Sunday 15th of December 2019

English Tamil
Advertiesment


ජල හිඟ තත්ත්ව යටතේ ගෙවතු වගාව


2019-10-16 1224

ගෙවතු වගාව අපි බොහෝ දෙනෙක් හුරු පුරුදු වී සිටින පවුලේ එදිනෙදා ආහාර වේලට අවශ්‍ය බොහෝ දෑ නිපදවා ගැනීමට යොදා ගන්නා බෝග වගා ක‍්‍රමයක් නිසා ගෙවතු වගාව ක‍්‍රමවත්ව නොකළ ද අපේ බොහෝ දෙනෙක් තම ගෙවත්තේ විවිධ ආහාර බෝග කිහිපයක් හෝ වගා කර තිබෙනු දැකිය හැකියි.

එහෙත් ගෙවතු වගාව කියන්නේ පවුලේ එදිදෙනා අවශ්‍යතාවට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට වඩා ඔබ්බට ගිය කාරණයක්. ඒ නිසා ගෙවතු වගාව නිසි පරිදි සිදුකිරීමට උනන්දු වන අය ක‍්‍රමවත්ව, සැලසුමකට අනුව තමන්ගේ ගෙවත්ත නිර්මාණය කර ගන්නවා.

මෙහිදී ගෙවත්තේ තිබෙන සම්පත් වන ජලය, හිරුඑළිය, පස හා ඉඩකඩ වඩාත් ඵලදායී ලෙස භාවිතයට ගෙන අඩු විදයමකින් පරිසර හිතකාමී ලෙස ගෙවතු වගාව සිදුකිරීමයි අපි බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුව වන්නේ.

ඒත්, ගෙවතු වගාව ආකර්ෂණීය වගේම හොඳ විනෝදයක් වුණත් ජල හිඟයක් ඇති වුණොත් අපි බොහෝ විට පීඩාවට පත් වෙනවා. නැතිනම් ගෙවතු වගාව අතහැර දානවා. එහෙම නැතිනම් ඌන ඵලදායී (කරන්නන් වාලේ) ගෙවතු වගාව කරනවා.

ජල හිඟ තත්ත්වයක් යටතේ ගෙවතු වගාව ගැන දැනුවත් වීම අපට වැදගත් වන්නේ මෙවැනි තත්ත්වයකට නිරතුරුව මුහුණ දීමට සිදුවන නිසයි.

ඔබ ජීවත් වන ප‍්‍රදේශය හෝ ඔබට ගෙවතු වගාවට අවශ්‍ය තරම් ජලය සම්පාදනය කර ගැනීමට නොහැකි නම් ඒ සඳහා පහත සඳහන් ක‍්‍රම අනුගමනය කරමින් ඒ අභියෝග ජයගත හැකියි.

වියළි තත්ත්වයන්ට ඔරොත්තු දෙන, අඩු ජල අවශ්‍යතාවක් ඇති බෝග වර්ග තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ අනුව

රනිල බෝග : මුං, මෑකරල්, දඹල, තෝරපරිප්පු, කව්පි, බුෂිටාවෝ

එළවළු වර්ග : කැකිරි, පිිපිඤ්ඤා, තුඹ කරවිල, හේන්වැටකොළු, තිබ්බටු, එළබටු, මුරුංගා, පාරම්පරික බණ්ඩක්කා, රතුබණ්ඩක්කා, මහවැලි මෑ

කොළ එළවළු: කතුරුමුරුංගා, අඟුණ කොළ, නිවිති

අලබෝග : බතල ,මඤ්ඤක්කා, වැල්අල,

පලතුරු : සීනි කැකිරි, කොමඩු

බෝග වගා කළ හැකි ක‍්‍රම

ඉහත සඳහන් කළ බෝග වගා කළ හැකි ක‍්‍රම ගණනාවක් තිබෙනවා. ඒ අතර බඳුන් තුළ වගාව, වගා මළු තුළ වගාව, ජල රෝපිත පෙට්ටි තුළ වගාව, ගිල්වූ පාත්ති තුළ වගාව ප‍්‍රමුඛ වෙනවා.

බඳුන් තුළ වගාව

භාවිතා කරන බඳුන සැලකිය යුතු තරමේ විශාලත්වයකින් (කි.ග‍්‍රෑම් 10ක පමණවත) යුක්ත වීම වැදගත්.

