Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


සජිත්ගේ ප්‍රතිපත්ති ගැන රවී පැහැදිළි කරයි


2019-10-15 1568

පවුල් වාදය ද නැති නම් ප්‍රජාතන්ත්‍රවාදයද..? තීරණය ජනතාව සතුයි

 

"ඒකාධිපති රාජපක්ෂ රෙජීමය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කළ හැටි අමතක කරනු බැහැ"

 

"පොහොට්ටු පිපිලා පරවී යනවා"

 

"ඒකීය රාජ්‍යයකින් පුළුල් ලෙස බලය විමධ්‍යගත කරනවා"

 

"යහ පාලනයෙන් වැඩියෙන්ම පිඩාවට පත් වුණේ එජාපයයි අපේ පාක්ෂිකයනුයි"

 

 

(සුජිත් සුජිත් මංගල ද සිල්වා) 

"නොවැම්බර් 16 දා මේ රටට තීරණාත්මක අවස්ථාවක් උදාවෙනවා. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. ඡන්දදායකයින් වශයෙන් ඔබට ගන්න තිබෙන්නේ ඉතාමත් සරල තීන්දුවක්. ඒ තමයි පවුල්වාදය ආරක්ෂා කරනවාද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද යන්න කියලා තීරණය කිරීමයි. ගෝඨාභය මැතිතුමා මේ රට වෙනුවෙන් කරපු විශාල වැඩකොටසක් තිබෙනවා. මම ඒවා නැහැ කියන්නේ නැහැ. නමුත් ඒ අතරම ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කරපු අවස්ථා බොහෝමයක් තිබෙනවා. ඒවා අපට අමතක වෙන්නේ නැහැ. මේ රටේ විවිධ ජාතීන්, විවිධ ආගමිකයන් ජීවත් වෙනවා. ඒක තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවය. සියලු ගැටළු පසෙකලා ඒ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළින් සහජීවනයෙන් ඉදිරියට යාමටයි අපට අවශ්‍ය වන්නේ" යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක, විදුලි බල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රවී කරුණානායක මහතා මේ අදහස් පළ කළේ එක්සත් ජාතික පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීම සඳහා "ගෙයින් ගෙට-හදවති හදවතට" වැඩසටහන් යටතේ     උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාශයේ ජනතාව සමග සංවාදයකට එක් වෙමිනි. 

"අපි 2015 දී ජය ගත්තේ එසේ මෙසේ ඡන්දයක් නොවෙයි. එදා ප්‍රජාතන්ත්‍රවාදය වල දාලා තිබුණ අවස්ථාවක, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, රට සංවර්ධනය කරන්න, පවුල් වාදය අයින් කරන්න තමයි එදා අප ඔබගෙන් වරමක් ඉල්ලුවේ. එදා ඔබ අප විශ්වාස කරලා අපට ලබාදුන්න වරමෙන් අපට සැම දෙයක්ම ඉටුකරන්න බැරි වුණා. නමුත් වළදාලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරන්න, රජයේ සේවයේ වසර 11 ක් නොකරපු වැටුප් වැඩිකරන්න, පොලිස් සේවයේ වැටුප් වැඩි කරන්න, ත්‍රිවිධ හමුදා වැටුප් වැඩිකරන්න. ජීවන වියදම අඩු කරන්න වගේ ජනතාවට දැනෙන වැඩකොටසක් අපට කරන්න හැකිවුණා. අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඇතිකරපු ආණ්ඩුවේ අවසන් කාලයේ නොයෙක් ගැටළු ඇතිවුණා. ඒ නිසා අපට ජනතා සේවය හරිආකාරයෙන් ඉටුකරන්න බාධා ඇතිවුණා. අන්න ඒ නිසා තමයි අපි තීරණය කළේ ජනතා සුබසෙත සලසන්න අපේම ආණ්ඩුවක් බිහි කරන්න ඕන කියලා. එදා කරන්න බැරිවුණ සංවර්ධනය ඔබේ වරම තුළින් නොවැම්බර් 16න් පසුව බිහිවන අපේම ආණ්ඩුවක් තුළින් ඉටු කරනවා කියලා මම පොරොන්දු වෙනවා.

