් දකින්න පුළුවන්. හැබැයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතාව අතරට ගෙනයාමේ මේ මාධ්‍යයන්ට වඩා ප්‍රමුඛ කරගෙන තිබෙන්නේ මේ රටේ ජනතාව සමග මුහුණට මුහුණ කතාබහ කරමින් පැහැදිලි කිරීමයි. අපේ ප්‍රබලම මාධ්‍ය ජනතාව සමග ගොඩනඟා ගන්නා මේ මුහුණට මුහුණ සංවාදයයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවධානය යොමුකර තිබෙනවා. 1978 හඳුන්වාදුන් මේ ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය කර, දැන් විකෘති තත්වයක තිබෙන්නේ. විශේෂයෙන්ම 19 වැනි සංශෝධනයෙන් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ශක්තිමත් වුණා වගේම යම් බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය වීමත් සිදුවී තිබෙනවා. 19 වැනි සංශෝධනය සම්මත කරගත්තේ සංක්‍රාන්තික කාලයකට. දැන් එතැනින් ඔබ්බට යන්න අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය වඩාත් ප්‍රබලව දැනී තිබෙනවා. අප යෝජනා කරන අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධ මූලික පදනම පොදු ජනතාව භාෂා, ආගම්, ග්‍රාමීය, නාගරික කිසිදු භේදයකින් තොරව පාලනයේ සම හවුල්කරුවන් බවට පත්කර ගැනීමයි. අද සිද්ධ වෙන්නේ ජනතාව ඡන්දය පාවිච්චි කිරීමේදී පාලනයේ ක්‍රියාකාරිකයෙක් බවට එක මොහොතක පත්වීම විතරයි. අපේ ව්‍යාවස්ථාවක් යටතේ ජනතාව පාලනයේ සම පංගුකරුවෙකු බවට අඛණ්ඩව පත්කර ගන්නවා. උදාහරණයක් හැටියට යම් ප්‍රදේශයක නිශ්චිතව විසඳා ගත යුතු ආර්ථික හෝ සමාජීය ගැටලු පවතින අවස්ථාවක ඒ ගැන විශේෂ අවධානය යොමුකර ජනසභා ඒකක පිහිටුවා ගැනීම දක්වන්න පුළුවන්.

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය ඔවුන් වෙත සමාජ යුක්තිය ක්‍රියාත්මක කරමින් නිදහස් කළ යුතු බවයි. මෙතන නීතිමය තත්වයකට වඩා විශේෂ තත්වයක් තිබෙනවා. උදාහරණයක් හැටියට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබලම සාධක තුන වූ අවිආයුධ, මුදල් ජාත්‍යන්තර සම්බන්ධතා කියන කරුණු තුනම සම්පූර්ණ කළ කුමරන් පද්මනාදන් කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකර නිදහසේ ඉන්නවා. නමුත් එල්.ටී.ටී.ඊ. හැඳුනුම්පතක් ළඟ තිබූ තරුණයෙක් අත්අඩංගුවට අරගෙන ඒ හැඳුනුම්පතට අත්සන් කළ දයා මාස්ටර් එළියේ නිදහසේ ඉන්නවා. මේ වගේ තත්වයක් යටතේ සමාජ යුක්තියේ පදනම ඔවුන් සියලුදෙනා නිදහස් කළ යුතුයි. ඒ වගේම, යම් පිරිසක් අත්අඩංගුවේ ඉන්නවා ඔවුන්ට අධිකරණයකින් උපරිම දඬුවම් නියම කළත්, අවුරුදු 07ක් සිරදඬුවම් ලැබීමට යටත් විය හැකි අය. නමුත් මේ වන විට අවුරුදු 20ක් රිමාන්ඞ් භාරයේ තබා තිබෙනවා. මෙවැනි තත්වයන් නිවැරදි කළ යුතුයි.

 

Advertiesment