Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


ලිංගික අපරාධ නීතිය -Part 01-


2019-11-04 1329

(තුෂාල් විතානගේ)

කාන්තාවන් සහ ගැහැනු දරුවන්ට එරෙහිව සිදුකරන අපරාධන සියලූම අපරාධ අතරින් වඩාත්ම බිහිසුණුම අපරාධය වන්නේ ‘ලිංගික අපරාධ’යි. එම ක‍්‍රියා මගින් ජනිත කරන මානසික කම්පනය සහ චිත්තවේගී වේදනාව, එමගින් ඇති කරන ශාරීරික පීඩාව හා වේදනාව හා සමාන වන බරපතළ ඒවා වේ.

ලිංගික අපරාධ ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන්ට වද දෙන නින්දාවක් ඉතිරි කරයි. සාමාන්‍යයෙන් සමාජය සහ ඇතැම් විට තමාගේ ළඟම ඥාතීන් පවා සිදුකරන වෙනස් කොට සැලකීම්, හෙළා දැකීම් සහ කොන් කිරීම් හේතුවෙන් වින්දිතයා නැවත වින්දිතභාවයට පත් වූවාය යන හැඟීම් ඇති විය හැකියි.

දීර්ඝ කාලයක් පුරා කරන ලද නිරීක්ෂණ මගින් හඳුනා ගෙන ඇති ආකාරයට, බොහෝ දෙනා දන්නා කියන ආකාරයට බොහෝ අවස්ථාවල කාන්තාවන් සහ ගැහැනු දරුවන් ලිංගික අපරාධවලට ගොදුරු කර ගනු ලබන්නේ තමා කෙරෙහි වගකීමක්, විශ්වාසයක් සහ බලයක් දරන පුද්ගලයින් විසිනුයි.

"සම්පූර්ණයෙන් ආගන්තුකයින්" වන පුද්ගලයින්ගෙන් වන ලිංගික අපරාධවලට වඩා තමා දන්නා හඳුනන පුද්ගලයින් කාන්තාවන් හා ගැහැනු දරුවන්ට සිදුකරන අපරාධ සාමාන්‍යයෙන් ඉහළ අගයක් ගන්නවා.

වර්ගීකරණය

කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයන් වර්ගීකරණයේදී,

*ස්ත‍්‍රී දූෂණ

* ව්‍යහිචාරය

* බරපතළ ලිංගික අපයෝජන

* කුට්ටනය (මේ සියල්ල "බරපතළ ලිංගික අපරාධ" වේ)

* ලිංගික අතවර කිරීම්

* ළමයින්ට අදාළ කරනු ලබන අසභ්‍ය පළ කිරීහ් වැනි සුළු අපරාධ ද අයත් වෙනවා

 

"ලිංගික ක‍්‍රියාවක්" ලිංගික අපරාධ අතුරින් කිනම් අපරාධයක අර්ථ නිරූපණය යටතට ගැනේද යන්න තීරණය කිරීමේදී කරුණු කිහිපයක් සැලකිල්ලට ගන්නවා.

* අපරාධයට අදාළ සිද්ධිමය කරුණු

* කාන්තාවට හා ගැහැනු දරුවාට සිදුවූ කායික හානිය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව

* වින්දිතයාගේ වයස

* වින්දිතයා හා චූදිතයා අතර ඇති සම්බන්ධතාව (උදාහරණ වශයෙන් වෛවාහික/ ඥාති/ පෙම් සබඳතා/ දික්කසාදයට පෙර ස්වාම්පුරුෂයා)

* ලිංගික ක‍්‍රියාව සිදුවූයේ කාන්තාවගේ හෝ ගැහැනු දරුවාගේ කැමැත්ත ඇතිව ද නැතිව ද යන වග

ඉහත සඳහන් කරුණු ලිංගික අපරාධයට අදාළ පොලිස් විමර්ෂණ, අධිචෝදනා, චෝදනා සැකසීම, නඩු විභාග යන සියලූ කාරණා සම්බන්ධයෙන් වැදගත් වෙනවා.

