Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


ජනාධිපතිවරණ ආවර්ජනා


2019-10-26 1501

(වික්ටර් අයිවන්)

2010 ජනාධිපතිවරණය අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුව එම යුද්ධයේ පළමු පෙළේ වීරයන් දෙදෙනකු අතර කෙරුණු රාජකීය සටනක් ලෙස සැලකිය හැකි අතර එම තරගයෙන් යුද්ධයට යුද්ධමය වශයෙන් නායකත්වය දුන් ජෙනරාල් ෆොන්සේකා පරාජය කිරීමට යුද්ධයට දේශපාලන අර්ථයෙන් නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් විය. 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූයේ සම තත්ත්වයෙහි ලා සැලකිය හැකි බලවත් නායකයෙකුට නොව, පොළොන්නරුවේ පුංචි මිනිසකුටය.

අභ්‍යන්තර යුද්ධය ප‍්‍රධාන පෙළේ යුද වීරයන් තුන්දෙනකු නිර්මාණය කොට තිබුණි. අනුපිළිවෙළ අනුව ඒ මහින්ද රාජපක්ෂ, ජෙනරාල් ෆොන්සේකා හා ගෝඨාභය රාජපක්ෂය. ජෙනරාල් ෆොන්සේකා මහින්ද රාජපක්ෂ අතින් පරාජයට පත්වූ අතර, මහින්ද රාජපක්ෂ මෛත‍්‍රීපාල සිරිසේන අතින් පරාජයට පත්විය. මේ ජනාධිපතිවරණයේ උරගා බැලීමකට ලක්වෙමින් සිටින්නේ තුන්වැනි වීරයා ලෙස සැලකිය හැකි ගෝඨාභය රාජපක්ෂය.

අභ්‍යන්තර යුද්ධය අවසන් කරන අවස්ථාව වන විට අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප‍්‍රචණ්ඩ අරගල විසින් ඇති කර තිබූ අශීලාචාර වටපිටාව රාජ්‍යයද, සමාජ ක‍්‍රමයද උපරිම මට්ටමකට ජරාජීර්ණ හා බෙලහීන තත්ත්වයකට පත් කොට තිබුණි. එහෙත් එවැනි ඛේදජනක තත්ත්වයට පත්ව තිබූ රාජ්‍ය හා සමාජ ක‍්‍රමය ප‍්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍ය ඉදිරි දැක්මක් ලංකාවේ පාලක පක්ෂයට නැති තත්ත්වයක් තුළ ලංකාව ලොකු අරාජික තත්ත්වයකට තල්ලූ වී යෑම නොවැළැක්විය හැකි බව මාගේ කියවීම වී තිබුණු අතර මා ඒ ගැන ඒ කාලයේදීම ඒ ගැන ලිඛිතව හා වාචිකව අදහස් පළ කළා පමණක් නොව 2011දී මා ඒ ගැන පොතක් ද ලියා පළ කළෙමි.

සරත් ෆොන්සේකා

2015 ජනාධිපතිවරණයේදී මහින්දට එරෙහිව තරග කරන තරගකරුවා ජෙනරාල් ෆොන්සේකා විය හැකි බව ඔහුගේ අපේක්ෂකත්වය ප‍්‍රසිද්ධියට පත්වන්නට කලකට පෙර මා දැන සිටියෙමි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ ගැන හිතන්නේ කෙසේද යන්න දැනගැනීමේ කුතුහලයක් මට තිබුණු අතර ජනාධිපතිවරයා මා අමතා දුරකතනයෙන් කතා කළ අවස්ථාවකදී මා ඒ ගැන ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කළෙමි. ජෙනරාල් ෆොන්සේකා ඊළඟ ජනාධිපතිවරණයේදී ඔබේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා වුවහොත් විය හැක්කේ කුමක්දැයි මම ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කළෙමි

