Monday 9th of December 2019

English Tamil
Advertiesment


2010 ජනපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය උලා කෑ හැටි


2019-10-30 1810

සුදර්මන් රදලියගොඩ "පබා" ගෙන් පළි ගත්තේ මෙහෙමයි

 

ෆීල්ඩ් මාෂල්ට එරෙහිව විමල් වීරවංශ දියත් කළ මෙහෙයුම

 

රාජ්‍ය මාධ්‍ය ආගමික අංශ ඒකාධිපති රෙජීමයේ රෙදි අපුල්ලයි

 

 
 (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ)

‘පබා’ අපි කවුරුත් ආසාවෙන් නැරඹු ටෙලි නාට්‍යයක්. විකාශනය වුණේ රජයට අයත් ‘ස්වාධීන රූපවාහිනියෙන්’. උපේක්ෂා ස්වර්ණමාලි නම් තරුණ නිළියක් තමයි ‘පබා’ගේ චරිතය රඟපෑවේ. මේ යුගයේදී ‘පබා’ කියන්නේ අතිෂයින් ජනප‍්‍රිය ටෙලි නාට්‍යයක්. නාට්‍යයේ උපරිම අවස්ථාව, ඒ කියන්නේ 2010 ජනවාරි මාසේ එක්තරා දවසක හදිසියේම ‘පබා’ අතුරුදන් වෙනවා. තවත් දවසකට පස්සේ උපේක්ෂා ස්වර්ණමාලි වෙනුවට වෙනත් නිළියක් ‘පබාට’ අඳිනවා. පබාට පෙම්බැන්ද රසිකයෝ අන්දමන්ද වෙනවා.

‘පබාට කැපිල්ලක්’ අද තරම් සමාජ මාධ්‍ය ප‍්‍රබල නොවුණ ඒ කාලේ කතාව පැතිරෙනවා.

‘පබා ජෙනරාල් ෆොන්සේකාගේ ස්ටේජ් එකට නැගලා. ඒකයි මේ කැපිල්ල’ කතාව ජයටම යනවා.

අන්තිමේදී පබා, උපේක්ෂා ස්වර්ණමාලීට පක්ෂව ජනතාව අතර ‘අනුකම්පාවක්’ ඇති වෙනවා. ඇය වීරවරියක් බවට පත් වෙනවා. අවසානයේදී ‘පබා’ එජාපයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ගම්පහ දිස්ත‍්‍රික් නායක, ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙක් වන කරු ජයසූරිය තෙවැනි තැනට දමමින් ‘පබා’ ගම්පහ දිස්ත‍්‍රික්කයේ එජාප මනාප ලැයිස්තුවේ දෙවැනි තැන දිනා ගනිමින් දියවන්නාවට එනවා. (පස්සේ ‘පබා’ පෙන්නූ ‘කොකා’ ගැන කතා නොකර සිටිමු)

මේ අතීත කතාව මතක් වුණේ අදින් දශකයකට පෙර රාජ්‍ය මාධ්‍ය කොතරම් කැත හා නිර්ලච්චිත් ලෙස ‘පක්ෂ දේශපාලනයේ යෙදුණාද ’ යන්න කියා පෑම සඳහා එක් පහසු උදාහරණයක් ලෙසයි.

කබරගොයා තලගොයා කර ගැනීම

අපි මුතුන් මිත්තෝ ‘අවස්ථාවාදීන්ව’ පිළිකෙව් කළ බව ජනශ‍්‍රැතිය මගින් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සාක්ෂි හමු වෙනවා. ඒ අතර එන ජනප‍්‍රිය කියමනක් තමයි ‘කන්න වුවමනා වූ විට කබරගොයත් තලගොයා කරගන්නවා’ කියලා කියන කතාව.

