Monday 9th of December 2019

English Tamil
Advertiesment


කැන්ගරුවන් මාලිංගගේ මොළය උලා කෑවාද..?


2019-11-04 2010

 

"ඔස්ට්‍රේලියාව පරාජය කරන්න දක්ෂකම විතරක් නොව බුද්ධියත් ඔනෑ" -ලසිත් මාලිංග-

 

මාලිංග තරඟය අත හැරියා ද..?

 

ගෙවුණු සතියේ ක්‍රීඩා කරළිය උණුසුම් කළ තිරය පිටු පස මෙන්න 

 

රග්බි ලෝක කුසලානය දකුණු අප‍්‍රිකාවට

 

 

(තුෂාල් විතානගේ)

 

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය, කැබිෆෝනියාවේ ලැව්ගිනි, එංගලන්තයේ බ්‍රෙක්සිට්, සිරියානු - තුර්කි යුධ ගැටුම් මැද මුළු ලෝකයේම අවධානය පැය කිහිපයකට සෙනසුරාදා(2) ජපානයේ යෝකෝහමා වෙත යොමු වුණා. ඒ බිහිසුණු සුළි කුණාටු, මහ ගං වතුර මැද පැවැති ‘රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය’ එහිදී පැවැත් වුණ නිසයි.

පාපන්දුවලට පමණක් දෙවැනි රග්බි කියන්නේ ලෝකමේ අවධානය දිනාගත් ක‍්‍රීඩාවක්. එහි දැවැන්තයින් වන්නේ ද ‘සුදු රටවල්’ වුණත් ජවසම්පන්න තරුණයින්ගේ සහ ජවාධිකයින්ට පෙම්බඳින තරුණියන්ගේ අවධානය රග්බි වෙත නිතැතින් යොමු වෙනවා. ඒ නිසා රග්බි ලෝක කුසලානය පැවැත් වෙනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඇස්...කන් පමණක් නොවෙයි මුළු ආත්මයම ඇද බැද තබා ගන්නා දෙයක්.

කොහොම වුණත් මෙවර රග්බි ලෝක කුසලානය පැවැති කාලය ජපානයට නම් ඒ හැටි යහපත් වුණේ නැහැ. තරගාවලිය ආරම්භයේදීම වාගේ වසර 60කට පසු දැවැන්තම සුළි කුණාටුවට ටෝකියෝ ප‍්‍රමුඛ ජපානයේ බහුතරයක් ප‍්‍රදේශ ලක් වුණා. ඒ නිසා ම තරග කිහිපයක් අවලංගු කිරීමට පවා සංවිධායකයින්ට සිදු වුණා.

මේ අතර සත්කාරක ජපානයත් තරගාවලියේ පෙරළිකාර ලෙස ඉදිරියට ආවා. ඒ සමගම රග්බි යෝධයින් වන නවසීලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ඇමෙරිකාවත් බලාපොරොත්තු සහිතව ඉදිරියට ආවා. ඒත් ඒ සියලූ දෙනාගේ බලාපොරොත්තු සිහින බවට පත්කරමින් රග්බි අවසන් මහා සටහනට කඳවුරු බැන්දේ එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාවයි.

එංගලන්තය සහ දකුණු අපි‍්‍රකාව අපට වඩාත් හුරු පුරුදුයි. ඒ පසුගිය ක‍්‍රිකට් ලෝක කුසලානයේදී අවාසනාවන්තම කණ්ඩයමක් වුණේ දකුණු අප‍්‍රිකාවයි. එංගලන්තය අති දක්ෂයින් නොවුවත් නවසීලන්තය සමග ක‍්‍රිකට් ලෝක කුසලානයේ පහස සම සමව භුක්ති වින්දා.

සෙනසුරාදා (2) පැවැති රග්බි අවසන් මහා තරගය වඩාත් උණුසුම් වීමට මේ කාරණා ප‍්‍රබල හේතු වුණා.

අවසන් මහා සටන

එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව අවසන් මහා සටහනට පිවිසෙන විට රග්බි විචාරකයින්ගේ වැඩි අවධානය දිනාගෙන සිටියේ එංගලනත්යයි. ඔවුන් 1995 දී සහ 2007දී ලෝක ශූරයින් වුණ දකුණු අප‍්‍රිකාව ගැන තබා තිබුණේ අඩු තක්සේරුවක්. ඒත් ක‍්‍රිකට් වගේම ලෝකේ ඕනෑම ක‍්‍රීඩාවක අවසානය ගැන අනාවැකි කියන්න බැරි බව මනාව සනාථ කළ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම බොහොම පහසුවෙන් වගේම ආක‍්‍රමණශීලී ලෙස තරගය සිය පාලනයට ගත්තා.

