Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


වැවිලි ඇමතිට එරෙහි හිරු-දෙරණ ජඩ මාධ්‍ය භාවිතය මාධ්‍යවේදියෝ හෙළා දකිති


2019-10-28 2427

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ පෙරට

 

මැතිවරණ කොමසාරිස්ට විරෝධය

 

නවින් දිසානායකගේ සම්පුර්ණ කතාව මෙන්න

 

(

 
(සුජිත් මංගල ද සිල්වා)

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 25 වැනි ගුණ සමරු උළෙලේ දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමත්‍ය නවින් දිසානායක මහතා කළ කතාව පටු දේශපාලන වාසි වෙනුවෙන් "හිරු සහ දෙරණ" යන පෞද්ගලික රුපවාහිනී නාළිකා ජන මාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝණය කරමින් විකෘති කර ප්‍රචාරය කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව "ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ" අවධාරණය කර සිටිති.

"හිරු සහ දෙරණ" ඇතුළු ඇතැම් විද්‍යුත් සහ මුද්‍රිත පෞද්ගලික මාධ්‍ය ආයතන මේ ජඩ සහ නිහින මාධ්‍ය සංස්කෘතියට එරෙහිව ප්‍රේක්ෂක ජනයා දැනුම්වත් කරන අතර මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණලි කරන බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

මේ කාරණය සම්බන්ධයෙන් "lankanewsweek" කළ විමසුමකට පිළිතුරු දෙමින් "ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ" සංවිධානයේ සම කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා මෙසේ පැවසීය.

"කොළඹ දී බ්‍රහස්පතින්දා (24) පැවති ගාමිණී දිසානායක මහතාගේ 25 වැනි ගුණ සමරු උත්සවයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කළ කතාව, පටු දේශපාලන වාසි වෙනුවෙන් "හිරු සහ දෙරණ" යන පෞද්ගලික රුපවාහිනී නාළිකා ජන මාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝණය කරමින් විකෘති කර ප්‍රචාරය කිරීමේ සිද්ධිය අප සංවිධානය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.

ජනාධිපතිවරණය පමණක් නොව ඕනෑම මැතිවරණයකදී රාජ්‍ය මාධ්‍ය වගේම පෞද්ගලික මාධ්‍ය පක්ෂග්‍රාහීව,සදාචාර විරෝධීව සහ ජන මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කරමින් ජනතාව නොමඟ යැවීම සඳහා සිය මාධ්‍ය භාවිතය සිදු කරනවා නම් ඊට එරෙහිව ක්‍රියා කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය මහතාට අයිතියක්,බලයක් සහ වගකීමක් තිබෙනවා.

කෙසේ නමුත් ජනාධිපතිවරණයේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය වෙත පමණක් මාධ්‍ය උපමාන ලබාදී ඇති මහින්ද දේශප්‍රිය මහතා,ජන මාධ්‍ය ආචාර ධර්ම,විනය,නීතිය සහ සදාචාරය උල්ලංඝණය කරමින් පටු දේශපාලන වාසි වෙනුවෙන් පක්ෂග්‍රාහීව පෞද්ගලික මාධ්‍ය ගෙන යන ජඩ මාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන් මුණි වත රකින අතර ඊට ආසන්නතම උදාහරණය වන්නේ නවීන් දිසානායක මහතාගේ කතාව විකෘති කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික රුපවාහිනී නාළිකාවලට එරෙහිව ඔහු මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමයි.

පෞද්ගලික මාධ්‍ය ආයතනවලට අත පෙවීමට තමාට බලයක් නැතැයි මැතිවරණ කොමසාරිවරයා කියනවා නම් අදාළ රුපවාහිනී නාළිකාවල විද්‍යුත් සංඛ්‍යාත නියාමනය කරන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මේ කාරණය සම්බන්ධයෙන් පැමිණිලි කරමින් නිදහස් ,ස්වාධින සහ අපක්ෂපාති ජනාධිපතිවරණයක් පැවැත්වීමට අදාළ රුපවාහිනි නාලිකාවල ක්‍රියාකලාපය ප්‍රශ්නයක් වී ඇතැයිද එම නිසා එම ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වහාම මැදිහත් වන්නැයි ද යනුවෙන් නියෝග කිරීමට ඔහුට බලයක් තිබෙනවා.

ඇත්ත වශයෙන්ම මැතිවරණ කොමසාරිස් මහින්ද දේෂප්‍රිය මහතා එසේ ක්‍රියා නොකර පෞද්ගලික රුපවාහිනි නාලිකාවලට සිය අභිමතය පරිදි ක්‍රියා කිරීමට ඉඩ හැර බලා සිටීම ජනමාධ්‍යවේදීන් ලෙස අපට විශාල ප්‍රශ්නය බව කිව යුතුයි."

මේ අතර සිය කතාව විකෘති කරමින් මෙසේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ද මැතිවරණ කොමිෂන් සභාව හමුවේ මේ වන විටත් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර එම වරද නිවැරදි කරන ලෙස ඉල්ලමින් "හිරි සහ දෙරණ" රුපවාහිනී නාළිකාවලටද ලිඛිතව දැනුම් දී තිබේ.

කෙසේ නමුත් එම රුපවාහිනී නාළිකා මේ වන තුරුත් එම වරද නිවැරදි කරමින් සාධාරණය ඉටු කර නොමැති අතර මැතිවරණ කොමිෂන් සභාව සහ එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාද ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා,දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 25 වැනි ගුණානුස්මරණ උත්සවයේදී කළ සම්පුර්ණ කතාව සහ ඔහු "හිරු" රුපවාහිනි නාළිකාව වෙත යැවූ ලිපිය මෙසේය..

 

 

 

 

 

 

 

 

 

 

 

Advertiesment