. මගේ කතාව ජනාධිපතිවරයාගේ උනන්දුවට හේතු වුවද ජෙනරාල් සරත් ෆොන්සේකා තමන්ට එරෙහිව තරග කරනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කළේ නැත. හැම බදාදාවකම ත‍්‍රිවිධ හමුදාපතිවරුන් හා ඔහුගේ බිරියන් මා සමග දහවල් ආහාර ගන්නවා යැයි ජනාධිපතිවරයා කීවේය. දුක්ගැනවිලි තිබෙනවා නම් ඒවා මට කියන්න පුළුවන් මට කියන්න බැරි නම් ශිරන්තිට කියන්න පුළුවන්. මම ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ට ලොකු පිළිගැනීමක් ලබා දුන්නා. ලංකාවට එන රාජ්‍ය නායකයන් සඳහා පවත්වන ලද හැම භෝජන සංග‍්‍රහයකටම ඔවුන්වත් ගෙන්වා ගන්නවා යැයි කියමින් ජනාධිපතිවරයා “ මම විශ්වාස කරන්නේ නැහැ. සරත් ෆොන්සේකා එහෙම කරයි කියා” කියමින් කථාව අවසන් කළේය.

ඉන් දින කිහිපයකට පසුව ජනාධිපතිවරයා නැවත මට දුරකතනයෙන් කතා කළේය. මට මතක ඇති ආකාරයට ඔහු කතාව ආරම්භ කළේ ”ඔයා පුදුම කෙනෙක් නේ.” වැනි යෙදුමකිනි. ජනාධිපතිවරයා එහිදී කියන ලද ආකාරයට මගේ කතාවෙන් පසුව ජනාධිපතිවරයා සරත් ෆොන්සේකා තමන්ට එරෙහිව තරග කරන්නට යන්නේද කියන ප‍්‍රශ්නය ගැන ගෝඨාභයගෙන්ද ඔත්තු සේවා ප‍්‍රධානීන්ගෙන්ද ජනාධිපතිවරයා විසින් කරුණු විමසා තිබේ. සරත් ෆොන්සේකා තරග කරන්නට යන බව ඒ කිසිවකු දැන සිට නැත. ජනාධිපතිවරයා මට කතා කර තිබෙන්නේ ජෙනරාල් ෆොන්සේකා තරග කරන්නට තීරණය කරගෙන තිබෙන බව හරියටම දැනගැනීමෙන් පසුවය. ජනාධිපතිවරයා එම සංවාදය අවසන් කළේ ”සරත් ෆොන්සේකා තරග කරන්න යන බව ගෝඨා දන්නෙත් නැහැ. ඔත්තු සේවා දන්නෙත් නැහැ. ඒත් වික්ටර් අයිවන් දන්නවා.” යන කියමිනි.

මම එම සංවාදය එතැනින් අවසන් කරන්නට ඉඩ නොදී මගේ කුතුහලයට හේතුවී තිබෙන තවක් ප‍්‍රශ්නයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළෙමි. සාමාන්‍යයෙන් සේවයේ සිටින හමුදාපතිවරයකුට මැතිවරණයට තරග කළ හැක්කේ සේනාධිනායකයා වශයෙන් ඒ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබේ නම් පමණය. ඔහු තරග කරන්නට අවශ්‍ය අනුමැතිය දෙන්නේ දැයි මම ජනාධිපතිවරයාගෙන් අසා සිටියෙමි. ”ඔව්, අනුමැතිය දෙනවා. එයා දිනුවොත් මට දෙයියන්ගෙ පිහිටයි. මම දිනුවොත් එයාට දෙයියන්ගෙ පිහිටයි” යන්න ජනාධිපතිවරයා දෙන ලද ක්ෂණික පිළිතුර විය. තමන්ට මුහුණ දෙන්නට සිදුවන අවදානම නොතකා ෆොන්සේකාට තරග කරන්නට ඉඩදීම නිර්ණය මගේ ගෞරවයට හේතුවූ බව කිව යුතුය.