අද ඒකාබද්ධ විපක්ෂය / ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ / ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ‘රාජ්‍ය මාධ්‍ය ගැන පුදුමාකාරයෙන් කිඹුල් කඳුළු හෙළනවා. රාජ්‍ය මාධ්‍ය ඒකපාර්ශ්වික බවත්, වත්මන් එජාප ආණ්ඩුවට වැඩි අවකාශයක් ලබා දෙන බවත්, තමන්ට අසීමිත ලෙස ‘මඩ ගසන’ බවත් කියමින් දෙස්දෙවොල් තබනවා. මැතිවරණ කොමිෂමට පැමිණිලි කරනවා. ජනමාධ්‍ය හමු පවත්වමින් හඬා වැටෙනවා. ‘අපේ කාලේ මෙහෙම නෑ’ යැයි කියමින් මොර දෙනවා.

ඒත් මේ කල්ලිය රාජ්‍ය මාධ්‍ය ‘අවභාවිතය’ ගැන හෙළන්නේ තනිකරම ‘කිඹුල් කඳුළු’ බව ඔවුන්ගේ අතීත පැටිකිරිය දෙස විමර්ශනාත්මකව ලබන කොට යස අපූරුවට පැහැදිලි වෙනවා. ‘මේක කන්න හිතුණාම කබරගොයත් තලගොයා කර ගන්න වැඩක්. ඔවුන් තරම් රාජ්‍ය මාධ්‍ය අපකීර්තිමත් ලෙස, අත්තනෝමතික ලෙස, අසීමිත ලෙස අපයෝජනය කළ වෙනත් ආණ්ඩුවක් නැහැ’ මේ කිඹුල් කඳුළු හෙළන පොහොට්ටු කල්ලියේ අතීත පැටිකිරිය මනාව දැනසිටි ජනමාධ්‍ය පිළිබඳ විශ්ලේෂකයෙක්, පර්යේෂකයෙක් ලියුම්කරු සමග කිව්වා. කිව්වා විතරක් නෙමෙයි පසුගිය 2010 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයටත්, 2015 ජනාධිපතිවරණයටත් අදාළව මැතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය භාවිතය ගැන සිදු කළ ‘විද්‍යාත්මක පර්යේෂණ’ වාර්තා කිහිපයකුත් ලබා දුන්නා.

‘මෙන්න තියෙනවා ලිඛිත සාක්ෂි. පුළුවන් නම් ලියන්න’ ඔහු අදාළ වාර්තා ලබා දෙන ගමන් කිව්වා. මේ ලිපිය සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ එම පර්යේෂණ වාර්තා ඇසුරින්.

‘පබා’ අතුරුදන් කළ 2010 ජනාධිපතිවරණය

මැතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ‘අපහරණය’ කිරීම ගැන කප් ගැසූ මැතිවරණය හැටියට බොහෝ මාධ්‍ය විශේෂඥයින් හඳුන්වා දෙන්නේ 2010 ජනවාරි 26 වැනිදා පැවැති ජනපතිවරණය සහ 2010 අපේ‍්‍රල් මස 08 වැනිදා පැවැති මහ මැතිවරණයයි. ‘...පොදු දේපොළ සුරැකීමේ වැඩසටහන මගින් 2010 ජනාධිපතිවරණයේදී රජයේ මාධ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නිර්නායකයන්ට අනුකූලව කටයුතු නොකිරීම සහ අනලජ්ජිත ලෙස අයථා පරිහරණයට ලක් කිරීම අනාවරණය කරන ලදි. එම අතුරු වාර්තාවේ සඳහන් වූ පරිදි ලේක් හවුස් ආයතනය ජනාධිපතිවරණය සඳහා පෝස්ටර් සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කරනු ලැබුවා පමණක් නොව මැතිවරණ ප‍්‍රචාරක ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කිරීම සඳහා පුද්ගලික මුද්‍රණ ආයතනවලට අවශ්‍ය මුද්‍රණ කඩදාසි සපයන ලදි. මෙලෙස ලබා දෙනු ලැබූ මුද්‍රණ කඩදාසි සඳහා ගෙවීමක් සිදු වූවාද එසේ නම් එම ගෙවීම් සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව පිළිතුරක් නොමැත.

