Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


රවීගෙන් ගෝඨාට VAT ප්‍රහාරයක්


2019-10-28 2723

සියයට පනහකින් "VAT"අඩු කර රට කර වන හැටි පැහැදිළි කරන්නැයි අභියෝග කරයි

 

රටේ බලය එක පවුලකටද නැති නම් සමස්ථ පවුල්වලටද..?

 

හවුල් ආණ්ඩු කියන්නේ අවුල් ආණ්ඩු..!

 

"අපි වමට යද්දී ඔවුන් දකුණට ගියා-අපි දකුණට යද්දී ඔවුන් වමට ගියා"

 

ඒකාධිපති කඳවුර කරන්නේ ජනතාව සිහින ලෝකවලට යැවීමයි

 

ආර්ථිකයේ කඩා වැටීමට වග කිව යුත්තේ මහා බැංකුවයි

 

(සුජිත් මංගල ද සිල්වා)

"VAT" බද්ද 50%කින් අඩු කර රට කරවන අකාරය සුරංගනා කතාවලින් තොරව දත්ත සහිතව ජනතාව හමුවේ වහාම හැකි නම් පැහැදිළි කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක විදුලි බල බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර සිටියි.

ඔහු මේ අභියෝගය කර සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, කාන්තා සංගම් ශාලාවේ ඉරිදා (27) පැවති කාන්තා හමුවට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේ ද කීය..

"අපේ වැරදි නිවැරදි කර ගෙන, තවත් එක් වතාවක් අපි ගැන විශ්වාසය තියලා, සජිත් ප්‍රේමදාස ජනාධිපති බවට පත් කරලා, ජනතාවට ලබා දෙන්න නොහැකි වුණ පොරොන්දු ලබා දෙන්න අවස්ථාවක් සලසා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඔබතුමාලට අහන්න පුළුවන් වසර 05 ක් බලයේ ඉදලා ඇයි තවත් වසර 5 ක් ඉල්ලන්නේ කියලා.

එදා 2015 දී අපට ලැබුණේ හවුල් ආණ්ඩුවක්. ඒ තුළින් අපට අවශ්‍ය ආකාරයට වැඩ කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි වමට යද්දි ඔවුන් දකුණට ගියා. අපි දකුණට යද්දි ඔවුන් වමට ගියා. විශාල ප්‍රශ්න ඇති වුණා. ඒකයි අපි නව ආණ්ඩුවක් ස්ථාපිත කරන්න හදන්නේ.

මම හිතන විදියට මේ වන විට රටේ සියලුම පක්ෂ අද අපි සමග සිටිනවා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර.එසේ නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය ආරක්ෂා කර ගෙන, කාන්තාවට ලැබිය යුතු රැකවරණය සහ සමතැන රැක ගෙන අපි ඉදිරියට ගමන් කරමු. ඒ වෙනුවෙන් ඔබ නැවතත් අප කෙරෙහි විශ්වාසය තබන්න කියලා මම ඉල්ලා සිටිනවා.

රට හදන්න අපි බාර ගන්නවා. හදලා තමයි අපි මේ ගමන නවත්වන්නේ. ඔක්තෝබර් මාසේ 30 වැනි දා ඉදිරි පත් කරන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් අපි ඔබ වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වෙන වැඩ කොටස ඔබට දැන ගන්නට ලැබේවි.

අපේක්ෂකයන් 35 ක් ඉදිරිපත් වුණාට, අවසානයේ තරගයක් තිබෙන්නේ පක්ෂ දෙකක් අතර පමණයි. ඒ තුළින් පවුල් වාදය ආරක්ෂා කරලා එක පවුලකට බලය ලබා දෙනවාද, එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා ඔබ සැම දෙනා අතට බලය ලබා ගන්නවාද කියලා ඔබ තීරණය කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට වසර 11 ක් බොරු පොරොන්දු දුන්නා.රුපියල් 2500 ක් වැටුප් වැඩි කරනවා කිව්වා. නමුත් අපිට 2015 බලය ලබාදීලා දින 35 කින් එම වැටුප් වැඩිවීම ලබා දුන්නා.ගෝඨාභය රාජපක්ෂලා දැන් කියනවා වැට් බද්ද 50%කින් අඩු කරනවා කියලා. මම අහන්නේ කොහොමද ඒක කරන්නේ කියලා. කරනවා නම් කරන්න පුළුවන් එක් ආකාරයක් තිබෙනවා. ඒ තමයි, මේක අඩු කරලා, වෙනත් නමකින් නැවතත් බද්දක් එකතු කිරීම. ඒ ක නම් කරාවි අනිවාර්යයෙන්ම.

