Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


මැකොගේ වික‍්‍රමය


2019-10-11 1734

භාතිය බරුකන්ද

ලංකාව තවත්  ඓතිහාසික මැතිවරණයක් සමීපයට පැමිණ සිටිනවා. පුරවැසියන් අතර මැතිවරණ උණුසුම තීව‍්‍රර වන බවක් තවම දැකිය නොහැකියි. ඒ තාම ප‍්‍රධාන දේශපාලන පක්ෂ තමන්ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය සක‍්‍රීය නොකළ නිසා විය හැකියි. ඒත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ තම ප‍්‍රචාරක ව්‍යාපාරය සක‍්‍රීය කළ වහාම මේ මැතිවරණ උණුසුම පුරවැසියන් අතරත් ඉහළම අංශකයට ළඟා විය හැකියි.

මේ අතර මෙවර ජනාධිපතිවරණය කරුණු කිිහිපයක් නිසා සුවිශේෂව තිබෙනවා. ඒ අතර වඩාත් වැදගත් අවධානය යොමු විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මොකද ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ මෙන්ම එහි භාවිත ස්වරූපය වන ‘මැතිවරණය’ අපයෝජනය වන, නැතහොත් ‘හෑල්ලූවට’ ලක්වන ස්වභාවයක් මේ වන විට ක‍්‍රමිකව වර්ධනය වෙමින් පැවතීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජීව ගුණයට වගේම මැතිවරණ වියදමට ද කිසිසේත් හිතකර නොවන නිසයි.

ඓතිහාසික මැතිවරණයක්

අපි කවුරුත් දන්නා පරිදි මේ මැතිවරණය ඓතිහාසික වන එක් කරුණක් තමයි මේ මැතිවරණයට බලයේ සිටින ජනපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා යන ත‍්‍රිත්වයෙන් කිසිවෙකු හෝ ඉදිරිපත් නොවීම. මේ ගැන මුලින්ම හෙළිකළ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා කියා සිටියේ මේ තත්ත්වය ‘ඓතිහාසික’ එකක් බවයි.

අනෙක් කාරණය මේ වන විට සමාජය තුළ දැඩි සංවාදයක් නිර්මාණය කරමින් තිබෙනවා. ඒ ගණනින් 35ක් වන ජනාධිපතිවරණ අපේක්ෂකයින් පිරිසක් ඉදිරිපත් වීම.

ඇතැමුන් මෙය ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස’ යැයි අර්ථකනය කිරීමට වෑයම් කළත් මැතිවරණ ක‍්‍රියාවලිය භාරව සිටින බලධරයා වන මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා නම් මේ දැවැන්ත අපේක්ෂක ලැයිස්තුව දැක කම්පනයට පත්ව සිටින බවක් පැහැදිලිව දැකිය හැකියි. ඒ කම්පනය මේ අපේක්ෂකයින් 35 දෙනාගෙම නම් ඇතුළත් අඟල් 26ක් දිග ඡන්ද පත‍්‍රිකා නිසා ඇතිවන කම්පනයක් නොවෙයි. මේ ‘නිර්ථක’ අපේක්ෂකයෝ, එසේ නොමැති නම් ‘ඩමි’ නිසා රජයට දැරීමට සිදුවන අමතර වැය බර සහ කළමනාකරණ අභියෝග, ගැටලූ සහ සංකීර්ණතා ඇති වූ ‘අවංක’ කම්පනයක් බව පැහැදිලියි.