2010 ජනාධිපතිවරණය

ජෙනරල් ෆොන්සේකා අභ්‍යන්තර යුද්ධයේ ජයග‍්‍රහණය සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබුණි. ඒ ගැන මා තුළ ඔහු කෙරෙහි ලොකු ගෞරවයක් තිබුණද යුදබිමේ සිට උණු උණුවේ දේශපාලන බිමට කඩා වැදී ජනාධිපතිවරණයට තරග කිරීම යහපත් දෙයක් ලෙස මට පෙනුණේ නැ. මිලිටරි මනසක් යුද සේවයට අවශ්‍ය වුවත්, රාජ්‍ය පාලකයකුට තිබිය යුත්තේ මිලිටරි මනසක් නොව සිවිල් මනසකි. ජෙනරාල් ෆොන්සේකා වැන්නකු රටේ නායකයා වනවා නම් විය යුත්තේ කලක් සිවිල් දේශපාලනයේ යෙදී සිවිල් මනසක් ඇතිකර ගැනීමෙන් පසුව යන්න මා දරන ලද මතය විය. මා මගේ මතය ප‍්‍රසිද්ධියේ පළ කරන ලද අතර මාගේ ගණන් බැලීම වූයේ රටේ පැවති ජනප‍්‍රිය විශ්වාසයන්ට වෙනස්ව මේ දෙදෙනා අතර තරගයෙන් මහින්ද රාජපක්ෂ පහසු ජයක් හිමිකරගනු ඇති බවය.

එක්සත් ජාතික පක්ෂය 2010 ජනාධිපතිවරණයට තරග නොකොට යුද්ධය ජයගත් නායකයාට නිතරග ජයග‍්‍රහණයක් ලබා දුන්නේ නම් එය රටේ යහපතට හේතුවන්නට ඉඩ තිබුණා සේ ම එම පක්ෂයේ යහපතටද හේතුවන්නට ඉඩ තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද ජයග‍්‍රහණයෙන් හිමිකරගෙන සිටි ජනප‍්‍රසාදයේ තරම අනුව ඒ අවස්ථාවේදී ඔහු පරාජය කිරීමේ ඇත්ත හැකියාවක් එජාපයට නොතිබුණේය. ඒ බව තේරුම් ගෙන මහින්ද ලබා ගත් යුද ජයග‍්‍රහණයට දක්වන උපහාරයක් ලෙස එම ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකොට මහින්දට නිතරග ජයග‍්‍රහණයක් ලබා දුන්නේ නම් හා ඒ වෙනුවෙන් මහින්දගෙන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිටින තැනට ගියේ නම් එජාප ඡන්ද පදනමේ බිඳ වැටීමක් ඇති නොවන්නට ඉඩ තිබුණා සේ ම බලවත් පාර්ලිමේන්තු කණ්ඩායමක් පවත්වාගෙන යෑමේ හැකියාවද එම පක්ෂයට ලැබෙන්නට ඉඩ තිබුණි. එසේ වී නම් විරුද්ධ පක්ෂය හා ආණ්ඩු පක්ෂය අතර අන්තර් සම්බන්ධය වෛරසගත තත්ත්වයකට වර්ධනය නොවී විරුද්ධ පක්ෂය ඉල්ලා සිටින දේශපාලන ප‍්‍රතිසංස්කරණද ලබා දෙන්නට මහින්දට සිදුවන්නට ඉඩ තිබුණි. එහි අවසාන ඵලය වශයෙන් මර්දනීය පාලනයක් වෙනුවට මෘදු පාලනයක් ඇතිවන්නට ඉඩ තිබුණා සේ ම යූඇන්පියේ ඡන්ද පදනමේ ලොකු බිඳ වැටීමක් ඇති නොවන්නටද ඉඩ තිබුණි.

2010 ජනාධිපතිවරණයෙන් පසු එජාප නායකයා සමග කරන ලද පිළිසඳර කතාබහකදී මා දරන ලද එම අදහස ඔහු වෙත ඉදිරිපත් කරන ලද අතර, තිස්ස අත්තනායක ද සහභාගි වූ එම කතාබහේදී මා පළ කරන ලද මතයට හොඳින් ඇහුම්කන් දී “ අපි ඒ ගැන ඒ තරම් දුර කල්පනා කළේ නැති බව” රනිල් වික‍්‍රමසිංහ කීවේ ය.