ඒ අනුව පළමු අර්ධය 12/6ක් සහ අවසන් තරගය 31/12ක් ලෙස පහසුවෙන් ජයග‍්‍රහණය කිරීමට දකුණු අප‍්‍රිකාව සමත් වුණා.

ජයග‍්‍රාහී දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් ‘මකසෝලේ ම්පිපි හා චෙල්සින් කොල්බි උත්සාහක දිනුම් එක බැගින් වාර්තා කළ අතර එහි ප‍්‍රවර්තන ද්විත්වය හා දඬුවම් පහර 06ක් සාර්ථක කර ගැනීමට ‘හැන්ඞ්රේ පොලාඞ්' සමත් වුණා. එංගලන්තය වෙනුවෙන් ‘ ඕවන් ෆැරල් 'දඬුවම් පහර 04ක් සාර්ථක කර ගත්තා.

ඒ අනුව අවසන් මහා තරගයේ වීරයා වුණේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ‘හැන්ඩ්‍රේ පොලාර්ඞ්" ය .

අවසන් මහා තරගයෙන් පසු එංගලන්ත පුහුණුකරු ‘එඞී ජෝන්ස්’ මාධ්‍ය හමුවේ තමන් ලද අනපේක්ෂිත පරාජය ගැන කතා කළා.

‘විශේෂයෙන් පළමු මිනිත්තු 50 තුළදී තරගය අපේ පාලනය යටතේ තිබුණා. පොර බැඳීම් ආධිපත්‍ය දැරුවේ අපියි. නමුත් අවසානයේදි අපි පරාජයට පත් වුණා. අද ඇද වැටීමේදී ඔවුන් අපිට වඩා හොඳයි. එය රගිබි ක‍්‍රීඩාවේ විශිෂ්ට තරගයක්. එක් දිනයක් ඔබ ලෝකයේ හොඳම කණ්ඩායම විය හැකියි. ඒත් ඊළඟ අවස්ථාවේ ඔබ හොඳම පරාජිතයා විය හැකියි. ඕනෑම තරගයක ස්වභාවය එයයි’ එඞී පැවසුවා.

තම ජයග‍්‍රහණය ගැන දකුණු අප‍්‍රිකානු පුහුණුකරු ‘රාසි ඉරැස්මස්’ටත් කියන්න කරුණු තිබුණා.

‘එය අමුතුයි. මෙවැනි දෙයක් මීට අවුරුදු දෙකකට පෙර අපට කළ හැකි යැයි මම සිතුවේ නැහැ. නමුත් මම මීට මාස හයකට පමණ පෙර ඒ සිහිනය දකින්න පටන් ගත්තා. අද මම ඇත්තටම ඒ සිහිනය සැබෑකර ගත්තා. ක‍්‍රීඩකයින් ගැන... මගේ රට ගැන ඇත්තටම මට ආඩම්බරයි. දැන් අපි හමුවේ යළි අභියෝගයක් තිබෙනවා ලෝක රග්බි කුසලානය අපි තෙවරක් දිනාගෙන තිබෙනවා. එය ආඩම්බරයට කරුණක් වගේම අභියෝගාත්මක දෙයක්. දැන් අපේ මූලික අවධානය යොමු වන්නේ දකුණු අප‍්‍රිකාවේ රග්බි ක‍්‍රීඩාව ශක්තිමත් කිරීම දෙසටයි. මේ ජයග‍්‍රහණය ඒ සඳහා ශක්තියක් වන බව පැහැදිලියි’ ඔහු කියා සිටියා.

මේ සමග තවත් වැදගත් කරුණු කිහිපයක් ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඒ වැඩිම වාර ගණනක් (තෙවරක්) රග්බි ලෝක කුසලානය ඔසවා තිබෙන්නේ /ජයගෙන තිබෙන්නේ දකුණු අප‍්‍රිකාව පමණයි. එමෙන්ම ලෝක කුසලාන අවසාන මහා තරගයේදී සියයට සියයක වර්තාවකට හිමිකම් කියන්නෙත් දකුණු අප‍්‍රිකාව පමණයි. මෙය 1999 දි ඔස්ටේ‍්‍රලියාව ලැබූ ලකුණු 23ක ජයග‍්‍රහණයෙන් පසු වාර්තා වූ හොඳම ජයග‍්‍රහණයයි.

