Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


සිල් රෙද්දට මුවා වී  ඒකාධිපති රෙජීමය  2015 දී රාජ්‍ය සම්පත් උලා කෑවේ මෙහෙමයි


2019-11-02 1376

 

ජනපතිවරණයේදී සමෘද්ධිය අවභාවිත කළා-ලංගම කාබාසිනියා කළා 

 

සිල් රෙදි බෙදුවා-ටකරන් බෙදුවා 

 

2010 ට සාපේක්ෂව 2015 දී රාජ්‍ය සම්පත් අවභාවිතය 300% දක්වා ඉහළට

 

(ඉන්ද්‍රජිත් හේවාවිතාරණ)

'කොකාගේ සුඳ පේන්නේ ඉඟිලෙන කොට' කිව්වා වාගේ වත්මන් විපක්ෂයේ සැබෑ හැඩරුව වටහා ගන්න නම් ඔවුන් පාලනය බලය දැරූ 2005 සිට 2015 දක්වා වූ යුගය දෙස බැලිය යුතුයි. ඒ දෙස විමසිල්ලෙන් බලන ඕනෑම අයෙකුට මොහොතකින් වැටහී යන සත්‍ය වන්නේ 'මේ කතා කරන්නේ මැරිලා ඉපඳුණු මිනිස්සුද' කියලයි. 

අපි කලින් ලිපිය මගින් 2010 වසරේදී පැවැති ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී එවකට පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය  අවභාවිත කළ ආකාරය ගැන සකච්ඡා කළා. අද අපේ මූලික අවධානය යොමු වන්නේ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා රාජ්‍ය සම්පත් අවභාවිත කළ ආකාරය ගැන සකච්ඡා කිරීම සඳහායි. මේ සඳහා අපි මූඛ්‍ය ලේඛන ලෙස යොදා ගන්නේ 'පැෆරල්' සංවිධානය සහ 'ට‍්‍රාන්සේපේරන්සි ඉන්ටර්නැෂනල්' ආයතනය මගින් ප‍්‍රකාශිත වාර්තායි.

2015 ජනාධිපතිවරණයට සති කිහිපයක් තිබියදී, 2014 දෙසැම්බර් 18 වැනිදා නිවේදනයක් නිකුත් කරන 'පැෆරල්' සංවිධානය 2014 දෙසැම්බර් 16 වන දින මධ්‍යම රාත‍්‍රිය දක්වා සිය 'මූලික නිරීක්ෂණ' ඉදිරිපත් කරනවා. එහිදී ඔවුන් කියන්නේ 'රාජ්‍ය දේපොළ අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධ සිදුවීම් 76ක් තහවුරු කර ගැනීමටත්,එසේ තහවුරු කර ගැනීමට නොහැකි වූ සිද්ධීන් 15ක් නිරීක්ෂණය කිරීමටත්' සිය සංවිධානයට හැකියාව ලැබුණු බවයි.

'රාජ්‍ය දේපොළ සහ රජයේ සේවකයින් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට අලුත් පත්වීම් ලබාදීම සහ ස්ථානමාරු ලබාදීම යන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ඉහත කී කාණ්ඩයට ඇතුළත් වේ' යැයි පැෆරල් සිය නිවේදනය මගින් කියා සිටිනවා.මෙහිදී 'විශේෂිත නිරීක්ෂණ'ඉදිරිපත් කරන පැෆරල් සංවිධානය මෙසේ සඳහන් කරනවා.

1. රාජ්‍ය දේපොළ අයථා ලෙස පරිහරණය කිරීම - පැෆරල් සංවිධානය රාජ්‍ය දේපොළ අයථා ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පහත සිදුවීම් නිරීක්ෂණය කරයි

x මැතිවරණය සමග සමගාමී වන ලෙස සුබ සාධන ක‍්‍රියාකාරකම් සිදුවෙමින් පවතී. උදාහරණ ලෙස, රට පුරා සිටින සමෘද්ධි ලාභීන්ට විශේෂ සමෘද්ධි දීමනාවක් ලබාදීම, ගාල්ල ප‍්‍රදේශයේ නව ප‍්‍රතිලාභීන් සඳහා සමෘද්ධි කාඞ්පත් බෙදාදීම, ත‍්‍රිකුණාමලයේ සහ සේරුවිල ගොවීන් සඳහා නියං සහනාධාර ලබාදීම, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන් සඳහා බිත්තර වී ලබාදීම, උතුරු පළාතේ වතුර මෝටර්, මහන මැෂින් සහ කෘෂිකාර්මික උපකරණ බෙදාදීම, ගාල්ල රත්ගම ප‍්‍රදේශයේ මුළුතැන්ගෙයි උපාංග බෙදාදීම.

