Thursday 25th of April 2024

English Tamil
Advertiesment


පකිස්ථානයට නොබියව ගිය ක්‍රිකට් ක්‍රීඩකයින් සිව් දෙනෙකු කපා හැරලා


2019-10-18 8022

මර බියෙන් සැඟ වුණු සිව් දෙනෙකු කණ්ඩායමට ඇතුළත් කරලා 

 

ලසිත් මාලිංගගේ ලංසුව ලක්ෂ 240යි 

 

"HOT- SPORTS"

 

ක්‍රීඩා කරළියේ තිරය පිටු පස..!

 

( කසුන් ප‍්‍රබෝධ සමරවීර) 

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියානු සංචාරය ගැන මේ වන විට ක‍්‍රීඩා ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයේ දී නොසිතූ විරූ ආකාරයේ සාර්ථකත්වයක් ලබා ලබාදීමට නවක ක‍්‍රීඩකයින්ගෙන් පිරිසකට  අවස්ථාව ලැබීම නිසයි.

එක් දින තරගාවලිය 2/0ක් ලෙස පරාජයට පත් වුණත් ශ‍්‍රී ලංකා කණ්ඩායම විස්සයි 20 තරගාවලිය 3/0ක් ලෙස ජයග‍්‍රහණය කිරීම පාකිස්ථානයේ පමණක් නොව ජාත්‍යන්තරයේ පවා දැඩි අවධානයට යොමු වුණා.විශේෂයෙන් පාකිස්ථානයේ කරච්චි නුවර "ගඩාෆි" ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාව ලැබූ විස්සයි 20 ජයග‍්‍රහණය ඓතිහාසික එකක් වශයෙන් තමයි සැලකිය හැකි වන්නේ.

මේ තත්ත්වය තුළ වඩාත් ජයග‍්‍රාහී මානසිකත්වයකින් පසු වන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඒ උණුසුම යාමටත් පෙර තවත් සුපිරි කණ්ඩායමක් වන ඔස්ටේ‍්‍රලියානුවන් හමුවට යාම දැඩි අවධානයට යොමු විය යුතු කරුණක් බවට කිසිදු සැකයක් නැහැ.

2019 ඔක්තෝබර්  27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම් කරන ලද ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා T20 කණ්ඩායමට නිමාවුණු පාකිස්තානු තරග සංචාරයේදී දස්කම් දැක්වූ තරුණ ක්‍රීඩකයින් කිහිප පළක්ම ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.ඒ අනුව අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ සංචිතයෙන් වෙනස්කම් හතරක් පමණක් සිදු කිරීමට වග බලා ගෙන තිබෙනවා.ඒ අනුව ආරක්ෂක හේතූන් නිසා එම තරගාවලියට සහභාගිත්වයෙන් වැළැකී සිටි ලසිත්මාලිංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා යළිත් කණ්ඩායමට එක් කර තිබෙනවා

ඔවුන් සිව් දෙනා කණ්ඩායමට පැමිණීමේදී පාකිස්තානු තරග සංචාරයට සහභාගිවූ ක්‍රීඩකයන් අතරින් දක්ෂතා අතරට පැමිණීමට සමත්වූ මිනෝද් භානුකටද සිය ස්ථානය අහිමිවී තිබීම කැපී පෙනෙනවා. මිනෝද් භානුකට අමතරව ආරම්භක පිතිකරු ලෙසින් කණ්ඩායමට එක් වු සධීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා සහ ළහිරු මධුසංකට ද සිය ස්ථාන අහිමිවී තිබෙනවා.කෙසේ වෙතත් පාකිස්තානු තරග සංචාරයට පෙර හෙවත් නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට ඇතුළත් වුණු ළහිරු මදුසංක මේ  නව කණ්ඩායමට ඇතුළත් නොවීම කැපී පෙනෙනවා.

