Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


හොරුන් අල්ලමු - හොරකමට තිත තබමු


2019-10-31 1777

හොරුන් අල්ලා හොරකමට තිත තැබිය හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පමණකැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ ඔක්තෝබර් 29 වන දින  ජාතික ජන බලවේගය සංවිධානය කල පොළොන්නරුව කඳුරුවෙල ජන රැලිය අමතමිනි.

 

අප මෙතනට ආවේ, අපේ රටේ යල්පීනූ අසාර්ථක දේශපාලන කඳවුරු දෙක අතහැරදමා නව දේශපාලන ව්‍යාපාරයකට බලය ලබාදෙන්න කියන ඉල්ලීම ඔබලාගෙන් ඉල්ලීම සඳහායි. රට හදයි කියන බලාපොරොත්තුවෙන්, දරුවන්ගේ අධ්‍යාපනය හදයි කියන බලාපොරොත්තුවෙන්, ගමේ පාර හදලා දෙයි කියන බලාපොරොත්තුවෙන්, අපට පහසුකම් සහිත නිවසක් ලැබේවි, අපේ දරුවන්ට රැකියාවක් ලැබේවි, ආදී විශාල බලාපොරොත්තු සහිතව තමයි ජනතාව ආණ්ඩු හැදුවේ.

නමුත් ප්‍රශ්න විසඳුණාද? කවුරු හරි නායකයෙක් ඇවිල්ලා රට හදයි කියලා ජනතාව හැමදාම කල්පනා කළා. 94 දි හිතුවා. විහාරමහාදේවි ඇවිල්ලා අපේ රට ගොඩදායි කියලා. අවුරුදු 10ක් ගතවන විට තිබුණාටත් වඩා ප්‍රපාතයකට එයාගේ ආණ්ඩුව ඇදල දැම්මා. 2005 දී කල්පනා කළා දුටුගැමුණු ඇවිල්ලා අපේ රට ගොඩදායි කියලා. අවුරුදු 10ක් යනවිට තිබුණාටත් වඩා ප්‍රපාතයකට රට ඇදලා දැම්මා. ඊට පස්සේ කල්පනා කළා පොළොන්නරුවෙන් කෙනෙක් ගේන්න. ඊට පස්සේ පොළොන්නරුවෙන්ම ගෙනාවා.

පොළොන්නරුවේ ගැමියයි, ආසියාවේ ලොකුම මොළෙයි එකතු කරලා හැදුවා ආණ්ඩුවක්. දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ රට තව තවත් ප්‍රපාතයට ගිහිල්ලා. දැන් අලුත් එකක් කියනවා. දුටුගැමුණුට බැරි වුණාට එයාගේ මල්ලි හදයි කියලා කට්ටියක් කල්පනා කරනවා. තවත් අය හිතනවා තාත්තාට බැරි වුණාට පුතා හදයි කියලා. දශක කීයක් මේ රට හදයි කියලා තනි තනි නායකයෝ පස්සේ මේ රටේ ජනතාව ගියාද? ඒ හැම වතාවේම ඉතිරි වුණේ අපේක්ෂාභංගත්වය විතරයි.

හිතුවදේට පටහැණි දේ තමයි සිද්ධ වුණේ. ඒ නිසා අපේ රටේ ජනතාවට වුවමනාවටත් වඩා අත්දැකීම් තිබෙනවා. මේ රැවටිලිකාරී, වංචාකාරී දේශපාලන පක්ෂ දෙකම අපේ රට විනාශ කළ බවට හා තවදුරටත් මේ රට ඔවුන්ට හදන්න බැරි බවට. අපේ කුඹුරුවල වඩුකුරුල්ලා කූඩු බඳිනවා.  අපි පොඩි කාලෙ වඩුකුරුල්ලි කූඩු බැන්දෙ කොහොමද? එදා කූඩු බැන්ද විදියටම තමයි දැන් බඳින්නෙත්. තව අවුරුදු සීයක් ගියත් ඒ විදියම තමයි. මී වදය මීට අවුරුදු දහස් ගණනකට පෙර බැන්ද විදියටම තමයි අදත් හෙටත් බඳින්නේ. මේ පාලකයොත් එහෙමයි.

අවුරුදු 71ක් මේ රට පාලනය කරලා,  තව 50ක් 100ක් පාලනය කළත් ඒකම තමයි සිද්ධ වෙන්නේ. වෙනස් වෙයි කියලා හිතනවාද? නැහැ. එහෙනම් දැන් මොකක්ද වෙන්න ඕනැ. අපේ රටේ අර පාලකයන් වෙනස් කරන්න තාමත් ජනතාවට බැරිවෙලා තිබෙනවා. එහෙනම් දැන් වෙනස් වෙන්න ඕනෑ කවුද? ජනතාව. අපි පොළොන්නරුවට ආවේ ජනතාව වෙනස්වෙලා නව පාලනයක් ගොඩනඟමුයි කියලා ආරාධනය කරන්න.

ශ්‍රීලං.නි.ප.ය, එ.ජා.ප. පාක්ෂිකයෝ කොච්චර විශ්වාස කළත් ඒ පක්ෂ දෙකේ පාලකයෝ වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි ශ්‍රීලං.නි.ප., එ.ජා.ප. පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ වෙනස් වෙන්න කියලා. ඇයි වෙනස් වෙන්න ඕනැ. මේ රට ගොඩනඟන්න අවශ්‍ය වන පාලනයක් අපි හදාගන්න ඕනෑ. අපිට දෙන්න මේ රටේ බලය සහතික වශයෙන්ම මේ රට අපි ගොඩනඟනවා.