x මැතිවරණය ඉලක්ක කොට ගෙගන විවිධ උපකරණ සහනදායී පදනම මත ලබාදීම.උදාහරණ වශයෙන් විශ‍්‍රාමිකයින් සඳහා ජංගම දුරකථන ලබාදීම. (මේ ක්‍රියාව මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස නතර කරන ලදි) රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා සහනදායී වටිනාකමට යතුරු පැදි ලබාදිම.

x මැතිවරණ අරමුණු සඳහා රාජ්‍ය වාහන යොදා ගැනීම. උදාහරණ වශයෙන්, 2014 දෙසැම්බර් 11 වැනිදා අනුරාධපුරයේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය සඳහා ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ 1000කට අධික ප‍්‍රමාණයක් යොදා ගැනීම. 2014 දෙසැම්බර් 15 වන දින පානදුර පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැළිය සඳහා ලංගම බස්රථ 500කට අධික ප‍්‍රමාණයක් යොදා ගැනීම. එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 'පෝස්ටර්' ප‍්‍රවාහනය කිරීම සඳහා ධීවර සංස්ථාවට අයත් වාහන යොදා ගැනීම.

x මැතිවරණ ප‍්‍රචාරක කාර්යාල ලෙස සහ ප‍්‍රචාරක කටයුතු සඳහා රජයට අයත් පරිශ‍්‍රයන් යොදා ගැනීම. මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් පැවැත්වීම සඳහාත් 'කටවුට්' ප‍්‍රදර්ශනය කිරීම සඳහාත් රජයට අයත් පරිශ‍්‍රයන් භාවිත කොට ඇත.

2. රාජ්‍ය අංශයේ සේවකයින් සහ බන්ධනාගාර රැඳවියන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල ශ‍්‍රමිකයින් ලෙස භාවිතා කිරීම.

x මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සේවකයින්, විශේෂයෙන් රාජ්‍ය ආයතනවල කම්කරු ශ්‍රේණියේ සේවකයින් යොදා ගැනීම. උදාහරණ වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරු ශ්‍රේණියේ සේවකයින් 'පොස්ටර්' ඇලවීම සඳහා භාවිත කිරීම. අකුරැස්ස නගරයේ පැවැති මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමක් සඳහා අදාළ වේදිකාව ඉදි කිරීමටත් සැරසිලි කටයුතු සිදු කිරීමටත් බන්ධනාගාර රැඳවියන් යොදා ගැනීම.

x එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහාත් ඔහුව ප‍්‍රවර්ධනය කිරීම සඳහාත්  රාජ්‍ය අංශ සේවකයින් මෙහෙයවිම. රාජ්‍ය අංශයේ මණ්ඩලවල සහ අධිකාරීන්වල සේවකයින් මේ බලපෑම්වලට විශේෂයෙන් නතු වන සුළුය. උදාහරණ වශයෙන් මැතිවරණ ප‍්‍රචාරක පරමාර්ථ සඳහා තරුණ සේවා නිලධාරීන් යෙදවිම. ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ 'ඩිපෝ' කාර්යාල සඳහා ස්වකීය අපේක්ෂකයා වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන වෘත්තීය සමිති නායකත්වය විසින් ලබා දෙන ලද විස්තරාත්මක උපදෙස්.

3. මැතිවරණ ප‍්‍රචාරක අරමුණු සඳහා රාජ්‍ය උත්සව උපයෝගී කොට ගැනීම. මේ ක්‍රියා මාර්ගය එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යපාරයේ ප‍්‍රධාන අංගයක් වී තිබේ. මැතිවරණ ප‍්‍රචාරක අරමුණු සඳහා වූ වේදිකාවක් වශයෙන් රාජ්‍ය උත්සව උපයෝගී කොට ගනිමින්පැවතිණ.