වරදක් "සංයුක්ත වීමට" එක් එක් වගන්තියෙන් දක්වා ඇති අවශ්‍යතා සම්පූර්ණ විය යුතු අතර, සුළු අපරාධවලට වඩා බරපතළ අපරාධ පිළිබඳ වරද සංයුක්ත කිරීමට අදාළ අවශ්‍යතා වඩාත් සංකීර්ණ වෙනවා.උදාහරණයක් වශයෙන් ස්ත‍්‍රී දූෂණය සංයුක්ත වන ලිංගික අපරාධය සිදුකොට ඇත්තේ හා පූර්ණ හෝ අර්ධ වශයෙන් දරුකමට හදා ගැනීමෙන් හෝ ඥාතීත්වයක් ඇති ගැහැනු දරුවෙකුට හෝ කාන්තාවකට එරෙහිව නම් එම ක‍්‍රියාව ස්ත‍්‍රී දූෂණයක් නොව "ව්‍යාහිචාරය" යටතට වැටෙනවා.

ලිංගික අපරාධ – වර්ගීකරණය

ලිංගික අපරාධ ප‍්‍රධාන වශයෙන් කොටස් 13කට වර්ග කළ හැකියි. ඒවා නම්,

ස්ත‍්‍රී දූෂණය, ව්‍යාහිචාරය, ළමුන්ගෙන් අයුතු ලිංගික ප‍්‍රයෝජන ගැනීම, කුට්ටනය, ළමයකුගේ අසභ්‍ය/ අශ්ලීල ඡායාරූපයක් / චිත‍්‍රපටයක් විකාශනය කිරීම, ලිංගික අතවර කිරීම, ළමා අපයෝජන සඳහා පරිශ‍්‍රයක් භාවිත කිරීම, බරපතළ ලිංගික අපයෝජන, අශ්ලීල ප‍්‍රකාශන, අස්වාභාවික ක‍්‍රියා, අශිෂ්ට ක‍්‍රියා, ළමයෙකු පොළඹවා ගැනීමට ඇවටිලි කිරීම, ළමයෙකු කුට්ටනයෙකු ලෙස සේවයේ යෙදවීම.

ස්ත‍්‍රී දූෂණය

ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී දූෂණ සහ ව්‍යාහිචාරය පිළිබඳ තත්ත්වය විශ්ලේෂණයේදී පෙනී යන්නේ ස්ත‍්‍රී ෂණ පිළිබඳ පොලිස් වාර්තාවල සඳහන් වන අංකවල වාර්ෂික විචල්‍යතා දැකගත හැකි බවයි. උදාහරණයක් ලෙස 2005 වර්ෂයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛණ අංශ වාර්තාවලට අනුව ස්ත‍්‍රී දූෂණ සම්බන්ධයෙන් කාන්තාවන්ගෙන් පැමිණිලි 516ක් ද ළමයි සම්බන්ධ පැමිණිලි 1634ක් ද ලැබී තිබෙනවා. 2010 දී කාන්තාවන් සම්බන්ධ ස්ත‍්‍රී දූෂණ 408ක් වාර්තා වන විට ළමයි සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව 1446ක් වෙනවා. 2011දී එය 259 හා 107 දක්වා පහළ බැස තිබෙනවා.

ස්ත‍්‍රී දූෂණයේ ප‍්‍රභේද

සිදුවන ස්ත‍්‍රී දූෂණ එහි ස්වභාවය අනුව කොටස් හතරක් යටතට වර්ග කළ හැකි වෙනවා. ඒ,

1 වෛවාහික ස්ත‍්‍රී දූෂණ ,

2. ව්‍යවස්ථාපිත ස්ත‍්‍රී දූෂණ

3. භාරකාරත්ව ස්ත‍්‍රී දූෂණ

4. රංචු ගැසී ස්ත‍්‍රී දූෂණ වශයෙනුයි.

වෛවාහික ස්ත‍්‍රී දූෂණයක් යනුවෙන් හැඳින්වෙන්නේ ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර බලහත්කාරටෙව් මෛථුනය සිදුවීමයි. ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව වෛවාහික ස්ත‍්‍රී දූෂණය ලෙස ගැනෙන්නේ අධිකරණ අඥවක් මත පුරුෂයා සිය වෛවාහික භාර්යාවගෙන් නීත්‍යානුකූලව වෙන්ව සිටින අවස්ථාවක සිදුවන මෛථුන ක‍්‍රියාවක් පමණයි.

ව්‍යවස්ථාපිත ස්ත‍්‍රී දූෂණයක් යනු ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව හෝ වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවෙකු සමග පුරුෂයෙකු මෛථුනයෙහි යෙදීමයි.

