Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් සියයට 80ක් ලිංගික හිංසනයට ලක්වීම ගැන ලැජ්ජා විය යුතුයි


2019-10-20 1690

පොදු ප්‍රවාහන සේවා භාවිතය 80% දක්වා වැඩි කළ යුතුයි

 

පොදු ප්‍රවාහනයෙන් රට දියුණු කරන හැටි අනුර කුමාර පහදයි 

 

(සුජිත් මංගල ද සිල්වා)

පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන කාන්තාවන් 80%ක් ලිංගික හිංසනයට ලක්වීම ගැන රටක් ජාතියක් ලෙස අප ලැජ්ජා විය යුතු යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය එළිදැක්වීම නිමිත්තෙන් කළුතර "පැනරාමා" උත්සව ශාලාවේ පැවති උත්සවයේදීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

අද අපි බස් එකට, දුම්රියට නගින තැන සිටම තමයි පොදු ප‍්‍රවාහනයේ අර්බුදය පටන් ගන්නෙ. එතැන ඉඳන්ම පොදු ප‍්‍රවාහනය භාවිතා කරන කෙනාගෙ ආත්මාභිමානය විනාශ වෙන්න පටන් ගන්නවා. බස් එකකට නැග්ගට පස්සෙ, බස් එක ඇතුළෙ ඉන්න ඕනෙ තැන, හිටගන්න ඕනෙ විදිහ පවා තීරණය කරන්නෙ තමන් විසින් නෙමෙයි. පොදු ප‍්‍රවානයට ඇතුළත් වෙන කාන්තාවන් සියයට අනූවක් ලිංගික හිංසනයට ලක් වෙනව කියන එක අපි රටක් විදිහට ලැජ්ජ වෙන්න ඕනෙ කාරණාවක්. පොදු ප‍්‍රවාහනයේදීත්, ගමනාගමනයේදීත් සිදු වෙන මරණ සංඛ්‍යාව කියන්නෙත් මේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ තියෙන තවත් අර්බුදයක්.

ඒ නිසා අපේ රටේ යම් දියුණුවක් අත්පත් කර ගන්න නම් සහ ජනතාවට ගමනාගමනයේදී යම් ගරුත්වයක් අත්පත් කර ගන්න නම් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනෙ. ඒ නිසා තමයි මීට වසර දෙකක පමණ කාලයක සිට ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් විශාල ප‍්‍රමාණයක් එකතු වෙලා කරන ලද විශාල අධ්‍යයනයකින් පස්සෙ මේ ප‍්‍රවාහන වැඩපිළිවෙල සකස් කළේ. එහිදී අවධානය යොමු කරල තියෙන එක ප‍්‍රධාන සාධකයක් තමයි පොදු ප‍්‍රවාහන සේවය නගා සිටුවීම. ඒ අනුව දැනට සියයට පනස් දෙකක් වෙලා තියෙන පොදු ප‍්‍රවාහනය භාවිතා කිරීම අවුරුදු පහක් ඇතුළත සියයට අසූවක් දක්වා වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉලක්කය හුදු ගණන් වලින් හදපු ඉලක්කයක් නෙමෙයි.

අද නාගරික තදබදයට උත්තරයක් නැහැ. ලෝකයේ දියුණු රට වල පොදු ප‍්‍රවාහනයට විශේෂ තැනක් දීල තියෙනවා. පෞද්ගලික වාහන වලින් ගමනාගමනය සිදු කරනවාට වඩා පොදු ප‍්‍රවාහනය යොදාගන්න විශාල පෙළඹුමක් ඇති කරනවා. මේ තියන මාර්ග තදබදය අවම කර ගන්නනම් අපිටත් පොදු ප‍්‍රවාහනය ගැන හිතන්නම වෙනවා. අනෙක් පැත්තට රථ වාහන නිසා වායු දුෂණය වැඩි වෙලා තියෙනවා. අපිටත් ඒ ප‍්‍රශ්නය විවිධ අයුරින් බලපෑම් කරමින් තියෙනවා. මේ වෙනකොටත් මහනුවර ආශ‍්‍රිතව වායු දූෂණය ඉතාමත් වැඩි අගයක් ගනිමින් තියෙනවා. ඒකට විසඳුමක් දෙන්නනම් රථවාහන භාවිතය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. පොදු ප‍්‍රවාහනය දියුණු කිරීම හරහා ඒකටත් විසඳුමක් ලබා ගන්න පුළුවන්.