විස්සයි-20 තරග 3 ක් පමණක් ඇතුළත් මෙම තරගාවලියේ පළමු තරගය මෙම මස 27 වැනිදා ඇඩිලේඩ්හිදී ආරම්භ වන අතර දෙවැනි තරගය 30 වැනිදා බ්‍රිස්බේන්හිදීද තෙවැනි තරගය නොවැම්බර් 01 වැනිදා මෙල්බර්න්හිදීද පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

මීළඟ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන 2020 වසරේ ඔස්ට්‍රේලියාවේදීම පැවැත්වෙන බැවින් මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගාවලියක් බවට පත්ව තිබෙනවා.  ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඔස්ට්‍රේලියාවේදී විස්සයි-20 තරගාවලියකට සහභාගිවී ඇත්තේ ඉකුත් 2017 වසරේ වේ. උපුල් තරංගගේ නායකත්වය යටතේ එම තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා විස්සයි-20 පිල 2-1 ක් ලෙස ඔස්ට්‍රේලියාවට එරෙහිව ජය වාර්තා කිරීමට සමත් වුණා

ශ්‍රී ලංකා විස්සයි-20 පිල, ලසිත් මාලිංග (නායක), කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන්ශානක, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ඉසුරු උදාන, කසුන් රජිත යන අයගෙන් සමන්විතයි.

කණ්ඩායමට අලුතින්  පැමිණි ක්‍රීඩකයින් වන්නේ ලසිත් මාලිංග, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල වන අතර ඉවත් වුණු ක්‍රීඩකයින් වන්නේ  මිනෝද්භානුක, ළහිරු මධුසංක, ඇන්ජලෝ පෙරේරා, සධීර සමරවික්‍රමයි.

 The Hundred ලක්ෂ 280 වේ ඉහළම ලංසුව ලසිත් මාලිංගට

එංගලන්තයේ පැවැත්වීමට නියමිත The Hundred ක්‍රිකට් තරගාවලියේ වැඩි ම ලංසු මුදලක්  නියමවූ වූ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත්වී තිබේනවා. ක්‍රීඩක වෙන්දේසිය සදහා ඔහුට නියම වී ඇති මූලික මුදල ස්ටර්ලිං පවුම්125000කි. (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 280) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ද ලසිත් මාලිංගයි. ඔහු එක්දින කඩුලු 338ක් බිද හෙළා ඇති අතර පන්දු වාර 20 තරගවලදී කඩුලු104ක් දවා ගෙන තිබේනවා. එක්දින සහ T20 ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව පන්දු හතරකදී කඩුළු 4ක් දවා ගැනීමට සමත් වූ එක ම පන්දු යවන්නා ලසිත් මාලිංගයි.

The Hundred තරගාවලිය

සීමිත පන්දු වාර ක්‍රිකට් තරග ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්  පැවැත්වෙන මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් මුහුණ දෙන පන්දු සංඛ්‍යාව 100ක්. මෙම තරගාවලිය සඳහා අනුමැතිය හිමි වූයේ, එංගලන්ත-වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ 2017 වසරේ පැවති ඡන්ද විමසීමකින් පසුවයි. මෙහිදී පන්දුවාර 20 තරගවලදී බල පැවැත්වෙන නීති ක්‍රියාත්මක වන අතර පළමු පන්දු වාර 15 එක් පන්දු වාරයකට පන්දු 6ක් ලෙස ක්‍රියාත්මක කෙරේ. එහෙත්, අවසන් පන්දු වාරය පන්දු 10කින් සමන්විත වනු ඇත. මෙම තරගාවලිය 2020 වසරේ ජූලි 17 වන දා සිට අගෝස්තු 16 වන දා දක්වා   පැවැත් වෙනවා.

වැඩි ම මිල ගණන්

ලසිත් මාලිංගට අමතරව ක්‍රීඩක වෙන්දේසියේ යෝජිත වැඩි ම ලංසුව වන ස්ටර්ලිං පවුම් 125000ක මිලක් නියම කර ඇති සෙසු ක්‍රීඩකයින් මෙසේයි.

ඩේවිඩ් වෝර්නර් (ඔස්ට්‍රේලියාව)

ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව)

මිෂෙල් ස්ටාර්ක් (ඔස්ට්‍රේලියාව)

ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්)

කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව)

මෙම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව  570 දෙනෙකි. ඉන් 239 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වන අතර 331 දෙනෙක් එංගලන්ත  ක්‍රීඩකයෝ වෙති. "The Hundred" ක්‍රිකට් තරගාවලියේ සවුතැම්ටන් පළාත පදනම් කර ගත් පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කටයුතු කරනවා.ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙවර ශූරතාව හිමි කර ගත් ලසිත්  මාලිංග ක්‍රීඩා කළ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ද මහේල ජයවර්ධනයි.ඊට අමතරව,මහේල ජයවර්ධන 2015-16 දක්වා කෙටි කාලයක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළා.