ශ‍්‍රී ලංකාව යළි පරාජයේ කඳුළු බොයි

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ගැන කතා කරන විට හිතෙන්නේ ‘කටින් බතල කොළ හිටවන’ නායකයින් සහ පාලකයින්ගෙන් පිරීගිය තැනක් කියලයි. ලෝක කුසලාන පරාජයෙන් පසු ක‍්‍රිකට් ආයතනය සහ කණ්ඩායම තුළ සිදු කරන බවට පාලකයින් හා නායකයින් පාරම් බෑ කිසිවක් මේ දක්වා සිදුව නැහැ. ඒ වෙනුවට යළි යළිත් පරාජයේ නීරස රස බැලීමට ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුව තිබෙනවා.

පසුගිය එක් දින ලෝක කුසලානය වන විට ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සේම එක්දින කණ්ඩායමත් හිටියේ කිසි සේත්ම යහපත් තත්ත්වයක නොවෙයි. ක‍්‍රිකට් පරිපාලනය දූෂණය, අකාර්යක්ෂමතාවය හා කල්ලි ගැසීම් නිසා බෙලහීන වෙලා තිබුණා. ඒ නිසා 2019 ලෝක කුසලානයට යන කණ්ඩායම පවා තෝරා ගන්නා නිසි ක‍්‍රමවේදයක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට තිබුණේ නැහැ. කොහොම කොහොම හරි කණ්ඩායම ‘අටවා ගෙන’ එංගලන්තයට ගියා. එහිදී සිදු වුණ දේ ගැන අපි කවුරුත් දන්නවා. ඊට පස්සේ සිදු වුණ ‘මහා කයිවාරු කතා’ ගැනත් ‘කටින් බතල කොළ හිටවපු’ හැටිත් අපි කවුරුත් දන්නවා.

ලෝක කුසලානේ අමිහිරි මතකය සමග ලංකාවට පැමිණි බංග්ලාදේශය පැවැති එක්දින තරගාවලියෙන් ‘යාන්තමට යාමේ’ බේරා ගැනීමට ලංකාවට හැකි වුණා. ඒත් ලෝක කුසලාන පරාජයෙන් පස්සේ සිදුවිය යුතු කිසිදු ප‍්‍රතිසංස්කරණයක් සිදු නොකොට තවත් සති කිහිපයකින් ලෝක ශූරයින් වූ නවසීලන්තයට මුහුණ දුන්නා. එහිදීත් සිදු විය යුතු ආකාරයටම ‘පරාජය’ පමණක් ලංකාවට උරුම වුණා.

නායකයින් හා පාලකයින් ද හිතවත් මාධ්‍ය නඩ ද යළිත් ‘කයිවාරු කතා’ පටන් ගත්තා. ඒත් සිදු වුණ දෙයක් නැහැ.

ඒ සමග පාකිස්ථාන තරගාවලිය ආවා. ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව තිබූ මේ තරගාවලිය කෙසේ හෝ තම රට තුළම පැවැත්වීමට පාකිස්ථානයට වුවමනා වුණා. ක‍්‍රීඩකයින්ගේ ආරක්ෂාව ආදි බොහෝ කරුණු මැද, රාජ්‍ය තාන්ත‍්‍රික මැදිහත්වීම් සමග ලංකාව පාකිස්ථානයට යාමට සූදානම් වුණා. ඒත් ලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න ප‍්‍රමුඛ ජ්‍යෙෂ්ඨයෝ ආරක්ෂාව මුල්කරගෙන පාකිස්ථානයට යාම ප‍්‍රතිත්ෂේප කළා. ඒ ගණන 10ක්.

අවසානයේදී ‘නවක කණ්ඩායමක්’ පාකිස්ථානයට ගියා. අත්දැකීම් තිබුණ ක‍්‍රීඩකයින් එහි සිටියෙම නැති තරම්. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයටත් වුවමනා වුණේ කොහොම හරි ‘ජාමේ බේරා ගන්න’ පමණයි. ඒ නිසා නවක ක‍්‍රීඩකයෝ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උඟුලට හසු වුණා.

