Thursday 5th of December 2019

English Tamil
Advertiesment


ඩෙංගු ප්‍රතිකාර අලුත් අතකට හැරවූ අපේ ජීවකවරිය


2019-11-04 1203

"එක් අයෙ­කුට හතර වතා­වක් ඩෙංගු හැදෙන්න පුළු­වන්"

 

"ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය හොඳ­ නම් ඩෙංගු ඉබේම යට­පත් වෙනවා"

 

"පළමු සාය­නික පර්යේ­ෂ­ණය අයි.ඩී.එච්.රෝහ­ලෙන්"

 

Rupatadine දුන් රෝගීන් ඉක්ම­නින් සුව අතට

උණක් වැලඳුණු විට බොහෝ දෙනෙකු ඩෙංගු දැයි බියපත් වන්නේ ඩෙංගු රෝගය මාරාන්තික වන නිසාය. ඩෙංගු රෝගයට තවමත් නිසි ඖෂධ සොයා ගෙන නැත. ඩෙංගු රටට තර්ජනයක් වී තිබෙන්නේ එබැවිනි. ඩෙංගු අපේ රටට පමණක් නොව ලෝකයේ රටවල් 112කට තර්ජනයක් වී තිබේ. ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු දකුණු ආසියානු රටවල මිය යන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය සලකා බැලීමේදී ලංක‍ාවේ මරණයට පත් වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉතා අඩුය. එනම් එය 0.26% කි. එහෙත් ඩෙංගු රෝගය අද වන විට ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වර්ෂයේ ලෝකයේ තර්ජනය එල්ල වන රෝග 10 අතරට ඩෙංගු ඇතුළත් කර තිබෙන්නේ එම නිසාය.

ඖෂධ සොයාගැනීම

ඩෙංගු රෝගය පාලනය කිරීම සහ රෝගීන් සුවපත් කිරීම සඳහා ලෝකයේ බොහෝ රටවල් ඖෂධ නිපදවීමේ උත්සාහයක නිරත වී සිටිති. ඊට ලංකාවේ පර්යේෂකයන් ද ඇතුළත්ය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය නීලිකා මලවිගේ ද ඩෙංගු සඳහා ඖෂධ භාවිතය සම්බන්ධයෙන් පර්යේෂණයක නිරත වී සිටින්නීය.

“ඩෙංගු රෝගය වැලඳෙන්නේ වයිරස් මගින්. ඒ වයිරස් කාණ්ඩ 4ක් තියෙනවා. ඒ නිසා එක් කෙනෙකුට වයිරස් හතරෙන් හතර පාරක් ඩෙංගු හැදෙන්න පුළුවන්. බොහෝ දෙ‍නකු ඩෙංගු රෝගයට ගොදුරු වෙනවා. ඒත් ප්‍රතිශක්තිකරණය හොඳ නම් එය ඉබේම යටපත් වෙනවා. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ 10% - 15% අතර පිරිසකට විතරයි. රෝගයට ගොදුරු වූ අයගෙන් ඩෙංගු රක්තපාත තත්ත්වය දක්වා යන්නේ 10% - 25% අතර ප්‍රමාණයක් විතරයි. ඩෙංගු මාරාන්තික වෙන්නේ මේ රක්තපාත තත්ත්වයට පත් වුණාම. ඒ නිසා ඩෙංගු රක්තපාත තත්ත්වයට යෑම වැළැක්වීමෙන් අපට ඩෙංගු මරණ පාලනය කර ගන්න පුළුවන්.” යනුවෙන් පවසන මහාචාර්ය නීලිකා මලවිගේ ඩෙංගු රෝගයට ඖෂධ භාවිතය සම්බන්ධයෙන් සිය පර්යේෂණ කටයුතු සිදු කළේ අරමුණු 3ක් ඉලක්ක කර ගනිමිනි.

අරමුණු 3ක්

එම අරමුණු වන්නේ ඩෙංගු රක්තපාත තත්ත්වයට යෑම වැළැක්වීම සහ ඩෙංගු සංකූලතා අවම කිරීම, ඩෙංගු රක්තපාත තත්ත්වයට යෑම කල් තියා හඳුනාගැනීම හා ඩෙංගු වයිරසයට ඇති වන ප්‍රතිශක්තිකරණය වැඩිදුරටත් හැදෑරීමයි.

