Sunday 15th of December 2019

English Tamil
Advertiesment


උණ රට පුරාම


2019-10-29 1406

ඩෙංගු ද,වයිරස් උණ ද, ඉන්ෆ්ලුවන්සා ද..?

 

හඳුනා ගන්නේ කොහොමද..?

 

 

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ලෙඩරෝග පැතිර යෑමේ අවදානමක් ඇති බව බොහෝ දෙනකුගේ අදහස ය. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු අය බහුලව දැකිය හැකි මේ වැසි සමයේ ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා ඇතුළු වෛරස් රෝග ගණනාවක් ව්‍යාප්ත වීමේ ඉඩකඩ වැඩි ය. වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය චින්තා ජයසිංහ හමු වූයේ ඒ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමටය.

“මේ දවස්වල වසංගත රෝග පැතිර යෑමේ අවදානමක් නැහැ. ලෙඩරෝග වැඩි වෙන්නේ වර්ෂාපතනය අවසන් වීමත් සමඟ. කොහොම වුණත් මේ වැසි කාලයේ උණ, හෙම්බිරිස්සාව සහ කැස්ස හැදෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි ඒ එක්කම ඉන්ෆ්ලුවන්සා රෝගයත් පැතිරෙනවා. ඉන්ෆ්ලුවන්සා කියන්නේ මාරාන්තික රෝගයක් නොවෙයි. හැබැයි එය අවදානම් විය හැකි කාණ්ඩ සිටිනවා. ඉන්ෆ්ලුවන්සා ගැන අපි සැලකිලිමත් විය යුත්තේ ඒ නිසයි.” යනුවෙන් වසංගත ‍රෝග විශේෂඥ වෛද්‍ය චින්තා ජයසිංහ සඳහන් කළාය.

ඉන්ෆ්ලුවන්සා වැල‍‍ඳෙන්නේ වෛරසයක් මගිනි. එම වෛරසය පැතිර යන්නේ කිවිසුම්වලින් හෝ කැස්සෙන් පිටවන සෙම බිඳිතිවලිනි. බොහෝවිට ඇතැමුන් පාවිච්චි කරන ලේන්සු සහ ටිෂු කඩදාසි මේස මත, පරිගණක අසල වැනි පොදු ස්ථානයක තැබීමෙන් ඉන්ෆ්ලුවන්සා වෛරසයෙන් එම ස්ථාන ආසාදනය වේ. ඉන්පසුව එකී ස්ථානවලට පැමිණෙන අන්‍යයන් මේස, පරිගණක භාවිත කරන විට ඉන්ෆ්ලුවන්සා වෛරසය ඔවුන්ට ද ශරීරගත විය හැකිය.

මේ ආකාරයට ව්‍යාප්ත වන ඉන්ෆ්ලුවන්සා රෝගය A කාණ්ඩය සහ B කාණ්ඩය වශයෙන් වර්ග කෙරෙන්නේ ශ්ලේෂ්මපටලවල ඇති ප්‍රෝටීන ඇතුළු සංයුතියේ වෙනස්කම් අනුවය. ඉන්ෆ්ලුවන්සා A නැවතත් H1N1, H3N2 වශයෙන් බෙදෙනු ඇත. ඉන්ෆ්ලුවන්සා B ද එහි අඩංගු ප්‍රෝටීන අනුව නැවතත් වර්ග කෙරේ. ඉන්ෆ්ලුවන්සා A හෝ B යන කවර කාණ්ඩයක් වැලඳී තිබුණ ද සිදු කෙරෙන ප්‍රතිකාරය එක සමාන වේ. එහි වෙනසක් නැත.

ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ වන්නේ තද උණ, සමඟ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව දැක්විය හැකිය. ඊට අමතරව හිසරදය, ඇඟපත රුදාව, උගුරේ අමාරුව, හිස බර ගතිය වැනි රෝග ලක්ෂණ හඳුනාගත හැකිය.

ඉන්ෆ්ලුවන්සා අවදානම් කාණ්ඩ වශයෙන් වයස අවුරුදු 2ට අඩු දරුවන්, වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්, ගර්භිණී මවුවරුන්, පිළිකාව දියවැඩියාව වකුගඩු ආබාධ අක්මා රෝග වැනි රෝගවලින් පෙළෙන ප්‍රතිශක්තිය ඌනතා ඇති අය සහ සංජානනිය ආබාධවලින් පෙළෙන දරුවන් දැක්වේ.

මෙම රෝගය ලංකාවේ මෙතෙක් ව්‍යාප්ත වූ ආකාරය සමීක්ෂණය කිරීමෙන් සෑම වසරකම මැයි, ජුනි සහ ජූලි කාලයේ ඉන්ෆ්ලුවන්සා A කාණ්ඩය වැඩි වශයෙන් පැතිරී තිබේ. ඉන්ෆ්ලුවන්සා B කාණ්ඩය වැඩි වශයෙන් පැතිරී තිබෙන්නේ නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි කාලවලදීය.