ෆොන්සේකාගෙන් පළිගැනීම

මා සිරිතක් ලෙස මැතිවරණ ප‍්‍රතිඵල අහන්න නිදිමරන්නේ නැත. 2010 ජනාධිපතිවරණයේදීද වේලාසනින් නින්දට ගොස් හිමිදිරි උදේම අවදි වී මැතිවරණ ප‍්‍රතිඵලවලට සවන් දුන්නෙමි. පෙරවරු 5.00ට පමණ මම කරු ජයසූරියට දුරකතනයෙන් කතා කළේ ප‍්‍රතිඵලය ගැන ඔහු දරන අදහස් දැනගැනීම සඳහාය. ඒ වෙනුවට ඔහුගෙන් අසන්නට ලැබුණේ මාගේ පුදුමයට හේතුවන කතාවකි. ජෙනරාල් ෆොන්සේකා නැවතී සිටින හෝටලය ආරක්ෂක හමුදා විසින් වටලාගෙන සිටින බවත්, රාත‍්‍රියේ එහි සිටි බොහෝ දෙනකු මේ වනවිට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙන නිසා ෆොන්සේකාව තනි කර දමා යන්නට පුළුවන්කමක් නැති නිසා තමන් ද එහි සිටින බවත් කරු ජයසූරිය කියා සිටියේය. ඒ ගැන ජනාධිපතිවරයා සමග කතා නොකළේදැයි මා ඇසූ විට ජනාධිපතිවරයා නොදැන මෙවැනි දෙයක් විය නොහැකි නිසා තමා ජනාධිපතිවරයා සමග කතා නොකළ බව කරු ජයසූරිය මහතා මට කීවේය. ඉන්පසු මා තවත් කිහිපදෙනකුට කතා කොට එහි පැවති තත්ත්වය පිළිබඳව වැඩි විස්තර දැන ගත්තෙමි.

පෙරවරු 7.00ට පමණ මම කාංචනා රත්වත්තට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ එදින ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතා කිරීම දුෂ්කර දෙයක් වනු ඇතැයි කල්පනා කළ නිසාය. එහෙත් පුදුමයට මෙන් ඒ මොහොතේ කාංචනා සිටියේ ජනාධිපති ළඟය. ඔහු සිය දුරකථනය ජනාධිපතිට දෙන බව කීවේය. “ඔබතුමා ලොකු මැතිවරණ ජයග‍්‍රහණයක් හිමිකරගෙන සිටියත් බොහෝ විදේශ පුවත් සේවාවල ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය බවට පත්ව ඇත්තේ ලැබූ ජයග‍්‍රහණය ගැන නොව, සිය ප‍්‍රතිවාදී අපේක්ෂකයා සිරකරගෙන සිටින ප‍්‍රවෘත්තිය බව මම ජනාධිපතිවරයාට කියා සිටියෙමි. මාගේ එම කතාව ජනාධිපතිවරයාගේ සතුටට හේතු නොවූ අතර ජනාධිපතිවරයා එම ක‍්‍රියාව සාධාරණය කිරීම සඳහා විවිධ දේ කීවේය. මැතිවරණය පැවති රාත‍්‍රියේද ජෙනරාල් ෆොන්සේකා ආරක්ෂක හමුදාවේ ප‍්‍රධාන නිලධාරීන්ට දුරකතනයෙන් කතා කොට තර්ජනය කර ඇති බවත්, එදින රාත‍්‍රියේ ඔහු ජයගත්තේ නම් තමා අත්අඩංගුවට ගැනීමේ වැඩසටහනක් සූදානම් කර තිබී ඇති බවත් ජනාධිපතිවරයා කීවේය. ෆොන්සේකාට ඒ ස්ථානයෙන් පිටවී යන ලෙස ඔහුට දැනුම් දෙන ලෙස අවසානයේ මගෙන් ඉල්ලා සිටියේය.