පාකිස්ථානය සමග කරච්චියේදී පැවැති එක්දින තරගාවලිය අපේක්ෂා කළ පරිදිම 2/0ක් ලෙස පරාජයට පත් වුණා. එක් තරගයක් වැස්සට සේදී නොගියා නම් පරාජය 3/0ක් වන බව පැහැදිලියි.

මේ පරාජය ලැබුවේ ‘නවක‘ කණ්ඩායමක් නිසා එතරම් ගල් එල්ල වුණේ නැහැ. දීර්ඝ කාලීන පරාජයේ ඇලී ගැලී සිටි ශ‍්‍රී ලංකා පේ‍්‍රක්ෂකයෝ, මාධ්‍ය පවා මේ ‘නවකයින්’ ලැබූ නියත පරාජය ගැන එක වචනයක් කිව්වේ නැහැ.මෙම තරගාවලියේ දෙවැනි අර්ධය වුණ විස්සයි 20 තරගාවලිය තිබුණේ පාකිස්ථානයේ ‘ලාහෝර්’ නුවර ගඩාෆි ක‍්‍රීඩාංගණයේ. 2009 අමිහිර මතකය ගැන මිස ලංකාවේ කවුරුත් මේ ගැන වැඩි තැකීමක් කළෙත් නැහැ.

ඒත් දසුන් ශානක නොසිතූ යමක් කළා. පළමු තරගය, දෙවැනි තරගය පමණක් නොව තෙවැනි තරගය පවා පාකිස්ථානයේදීම ජයග‍්‍රහණය කිරීමට දසුන්ගේ ‘කොලූ රැළ’ සමත් වුණා. පාකිස්ථානය දශකයකට පසුව තමන්ගේ භූමියේදීම නීරස/ ඓතිහාසික පරාජයක් ලැබුවා.හිස් අතින් පාකිස්ථානයට ගිය දසුන්ලා ලංකාවට ආවේ ‘වීරයෝ’ වෙලා. ලසිත්, දිමුත් ඇතුළු ජ්‍යේෂ්ඨයෝ නැතිව ඔවුන් කළ වික‍්‍රමය ගැන හැමෝම පුදුම වුණා.

අන්ත පරාජයක් උරුම වූ ඔස්ටේ‍්‍රලියානු සංචාරය

පාකිස්ථාන සංචාරයේ උණුසුම යාමටත් පෙර ලංකාවේ විස්සයි විස්ස කණ්ඩායමට ඔස්ටේ‍්‍රලියාවට යාමට සිදු වුණා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මුලින්ම ප‍්‍රකාශ කර තිබූ ආකාරයට කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට පැවරී තිබුණා. පාකිස්ථානයේ විප්ලවයක් කළ දසුන් ශානකගේ සොල්දාදුවෝ වෙනුවට ‘පණ බයේ’ පාකිස්ථානයට නොගිය වීරයෝ-ජ්‍යේෂ්ඨයෝ ඔස්ටේ‍්‍රලියානු සංචාරයේ මුල්පෙළට නම්කර තිබුණා.

ඔස්ටේ‍්‍රලියානු සංචාර සඳහා ගුවන්ගත වීමට මොහොතකට පෙර විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඔක්තෝබර් 17 වැනිදා කිව්වේ ‘ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජය කිරීමට දක්ෂතාව වගේම බුද්ධියත් තිබෙන්න ඕනෑ කියලයි’

ඒ අතර ඔක්තා්බර් 23 වැනිදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් කිව්වේ ‘අපි දැන් ඉන්නේ හොඳම රිදම් එකක’ කියලයි. යළිත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලකයෝ ‘පම්පෝරි කතා’ කිව්වා. ‘ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම ම සොඳුරු හිසරදයක් වන බවයි’ ඔවුන් කිව්වේ.

මේ සියලූම පම්පෝරි කතා මැද ශ‍්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 27 වැනිදා පළමු 20-20 තරගයට මුහුණ දුන්නා. ඒ ඔස්ටේ‍්‍රලියාවේ අඩිලෙඞ්හිදී. ඔස්ටේ‍්‍රලියාවට ලකුණු 127ක ජයග‍්‍රහණයක් ලබා දෙමින් පළමු තරගය නිමාට පත් වුණා. පළමු තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 99ක් පමණයි. ලසිත් ප‍්‍රමුඛ ජ්‍යේෂ්ඨ පන්දු යවන්නන්ට ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ එළවා එළවා පහර දුන්නා.