“කැස්ස හෙම්බිරිස්සාව හැදුණු විට ඉන්ෆ්ලුවන්සා හැදුණා කියලා හිතන්න එපා. ගොඩාක් අය පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුණම බය වෙනවා. ඉන්ෆ්ලුවන්සා රෝගයට තද උණ එනවා. උණ දින 2ක් 3ක් විතර තියෙනවා. උණ නැතිව කැස්ස හෙම්බිරිස්සාව හැදුණොත් එය ඉන්ෆ්ලුවන්සා නෙමෙයි. කැස්ස හෙම්බිරිස්සාව නැතිව තද උණ ආවොත් ඩෙංගු හෝ වෙනත් වෛරස් රෝගයක් වෙන්න පුළුවන්. එය තහවුරු කර ගන්න නම් රුධිරය පරීක්ෂා කළ යුතුයි.

ඉන්ෆ්ලුවන්සා බව 100%ක් තහවුරු කර ගන්න නම් රෝගියාගේ බිඳිති පරීක්ෂා කරන්න ඕනෑ. ඒත් මේ පරීක්ෂණය ලංකාවේ සෑම රජයේ රෝහලකම කරන්නේ නැහැ. ප්‍රධාන ‍ර‍ජයේ රෝහල් කීපයක පමණයි පරීක්ෂණ කරන්නේ. මොකද ඒ පරීක්ෂණයට යොදා ගන්නා උපකරණ පවා මිල ඉහළයි. ඒ නිසා පෞද්ගලික රෝහල්වල වුණත් මෙම පරීක්ෂණය කරන්න ලොකු මුදලක් අය කරනවා. නමුත් අපේ වෛද්‍යවරුන්ට අත්දැකීමෙන් සහ රෝග ලක්ෂණ අනුව ඉන්ෆ්ලුවන්සා රෝගය විනිශ්චය කර ගැනීමට හැකියාව තිබෙනවා. නැතිනම් හැම කැස්ස හෙම්බිරිස්සා රෝගියකුටම පරීක්ෂණ කරන්න බැහැනේ. ඒ අනුව ‍අවශ්‍ය ප්‍රතිකාර කරනවා.” යනුවෙන් විස්තර කළේ විශේෂඥ වෛද්‍ය චින්තා ජයසිංහ ය.

ඉන්ෆ්ලුවන්සා රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සෑම රජයේ රෝහලක් සතුව පවතී. ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල්වල ද මෙම ඖෂධ තිබේ. එහෙත්කිසිම විටෙක ඖෂධ අලෙවි කරනු ලබන ෆාමසිවලට මෙම ඖෂධ නිකුත් කරන්නේ නැත.

“ඉන්ෆ්ලුවන්සා වැලඳුණු බොහෝ දෙනෙක් බෙහෙත් නැතිව සුවපත් වෙනවා. ඔවුන්ගේ ශරීර තුළ තිබෙන ප්‍රතිශක්තිකරණය අනුවයි එය සිද්ධ වෙන්නේ. හොඳට කන්න බොන්න දීලා, පිරිසුදු වාතාශ්‍රය ලැබෙන්න සලස්වලා, විවේකීව ඉන්න දුන්නාම ඉබේම හොඳ වෙනවා. අවශ්‍ය නම් උණට ප්‍රතිකාර කළාට කමක් නැහැ. මේ ළඟදි ‍ඌව වෙල්ලස්ස සරසවියේ ළමයි පන්සිය ගණනකට ඉන්ෆ්ලුවන්සා හැදුණා. අපි ඒ ළමයින්ව නේවාසිකාගාරවලම රඳවා ගත්තා. මොකද ඒ ළමයි පන්සිය ගණන ගෙවල්වලට ගියා නම් ඒ ගෙවල්වල ඉන්න වයෝවෘද්ධ අයට පුංචි දරුවන්ට විවිධ ලෙඩ දුක්වලින් පීඩා විඳින අයට ගැබිනි මවුවරුන්ට ඉන්ෆ්ලුවන්සා හැදිලා දරුණු තත්ත්වයකට යන්න ඉඩ තිබෙන නිසා.

ඒ ළමයින්ට අපි කිසිම බෙහෙතක් දුන්නේ නැහැ. කාලා බීලා විවේකයෙන් ඉන්න දුන්නා. මුඛවැසුම් පලඳින්න දුන්නා. තරුණ ළමයි නිසා ඒ අයගේ ශරීරවල ප්‍රතිශක්තිකරණය කොහොමත් තිබෙනවා. හමුදා කඳවුරු වැනි ස්ථානවල පවා අපිට ඉන්ෆ්ලුවන්සා රෝගින් වාර්තා වෙලා තිබෙනවා.

ඒ අයට වුණත් බෙහෙත් නැතිව සනීප වෙනවා. ඒත් වහාම ප්‍රතිකාර කරන්න සිද්ධ වෙන්නේ මම කලින් සඳහන් කළ අවදානම් කාණ්ඩවල අයට. ගැබිනි මවුවරුන්ට ඉන්ෆ්ලුවන්සා හැදුණොත් අපි අනිවාර්යයෙන් රෝහල්ගත කරනවා. මෙම අවදානම් කාණ්ඩවලට ඉන්ෆ්ලුවන්සා හැදුණොත් නිව්මෝනියා තත්ත්වය දක්වා වර්ධනය වී සමහරවිට මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්.” යනුවෙන් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය චින්තා ජයසිංහ විස්තර කළාය.