එදා,එනම් වසර 5 කට කළින් පෙට්‍රල් තිබුණේ රු. 167 කට. අපි ඒක රු. 120 කට අඩු කළා. අද වසර 5 කට පස්සෙත් මිල පෙට්‍රල් මිල තිබෙන්නේ රුපියල් 137 කට. එහෙම බලද්දි එදා කොතරම් සූරාකෑමක් ඇති වෙලා තිබෙනවාද. අපි භාර ගනිද්දි භුමිතෙල් රුපියල් 107 ක්. නමුත් අද රුපියල් 50/යි. කෙතරම් සූරාකැමක්ද. ගැස් එදා රුපියල් 2650/- ක්. අපි ගෑස් 1350/-ට අඩු කළා. මේ වෙද්දි රු. 1437යි. එදා මොන තරම් කළු කඩ ව්‍යාපාරයක්ද ගෙනිහින් තිබෙන්නේ. අපි දෙයක් කරලා පෙන්නුවා. නමුත් මොවුන් කරන්නේ ජනතාව සිහින ලෝක වලට ගෙනියන එක පමණයි.

අපි පොලිසියේ වැටුප් වැඩි වැඩි කළා 40% කින්. ඒ වගේම ත්‍රිවිධ හමුදාවෙත් වැටුප් වැඩි කළා. මොවුන් මේ කියන ආකාරයෙන් 50% ක් වැට් එක අඩු කරද්දි, මේ අපි ලබා දුන්න වැටුප් වර්ධක අඩු කරන්න පුළුවන්ද..? අද සරල වශයෙන් රජයේ ආදායම බිලියන 2000 ක් වෙනවා. රජයේ සේවයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් බිලියන 863 ක් වෙනවා. ණය වාරික ගෙවන්න බිලියන් 1100 ක්. ඊට පස්සේ සංවර්ධනය කරන්න ණය ගන්න වෙනවා. දැන් මේ අය කියන විදියට බදු මුදල් අඩු කළාම, මේ වියදම්වලට මුදල් සොයා ගන්නේ කොහොමද. සුරංගනා ලෝක තමයි මොවුන් මවලා දෙන්නේ.

අපිට එදා ඔබතුමාලා ලබා දුන්න ජන වරම තුළින්, ඔබතුමාලට ලබාදිය යුතු සියලුම පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. නමුත් අපි වැළලිලා යමින් තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරලා, බියක් සැකක් නැතිව ජීවත්වීමේ අයිතිය තහවුරු කරලා දුන්නා. එදා කළුවර වැටුනම කවුරු හරි දොරට තට්ටු කළාම, අපේ අහිංසක ජනතාව බයේ වෙව්ලනවා. නමුත් අද ඒ තත්ත්වය නිමා වෙලා තිබෙනවා. ඒක තමයි අපි ලබා ගත් ලොකුම ජයග්‍රහණය.

අපේ ආර්ථිකයේ ඇතිවූ කඩාවැටීමට වග කිව යුත්තේ මහ බැංකවයි. ව්‍යවසායෙකුට ව්‍යාපාරයක් ආරම්භ කර ගන්න ලක්ෂ 10 ක ණයක් වුවමනා වුණොත්, ඔහු බැංකුවට ගිහින් ඒ වෙනුවෙන් ලක්ෂ 20 ක ඇපයක් තියන්න ඕන. මෙන්න මේ වගේ ප්‍රශ්න තිබෙන නිසා තමයි අප එදා මහ බැංකුවට නිර්දේශ කළේ 5%ත් 6%ත් පොළියට ගෙන ගියේ නැති නම් අපි වගේ පොඩි රටකට ලෝකය සමග තරග කරන්න බැහැ කියලා. අනිත් එක තමයි කළු කඩ ණය ලබා ගැනීම. මේවා 50% වගේ පොළියට අරන් තිබෙන්නේ. මේ දේ අලුත් ආණ්ඩුව තුළින් නිවැරදි කරනවා. එතෙක් සජිත් ප්‍රේමදාස මහතා කියලා තිබෙනවා, කළු කඩ ව්‍යාපාර තුළින් ලබා ගත් ඒ මූල්‍ය ණය සම්පූර්ණයෙන් කපා හරිනවා කියලා.

 

 

Advertiesment