භාරකාරත්ව ස්ත‍්‍රී දූෂණ යනුවෙන් හැඳින්වෙන්නේ රජයේ නිලධාරියෙකු හෝ අධිකාරී තත්ත්වයක සිටින්නෙකු විසින් ස්ත‍්‍රී දූෂණ ක‍්‍රියාවක යෙදීමයි. මෙවන් අවස්ථාවකදී පුරුෂයා ස්ත‍්‍රී දූෂණයෙහි යෙදීමට සිය රාජකාරී තත්ත්වය හෝ අධිකාරි බලය අයුතු ලෙස යොදා ගන්නවා. පොලිසිය, සන්නද්ධ හමුදා වැනි නීතිය ක‍්‍රියාත්මක කරන නිලධරයන්, ආයතන කළමනාකරුවන්, බන්ධනාගාර සහ රෝහල් නිලධාරීන් මේ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකියි.

රංචු ගැසී ස්ත‍්‍රී දූෂණය යනු කණ්ඩායමක එක් කෙනෙකු හෝ පුරුෂයින් කිහිප දෙනකු ස්ත‍්‍රියක් දූෂණය කිරීමයි. රංචු ගැසී ස්ත‍්‍රී දූෂණයේදී එම ක‍්‍රියාවට සම්බන්ධ සියලූම පුරුෂයින් ස්ත‍්‍රී දූෂණය කිරීමේ වරදට හෝ එයට අනුබල දීමේ වදරට එරෙහිව නඩු පවරනවා.

ස්ත‍්‍රී දූෂණයක් සිදු කළා යැයි සලකනු ලබන්නේ කුමන අවස්ථාවලදී ද ?

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන) පනතේ 363 වන වගන්තිය ස්ත‍්‍රී දූෂණය පිළිබඳ වරද නිර්වචනය කරනවා. එම පනතේ 364 වන වගන්තිය ස්ත‍්‍රී දූෂණය වරද සිදුකරන අයට දෙන දඬුවම් දක්වා තිබෙනවා.

363 වගන්තිය – 1995 අංක 22 දරන සහ 1998 අංක 29 දරන දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන පනත්)

යම් මිනිසෙක් පහත විස්තර කර ඇති අවස්ථා අතරින් යම් අවස්ථාවකට අඅයුත් වන පරිවේෂණ යටතේ, ස්ත‍්‍රියක සමග මෛථුනයේ යෙදේ නම් ඔහු "ස්ත‍්‍රී දූෂණය" සිදු කළේ යැයි කියනු ලැබේ.

අ. ඒ ස්ත‍්‍රිය තමාගේ භාර්යාව වන අවස්ථාවක වුව ද ඇය ඔහුගෙන් නීති මාර්ගයෙන් වෙන්වී සිටියදී ඇයගේ කැමැත්ත නොමැතිව

ආ. බලහත්කාරය පාවිච්චි කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ රඳවා ගැනීමේ තර්ජනයෙන් හෝ ඇයට මරණ භය හෝ තුවාල සිදු කිරීමේ භය ඇති කිරීමෙන් හෝ ඇය නීත්‍යානුකූල හෝ නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටියදී හෝ ඇයගේ කැමැත්ත ලබාගෙන ඇති අවස්ථාවක ඇගේ කැමැත්ත ඇතිව: (1998 අංක 29 දරන දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන පනත)

ඇ. ඇය සිහි විකලව සිටියදී හෝ ඒ පුරුෂයා විසින් නැතහොත් වෙනත් යම් තැනැත්තෙකු විසින් අයට දෙන ලද මධ්‍යසාර හෝ මත්ද්‍රව්‍ය මගින් ඇති කරන ලද මත් අවස්ථාවක ඇය සිටියදී, ඇගේ කැමැත්ත ඇතිව,

ඈ. තමා ඇගේ ස්වාමිපුරුෂයා නොවන බව ඒ පුරුෂයා දැන සිටි අතර ඇගේ කැමැත්ත දෙන ලද්දේ ඇය හා නීත්‍යානුකූලව විවාහ වී සිටින හෝ ඇය හා නීත්‍යානුකූලව විවාහා වී ඇතැයි ඇය විශ්වාස කරන වෙනත් පුරුෂයෙකු ඒ පුරුෂයා යැයි ඇය විශ්වාස කිරීම නිසා බව ඒ පුරුෂයා දන්නා විටක දී, ඇගේ කැමැත්ත ඇතිව:

ඉ. ස්ත‍්‍රිය වයස අවුරුදු 12ට වැඩි වන්නා වූ ද එම පුරුෂයාගේ භාර්යාව වන්නා වූ ද සහ ඇය එම පුරුෂයාගෙන් නීති මගින් වෙන් වී නොමැති නම්, මිස ස්ත‍්‍රිය වයස අවුරුදු 16ට අඩුවන විට ඇයගේ කැමැත්ත ඇති හෝ නැතිව

පැහැදිලි කිරීම

ස්ත‍්‍රී දූෂණය කිරීමේ වරදට අවශ්‍ය මෛථුනය සංයුක්ත වීම සඳහා ප‍්‍රවේශනය ප‍්‍රමාණවත් වේ. ශරීරයට සිදුවීී ඇති ශාරීරික තුවාල වැනි, ප‍්‍රතිරෝධක පෑම පිළිබඳ සාක්ෂි, මෛථුනය සිදුකර ඇත්තේ කැමැත්ත නොමැතිව බව ඔප්පු කිරීම සඳහා අවශ්‍ය නොවේ.

දඬුවම

ස්ත‍්‍රී දූෂණය සඳහා අනිවාර්ය අවම බන්ධනාගාර ගත කිරීම.

364 (1) වගන්තිය – දණ්ඩ නීති සංග‍්‍රහය 1995 අංක 22 දරන (සංශෝධන) පනත, – ස්ත‍්‍රී දූෂණය සිදු කරන කවර හෝ තැනැත්තෙකට, (2) වන හා (3) වන උප වගන්තිවල විධිවිධාන සලස්වා ඇති අවස්ථාවලදී හා, අවුරුදු 7කට නොඅඩු ද, අවුරුදු 20ක් නොඉක්මවන්නා වූ ද, කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කරනු ලැබිය යුතු අතර, රුපියල් 20,000ක් නොඉක්මවන දඩයකට ද, ඔහු යටත් විය යුතුය. ඊට අමතරව, ඒ වරද සිදුකරන ලද්දේ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තාට සිදුකරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් විනිශ්චය කරනු ලබන මුදලක වන්දියක් ඒ තැනැත්තාට ගෙවන ලෙස ද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය යුතුය.

අනිවාර්යය අවම බන්ධනාගාරගත කිරීම වැඩි කළ හැකි අවස්ථා

1. අවුරුදු 10ක අවමය හා අවුරුදු 20ක උපරිමය

364 (2) 1955 අංක 22 දරන දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන) පනත,

කවර හෝ තැනැත්තකු 

(අ) රජයේ නිලධාරියකුව හෝ බලය ඇති තත්ත්වයක් දරන තැනැත්තකුව සිටිමින් තමාගේ නිල තත්ත්වය ප‍්‍රයෝජනයට ගෙන තමාගේ නිල තත්ත්වයන් ප‍්‍රයෝජනයට ගෙන තමාගේ නිල රැකවරණයෙහි සිටින ස්ත‍්‍රියක දූෂණය කළහොත් හෝ අයුතු ලෙස අවහිර කර ස්ත‍්‍රියක දුෂණය කළහොත්,

(ආ) නීතිය මගින් හෝ නීතිය යටතේ හෝ පිහිටුවන ලද රක්ෂණ නිවාසයක හෝ අත්අඩංගුවේ තබා ගන්නා වෙනත් ස්ථානයක නැතහොත් කාන්තා හෝ ළමා ආයතනය කළමනාකරණ පක්ෂයේ හෝ කාර්ය මණ්ඩලයේ නියුතු තැනැත්තකුව සිටිමින්, තමාගේ නිල තත්ත්වය ප‍්‍රයෝජනයට ගෙන ඒ රක්ෂණ නිවාසයේ, ස්ථානයේ හෝ ආයතනයේ නේවාසික යම් ස්ත‍්‍රියක)ෂණය කළහොත්,

(ඇ) රෝහලක කළමනාකරණ පක්ෂයේ හෝ කාර්ය මණ්ඩලයේ නියුතු තැනැත්තෙකුව සිටිමින් තමාගේ නිල තත්ත්වය ප‍්‍රයෝජනයට ගෙන ඒ රෝහලේ යම් ස්ත‍්‍රියක් දුෂණය කළහොත්,