හතලිස් දෙහැවිරිදි මහේල ජයවර්ධන, පුහුණුකරු වෘත්තියට පා තැබීමට පෙර ටෙස්ට් තරග 149 සහභාගි වී ලකුණු 11,814ක් රැස් කර තිෙබනවා.එක්දින තරග 448 සහභාගී වී ඇති ඔහු එමගින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව12,650ක් ක්.ටෙස්ට් ශතක 34 ක් වාර්තා කර ඇති මහේල ජයවර්ධන 2011 වසරේදී එක්දින ලෝක කුසලාන අනුශූරතාව දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූවා. 

තිලංග සුමතිපාලට ක‍්‍රිකට් පරිපාලනය තහනම්    

පසුගිය සතියේ මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිදු වූ සුවිශේෂ සිදුවීමක් වන්නේ "ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් අධිරාජ්‍යයා" වන තිලංග සුමතිපාල හරීන් ප‍්‍රනාන්දුගේ "යෝකර්" පන්දුවක් හමුවේ දැවී යාමයි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට යොමු වූ මෙම සිදුවීමට පසුබිම් වුණේ තිලංග සුමතිපාල පසුගිය කාලය පුරා ක‍්‍රිකට් ආයතනයේ  දැරූ අසීමිත ආධිපත්‍ය ප‍්‍රශ්න කිරීමෙන් නොනැවතී ඒ සඳහා විසදුම් සෙවීමට ද ක‍්‍රීඩා ඇමැතිවරයා පියවර ගැනීමයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා  අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට පසුගිය දා පියවර ගත්තා. ක්‍රීඩා අමාත්‍යවරයා "ක්‍රීඩා පනත" මගින් ලැබී ඇති බලතල අනුවයි මෙම ක්‍රියා මාර්ගය ගත්තේ.පසුගිය 2019 සැප්තැම්බර් මස 10 වැනිදා තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට්  ආයතනයේ පාලන කටයුතුවලට සහභාගී විය නොහැකි වන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තාවකාලික තහනමක් ද පන වනු ලැබූ අතර තිලංග සුමතිපාල මහතාට පරිපාලන කටයුතුවලට සහභාගී විය හැකිදැයි සොයා බැලීම සඳහා විමර්ශනය කර වාර්තාවක් සැපයීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් ත්‍රි පුද්ගල කමිටුවක් ද පත් කිරීමට පියවර ගත්තා.

එම කමිටුවේ නිර්දේශ පසුගිය 2019 ඔක්තෝබර් 9 වැනිදා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාට බාර දුන් අතර ඒ අනුව ක‍්‍රීඩා අමාත්‍යවරයා 2019 ඔක්තෝබර් 14 වැනිදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට එම නිර්දේශ දැනුම්දී තිබෙනවා. තිලංග සුමතිපාල මහතා සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි සම්බන්ධයෙන් එම කමිටුව කළ පරීක්‍ෂණයේ දී ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා නීතියට සහ අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවේ නීති රීතිවලට අනුව "ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සමීප ඥාතියකු හෝ සම්බන්ධ වී සිටින්නේ නම් එවැනි පුද්ගලයකුට කිසිඳු ජාතික ක‍්‍රීඩා සංගමයක තනතුරු දැරිය නොහැකිය" යන වගන්තිය තිලංග සුමතිපාල මහතාට හරස් වී තිබෙන බවයි වාර්තා වුණේ. 

සංගක්කාර MCC සභාපති ධුරයේ වැඩ අරඹයි

ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණ භූමිය ලෙස සළකන ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රිකට් භුමිය අයත් වන, ජගත් ක්‍රිකට් ක්‍රීඩාවේ මූලාරම්භය ලෙස ලෝකයාගේම ගෞරවයට පාත්‍ර වී ඇති එම්.සී.සී.ක්‍රීඩා සමාජයේ නව සභාපති වරයා ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මීට සති දෙකකට පෙර (2019 සැප්තැම්බර් 30)රාජකාරි ඇරැඹුවා.