එමෙන්ම 2010 ජනවාරි 23 වැනිදා නිකුත් කරන ලද වාර්තාව අංක 04 මගින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රචාරක ඒකකයේ සාමාජිකයන් 09 දෙනෙක් වවුනියාවේ ඉරට්ටපෙරියකුලමෙහි ගුවන් විදුලි සේවාවට අනුයුක්ත කිරීම හෙළිදරව් කරන ලදි. එම සාමාජිකයින් නව දෙනාට ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා විසින් නිකුත් කළ පත්වීමේ ලිපිය ප‍්‍රකාරව සහන නිවේදකයින් ලෙස වැටුප් ගෙවනු ලැබීය...

...මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගවලට කිසිදු අයුරකින් කන් නොදෙමින් ප‍්‍රචාරක දැන්වීම් මෙන්ම වැඩසටහන් එක් අපේක්ෂකයෙකුට පමණක් වාසිදායක වන අයුරින් රජයේ විද්‍යුත් මාධ්‍ය විසින් විකාශනය කිරීම හේතුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනයේ 104 ආ (5) (ඇ) යටතේ පැවරී ඇති බලතල ප‍්‍රකාරව නිිසි බලධරයෙක් පත් කිරීමට කොමසාරිස්වරයාට සිදුවිය. එවන් බලධරයෙක් පත් කිරීමට කොමසාරිස්වරයාට බලතල ඇත්තේ අදාළ ආයතන විසින් තම උපදේශන උල්ලංඝනය කරන අවස්ථාවේදීය.

කෙසේ නමුත් එවකට ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ ගුවන් විදුලි සංස්ථාවේ සිටි සභාපතිවරුන් නිසි බලධරියා විසින් නිකුත් කරන ලද නියෝග පිළිබඳව සැලකිල්ලක් නොදක්වමින් නිදහසේ එම නියෝග දිගින් දිගටම උල්ලංඝනය කිරීම හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට නිසි බලධාරියාව ඉවත් කර ගැනීමට සිදුවිය. මෙමගින් මැතිවරණ සටනේදී රාජ්‍ය මාධ්‍ය යාන්ත‍්‍රණයට කිසිදු අනිටු ඵලයකින් තොරව එක් අපේක්ෂකයෙකුට පමණක් වාසිදායක ලෙස ඒක පාර්ශ්විකව කටයුතු කිරීමට තිබූ නිදහස තහවුරු කරගත හැක. (ගෞරවාන්විත මැතිවරණ ක‍්‍රමයක් උදෙසා, 2010 මැතිවරණ පිළිබඳ සමාලෝචනය, ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රීලංකා, 2010, පිටුව 20-21)

ඉහත සඳහන් වන්නේ එවකට පැවති, මහින්ද රාජපක්ෂ මහතා විසින් නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව විසින් 2010 ජනාධිපතිවරණයේදී රාජ්‍ය මාධ්‍ය ආයතන තම ප‍්‍රචාරක යාන්ත‍්‍රණයට ‘ඒකපාර්ශ්වික ලෙස’ ‘අනීතිය ලෙස’ යොදාගත් ආකාරය පිළිබඳ සංෂිප්ත නිරීක්ෂණයක්. අද රාජ්‍ය මාධ්‍ය ගැන ඊනියා කිඹුල් කඳුළු හෙළමින් ඒවා ස්වාධීන කරන්න යැයි ඉල්ලා සිටින හිටපු පාලකයින්ට මේ ඉතිහාසය අමතක වීම පුදුමයක් නොවන්නේ රාජ්‍ය මාධ්‍ය පමණක් නොව මහ ජනතාවට රජයේ තොරතුරු සැපයෙන ක‍්‍රියාදාමයේ මධ්‍යස්ථානය වන ‘රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව’ මේ ආකාරයෙන් අයථා පරිහරණයට ලක් වූ නිසාය.