(ඈ) යම් ස්ත‍්‍රියක් ගර්භණී බව දැන දැනම දුෂණය කළහොත්,

(ඉ) වයස අවුරුදු 18ට අඩු ස්ත‍්‍රියක දුෂණය කළහොත්,

(ඊ) මානසික වශයෙන් හෝ ශාරීරික වශයෙන් ආබාධිත ස්ත‍්‍රියක් දුෂණය කළහොත්,

(උ) රංචු ගැසී දුෂණය කළහොත්, ඒ තැනැත්තා වසය අවුරුදු 10ට නොඅඩු වුව ද, 20ක් නොඉක්මවන්නා වූ ද, කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමකින් ද දඬුවම් කරනු ලැබිය යුතු ය. තව ද ඊට අමතරව, ඒ වරද සිදුකරන ලද්දේ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක වන්දියක් ඒ තැනැත්තාට ගෙවන ලෙස ද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය යුතුය.

පැහැදිලි කිරීම 1 (රංචු ගැසී ස්ත‍්‍රී දුෂණය) :

තැනැත්තන් කණ්ඩායමක එක් තැනැත්තකු හෝ ඊට වැඩි තැනැත්තන් සංඛ්‍යාවක් විසින් ස්ත‍්‍රී දුෂණය පිළිබඳ වරද සිදුකරනු ලැබූ අවස්ථාවක ඒ වරද සිදුකිරීමෙහි ලා අනුබල දුන් ඒ කණ්ඩායමේ එක් එක් තැනැත්තා, රංචු ගැසී ස්ත‍්‍රී දුෂණ්‍ය සිදු කළේ යැයි සලකනු ලැබේ.

පැහැදිලි කිරීම 2 ( කාන්තා හෝ ළමා ආයතන)

කාන්තා හෝ ළමා ආයතන යන්නෙන්, කවර හෝ ආකාරකින් විස්තර කරනු ලබන්නේ වුව ද ස්ත‍්‍රීන් සහ ළමයින් භාර ගැනීම සහ රැකබලා ගැනීම සඳහා වූ ආයතනයක් අදහස් වේ.

පැහැදිලි කිරීම 3 (රෝහල)

රෝහල යන්නෙන් රෝහලේ සීමා ඇතුළත පිහිටි ප‍්‍රදේශය අදහස් වන අතර, රෝගෝපගතව සිටින තැනැත්තන් හෝ වෛද්‍ය උපස්ථානය හෝ පුනරුථාපනය අවශ්‍ය තැනැත්තන් භාර ගැනීම සහ ඔවුන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා වූ යම් ආයතනයක සීමාව ඇතුළත පිහිටි ප‍්‍රදේශය එයට ඇතුළත් වේ.

පැහැදිලි කිරීම 4 (හානි)

"හානි" යන්නට මනෝ විද්‍යාත්මක හෝ මානසික කම්පනය ඇතුළත් වේ (2006 අංක 16 දරන දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන පනත)

2. වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවකු සහ වයස අවුරුදු 18ට අඩු වරද සිදුකළ තැනැත්තකු අතර මෛථුනයක් සිදුවන අවස්ථාවලදී 364 (2) වගන්තියේ පහත දැක්වෙන අතුරු වගන්තිය අදාළ වේ.

එසේ වුව ද වසය අවුරුදු 16කට අඩු තැනැත්තකු සම්බන්ධයෙන් ඒ වරද සිදුකොට ඇති අවස්ථාවක, වරද සිදුකළ තැනැත්තා වයස අවුරුදු 18ට අඩු තැනැත්තකු වන සහ සංසර්ගය සිදුකොට ඇත්තේ අනෙක් තැනැත්තාගේ කැමැත්ත ඇතව වන අවස්ථාවක, අවුරුදු 10කට අඩු කාලයකට බන්ධනාගාර ගත කිරීමේ දඬුවමක් අධිකරණය විසින් නියම කරනු ලැබිය හැකිය.

3. වයස අවුරුදු 15ක අවමය හා අවුරුදු 20ක උපරිමය

ස්ත‍්‍රී දුෂණයට ලක්වන ගැහැනු දරුවා වයස අවුරුද 16ට අඩුවන අවස්ථාවක දී ස්ත‍්‍රී දුෂණයට දෙන අනිවාර්ය වසර 10ක සිරදඬුවමට වඩා වැඩි දඬුවමක් නීතිය නියම කරයි. ගැහැනු දරුවා වයස අවුරුදු 16ට අඩුවන විට වසර 10ක අනිවාර්ය සිර දඬුවම බල නොපායි.