උදාහරණ වශයෙන්, සාලමුල්ල ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයක් විවෘත කිරීමේ උත්සවය, විශ්ව විද්‍යාල සිසුන් සඳහා මහ පොළ දීමනා ලබාදීමේ උත්සවය, ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ මහ ජන පොළක් විවෘත කිරීමේ උත්සවය දැක්විය හැකිය.

4. ප‍්‍රධන පෙළේ රාජ්‍ය අංශවල සිදු කෙරෙන ස්ථාන මාරු සහ නව පත් කිරීම්.

උදාහරණ වශයෙන් පොලිස්පතිවරයාගේ අදහස් නිසි ලෙස විමසීමකින් තොරව නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ අමාත්‍යාංශයට අලුතින් පත් කළ ලේකම්වරයා විසින් මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට ආසන්න කාලය තුළ සිදු කළ ස්ථාන මාරුවීම් 500 පෙන්වා දිය හැකිය.එමෙන්ම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයා මග හැර නව ස්ථාන මාරු කිරීම් සිදු කොට ඇත. පොලිස් සැරයන්වරුන්, උප පොලිස් පරීක්ෂකවරුන් දක්වා උසස් කිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම. අලුත්ගම පොලිසියේ ස්ථාන භාර නිලධාරිවරයාට ස්ථාන මාරුවක් ලබාදීම සහ වේයන්ගොඩ පොලිස් ස්ථානයේ ස්ථාන භාර නිලධාරිවරයාට ස්ථාන මාරුවක් ලබාදීම ද ඊට අයත් වේ.එපමණක් නොව අධ්‍යාපන අංශ සඳහා පුද්ගලයින් 210ක් අලුතින් බඳවා ගන්නා ලදි.

5. නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා සඳහා වන මැතිවරණ ප‍්‍රචාරක අවකාශය සීමා කිරීම.

උදාහරණ වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධන පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතන පොදු ස්ථාන සඳහා වූ ප‍්‍රවේශය ප‍්‍රතික්ෂේප කිරීම. රුවන්වැල්ල සහ අකුරැස්ස ප‍්‍රාදේශීය සභා සහ තලාව මහ ජන ක‍්‍රීඩාංගනය ලබා නොදීම.

කොත්මලේ පැවැති නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණු අපේක්ෂකයාගේ රැස්වීම සඳහා වූ විදුලිය විසන්ධි කිරීම සහ රැස්වීමට සහභාගී වීමට පැමිණෙමින් සිටි පිරිස් රැගත් වාහනවලට බාධා කිරීම. ගම්පහ ප‍්‍රදේශයේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණු රැස්වීමට බාධා කිරීම.

7. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය පූර්ණ වශයෙන් උපයෝගී කර ගැනීම.ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා රාජ්‍ය මාධ්‍ය ඉතාම ඉහළ මට්ටමකින් උපයෝගී කොට ගැනෙමින් තිබෙන අතර මේ තත්ත්වය  විපක්ෂය සඳහා ලැබෙන මාධ්‍ය ආවරණය අබිබවා ගිය ප‍්‍රචාරණයකි.

ඉහත සඳහන් වන්නේ 'ස්වාධීන' ආයතනයක් වශයෙන් දීර්ඝ කාලයක් තුළ ක‍්‍රියාත්මක වෙමින් පවතින 'පැෆරල්' සංවිධානය විසින් 2014 දෙසැම්බර් 18 වැනිදා නිකුත් කළ නිවේදනය මගින් එම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය සඳහා රජය සතු භෞතික සහ මානව සම්පත් අයුතු ලෙස භාවිත කළ ආකාරයයි.

මෙතැන් සිට පැෆරල් සංවිධානය විසින් නිකුත් කළ 'දෙවන අතුරු වාර්තාව' දෙස අවධානය යොමු කළ හැකියි. මෙහිදී එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ 2014 දෙසැම්බර් 30 වන දින දක්වා වන නිරීක්ෂණ ඇතුළත් වෙනවා.