ඉහත සඳහන් වාර්තාව මේ ගැන සිය නිරීක්ෂණ මෙසේ සටහන් කරයි.

‘...මහජනතාවට රජයේ තොරතුරු සැපයෙන ක‍්‍රියාදාමයේ මධ්‍යස්ථානය වන රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද මේ ආකාරයෙන් අයථා පරිහරණයට ලක්විය. ජනාධිපතිවරයාගේ සහායට ප‍්‍රවෘත්ති සාකච්ඡා හා වෙනත් වැඩසටහන් රැසක් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සතු සම්පත් යොදා ගනිමින් ක‍්‍රියාත්මක විය. "අසිදිසි විද්වත් කථිකාව" ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයත් ශ‍්‍රවණාගාරය යොදා ගනිමින් ක‍්‍රියාත්මක විය. "ඇසිදිසි විද්වත් කථිකාව" ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයත් ශ‍්‍රවණාගාරය යොදා ගනිමින් පැවැත්වුණු එවැනි එක් වැඩසටහනකි. එයට අමතරව තවත් වැඩසටහන් කිහිපයක්ම එහි පැවැත්විණි. මෙම ක‍්‍රියාකාරකම් පැවතුනේ බලයේ සිටි ජනාධිපතිවරයාගේ ප‍්‍රතිලාභය උදෙසාය’

ඔබට 2010 ජනාධිපතිවරණය මතකයේ තිබේ නම් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ හිටපු යුද්ධ හමුදාපතිවරයාට එරෙහිව රාජ්‍ය මාධ්‍ය මගින් කොතරම් අපහසාත්මක දේවල් තුන්තිස් පැයේම විකාශනය වූවා දැයි මතකයට නගාගත හැකිය. ඒ සමග ෆොන්සේකා මහතාට ඡන්දය නැති බවට මැතිවරණ දිනයේ විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ හොරණෑ යොදා ගෙන ගෙන ගිය අඛණ්ඩ ප‍්‍රචාරය ඔබට කිසිසේත් අමතක කළ නොහැකි විය යුතුය.

මෙරට කාන්තාවන් විශාල පිරිසක් ආදරය කළ ටෙලි නාට්‍යයක් වූ ‘පබා’ හි පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලීගේ චරිතය හිටි හැටියේ අතුරුදන් වූයේ (මෙම ටෙලිනාට්‍යයේ බලධරයා වූයේ එවකට ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යාධිකාරීවරයා වූ සුදර්මන් රදලියගොඩ මහතාය) ද රාජ්‍ය මාධ්‍ය තුළ ප‍්‍රතිවාදී අපේක්ෂකයාට නොව ඔහුට සහාය දක්වන්නන්ට පවා කොතරම් කැපිල්ලක් තිබේ දැයි මනාව පැහැදිලි කරමින් බව අප අමතක නොකළ යුතුය.

රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය සම්පත් අසීමිතව යොදා ගනිමින් ඉතා පහසුවෙන් ජනාධිපතිවරණය ජයගත් මහින්ද රාජපක්ෂ මහතා ඊට පසු කඩිනමින් මහ මැතිවරණය ද කැඳවීමට පියවර ගත්තා. ඒ අනුව 2010 අපේ‍්‍රල් මස 08 වැනිදා මහ මැතිවරණය නියම වුණා.

ඒ අනුව පොදු දේපොළ සුරැකීමේ වැඩසටහන 2010 මාර්තු 08 වැනිදා සිට අපේ‍්‍රල් 08 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය මාධ්‍ය හැසිරීම් නිරීක්ෂණය කළ අතර එහි අවසන් වාර්තාව ද නිකුත් කිරීමට පියවර ගත්තා.