මේ ‘ඩමි’ අපේක්ෂකයෝ නිසා ඍජුව මැතිවරණ කොමිෂමට රුපියල් කෝටි 100ක අමතර වැය බරක් දැරීමට සිදුවන බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මුලින්ම අවධාරණය කළා. ඒත් ඊට පසුව ඇතිවන සංකීර්ණතා ගැන ඇසූ විට සාමාන්‍ය පුරවැසියන් තුළ පවා ඇතිවන්නේ කම්පනයක්. ඒ මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවන ප‍්‍රමාදයන්ට වඩා මේ ‘පත’ ඡන්ද පත‍්‍රිකාවෙන් තමන්ගේ මනාපය පළ කරන අපේක්ෂකයා ‘සොයා ගන්නේ’ කෙසේද යන ගැටලූවට මේ වන විටත් පුරවැසියන් මුහුණ පා සිටිනවා. මේ ලියුම්කරු සමග අදහස් දැක්වූ ගුරුවරියක් කියා සිටියේ ‘අනේ මට නම් හිතා ගන්න බැහැ නම් තිස්පහකින් මම ඡන්දේ දාන නම කොහොම හොයා ගන්නද කියලා’ යනුවෙනුයි.

දිනපතා ළමුන් 40-50කගේ නාම ලේඛනය ලකුණු කර පුරුද්දක් ඇති ගුරුවරියක් මේ ආකාරයට අපහසුතාවට පත්ව සිටින්නේ නම් අපේ වැඩිහිටියන්, විශේෂයෙන් ඇස්පෙනීම ආදිය දුර්වල පුද්ගලයින් මුහුණපාන තත්ත්වය ගැන අපිට අමුතුවෙන් සිතන්න දෙයක් නැහැ.

ඇති වෙන අවුල ගැන

‘මොකවත් නැහැ, ඡන්ද ප‍්‍රතික්ෂේප වෙයි. එහෙම නැතිනම් අයාලේ දායි’ එහෙම කියා සිටියේ මේ ගැන ආරම්භයේ සිටම කම්පනයට පත්ව සිටින සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයෙක්. ‘මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදය තමයි. ඒත් ඇත්තටම අපි ඒ අයිතිය මේ වාගේ අපයෝජනය නොකළ යුතුයි. මේ ඉදිරිපත්ව සිටින අයගෙන් ඇත්තටම පසුගිය කාලය පුරාම අඛණ්ඩව දේශපාලනයේ නිරතව සිටියේ අතලොස්සයි. සමහර පක්ෂ ගැන අපි දැන ගන්නෙම ඡන්දයක් ප‍්‍රකාශයට පත් කළාට පස්සෙයි. ඒ වගේම තමයි ස්වාධීන අපේක්ෂකයෝ. අපිට මේවා ගැන විවේචනය කරන්න අයිතියක් නැහැ. ඒත් හොඳට බලන්න මේ පිරිස අතරින් 15 දෙනෙක්ම ‘ස්වාධීන අපේක්ෂකයෝ’

මෙහිදී ඔහු යෝජනා කරන්නේ 1980 දශකයේ ආරම්භයේදී සම්මත වූ ජනාධිපතිවරණ මැතිවරණ පනතේ ‘ඇප තැන්පතු’ සම්බන්ධයෙන් වන විධිවිධාන වර්තමානයට ගැළපෙන ආකාරයට සංශෝධනය විය යුතු බවයි. ‘80 දශකයේ ඇප තැන්පතුව රුපියල් 75000ක් වුණ එක ගැටලූවක් නොවෙයි. ඒ කාලේ රජයේ විධායක නිලධාරියෙක්ගේ පවා මාසික වැටපු රුපියල් දාහක් වුණේ නැහැ. ඒත් අද තත්ත්වය ඊට වෙනස්. සාමාන්‍ය කාර්යාල කාර්ය සහකයෙක් පවා රුපියල් 40,000ක විතර වැටුපක් ගන්නවා. ඒ නිසා අපි යෝජනා කළ යුත්තේ මේ රටේ නැවත මේ ආකාරයේ විකෘති ඇති නොවන්න මේ ඇප තැන්පතු වගේම ලිහිල් යැයි පෙනී යන කොන්දේසි නැවත සලකා බැලිය යුතු බවයි’

මේ අවස්ථාවේ මෙම කරුණ සංවාදයට ගැනීම ඇතැම් අපේක්ෂකයින් සම්බන්ධයෙන් ඍණාත්මක වුව ද එය සිදුවිය යුතු කරුණක් බවයි බොහෝ දෙනෙක්ගේ අදහස වන්නේ. ඔවුන් ඒ සඳහා උදාහරණ වශයෙන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිෂම මගින් රාජ්‍ය මාධ්‍යවල ලබා දෙන ගුවන් කාලය ද මෙවර මැතිවරණයේදී අර්බුදයට ලක්විය හැකි බවයි.

