Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාර සඳහා ශ්‍රී ලංකාවට ඉතාලියෙන් සහය


2019-10-13 7491

විදුලි බල ඇමතිගේ ඉල්ලීම ඉතාලිය පිළිගනී

මේ වනවිට ශ්‍රී ලංකාවට ගැටලුවක්ව පවතින ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට සිය රටේ තාක්ෂණික සහාය සේම  ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකවේ ඉතාලි තානාපතිනී Rita G. Mannella මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය මේ බව පැවසුවේ  විදුලි බල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී විෂය භාර අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී නිල සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින විදුලි  ජනන  තත්ත්වය පිළිබදව සිය ප්‍රසාදය පළ කළ ඉතාලි තානාපතිවරිය, සීඝ්‍රයෙන් වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීමේ ගැටලුවට ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුණදිය හැකි අතර ඒ වෙනුවෙන් පෙර සූදානමක් ඇති කර ගත යුතු බවත්, ඊට හොදම විසදුමක් වශයෙන් මෙසේ ඉවතලන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය හදුන්වාදිය හැකි බවත් පැවසුවාය.

අපද්‍රව්‍ය ටොන් 100 ත් 300 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කිරීමේ හැකියාව ඇති ඉවතලන අපද්‍රව්‍ය බලාගාරයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව අමාත්‍යවරයා සහ තානාපතිවරිය අතර සාකච්ඡා පැවති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වන ඉදිරි පියවරය ගැනීමට සිය  රටේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමටද තානාපතිවරිය සිය එකඟත්වය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ පවතින මිල අවම විදුලි උත්පාදන මුලාශ්‍රය වන ජල මුලාශ්‍රය, මේ වන විට විදුලි උත්පාදනය සදහා උපරිමයෙන් යොදා ගෙන ඇති බවත්, ඉදිරි විදුලි ඉල්ලුම් සපුරාලීම පිණිස මෙවැනි මිල අවම, පරිසර හිතකාමි විදුලි උත්පාදන ක්‍රමවේදයක් වෙත අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ඉතාලි තානාපතිවරිය වෙත සිය කෘතඥතාවය පළ කළ රවී කරුණානායක මහතා, ශ්‍රී ලංකාවේ මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට ඉතාලි රජයේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බවද පැවසීය. එසේම දීර්ඝ කාලීනව පැවත ගෙන එන ඉතාලි ශ්‍රී ලංකා මිත්‍ර සබදතා සහ ද්වීපාර්ශවීය සහයෝගීතාවය මේ හරහා  තව තවත් තහවුරු වනු ඇතැයි තමා  අපේක්ෂා කරන බවද රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Advertiesment