‘... මාධ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කිරීම සහතික කරලීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනය යටතේ තමන්ට පැවරී ඇති බලතල ප‍්‍රකාරව නියමයන් නිකුත් කරනු ලැබීය. ඒ අනුව 2010 පෙබරවාරි 17 වැනිදා කොමසාරිස්වරයා සියලූම දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ට සමබර ආවරණයක් ලබාදීම සහතික කරලීම සඳහා අංක ඡුෑ /2010/04 චක‍්‍රලේඛය නිකුත් කරන ලදි. කෙසේ නමුත් රජයේ මාධ්‍ය මෙම නියමයන් අනුගමනය නොකළ ආකාරය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වූ අතර රජයේ මාධ්‍ය එම නියමයන් උල්ලංඝනය කරනු ලැබුවේ අනලජ්ජිතවය.

සන්ධාන රජයේ අපේක්ෂකයන්ගේ ප‍්‍රකාශ සහ රැස්වීම් කතා පටිගත කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු පහසුකම් සුවිශේෂ ලෙස යොදාගත් ආකාරය අතුරු වාර්තා 2 මගින් හෙළිදරව් කරන ලදි. ඒ හා සමාන පොදු දේපොළ සුරැකීමේ වැඩසටහනට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි කරුණක් වූයේ රජයේ පාර්ශ්වයේ අපේක්ෂකයින්ට ඉතා පුළුල් ආවරණයක් රාජ්‍ය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ ලබාදෙන අතරතුරේදී විපක්ෂයේ අපේක්ෂකයින්ට අහිතකර සහ ඔවුන් අසීරුතාවට පත්කරන වාර්තා පමණක් රජයේ මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත්කරනු ලැබූ ආකාරයයි.

ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයාගේ නියමයන්ට අනුව රජයේ මාධ්‍ය විසින් අනුගමනය කළ යුතුව තිබූ ස්වාධීන මාධ්‍ය ප‍්‍රතිපත්තිය දක්නට නොලැබිණි. රජයේ මාධ්‍ය මෙලෙස අයථා ලෙස පරිහරණය වැරදි පූර්වාදර්ශයන් සහිත හා සම්පූර්ණයෙන්ම මැතිවරණ නීති රිති උල්ලංඝනය කිරීමක් බව පොදු දේපොළ සුරැකීමේ වැඩසටහනේ නිරීක්ෂණයන්ගෙන් පැහැදිලිව ම අනාවරණය කර ඇත. (ගෞරවාන්විත මැතිවරණ ක‍්‍රමයක් උදෙසා, 2010 මැතිවරණ පිළිබඳ සමාලෝචනය, ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රීලංකා, 2010, පිටුව 21-22)

අද රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතී නැතැයි කියමින් මැසිවිලි නගන වත්මන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් හිතමාතාම අමතක කරන කරුණක් වන්නේ තම පාලන සමයේ තමන් කොතරම් අනීතික ලෙසත්, අත්තනෝමතික ලෙසත් රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය සම්පත් තම මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදා ගත්තේ ද යන්නයි. මේ පිළිබඳව පොදු දේපොළ සුරැකීමේ වැඩසහන සිය වාර්තාව මගින් (පිටුව 68 -69) සිය නිරීක්ෂණ ඉදිරිපත් කරයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සම්පත්

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ වෘත්තිකයින් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ තෝරාගත් පුද්ගලයන් සහභාගී වන ‘ඇසිදිසි’ මැයෙන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අනුග‍්‍රහ පිණිස පවත්වනු ලබන සකච්ඡා පැවැත්වීම සඳහා නාරාහේන්පිට පිහිටි ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේ පහසුකම් භාවිතයට ගනිමින් තිබේ. මෙම වැඩසටහන මැතිවරණය කෙරෙහි ඍජු බලපෑමක් ඇති කාරණා සම්බන්ධයෙන් සකච්ඡා කෙරෙන වැඩසටහනකි. මෙය ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂකගේ ප‍්‍රධානත්වය යටතේ මෙහෙය වෙන අතර සම්පූර්ණ වැඩසටහනේ වැය බර ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් දරනු ලබයි’

මේ ආකාරයෙන් රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීමට ඇති පහසු අවකාශය ගැන ද අදාළ වාර්තාව මගින් සිය නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා. ඒ එවකට මේ සියලූ මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් ඍජුව දේශපාලනයේ නියැළි පුද්ගලයින් බව හෙළිකරමිනුයි.