364 (3) වගන්තිය – 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන) පනත

364 (අ) වන වගන්තියෙහි වෙන් වෙන් වශයෙන් දක්වා ඇති ප‍්‍රමාණවල ඥාති සම්බන්ධතා අතරින් යම් ඥාති සම්බන්ධතාවක් ස්ත‍්‍රියකට පිරිමියා කෙරෙහි ඇති අවස්ථාවක සහ එම ස්ත‍්‍රිය වයසින් අවුරුදු 16ට අඩුවන විට, ඒ ස්ත‍්‍රිය දුෂණය කරන කවර හෝ තැනැත්තකු, වරදකරු කරනු ලැබූ විට, අවුරුදු 15කට නොඅඩු වූ ද, අවුරුදු 20ක් නොඉක්මවන්නා වූ ද, කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමකින් හා දඩයකින් දඬුවම් කරනු ලැබිය යුතුය.

4. වන්දි ගෙවීම පැහැර හරින විට දෙන අමතර දඬුවම්

464 (4) වගන්තිය – 1996 අංක 22 දරන දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන) පනත

(1) වන උප වගන්තිය හෝ (2) වන උප වගන්තිය යටතේ වන්දි මුදල ගෙවීම පැහැර හරින විට (1) හා (2) උපවගන්ති යටතේ නියම කර ඇති බන්ධනාගාර ගත කිරීමට අමතරව අවුරුදු 2ක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට බරපතළ වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාර ගත කිරීමේ දඬුවම ලැබේ.

ලිංගික ක‍්‍රියා සඳහා කැමැත්ත දීමේ අවම වසය

ළමයින්ට අදාළ කාමෝද්දීපන රචනා (262 ඒ වගන්තිය) කෘරත්වය, (308 A වගන්තිය) ලිංගික සූරාකෑම / අයුතු ප‍්‍රයෝජන (308 E වගන්තිය) කුට්ටනය (308 C වගන්තිය) හා බරපතළ ලිංගික අපයෝජනය (365 වගන්තිය) යන වරද සම්බන්ධයෙන් 1995, 1998 සහ 2006 දණ්ඩ නීති සංග‍්‍රහයෙහි (සංශෝධිත) පනත ‘ළමයා’ නිර්වචනය කරන්නේ වයස අවුරුදු 18ට අඩු කෙනෙකු ලෙසය.

එහෙත් ලිංගික ක‍්‍රියා සඳහා කැමැත්ත දීමේ වසය, අවුරුදු 16ක් වන අතර, ඔවුන්ට අවුරුදු 18 වන තෙක් විවාහ වීමට හැකියාවක් නොමැත. වෙනත් වචනවලින් කිවහොත් අවුරුදු 16-18 දක්වා වයසේ දරුවන්ට ලිංගික ක‍්‍රියාවන්හි යෙදෙමින් ‘සැමියා සහ භාර්යාව’ මෙන් එක්ව විසීමට හැකි වුව ද, අවුරුදු 18 වන තෙක් දෙමාපිය කැමැත්ත ඇතිව වුවද විවාහා වීමට නොහැකිය.

එකඟත්වයෙන් ඇති කර ගත් ලිංගික සම්බන්ධතාවයන්හි ප‍්‍රතිඵලයක් වශයෙන් ගැබ් ගැනීමක් සිදු වුවද, අවුරුදු 18 වන තෙක් එම යුවළට විවාහ වීමට අවසර නැත.

1989 අංක 17 දරන ‘වයෝ පූූර්ණ පනතට’ අනුව වයෝ පූර්ණත්වය සඳහා වයස් සීමාව අවුරුදු 18කි. 1995 අංක 18 දරන ‘විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධිත) පනත එම ආඥා පනතෙහි 15 වන වගන්තිය සංශෝධනය කරමින් සංශෝධිත වගන්තිය වලංගු වීමෙන් පසු විවාපත් වන දෙපාර්ශ්වයම වයස අවුරුදු 18 සම්පූර්ණ කොට නැතිනම් එසේ කිසිම විවාහයක් වලංගු නොවන බව සඳහන් කරයි.

විවාහා වීම සඳහා අවුරුදු 18 සහ ව්‍යවස්ථානුකූල ස්ත‍්‍රී දුෂණය සඳහා අවුරුදු 16 වන වයස් සීමාව විශේෂයෙන්ම එකඟතාව පදනම් වූ ලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් නොගැළපෙන තත්ත්වයක් උදා කරයි.