ඉන්දීය මැතිවරණ කොමිසමේ ආදර්ශය

මැතිවරණ සමයක් කියන්නේ පොදුවේ පුරවැසියන් කා තුළත් කිසියම් අදෘශ්‍යමාන කම්පනයක්, නොඉවසිල්ලක් ඇතිවන සමයක්. බොහෝ විට රාජ්‍ය අංශයෙ නම් වැඩ රාජකාරී ‘ගල්වෙන’ යුගයක්. ඒක සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් පුරා සිදු වුණ තත්ත්වයක් නිසා පුරවැසියන්ට ‘රාජ්‍ය අංශය තුළ සිදුවන මේ ගල්වීම’ එතරම් අරුමයක් හෝ අපහසුතාවක් නොවෙයි.

ඒ වගේම තමයි මැතිවරණ සමයක් යනු බොහෝ විට අඩු ආදායම්ලාභීන්ට ‘නත්තල් සීයා’ හමුවන කාලයක්. වාචිකව, ලිඛිතව ලැබෙන ‘ඡන්ද පොරොන්දුවලට අමතරව, භෞතිකව ද බොහෝ දේ ලැබෙනවා. පසුගිය කෙටි ඉතිහාසය ගැන අවධානය යොමු කළොත් පාරවල්වලට තාර වැටෙන, පාරවල් දිගේ ලයිට් කණු, වතුර බට, මුල්ගල තැබීම් හෝ විවෘත කිරීම් ගැන බෝඞ් ලැලී එල්ලෙන යුගයක්. ඒ වගේම නායකයින්ගේ නිල නිවාස, මන්දිර වගේම අමාත්‍යාංශ ආදියත් පසුගිය මැතිවරණ කාලේ ‘දන්සල්’ බවට පත් වුණ ආකාරය අපි කාටවත් අමතක නැහැ. ඒ නිසි යම්කිසි පිරිසක් පසුගිය කාලයේ යම් යම් දුෂ්කරතාවලට මුහුණ දුන් බවත් අපි කාටත් රහසක් නොවෙයි.

ඒත්, ‘කියන කොට එහෙමයි - කරන කොට මෙහෙමයි හාමුදුරුවනේ’ කිව්වා වාගේ අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමක් නැති අපේ සමාජය තුළ ස්වයං පාලනයක් නැති නිසා ‘වේවැල’ අතට ගන්න බොහෝ විට සිදු වෙනවා පමණක් නොවෙයි වේවැලෙන් සැර පාරක් දෙකක් දෙන්නත් සිදු වෙලා තිබෙනවා.

මෙවර මැතිවරණයේදී වඩාත් බලතල සහිතව සිටින මැතිවරණ කොමිෂම ‘වේවැල’ අතට අරං තිබෙන බවයි බොහෝ දෙනෙක් කියන්නේ.

‘මැතිවරණ කොමිෂන් සභාව පිහිටෙව්වාට පස්සේ පවත්වන පළමු තීරණාත්මක මැතිවරණය මේකයි. ඒ නිසා මැතිවරණ කොමිෂමට වගේම එහි සභාපතිවරයාටත් පෙර පැවති ජනාධිපතිවරණවලට සාපේක්ෂව විශාල බලයක් මෙවර හිමිවෙලා තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමිෂම ශක්තිමත්ව ක‍්‍රියාත්මක වන බවක් අපිට නිරීක්ෂණය කළ හැකියි. මේ වන විටත් මැතිවරණ කොමිෂම ‘ජනමතය’කෙරෙහි බලපෑමක් සිදුකළ හැකි සිදුවීම් රැසක් තම බලතල යොදා අවංලගු කරලා තිබෙනවා. මේක අපි පෙර කාලවල නොදැක්ක තත්ත්වයක්. අපි මේ තත්ත්වය දකින්නේ සාධනීය ප‍්‍රවේශයන් විදිහටයි. අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිෂම ඉදිරියේදී මීටත් වඩා තදින් ක‍්‍රියාත්මක වෙයි කියලා’ මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයා වත්මන් මැතිවරණ කොමිෂමේ ක‍්‍රියාකාරීත්වය ගැන ඔවුන් සතු නිරීක්ෂණ පැහැදිලි කරමින් කිව්වා. මේ අතර මැතිවරණ ක‍්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් සඳහන් කළේ මැතිවරණ කොමිෂම ඉන්දියානු මැතිවරණ කොමිෂම අනුගමනය කරන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි බවයි.