‘... රාජ්‍ය මාධ්‍ය ආයතනයන් කිහිපයක ප‍්‍රධාන නිලතල දරන්නන් කිහිප දෙනෙක් එකී තනතුරු දරන අතරතුරම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධානතම පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු ලෙස ද කටයුතු කරයි. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ එකී රාජ්‍ය ආයතනයන්ගේ සැලකිය යුතු රාජ්‍ය දේපොළ ප‍්‍රමාණයක් එක් එක් අපේක්ෂකයකුගේ මැතිවරණ ව්‍යාපාරය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රතිපත්තීන් ප‍්‍රවර්ධනය සඳහා භාවිතා වීමයි.

ඔවුන් අතර, අ. හඞ්සන් සමරසිංහ - ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වන මොහු බටහිර කොළඹ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක වෙයි. මොහු එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයාට පැහැදිලි ලෙසම සහයෝගය දක්වන රූපවාහිනී / ගුවන් විදුලි වැඩසටහන් ගණනාවක මෙහෙවන්නාය.

ආ. සුදර්මන් රදලියගොඩ - ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වන කුරුණෑගල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ද වේ. මොහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටිමින් ස්වාධීන රූපවාහිනියේ කාලීන සිදුවීම් සම්බන්ධ සකච්ඡා මෙහෙයවයි. (පබා කැපුණේ මොහු අතිනි. පබා ටෙලි නාට්‍යයේ මාර්ග දර්ශන රැසක සුදර්මන් රදලියගොඩගේ ප‍්‍රචාරක පෝස්ටර් ප‍්‍රදර්ශනය විය - ලියුම්කරු)

ඇ. ලලිත් ද සිල්වා - ස්වාධීන රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති සමාලෝචක වන මොහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයෙකි.

මෙම පුද්ගලයින් එකී නිලයන්හි දිගින් දිගටම රැදී සිටීම 2009 -12-17 දින මැතිවරණ කොමසාරිස්වරයා විසින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්ට නිකුත් කරන ලද රෙගුලාසීන් ප‍්‍රසිද්ධියේ උල්ලංඝනය කිරීමකි’ (එම පිටුව 68-69)

වත්මන් විපක්ෂ නායකවරයා වන, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් විපක්ෂ මන්ත‍්‍රීවරුන් වන එවකට ඇමැතිවරුන් විසින් තමන් යටතේ පැවැති රාජ්‍ය මාධ්‍ය ආයතන 2010 ජනාධිපතිවරණයේදී අපයෝජනය කළ ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක් ඉහත සඳහන් නිරීක්ෂණ වාර්තා මගින් ලබාගත හැකි අතර එම ‘අයථා පරිහරණයන්’ මෙසේ දැක්විය හැකියි.

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

නීති විරෝධී ලෙස පත්වීම් කරමින් ද, ප‍්‍රචාරක වේලාව අයථා ලෙස පාවිච්චි කරමින්ද, පක්ෂග‍්‍රාහී ලෙස වැඩසටහන් නිෂ්පාදනය කරමින් ද ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග එක එල්ලේම උල්ලංඝනය කළේය.