නිදහස් අධ්‍යාපනය, උසස් අධ්‍යාපන පහසුකම් අපි ස්ථාපිත කරලා තිබෙනවා. දැනුවත්කම වර්ධනය කිරීම තුළින් අප දුප්පත්කම නැති කලයුතුයි. ඒ වගේම රටේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවිය යුතුයි. එදා පිටින් ගත්ත බෙහෙත් අද වනවිට රොහල් වලින් ලබාගැනීමේ හැකියාව යම් මට්ටමකට වර්ධනය වෙලා තිබෙනවා. රට අවශ්‍ය වන්නේ සහජීවනයක් තුළින් විනයක් ඇති කිරීමයි. යම් අන්තවාදී පිරිසක් රටේ බොරු ප්‍රචාර පතුරවනවා. අපි ඒ තත්ත්වය හොලා දකින්න ඕන. අපට අවශ්‍ය වන්නේ අන්තවාදය පරාජය කරන්නයි. අපේ පාලනය තුළ වල්මත් පාලනයක් තිබුණේ නැහැ. යහ පාලයෙන් වැඩියෙන්ම ප්‍රශ්න ඇතිවුණේ එක්සත් ජාතික පක්ෂයටයි. පීඩනයට ලක්වුණේ අපේ පාක්ෂිකයිනුයි. මොන බාධා තිබුණත් නීතිය පෙරටුකරගෙන රට සංවර්ධනය කිරීම තමයි අපට වැදගත් වනවා.

පක්ෂය විසින් ඒකමතික තීන්දුවක් ගැනීමෙන් අනතුරුව, අප සියලු දෙනාම දැන් එකමුතුව කටයුතු කරගෙන යනවා. මීට පෙර නොයෙක් තත්ත්වයන් තිබුණත්, අපට පොදුවේ අවශ්‍ය වන්නේ පක්ෂය ජයග්‍රහණය නිසා. එකම පවුලක් ආකාරයෙන් අපි මේ වන විට කටයුතු කරගෙන යනවා. අපට පොදු හතුරා වන්නේ එක්සත් ජාතික පෙරමුණට විරුද්ධ වෙන පුද්ගලයා පමණයි. අපට සුළු ජාතීන්ගේ සහයෝගයත් ලැබෙනවා. අන්තවාදය වපුරණ සුළු පිරිසක් පමණක් අපෙන් වෙන්වෙලා වෙනත් පක්ෂ වලට සහාය පළකරනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය කොළඹත්, මඩකලපුවේත්, යාපනයේත්, ත්‍රීකුණාමලයේත්, හම්බන්තොටත් එකම දෙයක් තමයි කියන්නේ. ඒකීය රජයක් තුළින් පුළුල් බලය විමධ්‍යගත කිරීමක් කරලා, සිංහල, දෙමල. මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජාතීන්ට මේ මගේ රට කියලා නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් අපි ඇති කරනවා. මම අභියෝග කරනවා අනෙක් පක්ෂ වලටත් මේ දේ මේ ආකාරයෙන් වේදිකාවේ කියන්න කියලා. නමුත් ඔවුන්ට මේ දේ කියන්න බැහැ. ඔවුන් කොළඹට එකක්, ස්වාමීන් වහන්සේලාට තවත් එකක්, යාපනයට ගිහින් හොර රහසේ තවත් එක්ක කියන ජාතියේ පිරිසක්. නමුත් අපි එහෙම නැහැ. අපි විවෘතයි. ඒ නිසා තමයි අපි ඉදිරියට එන්නේ.

අද අපි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ජය තහවුරු තිරීම වෙනුවෙන් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් සිරිකොත ආරම්භ කළා. රටේ හැම කොනක්ම ඒකරාශී කරලා, එක්සත් ජාතික පක්ෂයේ බලය, එක්සත් ජාතික පෙරමුණෙන්, හංසයාගේ සලකුණෙන් පෙන්නුම් කරන්න අපි සූදානම්. එක්සත් ජාතික පෙරමුණ තුළින් සියළුම ආසන මෙහෙයවන්න, එක් එක් සංවිධායකවරුන්ට බාරදීලා තිබෙන්නේ. සෙසු සංවිධාන එකතුවෙලා, එම සංවිධාන කටයුතු සාර්ථකද නැද්ද යන්න සොයා බලනවා. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයට තරඟ කරනවා. ඒක අපට ගැටළුවක් නොවෙයි. අපි අපේ කටයුතු කරගෙන යනවා. අපට පේනවා යම් අන්තවාදි කොටසක් එකතුවෙලා අන්තවාදය වපුරනවා. නමුත් ඔවුන්ට අපිට මොනවත් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන්ට අපිට දෙයක් කරන්න බැහැ. පොහොට්ටු පිපිලා පරවෙලා යනවා. අන්න එහෙම තමයි ඡන්දෙදිත් වෙන්නේ.

