Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


සී පී ද සිල්වා වූ සිය දෙවැනි නායකයාගේ නම මකා දැමු ශ්‍රීලනිපයේ ගුණමකුකම


2019-10-14 1392

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි නායකයා වූ සී.පී. ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වි 2019 ඔක්තෝම්බර් මස නව වෙනිදාට අවුරුදු 47ක් සපිරෙන අතර මේ ලිපිය ඒ නිමිත්තෙනි..! 

(අහුන්ගල්ලේ දේ.සූ.ද. සොයිසා)

මෙ රටේ ඉතිහාසය ලියන මහා වංශය කතුවරයා ලක්දිව එක් දිනක් රජකම් කළ සොත්තිසේන රජතුමා ඇතුළු එවැනි රජවරුන් කිහිප දෙනෙකුගේ නම් ඉතිහාසයෙන් අකාමකා නොදමා සනිටුහන් කළේ රටේ ඉතිහාසය අනාගත පරපුරට නිවැරදිව කියා දෙන්නටය.

රටේ, ඉතිහාසය,සංස්කෘතිය, සභ්‍යත්වය ,සදාචාරය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය ආදී දහසක් උරුමයන්ගේ මුර දේවතාවෝ ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියමුවන්ට පක්ෂයේ ඉතිහාසය, නායකයන්ගේ ඡායාරුප ටික නිවැරදිව පෙළට තියන්නට තවමත් ඔවුන්ට නොහැකි වි ඇත්තේ උපතින්ම ලැබී ඇති අකෘඥතාවය නිසා දැයි ප්‍රශ්නයකි.

රාජ නීතිඥ එච්.සී. නිශ්ශංක මැතිතුමන්ගේ මඟ පෙන්වීම සහ නිර්මතෘත්වය මත 1951 දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කර එහි ප්‍රථම නායකත්වය පවරන්නේ එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක මතිතුමන්ටය. මිට වසර 60 කට පෙර 1960 සැප්තැම්බර් 26 වන දින එතුමාගේ ඇවෑමෙන් පසු එම වසරේ දෙසැම්බර් මස 11 වන දින දක්වා ගෙවී ගිය දින 77 තුළ එම පක්ෂයට නායකයෙක් සිටියේ නැත.

ඒ අනුව 1959 දෙසැම්බර් 12 වන දින කොළඹ නගර ශාලාවේදි රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මඟින් පක්ෂයේ නව සභාපති වරයා හෙවත් නායකයා ලෙස පත් කර ගත්තේ බණ්ඩාරනායක රජයේ සභානායක පදවිය සහ ඉඩම් සහ ගොවිකම් ඇමති ලෙස ක්‍රියා කළ සී.පී.ද සිල්වා මැතිතුමන්ය. හිටපු ඇමතිවරයෙකු වූ හොරණ මන්ත්‍රී පදවිය දැරූ ඒ.පී. ජයසුරිය මහතා සී.පී. ද සිල්වා මැතිතුමන්ගේ නම යෝජනා කළ අතර හිටපු අමාත්‍යවරයෙක් වූ ටී.බී. ඉලංගරත්න මහතා එම යෝජනාව සම්මත කර ,සී.පී. ද සිල්වා පක්ෂයේ දෙවන වරට පත් වූ නායකයා ලෙස පත් කර ගත්හ.

1960 මාර්තු මස මහා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ වැදුනේ සී.පී. ද සිල්වාගේ නායකත්වයෙනි.මෙම මැතිවරණයේදී සී.පී. ගේ නායකත්වය පිලි නොගෙන මහජන එක්සත් පෙරමුණට එක් වි බෙලිඅත්ත ආසනයට තරඟ කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමන්ගේ පියාණන් වූ ඩි.ඒ. රාජපක්ෂ මහතා මැතිවරණ කොට්ඨාශයෙන් පරාජයට පත්වීමද විශේෂ සිද්ධියක් විය. 

1959 දෙසැම්බර් සිට 1960 ජුලි මස දක්වා මාස හතක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරූ සී.පී.ද සිල්වාගේ නාමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්ව නාම ලේඛනයෙන් කපා හැර ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂයේ ප්‍රථම නායකයා ඝාතනය කර දැමුවාට පසුව පක්ෂය රැක ගෙන යළි නගා සිටුවීමට ක්‍රියා කළ පක්ෂ නායකයෙකුට දක්වන අකෘඥතාවය ඉතා පිළිකුල් සහගත පිළිවෙලකි.සී.පී. ද සිල්වා මැති සබයට පැමිණියේ  පොලොන්නරුව මැතිවරණ කොට්ඨාශයෙනි. දෙවනුව මින්නේරිය මැතිවරණ කොට්ඨාශයෙනි. ඔහු රජරට නායකයා විය. සී.පී. ද සිල්වා බිහි කළ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා මැතිසබයට පැමිණ වත්මන් ජනාධිපති පදවිය හොබවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවත් මෙම වැරැද්ද නිවැරදි කලේ නැත.සී.පී. ද සිල්වාට  මෙසේ සලකන්නේ ඔහු 1964 දි මැතිනයගේ ඒකාධිපති වියරුව පරාජය කරන්නට පියවර ගෙන එක්සත් ජාතික පක්ෂ රජයට එක්වූ නිසාය.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ හානිය තරම් ප්‍රබල හානියක් සිදු නොකළ බව නම් සැබෑය.නමුත් සී.පී. ට දෙන දඩුවම ඔහුට ලැබී නැත. ඔහු අදද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක වරයෙකි. හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස පිළිගෙන පක්ෂ නායක සේයා රූ ගොන්නේද වැජඹේ.නමුත් සී.පි.ගේ  නමත්,ඡායරුපයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයෙන් ගලවා ඇත්තේ ඉතා පහත් නින්දිත ආකාරයෙනි.

වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක අති ගරු මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීමත් ජනාධිපතිතුමනි ඔබගේ පාලන සමයේදීවත් අතීතයේදී සී.පී ද සිල්වා මහතාට සිදු කළ අසාධාරණය නිවැරදි කර ඔබගේ මහත්මා ගතිය පිළිඹිබු කරන්න.

සී.පී.ගැන මම මෙසේ ලියුවේ, සී.පී. දිවන් ගත වි ඔක්තෝම්බර් මස 09 වනදාට වසර හතලිස් හතක් පිරිම නිමිත්තෙනි.

ඔහු මෙරට මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ නිර්මාතෘවරයා,පහත රටින් ගොස් රජ රට ජයගත් රජරට දේශපාලකයය. රට දේවත්වයෙන් පිදුම් ලබන ප්‍රථම සහ එකම දේශපාලකයාය. 1912 අප්‍රේල් මස 16 වන දින බළපිටිය රන්දොබේදී උපත ලද චාර්ල්ස් පර්සියෙල් ද සිල්වා මහතා අහුන්ගල්ල ගල් වෙහෙර කනිටු විදුහලෙන්ද පසුව අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් අධ්‍යාපනයෙන් පසුව විදේශ ගතව සරසවි අධ්‍යාපනය ලබා දිසාපතිවරයෙකු ලෙස සේවය කර දේශපාලනයට පිවිස සිය දිවි මගේ 60 වන වියේදී එනම් 1972 ඔක්තෝම්බර් 09 වනදා දිවි මගින් සමු ගත්හ.

නායකයාණනි..ඔබට නිවන් සුව!

Advertiesment