ප‍්‍රචාරක වේලාව අයථා ලෙස පාවිච්චි කිරීම -සාමාන්‍යයෙන් සියලූම ගුවන් විදුලි වැඩසටහන් ප‍්‍රචාරය කෙරෙන්නේ දැන්වීම් සඳහා කලින් පිළියෙළ කෙරුණු වාණිජමය කාලසටහනක් අනුවය. කෙසේ වුවත්, පක්ෂග‍්‍රාහී දේශපාලනමය පණිවුඩ ප‍්‍රචාරය කෙරෙන්නේ ඉන් පිටස්තරව වැඩසටහන්වල කොටසක් ලෙසය. ඒවා දැන්වීම් වශයෙන් ගණන් ගනු නොලැබේ. එසේම ඒවා වාණිජ ලැයිස්තුවේ ද සඳහන් නොවේ. මෙම පණිවිඩ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සහ සංස්ථාවේ 03 වැනි මැදිරියේ සංස්කාරකගේ අනුමැතියෙනි. පණිවුඩ තත්ත්පර 15 සිට විනාඩි 3 දක්වා කාලයකට පිළියෙළ කළ ඒවාය. කොළඹ පිහිටි සංස්ථාවේ ප‍්‍රධාන සේවා ස්ථානයෙන් මෙන්ම වවුනියාවේ ඉරට්ටපෙරියකුලම්, අක්කෙරේපත්ත එෆ්.එම්, පලාලි සේවය (යාල් එෆ්.එම්) සහ කඳුරට සේවයෙන් ද ඒවා ප‍්‍රචාරය කෙරුණි. පණිවුඩ අඩංගු සංයුක්ත තැටි මෙම සේවාවන්ට සපයන ලදි.

සියලූම දේශපාලන වැඩසටහන් ජනවාරි 23 වැනිදා මැදියම් රැයේ අවසන් කළ යුතු වුව ද මෙම පණිවුඩ ජනවාරි 25 වැනිදා තෙක්ම ප‍්‍රචාරය කිරීමට සැලසුම් කර තිබූ බව කාලසටහනින් පෙනී යයි. මෙම පණිවුඩ ප‍්‍රචාරය කෙරුණු ආකාරයට සහ ඒවායේ අඩංගු කරුණු දෙස බැලූ විට ඒවා නිත්‍ය වශයෙන්ම දැන්වීම් ගණයට අයත් විය යුතුය. එබැවින් ඒවායින් රජයට සිදු වූ පාඩුව අති විශාලය.. (එම පිටුව 93)

අවඥා සහගත විරිඳු

ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය විසින් එම අංශයේ නිෂ්පාදක කාර්ය මණ්ඩලයට අයත් අය යොදා ගනිමින් විරිඳු වැඩසටහනක් නිෂ්පාදනය කර ඇත. විපක්ෂයේ පොදු අපේක්ෂකයා එල්ල කරමින් නිෂ්පාදනය කර ඇති මෙම අවඥා සහගත විරිදු පටය පටිගත කර ඇත්තේ ආනන්ද සමරකෝන් මැදිරියේදීය. සංස්ථාවේ ආගමික වැඩසටහන් නිෂ්පාදනය කරන අංශය විසින් මෙවැන්නක් නිෂ්පාදනය කිරීම පැහැදිලිවම රාජ්‍ය දේපොළ අයථා ලෙස පාවිච්චි කිරීමක් වන අතර රාජ්‍ය දේපොළ අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳව 2009 දෙසැම්බර් 09 වැනිදා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ නියෝග උල්ලංඝනය කිරීමකි. (එම පිටුව 94)

මේ ලිපිය මගින් කරුණු සහිතව සාකච්චා කළේ වත්මන් විපක්ෂය බලයේ සිටි 2010 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී රාජ්‍ය මාධ්‍ය අවභාවිත කළ හා අපයෝජනය කළ ආකාරය පිළිබඳ කෙටි විමසුමක් පමණයි.

මේ තත්ත්වය තුළ පවා වත්මන් විපක්ෂය එදා බලයේ සිටියදී කළ කී දෑ ගැන පැහැදිලි අවබෝධයක් අපට ලබාගත හැකි අතර වත්මන් රාජ්‍ය මාධ්‍ය එදාට සාපේක්ෂව කොතරම් සුපිළිපන්න දැයි වටහා ගත හැකියි.

ජනතාවට අතීතය අමතකව ඇතැයි වත්මන් විපක්ෂය සිතා සිටියත් එය එසේ නොවන බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුයි. මෙන්න සාක්ෂි...

 

 

Advertiesment