මොකක්ද මේ ඇල්පිටිය ඡන්දය කියන්නේ. මේක ප්‍රාදේශීය මට්ටමේ ඡන්දයක් පමණයි. ජාතික මට්ටමේ මැතිවරණයක් නොවෙයි. ඡන්ද 54,000ක් ගැන මේ තරම් කියවන්නේ ඇයි. අපි දන්නවා ඇල්පිටියේ මේ තත්ත්වය ඇතිවෙයි කියලා. ඊට පෙර ගාලු මුවදොර තිබූ රැළියට කිසිම දිනෙක නොමැති ආකාරයෙන් ජනකායක් රැස්වුණා. ඇයි ඒ ගැන කිසිම දෙයක් නොකියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කෑලි දෙක තුනකට තිබෙන්නේ. නමුත් එක්සත් ජාතික පෙරමුණ සියළු දෙනාම එකමුතු කරගනිමින් හංසයා ලකුණෙන් තරග කරන්නේ ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් නිසයි.

එළඹෙන ජනාධිපතිවරණයෙන් 55%ක් 57% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් එක්සත් ජාතික පක්ෂයට ලැබෙන බව අපට විශ්වාසයි. කව්රු කොහොම කිව්වත්, කොළඹ දිස්ත්‍රික්කයේ ජය එක්සත් ජාතික පක්ෂයට බව ඒකාන්තයි. සමහරු කියනවා කොළඹ ඔවුන් දිනා ගන්නවා කියලා. ඔවුන් ඒ ආකාරයෙන් කියන්නේ සිහින ලෝකවල ජීවත්වෙමින්. කොළඹ කියන්නේ එක්සත් ජාතික පක්ෂ බලකොටුවක්. නිකම්ම බලකොටුවක් නෙමෙයි, වැඩකරපු, වැඩකරන, දැවැන්ත සංවර්ධනයක් ලබා තිබෙන බල කොටුවක්.

එළඹෙන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගෙයින් ගෙට යන වැඩ සටහන අපි අද උතුරු කොළඹ ආසනයෙන් ආරම්භ කළා. 2015 දී අප ලබාගත් ජයග්‍රහණය හමුවේ ජනතාවට සුවිශේෂී කාර්යයක් ඉටු කරන්න අපට හැකි වුණා. ඒ තමයි රටෙන් ගිලිහි යමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හැකිවීම. නමුත් අපිට ජනතාව වෙනුවෙන් ඉටු කරන්න නොහැකි වුණ කොටසක් තිබෙනවා. ඒ සියල්ල සම්පූර්ණ කරලා, ජනතාවට උපරිමයෙන් සේවය කරන්න ජනාධිපතිවරණයෙන් විජයග්‍රහණයක් ලබාගන්න අපි සියලු දෙනාම අත්වැල් බැදගෙන කටයුතු කල යුතුයි.

ප්‍රාදේශීය සභා ඡන්දයක් සහ ජනාධිපතිවරණයක් කිසිසේත්ම සංසන්දනය කරන්න බැහැ. අපි මේ තත්ත්වය ගැන පැහැදිලිව දැනගෙන සිටියා. ඉදිරි ජනාධිපතිවරණයේ විශේෂී ජයග්‍රහණයක් ලබාගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් මේ වනවිට අත්වැල් බැදගෙන සිටිනවා.

එක් එක් පාර්ශවයන් විසින් මේ දිනවල ජනතාව අතර අසත්‍ය ප්‍රචාර පතුරවනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටු පක්ෂය අතර කිසිදු එක්වීමක් සිදුවෙලා නැහැ. ජනාධිපතිතුමා ස්වාධීනව කටයුතු කරනවා කියන්නේ, වෙනත් පක්ෂයක් සමග එකතුවෙලා නැහැ කියන එකනේ. වැඩි දවසක් යන්න මත්තෙන් සෙසු පක්ෂ සියල්ලක්ම එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැදගන්නා ආකාරයේ තත්ත්වයක් අපි ඉදිරියේදී ඇති කරනවා".

Advertiesment