කුමාර් සංගක්කාරගේ සභාපති ධූරයේ කාල සීමාව 2019 සැප්තැම්බර් 30 සිට 2020 සැප්තැම්බර්  30 තෙක් ක‍්‍රියාත්මක බවයි එංගලන්ත මාධ්‍ය කියන්නේ.දීර්ඝ ඉතිහාසයක් ඇති මේ ක්‍රීඩා සමාජයේ මේ දක්වාම සභාපති ධුරයන් උසුලන ලද්දේ බ්‍රිතාන්‍ය පුරවැසියන් විසින් බව සදහන්  වෙනවා. විදේශිකයෙකු මේ ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාවයි මේ.හිටපු සභාපති ඇන්තනී රෙෆඩ් ධුරයෙන් ඉවත්ව යාමට පෙර කුමාර් සංගක්කාරට සුබ පතමින් ප්‍රකාශ කළේ ‘‘කුමාර් ක්‍රීඩා පිටියේත් ඉන් පිටතත් අති දක්ෂ ලෙස ක්‍රියා කළ පුද්ගලයෙක්...මීට පෙර මේ සමාජයේ  ඔහු දැරූ තනතුරුත් ඉතාමත් සාර්ථකව කර තිබෙනවා. එම්.සී.සී.සමාජයේ ගෞරවය ජාත්‍යන්තර මට්ටමින් ඉහළටම ඔසවා තැබීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසාත් ඔහුගේ තීක්ෂණ බුද්ධිය හා  තරුණ ජවය  බෙහෙවින් ඉවහල් වේවි" යනුවෙනුයි.

ලෝඩ්ස්  ක්‍රීඩාංගනය සහ එම්.සී.සී.ක්‍රීඩා සමාජය ලන්ඩනයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ සුඛෝපභෝගී නගරාන්තර දුම්රිය ස්ථානයක් වන සෙන්ට් ජෝන්ස් වුඩ් ආසන්නයේම පිහිටා තිබේනවා. මේ ක්‍රීඩා සමාජයේ නව සභාපති කුමාර් සංගක්කාර ඔක්තෝබර් 27 දින සිය 42 වන ජන්ම දිනය සමරනවා.කුමාර් සංගකාරගේ නව පත්වීම ශ්‍රී ලාංකිකයෙකු ලෙස ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියාවටම ගෞරවයක්.

ඔහු 2011 වසරේ එම්.සී.සී.සමාජයේ පැවැත්වූ කොලින් කවුඩ්රි දේශනය මහත් ආන්දෝලනයක් ගෙන දුන් අතර 2012 වසරේදී ඔහුට එම සමාජයේ යාව ජීව සාමාජිකත්වයද පිරිනැමුණා. ඔහු ලද සභාපති ධුරය ශ්‍රී ලාංකිකයෙකු එම සමාජයේ ලද ඉහළම තනතුරයි. ඊට ආසන්නව සිටිනුයේ ජාත්‍යන්තර ක්‍රිකට් තීරක මඩුල්ලේ ප්‍රධානී රන්ජන්  මඩුගල්ලේයි.එම්.සී.සී.සමාජයේ ගෞරවනීය යාවජීව සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයන් දාහතර දෙනෙකුට හිමිව ඇත.ඒ අතරින් දොළොස් දෙනෙකු ක්‍රිකට් ක්‍රීඩකයන් ද, දෙදෙනෙකු ක්‍රිකට් පරිපාලකයෝ ද වෙති. එම පිරිස මෙසේයි.

දුලිප් මෙන්ඩිස් (1997)

සිදත් වෙත්තමුණි (1997)

නුස්කි මොහොමඩ් (1998 – හිටපු ලේකම්වරයෙකි)

රොෂාන් මහානාම (2001)

අරවින්ද ද සිල්වා (2005)

රන්ජන් මඩුගල්ලේ (2005)

අර්ජුන් රණතුංග (2005)

හෂාන් තිලකරත්න (2008)

මුත්තයියා මුරලිදරන් (2011)

කුමාර් සංගක්කාර (2011)

කුෂිල් ගුණසේකර (2012- මිත්‍රත්ව සංගමයේසමාරම්භක)

මාවන් අතපත්තු (2015)

චමින්ද වාස් (2015)

මහේල ජයවර්ධන (2015) 

දේශීය වශයෙන් ක‍්‍රිකට් ආශ‍්‍රිත පුවත් ඉහත ආකාරයෙන් සිදු වන විට ජාත්‍යන්තරය වශයෙන් ක‍්‍රිකට් හා සම්බන්ධ සුවිශේෂ සිදුවීම් රැසක් වාර්තා වුණා. ඒ අතර වඩාත් අවදානයක් යොමු වූ පුවත් කිහිපයක් තිබෙනවා. 