ජෙනරාල් ෆොන්සේකා එදින අත්අඩංගුවට ගත්තේ නැතත්, පසුව අත්අඩංගුවට ගෙන ඔහු උපරිම ලෙස පීඩාවට පත් කළේය. එම ජනාධිපතිවරණයෙන් ජෙනරාල් ෆොන්සේකා ජයගත්තේ නම් ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් අනුගමනය කරනු ඇති ප‍්‍රතිපත්තියද සමහරවිට ඒ සමාන හෝ ඊටත් වඩා රළුවිය හැකි බව මට ඇතිවුණු හැඟීම විය.

ගෝඨාභය රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ 2005 පළමු ජයග‍්‍රහණයේ සිට පරාජයට පත්වූ 2015 දක්වා වන වසර 10ක කාලය තුළ ජනාධිපතිවරයාට පමණක් දෙවැනි වූ බලයක් පෙන්නුම් කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂය.

සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම ගෝඨාභයගේ යුද්ධය නමින් ලියා තිබෙන පොතේ එන තොරතුරුවලට අනුව ගෝඨාභය ලංකා යුද හමුදාවට කෙඩෙට් නිලධාරියකු ලෙස බැඳී ඇත්තේ 1971 අපේ‍්‍රල්වලදීය. හමුදා පුහුණුව සම්පූර්ණ කොට යුද හමුදාවේ දෙවැනි ලූතිනන්වරයෙකු බවට පත්ව ඇත්තේ 1972 මැයිවලදීය. වඩමරච්චි සටනේදී බලසේනා දෙකේ අණදෙන නිලධාරීන් ලෙස බි‍්‍රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුවත්, කර්නල් විජේවිමලරත්නත් ක‍්‍රියා කරන විට කර්නල් විමලරත්නගේ බලඇණියේ ආඥාපති ලෙස ක‍්‍රියාකර තිබෙන්නේ ගෝඨාභයය. ඉන්පසු ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී මාතලේ දිස්ත‍්‍රික්කයේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් ක‍්‍රියාකර තිබෙන්නේද ඔහුය. ලූතිනන් කර්නල්වරයකු ලෙස සේවයේ යෙදී සිටියදී හමුදා සේවයෙන් විශ‍්‍රාම ගෙන ඇමරිකාවට ගොස් තිබෙන්නේ කොටි සංවිධානය සමග කරන යුද්ධයේදී ආරක්ෂක හමුදාවත් බරපතළ පරාජයන් අත්පත් කරදීමට හේතුවූ කාලයේදීය. ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ මවුන්ට් රෝයල් නීති විද්‍යාලයේ පරිගණක පරිපාලකයකු ලෙස සේවය කරමින් සිටියදී 2005 ජනාධිපතිවරණයට තරග කරන සිය සොහොයුරාට උදව් කිරීම පිණිස තුන් මාසයක නිවාඩු ලබාගෙන ලංකාවට පැමිණ තිබෙන අතර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ වහාම ගෝඨාභය ආරක්ෂක ලේකම්කමට පත් කරන ලදි.

සුදු පැත්ත හා කළු පැත්ත

ඒ වනවිට ආරක්ෂක හමුදා තිබුණේ යහපත් තත්ත්වයක නොව ඉතාමත් අසරණ තත්ත්වයකය. යුද බිමේ ලබා තිබූ පරාජයන් ඔවුන්ගේ ආත්ම ධෛර්යය බිඳ දැමීමට හේතුවී තිබූ අතර ප‍්‍රමාණවත් තරම් මානව සම්පත් හා අවි ආයුධ නැතිකමේ ප‍්‍රශ්නයක්ද තිබුණි. ආරක්ෂක හමුදා වසාගෙන තිබූ එම තත්ත්වය නැති කොට සාර්ථක යුද්ධයක් කරගෙන යා හැකි තත්ත්වයකට ආරක්ෂක හමුදා පත් කිරීමේ ගෞරවය ගෝඨාභයට හිමිවිය යුතුය.