අපේ රටේ දක්ෂ පොලිසියක් තිබෙනවා. බොහෝ අය තමන්ගේ රත්තරං බඩු හරි මොනවා හරි හොරුගත්තාම යන්නෙ දේවාලයට. හැබැයි දේවාලේ කපුවගේ රත්තරං බඩු ටික නැතිවුණාම එයා යන්නේ පොලිසියට. එයා ආරක්ෂා කරනවා කියන කාලි අම්මාට එයා ඒක කියන්නෙ නැහැ. වැස්සක් හරි අව්වක් හරි ආවොත් අපිට හෙවණකට යන්න පුළුවන්. නමුත් පොලිසියේ මහත්තයා අව්ව, වැස්ස කියල නැහැ තම රාජකාරිය කරනවා. ඔවුන් ඉටුකරන්නේ දුෂ්කර රාජකාරියක්. අපේ රටේ පොලිසියට නීතිය ඉටුකරන්න බැරිවෙලා තියෙන්නේ ඇයි? දේශපාලනය නිසා.

අපේ රටේ සෑම අපරාධයක්ම සොයාගන්න පොලිස් දෙපාර්තමේන්තුවට ලසන්තගේ, එක්නැලිගොඩගේ, තාජුඩීන්ගේ ඝාතනය සොයා ගන්න බැරිවුණා. ඇයි ඒ? ඒ සියල්ල කළේ දේශපාලකයෝ. දියුණු රටක් හදන්න නම් නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වන රටක් ඕනෑ. නිතිය වල්වැදුණු කිසිදු රටක් ලෝකයේ දියුණු වෙලා නැහැ. අපි නීතියේ සාධාරණත්වය හැමටම ඉටුවන පාලනයක් හදනවා කියලා අපි ඔබට සහතික වෙනවා.

පොලිසියේ මහත්වරුන්ගේ වෘත්තිය ගරුත්වය රැකගෙන රාජකාරිය ඉටුකරන්න පුළුවන් වාතාවරණයක් අපි මේ රටේ හදනවා. අපේ හැම දත්තයක්ම අරගෙන බැලුවම අපේ රට දුප්පත්. හැබැයි පාලකයෝ පොහොසත්. රට ගෙවාගන්න බැරිතරම් ණය උගුලක. හැබැයි පාලකයාගේ බැංකු ගිණුම් පිරිලා. වත්කම් උතුරලා. එංගලන්තෙ, ඕස්ටේ්‍රලියාවේ ගෙවල් ඩුබායිවල, ඇමෙරිකාවෙ ගෙවල්. ශීත වදින්න නුවරඑළියේ ගෙවල්. හුළං වදින්න වැල්ලේ ගෙවල්. රාජකාරි කරන්න කොළඹ ගෙවල්.

මෙතන ප්‍රශ්නයක් තිබෙනවා නේද? ඔයගොල්ලෝ හැමදෙනාම ණයකරුවෝ. පාලකයා එයාගෙ බැංකු ගිණුම් පුරවලා. ඔබලා ගෙයක් හදාගන්නේ මොන තරම් අමාරුවකින්ද? හැබැයි පාලකයාට ලෝකෙ වටේ ගෙවල්. ඒකෙ තේරුම හොරකම. රට හදන්න නම් ඊළඟ පියවර හොරකම, නාස්තිය නතර කරන එක. මේ රටේ හොරකම නතර කරන්නෙත්, හොරු අල්ලන්නෙත් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පමණයි.

මම ජනාධිපති වුණු ගමන් නොවැම්බර් 17 වෙනකොටම කරන පළමු ප්‍රකාශය තමයි 2020 ජනවාරි 17ට පෙර ජනතාවගෙන් හොරා කෑ මුදල් නැවත ගෙනත් භාරදෙන්න කියලා, හොර දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටින එක. මාස 02ක් කල් දෙනවා. භාරදුන්නේ නැතිනම් අපේ පාලනයක් යටතේ ඒවා අනිවාර්යයෙන්ම අත්පත් කරගන්නවා. රට හදන්න නම් හොරකමයි නාස්තියයි දෙකම නතර කරන්න ඕනෑ.

අපේ ගොවියා මුළු ජීවිත කාලයම කුඹුරත් එක්ක හැප්පෙනවා. පෙන්ෂන් එකක් තියෙනවාද? බැහැයි මන්ත්‍රීට අවුරුදු 05ටම දින 20ක් පාර්ලිමේන්තුවට ගිහින් ආවම ජීවිත කාලයටම පෙන්ෂන් එකක් හම්බ වෙනවා. ඒක අපි කපා හරිනවා. රටක් හදන්න නම් මුලින්ම නායකයෝ ආදර්ශමත් වෙන්න ඕනෑ. ඒක උඩින් පටන් ගන්න ඕනෑ. අපි ඒ වැඩය කරනවා. මේ රටේ ජනාධිපතිට රට වටේ මාලිගා හත-අටක් තිබෙනවා. මොකද මේ ගොල්ලෝ භූත ආත්මද? අපි මේ අනවශ්‍ය මහජන මුදල් නාස්තිය වහාම නතර කරනවා.

 

 


 

Advertiesment