වරක් ඉන්ෆ්ලුවන්සා වැලඳුණු රෝගියකුගේ මරණයක් දෙණියාය ප්‍රදේශයෙන් වාර්තා වී තිබිණි. එම රෝගියා දඹදිව වන්දනාවේ ගොස් පැමිණි බව වෛද්‍යවරයාට පවසා තිබුණේ වාසනාවකටය. වසංගත රෝග විද්‍යා අංශය වහාම දඹදිව වන්දනාව සංවිධානය කළ පුද්ගලයා සොයා ගෙන ඒ ඔස්සේ වන්දනාවේ ගිය සියලු දෙනාවම එක්රැස් කර ඉන්ෆ්ලුවන්සා රෝගින්ට ලබා දෙන ඖෂධ ලබා දී තිබිණි. එයින් ඉන්ෆ්ලුවන්සා වසංගත තත්ත්වයක් පාලනය කර ගත හැකි විය.

ඉන්ෆ්ලුවන්සා ‍රෝගයට ගොදුරු වූ විට විවේකය ඉතා වැදගත් වේ. එමෙන්ම හැකිතාක් ජලය පානය කළ යුතුය. රෝගීන් අන්‍යයන්ගෙන් වෙන් කර තබා ගත යුතුය. නිවසටම වී කාලය ගත කිරීම අත්‍යවශ්‍ය වේ. මක්නිසාද ඇතැම් ඉන්ෆ්ලුවන්සා රෝගීන් පන්සලේ කඨීන පිංකමටත් අවමංගල්‍ය අවස්ථාවටත් සාප්පු සවාරිවලටත් සහභාගි වන අවස්ථා නිරන්තරයෙන් දක්නට ලැබෙන නිසාය.

බොහෝ විට මැයි - ජූලි දක්වා ඉන්ෆ්ලුවන්සා A කාණ්ඩය පැතිර යෑමට හේතුවක් ලෙස විශේෂඥ වෛද්‍ය චින්තා ජයසිංහ සඳහන් කරන්නේ අප්‍රේල් මාසයේ අධික තදබදය පවතින ස්ථානවල ගැවසීම සහ සාප්පු සවාරි යෑමයි. ඉන්ෆ්ලුවන්සා රෝගීන් නිවසේ දී පවා මුඛ වැසුම් පාවිච්චි කළ යුතුය. එමෙන්ම ඔවුන් පාවිච්චි කරන ලේන්සු සහ ටිෂු කඩදාසි ඉවත දමන විට අතන මෙතන නොදා එය විධිමත් ලෙස කළ යුතුය. ඊට අමතරව නිතර නිතර අත් සේදීම අනිවාර්යයෙන් කළ යුතු වන්නේ රෝගීන් නිතරම මුහුණ පිසදැමීම, නාසය පිස දැමීම සිදු කරන විට වෛසරය ව්‍යාප්ත වීමේ අවදානම වළක්වා ගැනීමටය.

ඉන්ෆ්ලුවන්සා වැලඳුණු අයට තද උණ අඩු නොවී, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වුව හොත් වහාම ප්‍රතිකාර සඳහා රෝහලකට යා යුතුය.

මේ වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල් 19ක රෝගින්ගේ තොරතුරු පරිගණකයට ඇතුළත් කර රෝගීන් ආවේක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් වසංගත රෝග විද්‍යා අංශයෙන් ක්‍රියාත්මක කර තිබේ. ඒ සඳහා ආසාදිත පාලක හෙද නිලධාරින් කීපදෙනෙකුම යොදවනු ලැබ සිටියි. එබැවින් රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමු වන ප්‍රදේශ හඳුනාගෙන රෝග පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක විය හැකිය. මේ අතරවාරයේ දී ආවේක්ෂණය ‍කෙරෙන රෝහල් 19න් හමු වන ඉන්ෆ්ලුවන්සා රෝගීන් 10 බිඳිති පරීක්ෂා කිරීම සිදු කරන්නේ ලංකාවේ රෝගීන් 150 - 190ක් අතර ප්‍රමාණයක් පරීක්ෂා කර රෝගීන්ට වැලඳී තිබෙන වෛරසය කුමක්දැයි නිශ්චිතව හඳුනා ගැනීමට ය. එවැනි අවස්ථාවක ඉන්ෆ්ලුවන්සා A හෝ B ද, කුරුලු උණ ද යනාදි වශයෙන් එය තහවුරු කර ගත හැකිය. මෙම වැඩපිළිවෙළ නිසා පැතිරී යා හැකි රෝග කල් තියා හඳුනාගෙන පාලනය කළ හැකිය.

 
-විශේ­ෂඥ වෛද්‍ය චින්තා ජයසිංහ-
සිළුමිණ
 
Advertiesment