Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


ප්‍රේමදාසගෙන් වජිරට සල්ලි මල්ලක්


2019-10-14 1767

"සජිත් ප්‍රේමදාස ජනපති කරන්න දිවි හිමියෙන් කැප වෙනවා"

 

"ගාල්ලේ ඡන්ද සටනට මට රුපියලක්වත් එපා"

 

ආර් ප්‍රේමදාස නායකයින්ට අත හිත දුන් හැටි වජිර අබේවර්ධන හෙළි කරයි

 
(සුජිත් මංගල ද සිල්වා)

“ගාල්ලේ ජනාධිපතිවරණ සටනට එක රුපියලක්වත් මට ඕනෑ නැහැ. ඔබේ පියා එදා මට කළ උදව්වට මම දිවි හිමියෙන් ඔබව ජනාධිපති පුටුවේ වාඩි කරන්න ඇප කැප වෙනවා කියලා මම අපේ සජිත් ප්‍රේමදාසට කිව්වා. ඒ ගැන ඔබත් කිසිදු සැකයක් තියා ගන්න එපා.” යැයි අභ්‍යන්තර,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ගල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සහ තවලම ආසන බල මණ්ඩල රැස්වීම්වලදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

“මම භීෂණ සමයේ දකුණු පළාත් සභාවට ඡන්දය ඉල්ලුවා. ඒ කාලයේ අපේ පක්ෂයේ නායකයා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා මට කතා කරලා ඇහුව්වා,"වජිර බැරිද පළමු වැනියා වෙන්න" කියලා. මම කිව්වා "ජනාධිපතිතුමා වැඩේ අමාරුයි...මහ ඇමති අපේක්ෂකයා ලෙස ඔබතුමා අමරසිරි මහත්තයා නම් කළානේ...එහෙම නොවුණා නම් මම තමයි පළමු වැනියා" කියලා.

එහිදී ජනාධිපතිතුමා මට කිව්වේ, "ඔහු ජ්‍යේෂ්ඨයානේ.. ඔහු පත් නොකර බැහැ" කියලා. "එහෙනම් දෙවැනියා වෙන්න පුළුවන්ද" කියලා එතුමා ඊට පස්සේ මගෙන් ඇහුවා. මම කිව්වා පුළුවන් කියලා. මගෙන් ඇහුවා "මොනවද නැත්තේ" කියලා.මම කිව්වා සල්ලි නැහැ කියලා. "සල්ලි තියෙනවා නම් පුළුන්ද" කියලා මගෙන් ඇහුව්වා.මම කිව්වා පුළුවන් කියලා.

ඊට පස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා අප්‍රේල් මාසේ 17 වැනිදා දුරකථනයෙන් මට කතා කරලා කිව්වා, "වජිර මාව 20 වැනිදා උදේට හමු වෙන්න" කියලා. මම 20 වැනිදා උදේ එතුමා හමු වෙන්න සුචරිතයට ගියා.

සාක්කිකරුවන් තවම ජීවතුන් අතර සිටින නිසා මේ සිද්ධිය මේ මොහොතේම කියන එක හොඳයි. එදා රණසිංහ ප්‍රේමදාස මහතාගේ ලේකම් කේ.පී.දයාරත්න. අද එතුමා අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්. මම උදේ 6.30 ට විතර සුචරිතයට යන විට කේ.පී දයාරත්න මහතාත් සිටියා. මාව දැක්ක ගමන් රණසිංහ ප්‍රේමදාස මහත්තයා,"කොහොමද වජිර ඡන්දය" කියලා ඇහුව්වා.මම කිව්වා හොඳට යනවා කියලා.

ඊට පස්සේ එතුමා ආනන්ද ගනේගොඩ කියලා කෙනෙකුට දුරකථනයෙන් කතා කළා. "ආනන්ද මම එවනවා තරුණ දක්ෂ ළමයෙක්.ඒ ළමයාව බලා ගන්න ඕනෑ"කියලා කිව්වා. මම දන්නේ නැහැ ආනන්ද ගනේගොඩ කවුද කියලා.ඊට පස්සේ කේ.පී දයාරත්න මහතා මට ආනන්ද ගනේගොඩගේ ලිපිනය ලියලා දුන්නා. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බව මම පසුව දන ගත්තා.ඒ මහතාත් තවම ජීවතුන් අතර සිටිනවා.

මම ඔහුගේ ගෙදර ගියා. තේ බොන ගමන් ඒ මහත්තයා කිව්වා "මම සල්ලි ටිකකුත් ලෑස්ති කළා" කියලා. මම කිව්වා සල්ලි එපා කියලා. "එහෙනම් මොනවද ඕනෙ" කියලා ඇහුව්වා.මම කිව්වා ගාල්ලේ ඡන්දෙ කරන්න පත්‍රිකා 500,000යි, පෝස්ටර් 50,000යි, වාහන 10යි, ශබ්ද විකාශන යන්ත්‍රයි ඕනෑ කියලා.මම තව දිග ලැයිස්තුවක් කිව්වා.

සමහරු අහනවා වජිර අබේවර්ධන කොහොමද මේ ලොකු ලොකු වැඩ කරන්නේ කියලා.ඒකට හේතුව හැමදාම එක්සත් ජාතික පක්ෂයේ නායක‍යෝ මාව හොඳින් බලා ගත්ත එකයි.ඒ කෙළෙහි ගුණය දන්න කෙනෙක් මම.ගාල්ලේ ජනාධිපතිවරණ සටනට එක රුපියලක්වත් මට ඕනෑ නැහැ. ඔබේ පියා එදා මට කරපු උදව්වට මම දිවි හිමියෙන් ඔබව ජනාධිපති පුටුවේ වාඩි කරන්න ඇපකැප වෙනවා කියලා මම අපේ සජිත් ප්‍රේමදාසට කිව්වේ ඒ නිසයි.ඒ ගැන ඔබත් කිසිදු සැකයක් තියා ගන්න එපා.

අපේ පක්ෂයේ මතවාද, අදහස් සහ යෝජනා මාස ගණනක් සලකා බලා පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන බවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීන්දු කළා. බලන්න අපේ පක්ෂයට කොච්චර විනයක් තියෙනවද කියලා.ඊට විරුද්ධව කිසිවකු කිසිදු ප්‍රකාශයක් කළේ නැහැ. මේ එක්සත් ජාතික පක්ෂය.මේ පක්ෂයේ කණ්ඩායම් නැහැ.කල්ලි නැහැ.ඔක්කොම එකට එකතු වෙලා සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවන්න තීන්දු කරල තියෙනවා.මගේ ඡන්දයකට වඩා ඉතාම ශක්තිමත් ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කළ යුතු බව මම ඔබට මතක් කරන්න කැමතියි."

 

Advertiesment