පොදු ප‍්‍රවාහනයේ කඩා වැටීම නිසා අද අපේ රටේ පෞද්ගලික වාහන මිලදී ගැනීමේ විශාල පෙළඹුමක් ඇති වෙමින් තියෙනවා. අපේ රට කියන්නෙ වාහන නිෂ්පාදනය කරන රටක් නෙමෙයි. ඒ නිසා විශාල වශයෙන් වාහන මිලදී ගන්නව කියන්නෙ රටේ වත්කම් ඒ හා සමානවම එළියට ඇදිල යනව කියන එකයි. ඒක රටේ ආර්ථිකයට විශාල බලපෑමක් කරනවා. ඒ වගේම රටේ ජනතාව ප‍්‍රවාහනයට වැය කරන පිරිවැයත් ඉහළ ගිහින් තියෙනවා. විවිධ වර්ගයේ වාහන ලක්ෂ හැත්තෑ තුනත් අද රටේ තියෙනවා. ඒ වගේම යතුරු පැදි ලක්ෂ දා හතක් තියෙනවා. මේ අතරින් වැඩි ප‍්‍රමාණයක් ආර්ථික වශයෙන් හැකියාවක් ඇති නිසා කරපු වාහන මිල දී ගැනීම් නෙමෙයි. ඒ නිසා දිසා අධිකරණ වල විභාග වෙන නඩු වලින් සියයට අනූවක් ලීසිං නඩු. ඒකෙන් කියන්නෙ ප‍්‍රවාහනයේ ඇති ගැටළුව නිසාම තමයි බොහෝ දෙනෙක් පෞද්ගලික වාහන මිල දී ගන්න යොමු වෙලා තියෙන්නෙ කියන එකයි. ඒ පිරිවැය දරා ගන්න බැරි නිසා තමයි ලීසිං ගෙවා ගන්න බැරි වෙලා අර කලින් කිව්ව වගේ අධිකරණ වන නඩු වැඩි වෙමින් තියෙන්නෙ.

තවත් එකක් තමයි, ප‍්‍රවාහනයේදී අපතේ යන කාලය. පොදු ප‍්‍රවාහනයේදීත්, පෞද්ගලික වාහනයකින් ගමනාගමනයේ යෙදෙද්දිත් විශාල කාලයක් නාස්ති වෙමින් තියෙනවා. ඒක රටක ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනවා.මගී ප‍්‍රවාහන විතරක් නෙමෙයි, භාණ්ඩ ප‍්‍රවාහනය, තෙල් ප‍්‍රවාහනය කරන්නෙත් පෞද්ගලික වාහන වලින්. ඉස්සර දුම්රියෙන් කරපු තෙල් ප‍්‍රවාහනය අද පෞද්ගලික බව්සර් වලින් කරගෙන යනවා. ඒක දේශපාලකයන්ගෙ ජාවාරමක් බවට පත් වෙලා තියෙනවා. අනෙකුත් භාණ්ඩ ප‍්‍රවාහනයත් එහෙම තමයි. කොළඹ නගරයේ වාහන තදබදයට ඒකත් ප‍්‍රධාන හේතුවක්. ඒ වෙනුවට දුම්රිය මගින් පහසුවෙන් ඒක තාමත් කරන්න පුළුවන්.මේ සියල්ල ගැනම අපි අවධානය යොමු කරමින් තමයි අපේ ප‍්‍රවාහන සැලැස්ම සකස් කරල තියෙන්නෙ.

 

 

Advertiesment