ගෝඨාභයට වර්ණවත් පැත්තක් තිබුණා සේ ම ඊට අතිරේකව අඳුරු පැත්තක්ද තිබුණේය. ආරක්ෂාවට අදාළව ඔහුට ලොකු පාලන බලයක් තිබූ කාලවකවානුවේදී ඉතා බිහිසුණු හා අවලස්සන දේවල් රටේ සිදුවී තිබුණි. යුද්ධය පැවති කාලයේදී යුද බිමේ සිදුවී ඇතැයි කියන සාහසික සිද්ධීන් ගැන මම කතා නොකරමි. එහෙත් යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති අහිංසක මිනිසුන් ඝාතනය කිරීම, පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම හා තෝරා ගත් සමහර පුද්ගලයන්ට බිහිසුණු ලෙස පහරදිම වැනි සාහසික සිද්ධීන් විශාල ගණනක් එම කාලයේදී සිදුවිය.

ඒවා අතර (1) කොළඹ අධි ආරක්ෂිත කලාපයේදී ප‍්‍රකට ජනමාධ්‍යවේදියකු වූ ධර්මරත්න ශිවරාම් හෙවත් තරාකි පැහැරගෙන ගොස් මරා දැමීම (2005 අපේ‍්‍රල් 28), (2) ත‍්‍රිකුණාමලය වෙරළේ කතා කරමින් සිටි ශිෂ්‍යයන් පස්දෙනකු මරා දැමීම (2006 ජනවාරි 02), (3) දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ ත්‍යාගරාජා රවි රාජ් කොළඹ අධි ආරක්ෂිත ප‍්‍රදේශයකදී වෙඩි තබා මරා දැමීම (2006 නොවැම්බර් 10), (4) නේෂන් පුවත්පතේ ජනමාධ්‍යවේදියකු වූ කීත් නොයාර් බිහිසුණු පහරදීමකට ලක් කිරීම (2008 මැයි 22), (5) සිරස රූපවාහිනී ආයතනයට පහරදීම (2009 ජනවාරි 07), (6) සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම (2009 ජනවාරි 8), (7) ජනමාධ්‍යවේදියකු වූ පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම (2010 ජනවාරි 24), (8) ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම (2010 ජනවාරි 24), (9) පෙරටුගාමී පක්ෂයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් දෙදෙනකු වූ ලලිත් වීරරාම් හා කුගන් මුරුගනාදන් අතුරුදහන් කිරීම, (10) සුරතල් බලූ පැටවකු ගෙන්වා ගැනීම සඳහා මගීන් රහිත හිස් ගුවන්යානයක් යොදා ගැනීම ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් දුරකතනයෙන් ප‍්‍රශ්න කළ ෆ්‍රෙඞ්රිකා ජෑන්ස්ට නොසරුප් බසින් බැණ වැදීම හා තර්ජනය කිරීම ඒ අතර ප‍්‍රධානය.

පෝද්දල හා ෆ්‍රෙඞ්රිකා

පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් බිහිසුණු පහරදීමකට ලක් කළේ පෝද්දලගේ ඉල්ලීම පරිදි ඔහුට එල්ල වී තිබෙන තර්ජන ගර්ජන පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක යෙදෙමින් සිටි අවස්ථාවකදීය. එම සාකච්ඡාව ලබාගැනීමට මැදිහත්වූයේ මාය.

අපි ජනාධිපතිවරයා සමග ඒ ගැන සාකච්ඡා කරමින් සිටි අවස්ථාවේදී ඔහු පැහැරගෙන ගොස් ඇති බව අප ඉදිරියේ ජනාධිපතිවරයාට දැනුම් දෙන ලද්දේ ඇමති ඩලස් අලහප්පෙරුම විසිනි. ඒ ගැන අසන්නට ලැබීමත් සමග ජනාධිපතිවරයා අසාමාන්‍ය ලෙස සසල වූවා පමණක් නොව, කෝපයටද පත්විය. ජනාධිපතිවරයාගේ ශරීර භාෂාවෙන් අපට පෙනුණේ ඔහුගේ පාලනයකින් තොරව දේවල් සිදුවෙමින් තිබුණ බවය.