සිය දෙවන අතුරු වාර්තාව මගින් පැෆරල් සංවිධානය කියන්නේ 2014 දෙසැම්බර් 30 වන දින වන විට 'රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම' සම්බන්ධයෙන් සිදුවීම් 147ක් තහවුරු කර ගත් අතර සිය සංවිධානය වෙත වාර්තා වූ තවත් සිදුවීම් 32ක් තහවුරු නොවූ වූ බවයි.

'... රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් සිදුවීම් 147ක් තහවුරු කර ගත් සිදුවීම් වන අතර 32ක් තහවුරු නොවූ ඒවා වේ. රාජ්‍ය දේපොළ හා රජයේ සේවකයින් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම රාජ්‍ය සේවයේ නිලධාරීන්ට අලුතින් පත්වීම් ලබාදීම මෙතෙක් පැවැති මැතිවරණ නිරීක්ෂණ ක‍්‍රියාවලියේදී ඉතා පැහැදිලිව දක්නට ලැබුණු නීති උල්ලංඝණයන් වේ. එමෙන්ම මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නිරත වන පිරිස්වලට කෙරන පහරදීම්වල ඉහළ යාමක් දක්නට ලැබේ. බොහෝ සිදුවීම් මහ ජනතාව ගැවසෙන ස්ථානවල සිදුවූ අතර ඒවායේ ප‍්‍රචණ්ඩකාරී ස්වරූපය ද ඉහළ මට්ටමක පැවතුණි' (ජනාධිපතිවරණය 2015, පැෆ්රල් සංවිධානයේ දෙවන අතුරු වාර්තාව, පිටුව 03) 

මෙහිදී සිය විශේෂිත නිරීක්ෂණ ඉදිරිපත් කරන පැෆරල් අතුරු වාර්තාව කියන්නේ, 2010 සමග සසඳන කල්හි 2015 ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපොළ අයුතු ලෙස භාවිත කිරීමේ සිද්ධීන් තෙගුණයකින් වර්ධනය වී ඇති බවයි. 2010 දී රාජ්‍ය දේපොළ අයුතු ලෙස මැතිවරණය සඳහා යොදා ගැනීමට සම්බන්ධ සිදුවීම් 53ක් වාර්තා වූ අතර මෙම මැතිවරණය සඳහා තව සතියක කාලයක් තිබියදීත් එවැනි සිදුවීම් 147ක් වාර්තා වී ඇති බවයි.

'...මෙම මැතිවරණය සඳහා රාජ්‍ය දේපොළ අවභාවිතය ක‍්‍රමානුකූලව හා සංවිධානාත්මකව සිදු වන බවක් පෙනෙන්ට තිබේ. මෙම තත්ත්වය ප‍්‍රධාන වශයෙන් දෙයාකාරයකින් දැකිය හැකිය. එක් අතකින් සුබ සාධක කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් දේශපාලනික ආර්ථයෙන් යොදා ගැනිම සහ අය - වැය යෝජනා මගින් ප‍්‍රතිලාභ වැඩි කිරීම දේශපාලනික අර්ථයෙන් සිදු කිරීම වැනි සිදුවීම් දැක්විය හැකිය. අනෙක් අතින් විශ‍්‍රාමිකයින්ට ජංගම දුරකථන බෙදාදීම වැනි විශේෂ සුබ සාධක කටයුතු දැක ගත හැකිය. මේවා ජනාධිපතිවරණයට සමගාමීව සිදු කිරීම රාජ්‍ය දේපොළ අවභාවිතයක් ලෙස නිර්වචනය කළ හැකිය.'

ඉහතින් සඳහන් කළේ පසුගිය 2015 ජනාධිපතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් සිදු වූ වඩාත් ප‍්‍රකට නොවූ සිදුවීම් පමණයි. එහෙත් ඉහත අවභාවිතයන්ට වඩා සිය දහස් ගුණයකින් විරුද්ධ පක්ෂ අපේක්ෂකයාට ඍණාත්මක බලපෑමක් කළ 'කුප‍්‍රකට' සිදුවීම් රැසක් ද පසුගිය ජනාධිපතිවරණයේදී  රාජ්‍ය සම්පත් අවභාවිතයට ඇතුළත්. 