‘ලෝකයේ තිබෙන වඩාත්ම බලවත් හා නිර්මාණාත්මක මැතිවරණ කොමිෂමක් තමයි ඉන්දියානු මැතිවරණ කොමිෂම. මගේ නිරීක්ෂණය තමයි මැතිවරණ කොමිෂම, විශේෂයෙන් ම මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා වඩාත් රුචිකත්වයක් දක්වන්නේ ඉන්දියානු මැතිවරණ කොමිෂම අනුගමනය කිරීමට බවයි. ඉන්දියාවේ පවතින විශාලත්වය, සංකීර්ණභාවය වගේම අභියෝගාත්මකතා නිසි පරිදි කළමනාකරණය කරමින් ඒ දැවැන්තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටේ මැතිවරණ ක‍්‍රියාවලිය වඩාත් විශ්වාසනීය හා කාර්යක්ෂම ආකාරයකින් ඉටුකරන ඉන්දියානු මැතිවරණ කොමිෂමේ ආදර්ශය ලංකාව තුළත් ප‍්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් නම් ලංකාවේ මැතිවරණ ක‍්‍රියාවලිය මීට වඩා බොහෝ ධනාත්මක ප‍්‍රවණතා දෙසට ගමන් කරන බව අපට විශ්වාස කළ හැකියි. මෙහිදී සතුටට කරුණ වන්නේ ලංකාවේ මැතිවරණ කොමිෂම මේ වන විට අපට විශ්වාසය සහ බලාපොරොත්තු තැබිය හැකි පියවර රැසක් ගැනීමයි.

විශේෂයෙන් මැතිවරණ සමයේ ජනමතයට බලපෑම් කළ හැකි ඇතැම් තීරණාත්මක තත්ත්වයන් සම්බන්ධව’ මෙහිදී ඔහු සඳහන් කළේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු, රාජ්‍ය සම්පත් අවභාවිතය මෙන්ම ජනමාධ්‍ය සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂමේ ආරම්භක පියවර අගය කළ යුතු බවයි.

‘මම දශක කිහිපයක් මැතිවරණ පුවත් වාර්තාකරණයේ යෙදිලා තියෙනවා. මැතිවරණ කොමසාරිස්වරුන් විශාල පිරිසක් සමග කටයුතු කර තිබෙනවා. ඒත් මහින්ද දේශපි‍්‍රය මහතා ඔවුන් අතර සුවිශේෂයි. ඔහු ජනමාධ්‍ය සමග දක්වන  සුහදත්වය වගේම ඒ ක‍්‍රියාවලිය පිළිබඳ ඇති දැනුවත්භාවය සුවිශේෂයි’ ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

මැතිවරණ සමයේ කෙසේ හැසිරෙමුද ?

ඉහතින් සඳහන් කළ ආකාරයට වඩාත් සුපිළිපන්න හා ජනමතය විකෘති කිරීමකට ලක් නොවන මැතිවරණ ව්‍යාපාරයක් අපි කාගෙත් බලාපොරොත්තුව වී තිබෙනවා. ඊට හේතුව වන්නේ මැතිවරණ සමයේ සිදුවන ‘ගොබෙල්ස්වාදී’ ප‍්‍රචාර මගින් තීරණාත්මක මොහොතේදී, බරපතළ ලෙස ජනමතය හසුරවන ආකාරයක් පිළිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් රැසක් අපට තිබෙනවා.