මෙම අවස්ථාවේදී ඩෙංගු රක්තපාතය කුමක්දැයි හඳුනාගැනීම වටී. මිනිස් සිරුරේ රුධිරවාහිනි නාලවල සෛල එකිනෙකට බැඳී පවතින අතර ඩෙංගු වයිරසය ආසාදනය වීම උත්සන්න වන අවස්ථාවේදී මෙම සෛල බැඳී ඇති බැම්ම ලිහී යයි. ඉන්පසු තරලය කාන්දු වේ. මෙය ඩෙංගු රෝගයේ භයානක අවස්ථාවක් ලෙස සැලකේ. ඩෙංගු රක්තපාත තත්ත්වයට යෑම වැළැක්වීමෙන් ඩෙංගු මරණ සංඛ්‍යාව අඩු කර ගත හැකිය. ඩෙංගු රක්තපාත තත්ත්වය වැළැක්වීමට නම් සෛල බැඳ තිබෙන බැම්මෙන් කාන්දු වීම වළක්වන ආකාරයට ප්‍රතිකාර කළ යුතුය. මහාචාර්ය නීලිකා මලවිගේ සිය පර්යේෂණ කටයුතු ආරම්භ කළේ ඒ සඳහා ඖෂධයක් සොයා ගැනීමටය.

“ඇත්තටම මම මෙතනදී අලුත් ඖෂධයක් නිෂ්පාදනය කළේ නැහැ. මම කළේ බටහිර වෛද්‍ය විද්‍යාවේ දැනට භාවිතයට ගන්නා ඖෂධයක් ඩෙංගුවලට යෝග්‍ය වේවි කියලා අනුමාන කිරීම. ඒ වගේම ඒ ඖෂධය ඩෙංගු රෝගයට ක්‍රියා කරන ආකාරය ගැන දිගින් දිගටම පර්යේෂණ කිරීමයි. හැබැයි මට අවශ්‍ය වුණා මේ පර්යේෂණ කටයුතු ජාත්‍යන්තර මට්ටමට කරන්න. අපේ රටේ ඕනෑ තරම් පර්යේෂණ කරනවා. ඒත් ඒවායෙන් ඖෂධ නිෂ්පාදනය නොවෙන්නේ එය ජාත්‍යන්තර ප්‍රමිතියට නොකරන නිසා. ගොඩාක් දෙනා විවිධ ඖෂධ, රෝගී සෛලවලට දාලා සෛල විනාශ වෙනවා නම් එය සාර්ථකයි කියනවා. මීයන්ට දුන්නාම ප්‍රමාණවත් කියලා හිතනවා. රෝගීන්ට එක් වරක් දුන්නාම ඇති කියලා හිතනවා. ඒත් අන්තර්ජාතික මට්ටමේදී මෙම පරීක්ෂණ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මම අන්තර්ජාතික මට්ටමට යා හැකි ආකාරයටයි මෙම පර්යේෂණය කරන්නේ. ලංකාවෙන් ඖෂධයක් හඳුන්වා දුන්නොත් ඒ ගෞරවය ලැබෙන්නේ මට විතරක් නොවෙයි. අපේ රටට. අපි නිසි ක්‍රමවේදයකට කරනවා නම් ලෝකයේ දියුණු රටවල් එක්ක කරට කර ඉන්න පුළුවන්.” යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ සිය පර්යේෂණ කටයුතු ගැන පැහැදිලි කළාය.

ඈ සිය පී.එච්.ඩී. අධ්‍යයන කටයුතු සිදු කළේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙනි. එහිදී විවිධ පර්යේෂණ කටයුතු සඳහා දායක වූ ඇ‍යට ඒ පිළිබඳව හසළ දැනුමක් සහ ප්‍රායෝගික පුහුණුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ලැබුණි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේවයේ නිරත වී සිටින මහාචාර්ය නීලිකා මලවිගේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බාහිර අධ්‍යයන කථිකාචාර්යවරියක වශයෙන් ද කටයුතු කරන්නීය. ඇගේ පර්යේෂණ කටයුතු සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ සහයෝගය ලබා ගත හැකි වූයේ එබැවිනි.