කුප‍්‍රකට සිදුවීම් - සිල් රෙදි - සෙවිළි තහඩු සහ කැරම් බෝඞ්

පසුගිය 2015 ජනාධිපතිවරණයේ වඩාත්ම කුප‍්‍රකට රාජ්‍ය සම්පත් අවභාවිතය වශයෙන් එවකට ජනපති ලේකම්වරයාව සිටි ලලිත් වීරතුංග මහතා ඍජුව චෝදනා ලැබූ 'සිල් රෙදි' බෙදාදීම,ආර්ථික සංවර්ධන ඇමැතිවරයාව සිටි බැසිල් රාජ්‍ය මහතා ඍජුව චෝදනා ලැබ සිටින 'සෙවිලි තහඩු බෙදාදීම' මෙන්ම එවකට ක‍්‍රීඩා ඇමැතිවරයාව සිටි මහින්දා නන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇති 'කැරම් බෝඞ්' නඩුව දැක්විය හැකිය. ඒ අතර අධිකරණමය ක‍්‍රියාවලිය තුළ ප‍්‍රශ්නගත වූ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයාට එරෙහි 'ලක් සතොස' භාණ්ඩ බෙදාදීම ආදි වශයෙන් රාජ්‍ය සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් ප‍්‍රකට සහ අප‍්‍රකට චෝදනා රැසක් ද තිබෙනවා.

මෙහිදී 'සිල් රෙදි' බෙදාදීම සම්බන්ධයෙන් සමාජය තුළ මහත් ආන්දෝලනයක් සිදුවූ හෙයින් එම සිදුවීම ගැන යම් අවධානයක් යොමු කිරිම වැදගත් යැයි සිතෙනවා. ඊට හේතුව වන්නේ මෙම සිදුවීම හුදු රාජ්‍ය සම්පත් අවභාවිතයකට එහා ගිය දෙයක් ද නිරූපණය කිරීමයි.

සිදුවීම සම්බන්ධයෙන් 'ට‍්‍රාන්සේපේරන්සි ඉන්ටර්නැෂනල්' ආයතනය සියලුම විහාරාධිපති හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වෙත ආයාචනයක් කරමින් මාධ්‍ය නිවේදනයක් සහ පුවත්පත් දැන්වීමක් ප‍්‍රසිද්ධියට පත් කළා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ,

'... ඉදිරි මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් තමන්ගේ ප‍්‍රචාරාත්මක කර්තව්‍යයක් ලෙස ලබන ජනවාරි 04 වැනිදාට යෙදෙන පෝය දිනයේදී දිවයිනේ විහාරස්ථානවලදී සිල් රෙදි බෙදාදීමේ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වීමට නියමිතය. රුපියල් කෝටි ගණනක් වැය කර සිදු කෙරෙන මෙම වැඩ පිළිවෙළ මැතිවරණ නීතියට සම්පූර්ණයෙන් පටහැනිය. ජනාධිපතිවරණ පනතේ 77 වන වගන්තිය අනුව, මෙම ක‍්‍රියාව 'ඡන්දය දීමට දූෂිත ලෙස බලපෑම් කිරීමක්' වන අතර, එහි 78(1) වගන්තිය යටතේ එසේ සිදු කරනු ලබන්නන් වැරදිකරුවන් ලෙස සැලකේ. එමෙන්ම ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 79 වන වගන්තිය යටතේ එය අල්ලසක් ලබා දීමක් ලෙස ද සැලකේ. මැතිවරණය අවසන් වන තුරු මෙම ක‍්‍රියාව ඔබ වහන්සේගේ විහාරස්ථානය තුළ සිදු නොකරන ලෙසත්, එසේ සිල් රෙදි බෙදාදීමක් කිසිවකු විසින් සිදු කරන්නේ නම් එයට විරුද්ධ වන ලෙසත් අපි ඉතා ගෞරව පූර්වකව ඔබ වහන්සේලාගෙන් ඉල්ලා සිටිමු'

සිල් රෙදි බෙදාදීම මැතිවරණ පනත යටතේ ඉතාම පැහැදිලිව මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක්, ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීමක් බව සඳහන් කරමින් 'ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්' ආයතනය කළ ඉල්ලීමට මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන 'නිදහස් මව්බිමේ නීඥයෝ සංවිධානය' නම් කණ්ඩායමක් ක්ෂණිකව ප‍්‍රතිචාර දක්වූ අතර එම සංවිධානය විසින් 'සියලු විහාරාධිපති හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයට කෙරෙන නමස්කාර පූර්වක පැහැදිලි කිරීමයි' මැයෙන් පළ කළ පුවත්පත් දැන්වීමේ සහ මාධ්‍ය නිවේදනයේ සඳහන් කළේ,