බඳුන සඳහා බඳුන් මිශ‍්‍රණය සැකසීමේදී ප‍්‍රමාණවත් පරිදි කාබනික පොහොර මිශ‍්‍ර කළ යුතුයි. ඊට අමතරව ජලය රඳවා ගැනීමේ හැකියාව ඉහළ නංවා ගැනීම සඳහා කැපූ පොල්ලෙලි, දහයියා, අඟුරු හෝ කොහුබත් ප‍්‍රමාණවත් පරිදි එකතු කරන්න.

 අවධානය යොමු කරන්න :

කොහුබත් අධික ප‍්‍රමාණයක් එක් කිරීම මගින් බෝග වර්ධනය යම් පමණකට දුර්වල විය හැකි නිසා ඒ ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වන්න. බඳුනේ මතුපිටින් ජලය වාෂ්පීකරණය වීම අඩු කිරීම සඳහා ‘වසුනක්’ යොදන්න. මෙහිදී පස ආවරණය වන පරිදි ගොටුකොළ වැනි බෝගයක් සිටුවීම කළ හැකියි.

වියළි කාලයේදී කලූ පැහැති බඳුන් තුළ පැළ සිටුවීමෙන් වළකින්න.

බඳුන්වලට ජලය සම්පාදනය කිරීමේදී සවස් කාලයේදී හෝ හිමිදිරි උදෑසන ගසේ මුලට ජලය වැටෙන ලෙසත්, ප‍්‍රමාණවත් පරිදි වගා බඳුන තෙත් වන ලෙසත් ජලය යෙදීම කළ යුතුයි.

වගා මළු තුළ වගාව සකස් කිරීම

x වගාමළු තුළ වගාව සඳහා මාධ්‍ය ලෙස මතුපිට පස්ථ බාගෙට පිළිස්සූ දහයියා / කොහුබත්, 1:1:1 යොදා ගත යුතුයි.

x කොහුබත් යෙදීමෙන් ජලය රඳවා ගැනීම වැඩි වෙනවා.

x එක් එක් වගා මළු සඳහා ජල සම්පාදනය කළ යුතුයි.

x නඩත්තුව පහසුයි.

x වගාව සඳහා භූමිය සීමිත වන අවස්ථාවලදී වගා මළු භාවිතය ඉතාමත් යෝග්‍ය වෙනවා.

x අහිතකර කාලවලදී (දැඩි වර්ෂාව හෝ දැඩි නියඟය) වගා කිරීම සඳහා ඉතා සුදුසුයි.

x වගා මළු තැනින් තැනට රැගෙන යා හැකියි.

x පිටත කිරි සුදු පැහැ, ඇතුළත කලූ පැහැ වගාමළු භාවිතයෙන් මූල මණ්ඩලය රත්වීම අඩු කළ හැකි අතර වල්ඇට, ඇල්ගේ පැළවීම අවම වෙනවා.

x කල් පැවැත්ම ද වැඩියි.

වගා මළු තුළ ජල අවශෝෂක යොදා වගා කිරීම 

ස්වභාවික ද්‍රව්‍යවලින් තනන  ීඋ් සුළු ප‍්‍රමාණයක් (ග‍්‍රෑම් 15-20) පැළ සිටුවන වගා බඳුනට දැමීමෙන් ජලය යොදන කාල පරතරය දින 10-14 දක්වා වැඩි කළ හැකියි.

 ස්වභාවිකව දිරාපත් වන බැවින් පරිසරයට හානියක් සිදුවන්නේ නැහැ.

ජල රෝපිත පෙට්ටි තුළ වගාව

x ජල හිඟ කාලවලදී පවා මෙම වගාව සාර්ථකව කළ හැකි සාර්ථක වගා ක‍්‍රමයක් වශයෙන් සැලකේ.

x විශාල භූමියක් අවශ්‍ය නොවේ.

x අඛණ්ඩව වගාව පවත්වා ගෙන යා හැකියි.

x පාංශු ජනක රෝග හා පළිබෝධ හානි අවමයි.

x අවාරයේ නිෂ්පාදන සිදුකළ හැකියි.

x නිවැරදි පාලන ක‍්‍රම යටතේ වැඩි අස්වනු ලැබිය හැකියි.

x පුළුල් පරාසයක එළවළු සහ මල් වගා කළ හැකියි.

x ජල හානිය අවම කළ හැකියි.