මීයන් යොදා ගනිමින්

ඇගේ පර්යේෂණ කටයුතු ආරම්භ කළේ මීයන්ට ඩෙංගු වයිරසය ශරීරගත කර ඩෙංගු රෝගය සෑදවීමෙනි. ඉන් අනතුරුව Rupatadine යන ඖෂධය නියමිත මාත්‍රා අනුව මීයන්ට දෙනු ලැබීය. එම අවස්ථාවේදී මීයන් ඉක්මනින් සුවපත් වන බව පළ විය. ඈ මෙම පරීක්ෂණය සිදු කළේ සිංගප්පූරුවේ විද්‍යාගාරයක එරට මීයන් 15ක් යොදා ගැනීමෙනි.

ඉන්පසුව මෙම ඖෂධය ඩෙංගු රෝගීන් සඳහා ලබා දීමට අවශ්‍ය විය. ඒ සඳහා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ සහයෝගය ඇතිව අංගොඩ උණ රෝහලේ (IDH) නේවාසික ඩෙංගු රෝගීන්ට ලබා දෙනු ලැබීය. ප්‍රථම සායනික පරීක්ෂණය සඳහා ඩෙංගු වැලඳුණු රෝගීන් 183 දෙනකු සහභාගි කෙරිණි. එයින් කොටසකට Rupatadine ඖෂධය ලබා ‍දුන් අතර තවත් කොටසකට ව්‍යාජ ඖෂධයක් ලබා දෙනු ලැබීය. එහිදි Rupatadine ඖෂධය දුන් රෝගීන්ගේ ඩෙංගු රෝගය ඉක්මනින් සුවපත් විය. ඔවුන් ඩෙංගු රක්තපාත තත්ත්වයට යෑම වැළකිණි. ඇගේ පළමු සායනික පරීක්ෂණය සඳහා අවුරුදු 2ක් පමණ කාලය ගත විය.

මේ දිනවල ඈ දෙවැනි සායනික පරීක්ෂණ කටයුතු සිදු කර ගෙන යයි. එය ද අංගොඩ උණ රෝහලේ සිදු කරන්නේ බාහිර ප්‍රතිකාර අංශයට පැමිණෙන ඩෙංගු රෝගීන්ට ඖෂධය ලබා ‍දීමෙනි. ඊට ඩෙංගු රෝගීන් 280 දෙනකු සහභාගි කර ගැනීමට නියමිත අතර මේ වන විට 240 දෙනකුට ඖෂධ දී සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගෙන තිබේ.

2 වැනි පර්යේෂණය

“මගේ දෙවැනි සායනික ප්‍රතිකාර කටයුතුවලටත් දැන් අවුරුදු 2ක් විතර කාලය ගත වුණා. මොකද අපිට එක පාරටම ඩෙංගු කියලා ඖෂධ දෙන්න බැහැනේ. මුලින්ම ඩෙංගු කියලා තහවුරු කරගන්න ඕනෑ. උණ හැදිලා දවස් 2-3 ක් ඇතුළත ප්‍රතිකාර දෙන්න ඕනෑ. සමහරු ඉස්පිරිතාලෙට එන්නේ පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් බෙහෙත් අරං උණ බහින්නේ නැතිව රුධිරය පරීක්ෂා කරලා ඩෙංගු කියලා දැනගත්තාම. එතකොට දින 3 පැනලා. එහෙම අයට අපි මේ ඖෂධය දෙන්නේ නැහැ. ඒ වගේම ඩෙංගු පරීක්ෂණයට අපි යොදා ගන්නේ අවුරුදු 18 ට වැඩි අය විතරයි. අවු: 18 ට අඩු අය පරීක්ෂණවලට යොදා ගැනීම සෞඛ්‍ය ආචාරධර්මවලට විරුද්ධයි. අනික වැඩිහිටි අය වුණත් අලුත් ඖෂධයක් ගන්න කැමති වෙන්න ඕනෑ. ඒ අය දියවැඩියාව වගේ රෝගවලින් පෙළෙන්නන් නොවිය යුතුයි. ඒ නිසයි අපිට පරීක්ෂණයට ඩෙංගු රෝගීන් යොදා ගැනීම ප්‍රමාද වෙන්නේ.” යනුවෙන් විස්තර කළේ මහාචාර්ය නීලිකා මලවිගේ ය.