'... එකී රාජ්‍ය නොවන සංවිධානය විසින් පළ කරන ලද දැන්වීමේ ඇතුළත් කරුණු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, එවැනි ක‍්‍රියාවක් ජනාධිපතිවරණ පනතේ ප‍්‍රතිපාදනයන්ට කිසිසේත් අදාළ නොවන බවත්, ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10 වන ව්‍යවස්ථාව මගින් සෑම රට වැසියෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිවාසිකම ඇතුළු සිතීමේ, හෘද සාක්ෂියේ සහ ආගමික නිදහස තහවුරු කර ඇති බවත් අපි වැඩි දුරටත් අවධාරණය කර සිටිමු.

බෞද්ධයන් චිරාත් කාලයක් මුළුල්ලේ භික්ෂු භික්ෂුනී උපාසක - උපාසිකා යන සිව්වනක් පිරිස විෂයෙහි පූජා කරනු ලබන සිව්පසය ඇතුළු පූජා භාණ්ඩ පිරිනැමීම කිසිසේත් අල්ලසක් හෝ නීති විරෝධී ක‍්‍රියාවක් ලෙස හැඳින්විය නොහැක.

මෙම රාජ්‍ය නොවන සංවිධානය විසින් කර ඇති ඉල්ලීම බෞද්ධයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන ප‍්‍රකාශයක් බවත්, රටේ බහුතරයක් වූ බෞද්ධ ජනතාවගේ ආගමික අයිතිය උදුරා ගැනීමට හෝ හෑල්වලුට ලක් කිරීමට කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකට හෝ යම් නිලධාරියෙකුට අයිතියක් නොමැති බවත්, ඒ සඳහා ගන්නා වූ උත්සාහයන්ට විරුද්ධවීමට ඔබ වහන්සේලාට අයිතියක් ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු නීතිමය සහායන් අප සංවිධානය විසින් ලබා දෙන බවත් ගෞරවයෙන් ප‍්‍රකාශ කර සිටිමු'

"නිදහස් මව්බිමේ නීතිඥයෝ" සංවිධානය විසින් මෙලෙස අනීතික ආකාරයෙන් රාජ්‍ය දේපොළ අව භාවිත කිරීමට අනුබල දුන්නත් ඊට පසුව මේ සිදුවීම සම්බන්ධයෙන් සිදු වූ අධිකරණයමය ක‍්‍රියාවලිය තුළ සිල් රෙදි බෙදාදීමට සම්බන්ධ වූ බවට චෝදනා ලැබූ එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂමේ සභාපති ප‍්‍රදීප් කාරියවසම් යන මහත්වරුන් අධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබුවා.

මේ හා සමගාමීව සෙවිලි තහඩු සහ කැරම් බෝඞ් බෙදාදීම ඇතුළු එම මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් වන අධිකරණයම ක‍්‍රියාවලිය සිදු වෙමින් තිබෙනවා.

අපි මේ ලිපි පෙළ මගින් උත්සාහ කළේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමන් බලයේ සිටි කාලය තුළ පැවැත්වූ සෑම මැතිවරණයකදීම අසීමිත ලෙස රාජ්‍ය සම්පත් හා රාජ්‍ය බලය අවභාවිත කළ ආකාරය නිදසුන් සහිතව පෙන්වා දීමයිටයි. ඒ වගේම අද රාජ්‍ය සම්පත් අවභාවිතය, දූෂණය ගැන කතා කරන හිටපු රාජ්‍ය නායකයින් සිය පාලනය කාලය තුළ කොතරම් නිර්ලජ්ජිත ලෙස 'රාජ්‍ය සම්පත් උලා කෑවා ද' යන්න පැහැදිලි කර දීමටයි.මේ සමග අපේ මතකයට නැගෙන්නේ 'කරන කලට පවු මිහිරිය මී සේ...විඳින කලට පවු දැඩි වෙයි ගිනි සේ' කියන කියමනයි.

 

Advertiesment