ආරක්ෂක ලේකම්වරයා ෆ්‍රෙඞ්රිකාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනය කළ අවස්ථාවේදීද ඇය ඒ පිළිබඳ සම්පූර්ණ සිද්ධිය මා සමග කීවාය. එම සිද්ධියේ අඳුරු වලා පහවන්නටත් පෙර එම අවලස්සන සිද්ධිය සිදුවූ දිනට පසු දින හෝ ඊට පසු දින ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් වශයෙන් ක‍්‍රියා කළ බන්දුල ජයසේකර (දැන් සිරස නාලකාවේ වැඩ කරන) මට දුරකතනයෙන් කතා කොට තෝරා ගත් කතුවරුන් කිහිපදෙනකු සඳහා අරලියගහ මන්දිරයේ පවත්වනු ලබන රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට ආරාධනා කළේය. එය අවලස්සන සිද්ධියකින් පසුව පැවැත්වෙන භෝජන සංග‍්‍රහයක් බැවින් ඊට සහභාගිවීමේ හැකියාව මට නැති බව මම කියා සිටියෙමි.

ඉන් ටික වේලාවකට පසුව නැවත බන්දුල මට කතා කළේය. මා කියන ලද දේ ජනාධිපතිට කියන ලද බවත්, පැමිණ ඒ දේවල් කතා කළ හැකි නිසා අනිවාර්යයෙන් ඊට සහභාගි වන ලෙස ජනාධිපතිවරයා කී බවත් ඔහු කීවේය. මා එම අවස්ථාවට සහභාගි වන බව කියා සිටියෙමි.

රාත‍්‍රී භෝජන සංග‍්‍රහය

මා එම අවස්ථාවට සහභාගි වීම සඳහා අරලියගහ මන්දිරයේ පහත මාලයට ගොස් එහි තිබෙන අසුනක අසුන් ගත් පසු ටික වේලාවකින් ගෝඨා ද එහි පැමිණ මා අසුන්ගෙන සිටි අසුන ළඟම ඇති අසුනේ අසුන් ගත්තේය. ඉහළ මාලයට ගිය පසුද ඔහු අසුන් ගත්තේ මා අසුන් ගත් ආසනය සමග තිබූ අසුනේය. ජනාධිපතිවරයාට අතිරේකව සන්ඬේ ටයිම්ස්, ද අයිලන්ඞ්, ඬේලි මිරර්, ලංකාදීප යන පුවත්පත්වල කතුවරුන් වන සිංහ රත්නතුංග, ප‍්‍රභාත් සහබන්දු, චම්පිකා ලියනආරච්චි, සිරි රණසිංහ යන අය ද, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා බන්දුල ජයසේකර යන අයද එම අවස්ථාවට සහභාගි වූහ.

මත්පැන්වලින් කරන ලද සංග‍්‍රහයේදී ජනාධිපතිවරයා අතට ගත්තේ වයින් වීදුරුවකි. සැර බීම තිබියදී මා අතට ගත්තේද වයින් වීදුරුවකි. මාගේ එම තෝරා ගැනීම ජනාධිපතිට ප‍්‍රශ්නයක් වූ අතර, ”වික්ටර් ඔබ සැර බීම මිස වයින් බොන්නේ නැහැ නේදැ”යි අනෙක් අයටද ඇසෙන ලෙස ප‍්‍රශ්න කළේය. “සිහිකල්පනාව හොඳින් තබාගත යුතු අවස්ථාවල මම බොන්නේ වයින් බව” මම කීවෙමි.