පර්යේෂණයට වසර 10ක්

මේ වන විට ඈ සිය පර්යේෂණ කටයුත්තට අත ගසා වසර 10 කට ආසන්න කාලයක් ගත වී තිබේ. මෙම පර්යේෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි කර ඇති අතර Nature Communication විද්‍යා සඟරාවේ පළ කර ඇත. ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් සොයා ගැනීමේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහා ඇගේ පිටුපසින් හෙවණැල්ල මෙන් සිටිමින් ඇප කැප වී කටයුතු කරන අය බොහෝ වෙති. ඒ අතරින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම ජීවන්දර සහ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ලක්සිරි ගෝමස් ගැන සඳහන් කළ යුතුමය. ඊට අමතරව ජයවර්ධනපුර සරසවියේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කරන අය ද මේ සඳහා දායක වන තවත් පිරිසකි. මෙම කටයුත්තට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සහ ජාතික විද්‍යා පදනමෙන් මූල්‍යාධාර සපයා තිබේ. ඒ හැර අමෙරිකා එක්සත් ජනපදය, සිංගප්පුරුව වැනි විදේශීය රටවලින් ද මූල්‍ය ප්‍රතිපාදන සහ උපකරණ ලබා දී ඇත.

“මගේ දෙවැනි සායනික පරීක්ෂණය අවසාන වුණා කියලා මේ පර්යේෂණය නැවතෙන්නේ නැහැ. පළමුවැනි සහ දෙවැනි පරීක්ෂණවලදී ඩෙංගු රෝගීන් සුවපත් වෙලා ඖෂධය සාර්ථක වුණාට අපිට එකපාරටම ඖෂධය හොඳයි කියලා 100% කින් තහවුරු කරන්න බැහැ. මොකද අපි ප්‍රතිකාර කළේ වැඩිහිටියන්ට. ඊට පස්සේ ඖෂධ මාත්‍රාව වෙනස් කරලා ළමයින්ට දෙන්න ඕනෑ. ඒකට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවසර ගන්න ඕනෑ. ඊළඟට අයි.ඩී.එච්. හැර වෙනත් පළාත්වල ඇති රෝහල්වලට එන ඩෙංගු රෝගීන්ට ඖෂධය දෙන්න ඕනෑ. එය සාර්ථක වුණාම ලංකාව හැර වෙනත් රටවල් කීපයක ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඕනෑ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ඇතිව කළ යුතු දෙයක්. මේ විදිහට පියවර ගණනාවක් සම්පූර්ණ කළාම තමයි ඖෂධය 100% කින් තහවුරු වෙන්නේ.” යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ සිය පර්යේෂණයේ සාර්ථකත්වය සඳහා පසු කළ යුතු පියවර ගැන පැහැදිලි කළාය.

එමෙන්ම ප්‍රථම සායනික පරීක්ෂණයේදී ඩෙංගු වෛරසයේ 1 හා 2 කාණ්ඩ යොදා ගත් අතර දෙවැනි සායනික පරීක්ෂණයේදී යොදා ගනු ලැබුවේ ඩෙංගු වෛර‍සයේ 2හා 3 කාණ්ඩයි. මේ වන විට ඩෙංගු වෛරසයේ 4 වැනි කාණ්ඩයේ වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නැත. එබැවින් මහාචාර්ය නීලිකා මලවිගේ සිදු කරන පර්යේෂණයේ සාර්ථකත්වය ඩෙංගු වෛරසයේ 4 වැනි කාණ්ඩයට කොතෙක් දුරට ගැළපේදැයි යන්න අභියෝගයකි.

මේ අතරවාරයේදී ඈ ඩෙංගු මැඬලීම සඳහා ඖෂධ භාවිතය පිළිබඳව කෙරෙන කටයුත්තේදී දේශීය ශාකයක් උපයෝගි කර ගනිමින් ඖෂධයක් සකස් කිරීමේ වැඩපිළිවෙළක නිරත වී සිටියි.

මතු යම් දවසක අපට ඒ පිළිබඳවද සටහනක් තැබීමට හැකි වනු ඇත.

(සිළුමිණ)

 

Advertiesment