සාදා ගන්නා ක‍්‍රමය

පියන සහිත බඳුනක් වගාව සඳහා භාවිතා කරන අතර  ඕනෑම හැඩයක සහ වර්ගයක බඳුනක් තෝරාගත හැකි වුව ද ලෝහමය බඳුන් සුදුසු නැහැ.

මී.මී. 0.15 ඝනකම ඇති කලූ පොලිතින්වලින් බඳුන ආවරණය කළ යුතුයි.

බඳුනේ පැළ තබන සිදුරුවලට අමතරව එක් සිදුරක් වාතය සංසරණය සඳහා  හිස්ව තබා ගත යුතුයි (මදුරුවන් ඇතුළුවීම වැළැක්වීමට පිටතින් දැලකින් ආවරණය කළ යුතුයි)

ප්ලාස්ටික් බීම බඳුන් ගෙන පේළි තුනක් පමණ යට සිට සිදුරු කර එම බඳුන ජීවානුහරිත කොහුබත් හෝ කරදහයියා හෝ ඒ දෙවර්ගයේම මිශ‍්‍රණයකින් පුරවා ගත යුතුයි. (බීට්, කැරට්, හෝ අල වර්ග සඳහා බඳුන් වෙනුවට දැලක් යොදා මාධ්‍ය පුරවා ගත යුතුයි)

මුල් වර්ධනය සඳහා ප‍්‍රමාණවත් ඉඩක් ඉහළින් තැබිය යුතු හෙයින් පෙට්ටියේ 2/3ක් පමණක් පිරෙන සේ පෝෂණය මාධ්‍ය පුරවා ගත යුතුයි.

බඳුන් යට කොටසෙන් සෙ.මි. 2-2ක් පමණ පෝෂක මාධ්‍යයේ ගිලෙන සේ තැබිය යුතුයි.

කොළ එළවළු සඳහා මෙම ක‍්‍රමය ඉතාමත් යෝග්‍යයි.

මේ සඳහා පෝෂක මාධ්‍යයක් අවශ්‍ය වන අතර එයට ‘ඇල්බට් මිශ‍්‍රණය’ නැමැති ජල ද්‍රාව්‍යය පොහොර (ග‍්‍රෑම් 01ක් ජලය ලීටර් 01කට)  දියකර පෙට්ටිය පුරවා ගත යුතුයි. සති 3-4කට වරක් පෝෂක මාධ්‍ය අඩු ප‍්‍රමාණය එක් කළ යුතුයි.

ගිල්වූ පාත්ති තුළ වගාව

බෝගය පාත්ති සාදා සිටුවන අවස්ථාවලදී ගිල්වූ පාත්ති වඩාත් සුදුසු වෙනවා. මෙහිදී පාත්තියේ පස සමග ප‍්‍රමාණවත් පරිදි කාබනික පොහොර හා ඉහතින් සඳහන් කළ ජලය රඳවා ගැනීමට ආධාර වන ද්‍රව්‍ය මිශ‍්‍ර කිරීම සිදු කළ යුතුයි.

දැඩි හිරු රැස් පාත්තිය තුළට පතිත වීම වැළැක්වීම සඳහා සුදුසු ආකාරයේ සෙවනක් සාදා ගත යුතුයි.

පස සූර්යා ලෝකයට විවෘත වීම හැකිතාක් දුරට වැළැක්වීම සඳහා වසුනක් යොදා ගත යුතුයි.

කාබනික පොහොර යෙදීම

කාබනික පොහොර හැකි පමණ එකතු කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා කාබනික පොහොර සැකසීමේ ඒකකයක් ගෙවත්ත තුළ නිරතුරුව පවත්වා ගෙන යන්න.

ගෙවතු වගාවට ජලය යෙදීම

x මුළුතැන් ගෙයින් ඉවත් කරන ජලය හැම විටම වගාව සඳහා භාවිතා කරන්න. මෙහිදී සේදුම්කාරක සහිත ජලය භාවිතය අවම කර ගත යුතුයි.

x දනිපතා සම්පූර්ණ ගෙවත්තම ආවරණය වන සේ ජලය යෙදීම වෙනුවට එක් එක් කොටසක් ආවරණය වන ලෙස දින කිහිපයකට වරක් ජලය යෙදීම සඳහා කාල සටහනක් සකස්කර ගන්න.

 

 

වියළි ඉරි තලාගිය මහපොළවට නව බලාපොරොත්තුවක් - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශනයක් ඇසුරිණි.
සැකසුම - තීක්ෂණ වෙළෙන්එගොඩ

 

Advertiesment