ICC අලුත් නීති සහ තීන්දු

2019 ඔක්තෝබර් 14 දා ඩුබායිහිදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වැදගත් තීන්දු කිහිපයක් ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒ අතර සියලු දෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ පසුගිය එක්දින ලෝක කුසලානයේදී එංගලන්තයට ලෝක කුසලානය හිමි කර දුන් "සුපිරි පන්දුවාරය" සම්බන්ධයෙන් ගත් තීන්දුවයි.ඒ සමග 2020 වසරේ ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන "කාන්තා T20" තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායමට හිමි වන ත්‍යාග මුදල ඉහළ දැමීම සහ සිම්බාබ්වෙ කණ්ඩායමට යළි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය ලබා දීම යන තීන්දු ප‍්‍රමුඛ වෙනවා.

සුපිරි පන්දුවාරයේ නීතිය ඉවතට2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයට හිමි වූ ආකාරය යළිත් සිදුවීමට ඉඩ නොතැබීමට ICC පියවර ගෙන තිබෙනවා. ඒ,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ පැවැත්වෙන තරගාවලිවලදී අතිරේක පන්දු වාරයේ (super over) එල්ල කරන හතරේ සහ හයේ පහර සංඛ්‍යාව මත පදනම්ව තරගයේ ජය තීරණය කරන නීතිය අහෝසි කිරීමත් සමගයි.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීති අනුව අර්ධ අවසන් සහ අවසන් තරගවලදී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමට වඩා ලකුණු රැස් කර ජය හිමි කර ගන්නා තුරු අතිරේක පන්දු වාර ක්‍රියාත්මක වෙනවා.

ඊට අමතරව මූලික තරගවලදී ද අතිරේක පන්දු වාරයක් ක්‍රියාත්මක වෙන බවයි ඔවුන් කියන්නේ.මූලික තරගවලදී අතිරේක පන්දු වාරයේ දෙපිලේ ම ලකුණු සම වුව හොත් පමණක් එම තරගය ජය පරාජයෙන් තොරව නිම වූ තරගයක් ලෙස සැලකෙනවා.නව නීති සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ අතිරේක පන්දු වාරය මගින් "ක්‍රීඩාවට උද්දීපනය වන සුළු අවසානයක් ලැබෙන අතර එය සියලු එක්දින හා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිවලට අදාළ වන" බවයි.

කාන්තා ක්‍රිකට් T20 ත්‍යාග මුදල් ඩොලර් මිලියන 2.6කින් ඉහළට

ක්‍රිකට් කවුන්සිලය යටතේ පැවැත්වෙන කාන්තා ක්‍රිකට් තරග සදහා පිරිනැමෙන ත්‍යාග මුදල් අමෙරිකානු ඩොලර් මිලියන 2.6කින් ඉහළ දැමීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කළා.ඒ අනුව, 2020 වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පන්දු වාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් සහ අනුශූරියන්ට ඇමෙරිකානු ඩොලර් 500.000ක් පිරිනැමෙනු ඇති අතර එය 2018 වසරේ පිරිනැමුණු ත්‍යාග මුදල මෙන් පස් ගුණයක වැඩිවීමක් බවයි සදහන් වන්නේ.ඒ සමග 2021 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 දක්වා ඉහළ දමන බවද වාර්තා වුණා.

සිම්බාබ්වේට සහ නේපාලයට යළි ICCසාමාජිකත්වය

මේ අතර දේශපාලන අත පෙවීම් මත මාස තුනක් පුරා තහනමකට ලක්ව සිටී සිම්බාබ්වේ වෙත සහ නේපාලයට යළිත් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය පිරිනැමීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.ඒ අනුව 2020  ජනවාරි මාසයේ පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සදහා ඔවුන්ට අවස්ථාව හිමි වෙනවා.