අඩියක් ගසමින් කෙරෙන තේරුමක් නැති කතාබස්වල යෙදෙමින් සිටි අවස්ථාවකදී පුවත්පත් කතුවරුන් වශයෙන් අප මෙහි කැඳවන ලද්දේ කුමක් සඳහාදැයි මම ජනාධිපතිවරයාගෙන් අසා සිටියෙමි. මට කියන්න තියෙන දේවල් කියන ලෙස ජනාධිපතිවරයා කීවේය. ඔබතුමාගේ මල්ලී පුවත්පත් කතුවරියක දුරකතනයෙන් කරන ලද කරුණු විමසීමකදී ඇයට නොසරුප් බසින් බැන වැදී තර්ජනය කර තිබෙන බව කියමින් එවැනි බලයක් ඔහුට ලැබුණේ කෙසේදැයි ප‍්‍රශ්න කරමින් ඒ ගැන වන මගේ විවේචනය කළෙමි. ගෝඨාභයගේ මුහුණ අඳුරු වී තිබුණද ඔහු කිසිවක් කතා කළේ නැත. මගේ කතාව අතරමැද අවස්ථාවකදී ඔහු එම ස්ථානයෙන් පිටවී ගොස් කෙටි වේලාවකින් නැවත එහි පැමිණ මා අසලින්ම අසුන් ගත්තේය. ගෝඨා එම ස්ථානයෙන් පිටවී ගිය අවස්ථාවේදී “ ගෝඨා මේ ප‍්‍රශ්නයේදී වැරදියි කියා” ජනාධිපතිවරයා තමන් ළඟ සිටි ඬේලි මිරර් කතුවරියට කියනවා මට ඇසුණි.

රාත‍්‍රී ආහාරය සඳහා කෑම මේසයට ගිය පසු අනෙක් අය ආහාර ගැනීම අවසන් කරන්නට පෙර මගේ ආහාර ගැනීම අවසන් කොට සියලූ දෙනා අමතා මෙසේ කීවෙමි. “ ආරක්ෂක ලේකම්වරයාගේ ප‍්‍රශ්නය පිළිබඳව මා හැර කිසිවෙක් කතා කළේ නැහැ. සමහරවිට එසේ කරන්නට ඇත්තේ මා සිටිය නිසා විය හැකිය. ඒ නිසා මා නැතිව කරන සංවාදයකට ඉඩ හැරීම සඳහා මා එම ස්ථානයෙන් පිටවී යන බව කියා අසම්මත ආකාරයකින් ජනාධිපති ඇතුළු එහි සිටි සියලූදෙනාගෙන් සමුගෙන ඒ ස්ථානයෙන් පිටවී ආවෙමි.

2014 ජූනිවලදී අලූත්ගම සිදුවූ මුස්ලිම් පහරදීම්වලදීද මා “ගෝඨාභයගේ හෙවණැල්ල” යන මාතෘතාව යටතේ ඒ ගැන ලිපියක් ලියා පළ කළෙමි. මා එම ලිපිය ලීවේ මට දැනගන්නට ලැබී තිබුණු කරුණු අනුව එහි සිදුවූ අවලස්සන හා බිහිසුණු දේවලට ගෝඨාභයගේ සම්බන්ධයක් තිබූ බව මා විශ්වාස කළ නිසාය. ගෝඨාගේ සතුටට හේතු නොවන මෙම අවස්ථා දෙකේදීම මට ඔහුගෙන් ඍජු ලෙස හෝ අනියම් ලෙස කිසිදු තර්ජනයක් එල්ල නොවූ බවද කිව යුතුය.

ගෝඨාභයගේ කාලයේ සිදුවී තිබෙන සියලූ අපරාධවලට ඔහු වගකිවයුතු යැයි මම නොකියමි. එහෙත් දේශපාලන පැත්තක් තිබෙන බව පෙනෙන ඉහත ලැයිස්තුවට ඇතුළත් අපරාධවලට ඔහු ඍජු ලෙස හෝ අනියම් ලෙස වගකිවයුතු වේ යැයි මම සිතමි. ඒවා ආරක්ෂක නිලධාරීන්ගේ ස්වාධීන වුවමනාව මත සිදු කරන ලද දේවල් ලෙස සැලකිය නොහැකිය.

එවැනි බරපතළ චෝදනා තිබෙන පුද්ගලයකු එම චෝදනාවලින් පූර්ණ වශයෙන් නිදහස් වන තෙක් නාමමාත‍්‍රික වශයෙන් හෝ රටේ නායකයා කර ගැනීම සුදුසු නැත. එවැනි චෝදනා තිබෙන පුද්ගලයකු එවැනි තනතුරකට තරග කිරීමද සුදුසු නැත.

 

Advertiesment