1 වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවකු හා අවුරුදු 18ට අඩු පිරිමි දරුවකු

2 වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවකු සහ අවුරුදු 18ට වැඩි පිරිමි දරුවකු

3 වයස අවුරුදු 16ට වැඩි අවුරුදු 18ට අඩු ගැහැනු දරුවකු හා අවුරුදු 18ට අඩු පිරිමි දරුවකු

4 වයස අවුරුදු 18ට වැඩි අවුරුදු 18ට අඩු ගැහැනු දරුවකු හා අවුරුදු 18ට වැඩි පිරිමි දරුවකු

මෙම මුල් අවස්ථා දෙකේදීම පිරිමි දරුවාට විරුද්ධව ‘ව්‍යවස්ථාපිත ස්ත‍්‍රී දුෂණය’ වදරට නඩු පවරනු ලැබීමට ඉඩ ඇති අතර, දෙපාර්ශ්වයටම අවුරුදු 18 ට වැඩි වන තෙක් විවාහ වීමට ද අවසර නැත. 3 හා 4 අවස්ථාවන්හි දී පිරිමි දරුවා ව්‍යස්ථාපිත ස්ත‍්‍රී දුසණ වරදට නඩු පවරනු ලැබීමට භාජනය නොවන අතර ඔවුන් දෙදෙනාට අවුරුදු 18ට එළඹීමෙන් පසුව විවාහ වීමට හැකි වෙයි.

අනිවාර්ය දඬුවම් කිරීම පිළිබඳ අධිකරණයේ අභිමතය

දණ්ඩ නීති සංග‍්‍රහයේ 1995 සංශෝධනයට අනුව වයස අවුරුදු 16ට අඩු ඕනෑම ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම අනිවාර්යයෙන් අවුරුදු 10ක අවම කාලයක් සිර දඬුවමක් ලබන වරදක් වෙයි.

අනිවාර්යයෙන් අවුරුදු 10ක අවම කාලයක සිර දඬුවමක් නියම කරන, (2008 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් මගින්) දණ්ඩ නීති සංග‍්‍රහයේ 364 (2) වගන්තිය පිළිබඳව අර්ථ කථනයක් කර ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 125 (1) වගන්තිය සඳහන් කරමින් උතුරු මධ්‍යම පළාතේ මහාධිකරණ විනිසුරුවරයෙක්, 364 (2) යටතේ වරදකරුවකු වූ චූදිතයෙක- සම්බන්ධයෙන් දඬුවම් කිරීමේදී අධිකරණයේ අභිමතය භාවිත කිරීම ඉවත ලා ඇත්දැයි විමසීය. එම නඩුව පිළිබඳ විස්තර මෙසේය,

‘එය පැමිණිලිකරු හා 1 වන වගඋත්තරකරු අතර එකඟතාව මත පදනම් වූ ලිංගික සම්බන්ධතා පිළිබඳ නඩුවක් විය. සිද්ධිය සිදුවන අවස්ථාවේදී පැමිණිලිකාරිය අවුරුදු 15-16 අතර වයස්කාරියකි. නඩුව විමසන කාලය වන විට පැමිණිලිකාරියත් වගඋත්තරකරුත් වෙනත් අය හා විවාහා පත්ව සිටියහ. නඩුවෙහි පවතින තත්ත්වය සලකා බලා මහාධිකරණ විනිසුරුවරයා එම වගන්තිය පිළිබඳ අර්ථකථනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමට උත්සාහා කළේය. 364 (2) වගන්තියෙහි අවම අනිවාර්ය දඬුවම ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 4(2,11 හා 12(1 වගන්ති හා ගැටෙන හෙයින් ‘අවම අනිවාර්ය දඬුවම නොතකා සුදුසු පරිදි සිය අධිකරණ අභිමතය අනුව දඬුවමක් නියම කිරීමෙන් මහාධිකරණය වළක්වාලිය නොහැකිය’ යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය විය.

 
 
(කාන්තා සහ ගැහැනු දරු ආරක්ෂණය පිළිබඳ ශ‍්‍රී ලංකා නීති නාමාවලිය, ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය, 2012 ජූලි, ආචාර්ය චාරිකා මාරසිංහ, පිටුව 73-81 )
 

 

 

Advertiesment