ක‍්‍රිකට් පිටියෙන් සමුගත් "සුපිරි තරු"ඉන්දියාවේදී "යළි පායයි"

ක‍්‍රිකට්’ කියන්නේ ඉන්දියාවට ආගමක්. සුනිල් ගවස්කාර්, කපිල් දේව්,මොහොමඞ් අසූර්ඞීන් ලා ආරම්භ කළ ඉන්දිය ක‍්‍රිකට් දොවොල වර්ණවත් කළේ සජින්ලා, කෝලිලා.ඒ වගේම තමයි ඉන්දියාව පසුගිය දශකය තුළ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ විස්මිත වෙනස්කම් රැසකට නායකත්වය දුන්නා. සුප‍්‍රකට අයිපීඑල් ඒ අතර ප‍්‍රමුඛයි. ඒ නිසා ලෝක ක‍්‍රිකට් ප‍්‍රවණතා නිරීක්ෂණය කරන බොහෝ දෙනෙක්ගේ ඇස් නිරන්තරයෙන් ඉන්දියාව දෙස යොමු වෙලා තිබෙනවා.

ඔන්න එසේ යොමු වෙලා තියෙන ඇස් අරවන තීන්දුවක් ඉන්දියාව විසින් අර ගෙන තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරැළිකාරයන් ලෙස දස්කම් දක්වා මේ වන විට පිටියෙන් විශ්‍රාම ගොස් සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් සහභාගී වන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් 2020 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට ඉන්දියාව සූදානම් වීම නිසයි.විස්සයි 20 ආකෘතියට අනුව පැවැත්වෙන තරගාවලියේ පළමු අදියරට ටෙස්ට් වරම් හිමිව ඇති කණ්ඩායම් පමණක් එක්වන අතර මේ වන විට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ක්‍රීඩකයන්110ක් පමණ සහභාගිවීමට එකඟත්වය පළ කොට ඇතැයි වාර්තා වනවා.

මාර්ග අනතුරුවලින් ආරක්ෂා වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය  කරන මේ තරගාවලියට සචින් තෙන්දුල්කර්, බ්‍රයන් ලාරා, මුත්තයියා මුරලිදරන්,බ්‍රේට් ලී, ජැක් කාලිස්,විරේන්ද්‍ර සෙවාග් වැනි දැවැන්තයන් සහභාගීවීමට නියමිත බව ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරනවා.2020 පෙබරවාරි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා මුම්බායිහිදී පැවැත්වෙන තරගාවලියේ මූලික අදියරට ඉන්දීය ප්‍රවීණයන්, ඔස්ට්‍රේලියා ප්‍රවීණයන්, දකුණු අප්‍රිකා ප්‍රවීණයන්, ශ්‍රී ලංකා ප්‍රවීණයන් සහ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන් ලෙස කණ්ඩායම් 5ක් සහභාගිවී වීමට නියමිතයි.

මේ තරගාවලියට එක්වන ක්‍රීඩකයන් සඳහා වන ගෙවීම් ඒ ඒ කණ්ඩායම් සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ආයතන විසින් දරන අතර තරගාවලියෙන් ලැබෙන සියලු ආදායම් සංවිධායකයන්  විසින් ඉන්දියාව තුළ මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩසටහන් සඳහා යෙදවීමට තීරණය කර තිබේනවා.පසුගිය වසරේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය හිමිවූ මේ තරගාවලිය මහරාශ්ඨ ප්‍රාන්තයේ මාර්ග ආරක්ෂක අංශය සහ වෘත්තීය කළමනාකරණ කණ්ඩායම් එක්ව සංවිධාන කරන බවයි වාර්තා කියන්නේ.

එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් රැස්  කළ ලොව ළාබාලම පිතිකරු ඉන්දියාවෙන්

එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් රැස් කළ ලොව ළාබලම පිතිකරු බවට මුම්බායි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන යශස්වි ජායිස්වාල් විජේ නම් 17 හැවැරිදි පිතිකරුවෙක් සමත් වුණා.ලිස්ට් A තරගයෙදී මුම්බායි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන යශස්වි ජායිස්වාල් විජේ "හසාරේ කුසලාන" තරගාවලියේදී ඡාහර් කණ්ඩායම සමග බදාදා  (16) පැවැති තරගයේදී පන්දු 154කදී ලකුණු 203ක් රැස් කරමින් මෙම වාර්තාව පිහිටවූවා.ඔහුගේ ඉනිමට හයේ පහර 12ක් සහ  හතරේ පහර 12ක් ඇතුළත් වුණා. ඒ හරහා පමණක්  ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 140ක්. 

Advertiesment