දෙවැනි තරගය ඔක්තෝබර් 30 වැනිදා පැවැත් වුණා. ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 118ක් පමණයි. යළිත් ලසිත් ප‍්‍රමුඛ ජ්‍යේෂ්ඨයින්ට හොඳ හැටි බැට දුන් ඔස්ටේ‍්‍රලියාව කඩුළු 09ක දැවැන්ත ජයග‍්‍රහණයක් වාර්තා කළා.

අවසන් තරගය, පැවැත් වුණේ නොවැම්බර් 01 වැනිදා. ඒ තරගයත් පරාජයට පත් වුණා. ඒ අනුව "ශ‍්‍රී ලංකා-ඔස්ටේ‍්‍රලියාව" 20-20 තරගාවලිය 3/0ක් ලෙස ශ‍්‍රී ලංකාව පරාජයට පත් වුණා.ලසිත්ගේ බුද්ධියට කළ හැකි කිසිවක් තිබුණේ නැහැ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාවේදී ලැබූ පරාජය ගැන ක‍්‍රීඩා විචාරකයෝ වගේම පේ‍්‍රක්ෂකයින් ද කම්පනයට පත් වුණේ නැහැ. ඒ දිගින් දිගටම මේ පරාජයන් දැක ඇති නිසා ද එසේ නැතිනම් ඊටත් වඩා තියුණු ජනාධිපතිවරණය නිසා ද කියලා කියන්න බැහැ. කොහොම වුණත් දැන් දැන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට වගේම පරිපාලකයින්ටත් ඔවුන් සියලූ දෙනාටම වඩා පේ‍්‍රක්ෂකයින්ටත් ‘ක‍්‍රිකට් අදාළ නැති’ දෙයක් බවට පත්ව තිබෙන බව නම් පේනවා.

ක‍්‍රීඩකයින් වෙන්දේසි කිරීම

ශ‍්‍රී ලංකා කණ්ඩායම කොතරම් පරාජයන්ට මුහුණ දුන්නත් ක‍්‍රිකට් කියන්නේ ක‍්‍රීඩකයින්ගේ ‘රැකියාව’ ඒත් ලංකාවේ කවුරුත් තමන්ගේ රස්සාව හරියට නොකර ‘පඩි’ ‘දීමනා’ ‘වරප‍්‍රසාද ’ පමණක් භුක්ති විදිනවා වාගේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයොත් වාර්ෂිකව රුපියල් කෝටි ගණන් පඩි ගන්නවා.

ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් අතර වාර්ෂික කොන්ත‍්‍රාත් ගිවිසුම පසුගිය දා අත්සන් කළා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අනුව කාණ්ඩ 05ක් යටතේ වර්ග කිරීමක් කර මේ කොන්ත‍්‍රාත් පිරිනමා තිබෙනවා. ඒ අනුව වැඩිම වටිනාකමක් සහිත කොන්ත‍්‍රාත්තුව හිමි වුණේ ‘ඇන්ජිලෝ මැතිව්ස්’ට ඒ රුපියල් ලක්ෂ 236ක්. දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් දෙවැනි තැනට පත් වුණා.

මාලිංගට ලන්සුවක් නෑ

මේ අතර ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාව කෙරේ උනන්දුවක් දක්වන බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත් තවත් සිදුවීමක් වාර්තා වුණා. ඒ එංගලන්ත ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ‘පන්දු 100’ තරගාවලියේදී ඉහළම ලංසුව තැබූ බව වාර්තා වුණ ලසිත් මාලිංග මිලදී ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ බවට වන ප‍්‍රවෘත්තියයි.

මේ අතර තවත් සුවිශේෂ සිදුවීමක් වාර්තා වුණා. ඒ ලංකාවෙන් බිහි වූ කීර්තිමත් පිතිකරුවෙක් හා නායකයෙක් වන කුමාර් සංගක්කාර සභාපතීත්වය දරන එංගලන්තයේ ‘මෙල්බෝර්න්’ ක‍්‍රීඩා සමාජය සහ ‘එසෙස්ක්ස්’ ක‍්‍රීඩා සමාජය අතර පවත්වන සාම්ප‍්‍රදායික ක‍්‍රිකට් තරගය ලබන වසරේ මාර්තු 24-27 යන දිනවල ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බවට වන පුවතයි.

 

Advertiesment