එම තතත්වයන් වඩාත් සියුම්ව හා විද්‍යාත්මකව විමසීමට ලක් කළහොත් එම විකෘතිතා මගින් රටට කොතරම් හානියක් සිදුව තිබේදැයි වටහා ගත හැකියි.

මේ තත්ත්වය තුළ මැතිවරණ කොමිෂම විසින් පසුගිය දා වඩාත් නිර්මාණාත්මක හා ගරුකටයුතු පියවරක් තැබුවා. ඒ ‘මැතිවරණ සමයේ හැසිරිය යුතු ආකාරය පිළිබඳව රාජ්‍ය සේවකයින්, මැතිවරණ අපේක්ෂකයින් සහ මාධ්‍යවලට ‘උපමාන’ නියෝග නිකුත් කිරීම මගින්.

පසුගිය කාලය පුරා පැවැති සෑම මැතිවරණයකදීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙකී උපමාන නිකුත් කළත් ඒවා බොහෝ විට ‘සාපේක්ෂ’ ක‍්‍රියාකාරීත්වයක් මත ක‍්‍රියාත්මක වූ බව අපට මතකයි. එහෙත් මැතිවරණ නිරීක්ෂයින් පවසන්නේ වත්මන් තත්ත්වය තුළ වඩාත් සක‍්‍රීය භාවිතයක් දැකගත හැකි වනු ඇති බවයි.

මෙහිදී ඔවුන් දක්වන්නේ මැතිවරණ කොමිෂම විසින් පසුගිය දා නිකුත් කළ ‘උපමාන’ නැතහොත් ඉල්ලීම් ගැනයි.

‘මේ ගැන මාධ්‍යවලින් නිසි පරිදි දැනුවත් කිරීමක් සිදු නොවීම කනගාටුවට කරුණක්. ඒත් අපි වාගේ මැතිවරණ නිරීක්ෂකයින්ට මේ තත්ත්වය ධනාත්මකයි. අපි උත්සාහ කරන මේ ගැන ජනතාව අතරට පණිවුඩයක් ගෙන යන්න’ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප‍්‍රකාශකයෙක් සඳහන් කළා.

රාජ්‍ය සේවක හැසිරීම

මෙහිදී අපගේ වැඩි අවධානයක් යොමුවිය යුතු වැදගත් ක්ෂේත‍්‍රයක් දෙස මැතිවරණ කොමිෂම අපගේ අවධානය යොමුකර තිබෙනවා. ඒ මැතිවරණ සමයේ රාජ්‍ය සේවකයින් හැසිරිය යුතු ආකාරය ගැන කර ඇති පැහැදිලි කිරීමයි.

මැතිවරණ කොමිෂම රාජ්‍ය නිලධාරීන් වෙත වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒ පසුගිය අත්දැකීම් අනුව රාජ්‍ය සේවය තුළ සිදුවන ‘අවභාවිතයන්’ සමස්ත ඡුන්ද ප‍්‍රතිඵලයට ඍජුව බලපෑම් කළ හැකි තත්ත්වයක පවතින නිසයි.

මෙහිදී රාජ්‍ය නිලධාරීන් වෙත සිය උපමාන ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිෂම රාජ්‍ය නිලධාරීන් ගත යුතු මග පැහැදිලි කර තිබෙනවා.

* රජයේ අමාත්‍යාංශ" දෙපාර්තමේන්තුමෙන්ම රාජ්‍ය/සංස්ථාමණ්ඩල, බැංකු යනා දී ව්‍යවස්ථාපිත ආයතනද පළාත්සභා හා පළාත් පාලන ආයතන යනා දී සියල්ල රාජ්‍ය ආයතන ලෙස සැලකෙයි.·

* මෙම රාජ්‍ය ‍දේපල  ජනාධිපතිවරණයේ දී පක්ෂ/ ‍අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා නැතහොත් අගතියට පත් කිරීම සඳහා භාවිතා කිරීම සපුරා තහනම්.·        

* දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදුනිලධාරියෙකුට ජනාධිපතිවරණයට අදාළ ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලනමය ක්‍රියාවකනිරත විය නොහැක.·        

* දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයින්ට පවා කාර්යාල වේලාව තුළ දේශපාලානමය කටයුතු වන නිරත විය නොහැකියි.·       

* සෑම රජයේ නිලධාරීයෙකුම, මැතිවරණ කොමිෂන්සභාව විසින් 2019'19'19 වන දිනැතිව අංක 2141$52 දරන ගැසට් පත්‍රයමගින් නිකුත් කරන ලද විධානවලට යටත්ය.

මෙහිදී මැතිවරණ කොමිෂමේ ඍජු අපේක්ෂාව වන්නේ ජනමතයට බලපෑම් කළ හැකි ආකාරයට රාජ්‍ය සේවකයින් ක‍්‍රියාත්මක නොවීම සඑ ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම බව පැහැදිලි කරුණක්.

මඩ මෙහෙයුම්වල යෙදෙන ජනමාධ්‍යවලටත් වැට බදී

මැතිවරණ සමයකදී නොව ඒ සඳහා අවශ්‍ය සමාජ - දේශපාලන පසුබිම නිර්මාණයේදීත් ජනමාධ්‍ය ඍජු මැදිහත්වීමක් කරනවා. විවිධ දේශපාලන හා ආර්ථික න්‍යාය පත‍්‍ර මත අඛණ්ඩව ‘ගොබොල්ස්වාදී’ මෙහෙයුම්වල නිරත ජනමාධ්‍ය මගින් ජනමතය විකෘති වීමට මෙන්ම මැතිවරණ සමය තුළ අනවශ්‍ය ‘ආතතියක්’ නිර්මාණය කිරීමටත් පසුබිම සකස් කරනවා. විශේෂයෙන් අධි ප‍්‍රචාරක ශක්තියෙන් යුක්ත විද්‍යුත් මාධ්‍ය, විශේෂයෙන් රුපවාහිනී මාධ්‍ය සේම, පහසු සහ සුලභ ‘සමාජ මාධ්‍ය’ වෙත ද මැතිවරණ කොමිෂම සිය අවධානය යොමු කිරීම බොහෝ දෙනකුගේ අවධානයට යොමුව තිබෙනවා.

මැතිවරණ කොමිෂම සිය උපමාන මගින් මැතිවරණ සමයේ ජනමාධ්‍ය ගත යුතු මග නිර්දේශ කර තිබෙනවා.

මෙම කාල සීමාව තුළ අප අන් කවරදාටත් වඩා මධ්‍යස්ත ප්‍රතිපත්තියක්  අනුගමනය කරමින් කිවිවෙකුට විශේෂ බැඳීමක් හෝ විරුද්ධත්වයක් නොමැතිවක්‍රියා  කිරීමට රාජ්යක මාධ්‍ය  ආයතන නීතියෙන් බැඳී සිටියි.

අංක 2140$53 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2019'09'12 දිනැතිව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය  උපමාන මෙම රාජ්‍ය මාධ්‍ය ආයතන  9 අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු වෙයි.

පෞද්ගලික මාධ්‍ය  ආයතන ද මෙම ඡන්ද විමසීමේ දී කිසිදු අපේක්ෂකයෙකුගේ ප්‍රවර්ධනයට හේතුවන පරිදි හෝ ආගතියට පත් වන පිරිදි හෝ අසත්‍ය ප්‍රකාශ  කිරීමෙන් හෙවත් සනාථ කළ නොහැකි ප්‍රකාශ  කිරීමෙන් වැලකී සිටිමට බැඳී සිටියි.

ජනාධිපතිවරණ සමයේ දී පෞද්ගලික රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකා පවා, එක් අපේක්ෂකයෙකුප්‍රවර්ධනය  සඳහා පමණක් ක්‍රියා  කිරීමෙන් හා අනෙක් අපේක්ෂකයන් අගතියට පත් කිරීමට ක්‍රියා  කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

මේ සම්බන්ධයෙන් අවැසි නියාමන ක්‍රියාවේ  යෙදවීමට මෙම සංඛ්‍යාතවල  හිමිකාරීත්වය හා පාලන බලය සතු රාජ්ය් ආයතන ක්‍රියා  කරනු ඇති බවත් පෙන්වා දෙන මැතිවරණ කොමිෂන් සභාව මෙම පෞද්ගලික හිමිකාරීත්වය ඇති මුද්‍රිත  වලට ද අදාළ බව අවධාරණය කරයි.

"1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පනතේ 83 වන වගන්තිය අනුව අසත්‍ය  තොරතුරු සනාථ කළ නොහැකි ප්‍රවෘත්ති පළ කිරීමෙන් වැලකී සිටිමට පුවත්පත් සංස්කාරකවරු බැඳී සිටියි. එම වරද කළහොත් දණ්ඩනය ද පනතින් නියම කර තිබේ.

සමාජ මාධ්‍ය  ජාලවල හැසිරීම

සමාජ මාධ්‍ය ජාලා හරහා තොරතුරු හුවමාරු කිරීම අද සමාජයේ ප්‍රමුඛතම  සන්නිවේදන ක්‍රමවේදයක්  වෙයි. සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය  තොරතුරු ප්‍රචලිත කිරීමෙන් වෛරී අදහස් පැතිර වීමෙන් එවැනි සමාජගත කිරීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

ඡන්දය දෙන අවස්ථා ඡායාරූප ගත කිරීම හා ඡන්දය දුන් ආකාරය ප්‍රසිද්ධ  කිරීම ඡන්දය දෙන ආකාරය හෝ ඡන්දය දී ඇති ඡන්ද පත්‍රිකා  හෝ ඡායාරූප ගත කිරීම හා එවැනි ඡායාරූප ප්‍රසිද්ධියට  පත් කිරීම කිසිසේත්ම නොකළ යුතුයි. මෙහිදී රැස්වීම් පැවැත්වීම පමණක් නොව ජන මාධ්‍යක්  තුළින් දැන්වීම් ප්‍රචාරය  කිරීම, සමාජ මාධ්‍ය  කෙටි පණිවිඩ හරහා සිදු කෙරෙන ප්‍රචාරක  කටයුතු කිසිවක් සිදු නොකල යුතුයි.

එම කාල සීමාව තුළ අපේක්ෂකයන් හා පක්ෂ සෘජුවම හෝ වක්‍රව ප්‍රවර්ධනය  සඳහා අගතියට පත් කිරීම සඳහා පැරණි රැස්වීම් හෝ වැඩසටහන් පිළිබඳ තොරතුරු, චිත්‍රපට  යනාදිය ප්‍රදර්ශනය  කිරීමෙන්, කරවීමෙන් වැලකී සිටිමට සියලු දෙනා වගබලා ගත යුතුයි.

නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්විය හැක්කේ සියලූම අපේක්ෂකයන්ට ඡන්ද හිමියන්ට හා සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ඇති බව සැලකිල්ලට ගැනීමෙන් පමණකි. තමා දරණ මතයට විරුද්ධ මතයක් දැරීමට, එය ප්‍රකාශ කිරීමට, ඒ වෙනුවෙන් පෙනී සිටිමට හා එම මතය ජය ගැනීම සඳහා අනීතික නොවන ක්‍රියා  මාර්ග ගැනීමට අන් අයට ඇති අයිතිය සියලු දෙනා පිළිගැනීමෙන් පමණි.

මැතිවරණ කොමිෂම විසින් මේ වන විට රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ මැතිවරණ ක‍්‍රියාවලියේ ජීවගුණය වෙනුවෙන් ගෙන ඇති මෙම යහ ප‍්‍රවේශයට පාට, පක්ෂ නොබලා සහයෝගය ලබා දිය යුතු බවයි අප සියලූ දෙනාගේ අපේක්ෂාව වන්නේ.

 

 

 

Advertiesment